“තනියම ජීවත් වෙන එක අමාරු නැද්ද ?” (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“තනියම ජීවත් වෙන එක අමාරු නැද්ද ?”
අවුරුදු විස්සකට පමණ පසු මුණ ගැසුන හොඳම මිතුරිය තිහාන්ගෙන් අසන්නේ ගෙවුණ ජීවිත කාලය පුරාවටම මිනිස්සුන් වැඩියෙන්ම ඔහුගෙන් අසන ලද පැනයමයි. කිසිම දිනෙක ඔහු සතුව එම පැනයට පිළිතුරක් නොවිණි. ඒ සෑම විටකම ඔහු කලේ හසරැල්ලකින් සංග්රහ කොට පැනය මගෑරිමයි.
ඔහුට ඔහුගෙන් පලායා නොහැකි බව ඔහු දනී. නමුත් ඔහු කරන්නේද එයමය. ජීවිතේ එක කාර්තුවක පිදූ ප්රේමය නමින් තවම දිවි ගෙවන බව කියන්නට ඔහුගේ වචන කැමති නැත. අහේතුකවම ඔහුගේ තනිකමට ලෝකයා ඇයව වැරදිකාරීය කරනු ඇතැයි ඔහුගේ සිත තුල ඇත්තේ අප්රමාණ වූ බයකි.
“හිනාවෙන්න නෙවෙයි කිව්වේ… සීරියස් අහන්නේ ඇත්තටම කාටවත් ආදරේ කරේ නැද්ද තිහාන් ?”
ඇය නැවත අසන්නේ ඔහුට ගැලවෙන්නට ඉඩ නොදෙන අරමුණකිනි. වේදනාවක් උන අතීතය යලි දෑස ඉදිරියේ ඇඳීම දරාගැනීම පහසු නැත.
දිවිගමනේ පනස් වැනි ඉනිම ක්රිඩා කරන තිහාන් වැනි අයෙකුට එය තවත් අසීරුය. දැන හෝ නොදැන ඇය මේ කරන්නේ රිදුම් ඇවිස්සීමයි.
“කෙනෙක් හිටියා සේයා…”
කිසිවෙකුටත් නොකී කතාව සේයා හමුවේ ගලපා නිදහස් වීම හොඳ යැයි සිත කියා සිටි නිසාම තිහාන් අසීරුවෙන් උවද වචන ගැලපීම ඇරඹීය.
“කව්ද ඒ කෙනා ? අපි දන්න කෙනෙක් වෙන්නැති නේද ?”
තරුණ විය පුරාම තිහාන් හා රැඳුන මිතුරිය වූ සේයා එසේ අසන්නේ ඇයගේ මිතුදමින් මිදුන මානයක ඔහුට ප්රේමයක් හමුවිය නොහැක යන සිතුවිල්ල පෙරටු කරගෙනය.
“ඔයාලා දන්නෑ…”
“හරි ඉතින් කියන්නකෝ එයා ගැන ?”
“දැන් එයා ගැන කිව්වා කියලා මොනා කරන්නද සේයා ? ඒ දේවල් වැඩක් නැති අතීතයට එකතු වෙලා ඉවරයි…”
“ඒවා ඉවරයි නම් ඔයා තාමත් ඇයි තනියම… ඇත්තටම ආසයි තිහාන් දැනගන්න කාටවත් හොල්ලන්න බැරි උන ඔය හිත උමතු කරපු කෙල්ල කව්ද කියලා ”
අතීතය ඇවිස්සිමේ දැඩි මැලිකම තිහාන්ගේ සිත යලි වෙලා ගැනීම නිසා ඔහු කරන ප්රතික්ෂේප කිරීම් භාරගන්නට සේයා සූදානම් නැත.
සේයා මේ හඹායන්නේ වසර විස්සකට එහා අතීතේ ඇය පිළිතුරු සොයන්නට මැලි වූ පැනයට පිලිතුරයි.
“එයා හරි අපූරූ කෙල්ලක්…”
හරිබරි ගැසී උගුර පාදා ගැනීමෙන් අනතුරුව තිහාන් හඬ අවදි කරේ මෙතෙක් නොකී කතාව සේයා හමුවේ මැවීමටයි.
“මට එයා මුණගැහුනේ ඉරිදට ලයිබ්රි එකේදී…”
සේයා තිහාන්ගේ ඒ වචන වලට හ්ම් වලින් පමණක් උත්තර බැන්ඳේ සිත නතර උන ඒ අතීතය තිහාන්ගේ මුහුණේ මැවෙන චිත්ර වලින් ග්රහණය කරගන්නට සිතමිනි.
“උඹට මතකද පබ්ලික් ලයිබ්රි එක ඉස්සරහ බෙන්ච් දාලා තිබ්බා අර රූස්ස ගස් දෙකට යටින්. අන්න ඔය බෙන්ච් එකක වාඩී වෙලා ඉද්දී තමයි මං ඒකීව ඉස්සෙල්ලම දැක්කේ…”
වාක්යයේ කෙලවර මොහොතකට දෑස් පියාගත් තිහාන් උත්සාහ කරේ එදා දුටු ඒ රුව මනසේ මවාගැනීමටයි. සේයා හැකිතාක් නිහඬව අසා සිටියේ තිහාන්ගේ මනෝභාවයන් බිඳින්නට දැනුන අකමැත්තෙන්ය.
“මං එතන ඉඳගෙන ඉද්දී ඒකී දුවගෙන දුවගෙන ආවේ. ඉඩ තිබුණේ මං ඉඳන් හිටපු බංකුවේ විතරයි. ඒකිට කොච්චර කලබලේ ද කියනවා නම් වාඩී වෙන්න කලින් ඒකි අතේ තිබ්බ පොත් ටික බිම. කරේ තිබ්බ බෑග් එක ගලවලා පොත් එකින් එක අහුලන ගමන් ඒකී එකීටම බැනගත්තා. ඔය සේරම දිහා බලාගෙන නොදැක්කා වගේ මං හිටියේ ෆෝන් එක ඔබන ගමන්…”
ආයෙත් තප්පරේකට කතාව නවතපු තිහාන් නිල්පාට ඩෙනිමකට කලු පාට ටී ශර්ට් එකක් ඇඳලා කොණ්ඩේ මුදුනට වෙන්න ගෙඩියක් ගහලා බාටා දෙකක් දාලා හිටපු ඒ අතීත රූපේ ආයේ ආයේම මවාගන්න උත්සාහ කරමින් හිටියා.
“එකීව දැක්කාම කිසිම පිළිවෙලක් පෙනුනේ නෑ. කිසිම හැඩයක් තිබ්බෙත් නෑ. කොටින්ම කියන්න ඒකීට ඇස් ඇදගන්න රූපයක් තිබ්බේ නෑ සේයා. ඒ නිසාම මං අවධානේ එකීගෙන් අයින් කරා. ඒත් උඹ දන්නවද ඊට පස්සේ උන දෙයක් නිසා ඒකී මගේ මුලු හිතම ඇදගත්තා…”
එලෙස කියන විට තිහාන්ගේ මුහුණේ මතුවෙන මන්දස්මිතය සේයා හදවතින්ම අල්ලා ගැනීමට වෙර දරමින් සිටියාය. වසර විස්සකට පෙර යුවතියකව සිටි අවධියේ තරම්ම ඇල්මක් තවමත් ඇයට මේ හිනාව ගැන දැනෙන්නේ මන්දා කියා ඇය තනිවම කල්පනා කලාය.
“මොකද්ද ඊට පස්සේ උනේ ? ”
අතීතේ තනිව අතරමංව සිටින තිහාන්ව ගෙන්වා ගැනීමට සිතා සේයා හඬ අවදි කරේ ඉතාම හෙමින්.
“ඒකී මට බැන්නා…”
“බැන්නා ?”
බැනපු මතකය මේ තරම් සතුටින් සිහිපත් කිරීම නම් පුදුමයක්මය.
“ඔව් ඒකී මට බැන්නා. අතේ තිබ්බ ටිශූ එක බිම දැම්මා කියලා ඒකී මට බැන්නා. කියපු හැමදේම මතක නෑ ඒත් අන්තිමට ඒකී කිව්වා මිනිස්සු හරි දේවල් කරන්න ඕනේ තමන් වෙනුවෙන් මිසක් ලෝකේට පේන්න නෙවෙයි කියල. අන්න ඒ වචන ටික මගේ හිත අල්ලගත්තා…”
කාලය එක්කම ඈ කියූ දේ අමතක උනද මේ තප්පරයෙ පවා දෑස් වසන සැනින් ඈ එදා පෑ අංග චලන ඇගේ රුව සමඟම තිහාන්ගේ ඉදිරියේ මැවේ. ගෙවුණ කාලය පුරාවටම ජීවත් වූයේ ඒ මැවුණ රූප සමඟය.
“එදා බැනලා ඒකී යද්දී මට හිතුනේ මගෙන් කෑල්ලක් අරන් යනවා කියලා. ඊළඟ සතියෙත් ඒකී ලයිබ්රි එකේ හිටියා ඒත් මාව ගනන් ගත්තේ නෑ. සති තුනක් විතර ඔහොම ගෙවෙද්දී මට එකී එක්ක කතා කරන්න දැනුනේ නොනිමි ආසාවක්”
සති තුනක් පුරා ඇය එනතුරු බැලුම් හෙලූ හැටි සිහිපත් වන විට තිහාන්ට තනිවම සිනා පහල විය. එතැනින් එහාට ගෙවුණ කාලයේ මතක එක්ක ඒ සිනාව මැකී යන අයුරු සේයා බලා සිටියේ උපේක්ෂාවෙන් යුතුවයි.
“ඉතින් ඊට පස්සේ ඔයා එයා එක්ක කතා කරාද ?”
සේයා ඇසුවේ කතාවේ ඊළග කොටසට පා තැබීමේ කුතුහලයෙනි.
“ඔව්… මගේ අතේ තිබ්බ කවිකඳුර පොතට පිං සිද්ධ වෙන්න දවසක් ඒකී මං එක්ක කතා කරා. පොත ගැන! ”
පොතේ රසය ගැන හුවමාරු උන ඒ වචන හත අට එදා තිහාන්ගේ හිතට මහ මෙරක් සේ දැනිණී. කවදාවත්ම නැති තරමේ උද්යෝගයකින් එදා සිත පිරී තිබූ බව ඔහුට මතකය.
“ඊට පස්සේ සති කීපයක් හෙලෝ , හායී වගේ වචන එක ගෙවුණා. එක දවසක් ඒකීගේ ගෙදර මිනිස්සුන්ගේ පරක්කුවක් නිසා අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුනා…”
එදා ආරම්භ උන කතා බහ ජීවිතේ ලස්සනම මතකය වනු ඇතැයි තමන් කිසිදාක සිතුවේ නැතිවග තිහාන්ට සිහිවිය.
“එදා ඉඳන් අපි කතා කරා. හැම ඉරිදටම පැයක් විතර ඔහේ කතා කරා. අවුරුදු දෙකක් අපි එහෙම කතා කරා සේයා…”
අදළම නැති එකකට එකක් සම්බන්ධ නොවුණ මාතෘකා ඔස්සේ ඇදී ගිය ඒ කතාවල සමහර තැන් මේ මොහොතේ පවා හිතට දැනෙන තරම් ලෙංගතු බව තමන් දෙස පුදුමෙන් බලාසිටින මිතුරියට කියන්නේ කෙසේදැයි තිහාන් මොහොතක් නතර වී කල්පනා කරේ ඒවා විස්තර කිරීමට ඔහු සතුව වචන නොමැති නිසාමයි.
“දන්නවද සේයා ඒ අවුරුදු දෙකටම මං එයා කව්ද කියලා දැනගෙන හිටියේ නෑ. අඩුම ඉන්නේ කොහෙද කාගේ කව්ද මේ මුකුත්ම මං දැනන් හිටියේ නෑ. එයා එක දවසක් නාවොත් හොයන්න කන්ට්රැක් නම්බර් එකක්වත් මං ළඟ තිබුණේ නෑ. ඒත් මගේ මුලු ආධ්යාත්මයම එකී එක්ක බැඳීලා තිබුණා…”
තිහාන්ගේ ඒ වචන වලට සේයාගේ දෑස් තවත් විමතියෙන් විශාල විය. පැයක කතා බහක් වෙනුවෙන් ජිවිතයම කැප කරන්නට තරම් තිහාන්ගේ ආධ්යාත්මයම සොරාගත් ඒ යුවතිය අතීතයට ගොස් මුණගැහෙන්නට ඇත්නම් කියා ඇයට සිතුණී.
“ඉතින් තිහාන් ඔයා එයාට ආදරේ කරාද ?”
සේයා අහන්නේ ඒ හමුවීමේ ප්රේමය තිබූ තැන කොතැනද යන්න වටහාගත නොහැකිවයි.
“ඔව්… කවදා ඒ ආදරේ ඇති උනා ද මං දන්නෑ ඒත් වචනෙන් නොකියන දේවල් පවා මූණෙන් කියවපු ඒකීට ආදරේ හිතුන එක පුදුමයක් නෙවෙයි… ”
ප්රේමය උපදින්නේ තේරුම් ගැනීම පිරුන තැනක නම් එය කිසිදා රිදුම් නොදෙන ප්රේමයක් වනු ඇති වග කොහේ හෝ කියෙව්වා සේයාට මතකය. නමුත් තේරුම් ගත් ප්රේමය අහිමි වූ කල එය වේදනාවක් නොවේද ? සේයා තමන් සමඟම තර්ක කරමින් පරාද වන්නට විය.
“දන්නවද සේයා ඒකී මහ පුදුම විදිහට මගේ හිත කියෙව්වා. අවුරුදු විසි හතරක් විසි පහක් අම්මා තාත්තාටවත් බැරි උන ගානට ඒකී මාව කියෙව්වා…”
තිහාන් කියන්නේ එවැනි ඈ අහිමි වීම ගැන පසුතැවීමක හැඟීමක්වත් නැතුවය.
“එතකොට ඔයා එයාට ආදරෙයි කිව්වේ නැද්ද ?”
සේයාට අවැසි මේ කතාවේ අවසානය දැනගන්නය. ඔය යුගයේම කොලුවෙකු ගැන ඇය තුළ උපන් ප්රේමය හද තුළම මරා දැමුවාක් මෙන් තිහාන් ද ඔහුගේ ප්රේමය අර යුවතියට පවසා නැද්ද යන්න දැන ගැනීමට ඇයට ඇත්තේ නොනිමි කුතුහලයක්ය.
“කිව්වා…”
තිහාන්ගේ ඇස් දිලිසෙන්නේ සතුටටද දුකටද කියා සේයාට නිගමනය කල නොහැකි හැඟීමක් දැනුනි. එච්චරට ඔහුගේ මුහුණේ හැඟීම් වසන් වී ඇත.
“ඉතින් එයා මොකද කිව්වේ ?”
සේයා නොවිසිලිමත්ය.
“අපි හමුවෙලා ගෙවිලා යන තුන්වෙනි අවුරුද්දේ මැද හරියේ දවසක් එදා. එතකොට මට අවුරුදු විසි හතක්. ඒකිට විසි හයක්. එදා හයියෙන් වැස්ස ඉතින් අපි හිටියේ වෙනදා වගේ බෙන්ච් එකේ නෙවෙයි ලයිබ්රි එක පහල කියවීම් කොටසේ. මට තාම මතකයි ඉස්සරහ Elephant කියලා ගහපු තද නිල්පාට ටී ශර්ට් එකක් ඒකී ඇඳන් හිටියේ…”
තිහාන් තප්පරයකට ඇස් පියාගන්නේ ඇයව මවාගැනීමටයි. එදා වැහි මන්දාරමේ යාන්තමින් තෙමීගෙන කියවීම් පරිශ්රයට දිව ආ නලලේ රැඳී තිබූ දිය බින්ඳුව පවා ඔහුගේ මනසේ සිත්තම් වෙයි.
මකාලන්නට බැරි ලෙසම ඇගේ සියුම් රේඛා පවා ඔහුගේ හිතේ තදින් සනිටුහන්ව ඇත.
“එදා අපිට කතා කරන්න උනේ නෑ. එතන කතා කරන්න බෑ කොහොමත්. ඉතින් පැය ගෙවාගන්න අපි දෙන්නා කතා නොකර පත්තර බැලුවා. යන්න වෙලාව හරියද්දීත් වහිනවා. යන්න හදනකොට මොකද්දෝ හේතුවකට ඒකී ඒකීගේ කුඩේ වහලා මගේ කුඩේ යටට ආවා. මගේ පපුව ගානට උසට හිටපු ඒකිගේ කොණ්ඩේන් ආපූ සුවඳ මට හරි වෙනස් විදිහට දැනුනා සේයා එදා… ”
දැනුත් දැනෙනවා ලෙස දැනුන ඒ සුවඳ විඳගන්නට මෙන් තිහාන් දිග හුස්මක් උඩට ගෙන හෙමින් පහලට අතෑරියෙ හිතේ වේදනාවන්ද ඒ සමඟ මුසු වෙතැයි සිතමිනි.
“මට හිතුනා එදා තමයි හොඳම දවස කියලා ඉතින් වැඩිය හිතන්න ඉඩ නොදීම මං ඒකීගේ කනට ළං වෙලා ආදරෙයි කිව්වා. ඒකී අර බෝල ඇස් ලොකු කරන් තප්පර තිහක් විතර මං දිහා බලන් හිටියා. ඒ ඇස්වල කඳුලු දිලිසුනා සේයා. මට විස්වාසයි ඒ දිලිසුනේ ඒකීගේ ආදරේ. ඊට පස්සේ කෙල්ල කුඩෙන් එලියට පැනලා ආයේ මං දිහා නොබලම දිව්වා…”
තිහාන් නැවත දිග සුසුමක් හෙලන විට කතාවේ අවසානය එය වෙතැයි සේයාට සිතුනද ඇය එය පිළිගන්නට නම් සූදානම් නැත.
“ඉතින් ආයේ ආවේ නැද්ද එයා ? ”
“ආවා…”
“උත්තරයක් දුන්නද ? ”
දුන් උත්තරය සුභවාදී නොවන බව දැනගෙනම සේයා අසන්නේ හිත හදාගන්නටය. ඇයට අහිමි වූයේ නොකී ප්රේමයයි. නමුත් තිහාන් වචන කල ප්රේමයම අහිමි කරගෙන ඇත.
“ඔව්… සති තුනක් බලන් හිටියා මං ඒකී ආයේ එනකල්. හතරවෙනි සතියේ ඒකී ආවා. වෙනද වගේ නෙවෙයි එදා ඒකී හරි පිලිවෙලයි. අන්තිම කොනේ නිල්පාට බෝඩරයක් අල්ලපු සුදු දිග සායක් එක්ක අත් දිග සුදු බ්ලව්ස් එකක් ඇඳන් හිටියේ. කොණ්ඩේ නම් වෙනදා වගේම මුදුනට එකතු කරලා ගෙඩියක් ගහලා තිබ්බා. ඒකී මාරම ලස්සනයි එදා ඒත් වෙනදා වගේ ඒකිගේ ඇස් කතා කරේ නෑ…”
තිහාන් සැනසිල්ලේ කියාගෙන යයි. අහිමිවීමක් මේ තරම් ලස්සනට ගලපන්නේ කෙසේද යන්න සේයාට සැබැවින්ම ගැටලුවකි.
“ඇස් විතරක් නෙවෙයි ඒකී කතා කරෙත් නෑ. බෑග් එකෙන් අර ගත්ත ක්රීම් පාට ලියුම් කවරයක් මගේ අතින් තියලා ඒකී හැරෙන්නේ නැතුවම ගියා. තුන් පාරක් මං කතා කරා සරස්වී කියලා ඒත් ඒකී නෙවෙයි හැරුනේ… ”
සරස්වී! ඒක අපූරු නමක්. සේයා තනියම හිතුවේ කතාව මැදින් බාධා නොකරය.
“මොනාද දන්නවද ඒ ලියුම් කවරේ තිබුණේ ?”
ඉඟියක් දැනුනද සේයා එය නොකියා ඔලුව වැනුවේ නෑ කියන්නටය.
“සර්ස්වී මට අයිති නෑ කියලා ඔප්පු කරන ලියැවිල්ලක්…”
“ඒ කිව්වේ ?”
“කසාද සහතිකේ…”
හරියටම විසිතුන් වසරකට පෙර එදා දිනයට සති දෙකකට පෙර දිනයක් යොදා ලියැවී තිබුණ ඒ කසාද සහතිකය දකින විට ඇති වූ හැඟීමෙන්ම තිහාන්ගේ හිත වෙලෙන්නට විය.
“මොකක් ? ඒකී බැඳලද එතකොට ?”
සේයාට කේන්තිය. බැඳපු ගෑනියෙක් නම් කුමකට තිහාන්ට බලාපොරොත්තු දුන්නාද කියා ඇය සොයා ගොස් අසන්නට තරම් සේයාට සරස්වි ගැන කේන්තිය.
“ඔව්… මම එයාගෙන් අහපු දවසට සතියකට පස්සේ දවසක එයා බැඳලා. ඒකේ තව නෝට් එකක් තිබ්බා…”
තිහාන් ඇසේ ඇඳුන කඳුලු පටලයට උඩින් සේයා දිහා නොබලාම ඈතට දෑස් යොමුකරන් කියද්දි සේයාට දැනුන ඊළග කුතුහලය ඒ කුමක්ද යන්නයි.
“ඒකේ මොනාද තිබ්බේ ? ”
සේයා අසත්ම නිහඬවම පසුම්බිය දිග ඇරි තිහාන් අතටම දියවී යාමට ආසන්න කොලයක් ඉන් ගෙන සේයා අතේ තැබීය.
‘ජීවීතේ මට හමුවූ සොඳුරුම මිනිසා වෙත,
තිහාන්, අදින් පස්සේ ආයේ අපි හම්බවෙන එකක් නෑ. අසම්පූර්ණව ගොඩ ගහපු බලාපොරොත්තු වලට සමාව දෙන්න. එක අතකට ඔයා මගෙන් ප්රශ්නයක් ඇහුවේ නෑ. ඒත් මං උත්තරයක් දෙනවා. සැබෑ ප්රේමයේ හිමිවීම් තිබ්බේ නෑ තිහාන්. උත්තරේ ඔයාට හිතාගන්න පුලුවන් නේද ? ඉතින් සමාවෙන්න. ජීවිතේ ගෙවුණ හොඳම තප්පර ගෙවුණේ පහුගිය අවුරුදු දෙකේ ආව ඉරිදා දවස් වල. ඒ තප්පර මට කියලා දීපූ දේවල් ජීවිත කාලේම මං එක්ක තියේවී. ඉතින් මට අවසර දෙන්න ආවා වගේම මෙතැනින් අයින් වෙලා යන්න.
අවසානෙට එක දෙයක් ඔයා ආදරෙයි කියයි කියලා මං කවදාවත්ම බලාපොරොත්තු නෑ එහෙම හිතුවා නම් ජීවිතේ මේ විදිහට වෙන තැනක නතර කරන්නෙත් නෑ. ඒත් දැන් හැමදේම ඉවරයි. මගේ හිස්තැන පුරවන්න ඔය බංකුවට අලුත් කෙනෙක් තෝරගන්න. එයාට පරක්කු නොවී ආදරෙයි කියන්න.
මම ඔයාට එකම එක පැයක් ආදරේ කරපු සරස්වී… ’
ලිපිය කියවා අවසන් වෙත්ම කඩා හැලෙන කඳුලු නතර කරන්නට සේයා මහත් වෙහෙසක් දරමින් ඇසි පිය ගසන්නට විය.
“ඉතින් එයා කිව්වා වගේ බංකුවේ ඉඩ පුරවන්න වෙන කෙනෙක් ආවේ නැද්ද තිහාන් ? ”
“නෑ සේයා… ඒකි තරම් දැනුන කෙනෙක් පහුගිය අවුරුදු විසි හතටම මුණ ගැහිලා නෑ මට…”
“ඔයා එයා වෙනුවෙන්ම හිටියා ඒක පාර්ශ්වික ආදරයක් කියලා. ඒක මහ මෝඩකමක් තිහාන් එක පැත්තකින්”
සේයා කියන්නේ හිතේ කොණක වූ හැඟීමක් සඟවාගෙනය.
“කෙනෙක්ට ඒක පාර්ශ්වික ආදරයක් කියන්නේ මෝඩකමක් වෙන්න පුලුවන් ඒත් මං වගේ අයට ඒක ජීවිතේම කොටසක් සේයා…”
ඒක පාර්ශ්වික ආදරය ගැන තමන්ට කුමට අටූවා කියන්නේදැයි අසන්නට සිත් උවද නොදැන වැලලී ගිය කතා අවුස්සා ඵලක් නැතැයි සිතුන සේයා දිගු හුස්මක් ගත්තේ සමුගැනීම සටහන් කිරීමටය.
“ඉතින් සේයා කෝ ඔයාගේ ආදරණීය ලෝකේ ?”
තිහාන් අසන්නේ අතීතයේ සිටි හොඳම මිතුරිය මතක් කරගෙනය. ඇය උමතුවෙන් මෙන් ප්රේම කල කොලුවෙක් සිටි වග තිහාන්ට යාන්තමට මතකය. නමුත් ඔහුට කිසිදාක ඒ පුද්ගලයා මුණගැසී නැත.
“මාත් මැරි කලේ නෑ තිහාන්…”
“වට් ? විහිලු කරනවද ? ”
තිහාන් විමතියෙන් අසන්නේ එය විය නොහැකි නිසාය. සේයා එයට පිළිතුරු නොදී සිනාසුනේ ඇයට කියන්නට දේ ඉතුරු නැති නිසාය.
“එතකොට ඔයාගේ ක්රශ් එක ? මට ඔයාව මගෑරුනේ අවුරුදු විසි තුනකට කලින් සේයා. ප්ලීස් මට කියන්න ඒ කාලේ ඇතුලත මොනාද උනේ ?”
තිහාන් බලකරමින් මේ අසා සිටින්නේ ඇය සැමගෙන්ම සැඟවූ රහසයි. අවසානයේ ඇය ඇත්තට මුහුණ දෙන්නට තීරණය කලාය.
“මං බලන් හිටියා තිහාන් ගෙවුණ අවුරුදු විසි තුනේම මං බලන් හිටියා…”
සේයා කියන්නේ තිහාන්ගේ දෑස් එක එල්ලේම අල්ලාගෙනය.
“මොනාද බලන් හිටියේ ? කව්රු වෙනුවෙන් ද බලන් හිටියේ සේයා ? ”
තිහාන්ගේ හඬ වේගවත්ය. තමාට දැනුන වේදනාවම තම මිතුරියද විඳ ඇතැයි සිතන විට ඔහුට දැනුනේ සුවිසල් වේදනාවකි. එය එලෙස වීම අහඹුවකි. ඒත් එලෙස සිදු වී ඇත.
“බලන් හිටියා ඔයා මාව හොයන් එයි කියලා ”
සේයා සැබැවින්ම කිව්වේ එසේද ඇය තමන් වෙනුවෙන් බලා සිටියේ මන්ද කියා සිතාගත නොහැකි සිතුවිලි දාමයක් තිහාන්ව වෙලා ගන්නට විය.
“ඒත් ඇයි එහෙම ?”
ඔහු වචන ගැලපුවේ අසීරුවෙන්ය.
“සර්ස්වී ඉඩ තියලා ගියපු බංකුවේ ඉඩ පුරවන්න මං බලන් හිටියා තිහාන්. ඒත් මං අද තේරුම් ගත්තා අවුරුදු විසිතුනක් මං කරලා තියෙන්නේ බොරු වැඩක්…”
හිමිහිට ප්රවේසමෙන් එසේ කියූ සේයා නැගිට ඈතට ඇදී යන ආකාරය තිහාන් බලාසිටියෙ හැඟීම් විරහිතවය.
ජීවිතේ දෙවැනි වතාවටත් මේ සිදූවීම මීට පෙර සිදු උනා නම් සිතෙන්ට ඔහු මෙවරත් ප්රමාද වී තිබේ.
වෙනස් කල නොහැකි අතීතය දෑස ඉදිරියේ මැවී යද්දී සේයා කියවා ආපසු දුන් ලිපිය හුළඟට ගසාගෙන යන්නට ඉඩ දී තිහාන් පුටුවෙන් නැගී සිටියේ තුන්වෙනි වතාවට පරක්කු වීමට පෙර සේයාගේ අතින් අල්ලා ගන්නා සැටි මනසේ මවාගෙනය.
ඇරඹුමක් මිස නිමාවක් නොවේ 🖤
“ප්රේමයේ ලස්සනම අකුරු
නොසිතූ තැන් වල
ඇති නේද මග ඇරී අපිට
ඉතින් තව එක සැරයක්
අවස්තාවක් දුන්නම මොකද
ජීවිතේ හෙට ඉවර උනත් ❤
උපුටා ගැනීම: තාරා 💜️

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!