අද කියන්න යන්නෙත් ඉතින් බයිට් කතාවක්ම තමයි..එකම වෙනස මේක ප්‍රවාහනයට සම්බන්ධ වීම..
පුංචි වයසේ පින්වතුනි ඔය අපේ ලඟම ඥාතීන් කීපපොළකට හෙන රුදාවක් තිබ්බා මාව ස්කූල් වෑන් එකකට ඔබන කල් නින්ද නොයන..අනේ ඉතින් කන්කරච්චලේ ඉවසන්නම බැරිතැන දෙමව්පියෝ කල්පනා කොරලා මාව වෑන් තඩියකට භාර දුන්නා අවුරුදු 9න්..මේ අවස්ථාවේ ඔය කිව්ව ඥාතීන්ගේ හතර වරිගෙට හචිං යනවා නම් සමහන් පැකට් එකක් හදන් බොතහැකී ඉතින්..!
අනේ ඉතින් තරු කෙලීට ප්‍රයිවට් ට්‍රාන්ස්පෝට් එකේ වගේ සැපක් නැතිබව නැගපු පළවෙනි පැයේදිම තේරුණයි කියමුකෝ..වෙනදා පොඩි එකී කරන්නේ වාහනේට නැගපු ගමන් යුනිෆෝම් එකයි මේස් සපත්තුයි ගලවලා දාන එක..ඊටපස්සේ ඉතින් පෙටී එක පිටින් ඔය කිරි පැකට් එකක් හරි මොනාහරි කඩචෝරුවක් කටේ ගහන් ඉස්සරහෙන් පිටිපස්සට පිටිපස්සෙන් ඉස්සරහට වාහනේ පුරා පෙරලි කරලා ගෙදර ළංවෙද්දි බෙල්ල කඩන් දොයි..ගෙදර ගියාම අම්මාගෙ හරි තාත්තාගෙ හරි කරෙන් ගෙට..සැප කනේ!
අනේ ඉතින් සෑම කළු වලාවකම රිදී ඉරක්ය කියන්නැහැ ඔය කුළුදුල් ස්කූල් වෑන් එකේ හිටියා මගේ පංතියෙම යාළුවෙක්..අස්සයට කැරට් වගේ මට ඔය යාළුවව පෙන්නලා තමා වෑන් එකට නැග්ගෙව්වෙත්..එයා බහින්නේ මට කලින්..ඔන්න ඉතින් වෑන් එකට සෙට් වෙච්ච සන්තෝසෙට අපි දෙන්න හෙන ලොකු සුපර් මාකට් එකක් දාගෙන, සෙල්ලමක් එහෙම කරගෙන ටික දුරක් යනකල් ගියා කියමුකෝ..1:30ට ඉක්කෝලේ ඇරුණට මොකද ගෙදර එනකොට 3:30යි..! වෙනදා වගේ කඩචෝරුත් නෑ, මල මගුල් යුනිෆෝම් එකයි සපත්තුයි ගලවලා ආතල් එකේ ඉන්නත් නෑ, වෑන් අයියට කියන්නයැ මට කඩචෝරු ඕනෙයි කියලා..! ඒ මදිවට එකම සීට් එකේ අඩුවැඩි වශයෙන් දූවිලි ගඳ ගහන, දාඩිය පෙරාගත්තු පොඩි උන්, ලොකු උන්, කෙට්ටු උන්, මහත උන් තොගයක් අස්සේ තඩි බෑග් මල්ලත් පුංචි ඔඩොක්කුවෙ තියාගෙන..යස කට්ටක් නෙව මේක! ටික වෙලාවක් කර කර හිටි සෙල්ලම් එහෙම අස්සෙන් මට දැනුණා මගේ හිස භ්‍රමණය වේගෙන වේගෙන වේගෙන එනවා පින්වතුනි…වාසනාවකට මට ඔය මහ මග හෝටල් වගේ සීන් නම් සෙට් වෙන්නේ නෑ පුංචි කාලේ ඉඳන්…
ඉතින් එච්චරයි ඔළුවට භ්‍රමණය වෙන්න දීලා මම ඔහේ හිටියා…!
දැන් පළාතම නිශ්ශබ්දයි..
ඔව් මම නිහඬතාවය තුළ ගිලිලා ගිලිලා ගිලිලා ගිහින්..
“අක්කී..අක්කි..” කවුද යකෝ මේ ලදරම අස්සේ ඉඳන් මට අක්කි කියන එකා..?? මට කොහෙද තාම එච්චර වයසක්..!
ගණන් ගන්න නරකයි..!
“අක්කී..නැගිටින්න…” ම්ම්ම්…පොඩ්ඩක් අහලා පුරුදු කටහඬක් තමයි ඇහෙන්නේ..බලමු..
හුටා!
අපේ අම්මා කොහෙද වෑන් එකේ!
මම බමන මතයෙන් පෙළෙන මගේ හිස මඳක් ඔසවා එකැසක් හැර බැලුවා පින්වතුනි..මා දෙස ඇස් සහසක් බලා සිටිනවා..ඩබල් වෙලා පේනවා නෙවෙයි ඇත්තම ඇත්තම සත්තම සත්ත ඇස් දහසක්..!
ඉතින් පින්වතුනි, වෑන් රථය අපේ ගේට්ටුව ලඟ නවතා හැමෝම මා දෙස බලා සිටිනවා..අම්මා “අක්කි අක්කි” කියනවා වෑන් අයියා “බබා බබා, නංගී නංගී” කියනවා..විලි ලැජ්ජාවක් වාගේ එකක් ඇතිවී නැතිවී ගියා පින්වතුනි..මොකද කියනවා නම් උන්දැලා සෑහෙන්න වෙලාවක් මාව ඇහැරවගන්න ෆුල් ගේමක් දීලා..බැරිම තැන වෑන් එකේ එන්ජිමත් නතර කොරන් බලන් ඉන්නවා කියහල්ලකෝ…ඒ වුණාට වෑන් අයියගේ ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් විලාපේ නවත්තලා තිබ්බේ නෑ…
ඉතින් හිතවතුනි, දැන් මට හදිස්සියේම මතක් වුණා වැරදි තැනක නින්දට වැටී ඇති වග..
හා හා පුරා කියලා වෑන් එකට ගිය මුල්ම දවස වෙච්චි! එදාම කුම්බකර්ණයට රඟපාලා පටිත් රෝල් වෙච්චි..! මොනා වුණත් පුංචි කාලේ ඉඳන් ලැජ්ජා බයට හැදිච්චි එකී වෙච්චි..! ලැජ්ජවේ තරමට තඩි බෑග් එකත් අරන් අනික් උන්ව පෙරළගෙන පාගාගෙන එළියට පැනගත්තේ මැනස් කියන එව්වා අතුරුපසට ගන්න හිතාගෙනයි…
ඉතින් ඔහේලට හිතාගත්තහැකිනේ අපේ අම්මා මගේ නින්ද ගැන කිය කියා හිනාවෙච්චි තරම..මොකෝ ඉතින් අම්මා කතාකරලවත් ඇහැරුණේ නැහැ නෙව!
ඒ ඔක්කොමත් හරි කියමුකෝ..මේ අවස්ථාවේ පවා මගේ කම්මුල් රත් කරවාගෙන හිතට එන සිතුවිල්ල මේකයි..
!
!
!
“කටත් ඇරන් ද දන්නෙ නෑ නිදන් හිටියේ..!!!”
————————————
එනිවේ, දැන් ඔන්න ඔහොම මම සෑහෙන්න කාලයක් වෑන් රථයේ ගියා..ඒ වුණත් ඉතින් පුළුවන් හැම වෙලාවෙම තාත්තා තමයි එක්ක ආවේ ගියේ..අන්න එහෙමයි පිය සෙනෙහස කියන එක..
මමත් ඉතින් තාත්තා එක්ක යන දවසට ඒකේ උපරීම ප්‍රයෝජනේ අරගන්නත් පසුබට වුණේ නැහැ හිතවතුනි..එහෙම සමහර දවසට ඉස්කෝලේ පාරට හරවද්දි මට තාත්තා ගැන ලොකූම ලොකූ ආදරයක් ඇතිවෙනවා (ඇත්තම ඇත්තම ඇත්ත එකක්)..එතකොට මම සීට් එකේ කිඳා බැහැලා තාත්තාගේ දවසේ වැඩසටහන ගැන පොඩ්ඩක් අහලා බලනවා..ඊටපස්සේ මගේ හොඳම, අහිංසකම, දුටු දන මන සංවේගයට සංවේදනාවට පත්කරවනසුළු බළල් මූණ දාලා මම කියනවා තාත්තට අනේ මාවත් එක්කන් යන්නකෝ, අද තීතර් නෑ, අද ස්පොර්ට්ස් ප්‍රැක්ටිස්, අම්මෝ අද ඩෙන්ටල් යන දවස, බ්ලා බ්ලා වාගේ වූ නොයෙකුත් හේතු පාඨක..අනේ ඉතින් කපටියා වුණත් කුළුදුල් දූ වෙච්චි..! තාත්තෙක්ට පුළුවන්ද හිතක් පපුවක් නෑ වගේ අහක බලන්න..බෑ නේ! ඉතින් සමහර දවසට තාත්තා මගේ නිවාඩුව අනුමත කරනවා..සමහර දවසට නෑ..ටික දවසක් ගිහින් බොස්ට තේරුණා මෙහෙම ගියොත් මේකි යන දවසට වඩා නොයන දවස් වැඩිවෙන බව..ඒ ගමන පොඩි තගක් එහෙම දාලා පංතියටම ගිහින් වාඩිකරවලත් ආවා..
ඉතින් තරු බබා ගිව් අප් කොරන්ට ඇති නේ? හුහ්! ගිව් අප් කොරන්න මේ අපි!
එතකොට තරු බබා මෙන්න මෙහෙම ප්ලෑනක් ගහනවා..ඔව් ඉතින් පුංචි බඩේ අමාරුවක් “වගේ” එකක්..! තාත්තා ඉතින් හරස් ප්‍රශ්න අහන්න ගන්නවා..බඩේ කොතනද රිදෙන්නේ, කොයි පැත්තද, වමනේ දාන්න ඕනද, ටොයි යන්න ඕනද, බඩ ඇතුළෙන්ද රිදෙන්නේ එළියෙන්ද (ඔන්න ඔය ප්‍රශ්නේ අවංකවම කියනවා නම් මට මහ මොංගල් ප්‍රශ්නයක් හරිය? ඇයි යකෝ පොඩි එකෙක් දන්නවයැ ඇතුළෙන්ද එළියෙන්ද රිදෙන්නේ කියලා..බඩ රිදෙනවා දැට්ස් ඉට්! හහ්!)…
ඉතින් ඔය සී අයි ඩී ඉන්ක්වයරි එක ඉවරවුණායින් පස්සේ තත්වේ බලලා නිවාඩුව ෂේප් එකේ අනුමත කරවගන්න පුළුවන්..ඔය කිව්වට ඉතින් තාත්තා දන්නවා දූගේ වැඩ..ඉක්කෝලේ ගේට්ටුව ලඟට එනකල් අමාරුවෙන් සීට් එකේ කිඳා බැහැලා බඩ උඩ දාගෙන වැතිරිලා ඉන්න දූ පොඩ්ඩ ආයේ හරවන් යන්නේ නෑ කියලා ෂුවර් දුරකට ආවම හොඳට කෙළින් වෙලා වාඩිවෙලා හිනා පපා ඉන්නවා..හැක් හැක්..
සමහර දවසට නම් බොස් මගේ අරක්කුවලින් මටම ගේම් එක දෙනවා..මොකෝ ඉතින් බඩේ අමාරුව නෙවෙයි ලේ අතීසාරේ හැදුණත් දොස්තරෙක් ලඟට ගෙනියන්න ඇහැකි දරුවෙක් නෙවෙයි නෙව..එහෙම කැබිනට් පත්‍රිකාවක් අනුමත වේගෙන ආවොත් බඩේ ලෙඩත් නෑ බබා සෝයි එකට බෝතල් බෑග් අරන් පංතියට යනවා..
උපුටා ගැනීම : Aash Weerasinghe