අද දියණියට දවල්වෙනකන් ඔන්ලයින් පංති පැවැත්වෙන නිසා අතර මැද්දෙ දෙන විවේකයට ඇය කන්න කැමති කෑමක් සහ බීමක් සූදානම් කරගෙන මව බලාසිටියාය. විවේකය ලද සැණින් මව වෙත දිව ආ දියණිය,
‘අම්මී බඩගිනී.. ‘
‘මෙන්න පුතේ ඔයා ආසම දේවල් තමා මම ඉන්ටර්වල් එකට හැදුවේ’
පූස් නෝනාවත් ළගට කරගෙන කෑම රස විදින පුංචි දියණියට ලංවූ මව ඇයට මේ පාසලේ වැඩ කරන හැටි දැනෙන අයුරු දැනගැනීමට ඇති ආසාවෙන්,
‘පුතේ, දැන් ඔයා ඔය ඉගෙන ගන්න පාඩම් වලින් කැමතිම මොනාටද’
‘ඔක්කොම එක වගේ මට නම්…’
‘හ්ම්.. ඔය දැන් අත්වැඩ, චිත්ර, කතන්දර වගේ ඒවත් තියෙනවානේ.. ඉතින් පුතා ඔන්ලයින් ක්ලාස් එකෙන් වැඩියෙන්ම කැමති කොටස මොකක්ද ..’
‘ ඒවට නම් නෙමේ.. හැබැයි මම ඔන්ලයින් ක්ලාස් එකේ කැමතිම කොටසකුත් තියෙනවා අම්මී..’
‘ඒ මොකක්ද පැටියෝ ‘
‘ඒක තමයි අම්මී, අපි ඔක්කොම ඉවර වෙලා, තැන්ක්යූ ටීචර් , බුදුසරණයි ටීචර් , හෑව් අ නයිස් ඩේ කියන කොටස. ඒකනේ අම්මී මම ඒක හයියෙන්ම කියන්නේ’ කියූ ඇය අනෙත් පාඩම් සදහා සහභාගීවීමට දිවගියාය.
මව හුන් තැනම හිඳ කල්පනාවට වැටුනාය.
උපුටා ගැනීම: Shamila Somasiri