තන්තිරිමලේ.. (ශ්‍රී ලාංකීය ඉතිහාසය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
මේක මම අනුරාධපුරේදි අහපු ජනශ්රැතියක්..
ඔය දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ එකම පුතා විදියට අපි දන්න සාලිය කුමාරයා ඔය අසෝකමාලා කියන රොඩී කෙල්ල එක්ක යාළුවෙලා ලංකාවේ කිරීටය අතෑරියා කියන කතාව අපි හැමෝම වගේ දන්නවනෙ..
ගැමුණු රජතුමා ඔය සම්බන්ධෙට කෝප නොවී ඔවුන් දෙදෙනාට විලච්චිය පැත්තට වෙන්න තිබ්බ මාලිගාවක ජීවත් වෙන්න ඉඩ දීලා තියෙනව..
නියං කාලෙ අනුරාධපුරේ පැත්තෙ ගස් වලට වෙන දේ ගිහිල්ලම බලන්නෝන..ඒ තරමට මලානික වෙලා වේලිලා යනවා..කෑමට ගන්නවත් ගහක් කොළක් ඉතුරු වෙන්නෙ නෑ..
ඔය සාලිය කුමාරයාගෙ මාළිගාවෙ රත්තම්පලා ගහක් හදල තියෙනව..හරි හරි..තව ගස් තිබිලා..අපිට කතාවට ඕන රත්තම්පලා ගහ…ඉතින් උදේ හවා සාත්තු කරල එහෙම හදපු ඒ ගහෙන් අශෝකමාලා රසට ව්යංජනයක් උයල සාලිය කුමාරයගෙ දිවා භෝජනේට තියල..
මේ වගේ කාලෙක මෙහෙම දුර්ලභ කෑමක් කන්න පිය රජ්ජුරුවෝ කැමති වෙයි කියල හිතපු සාලිය කුමාරයා මේක යවල තියෙනව ගැමුණු රජ වාසලට..ඒක රජවාසල අරක්කැමියා මාර්ගයෙන් රජ මේසෙට ආවා..
ඒ වෙලාවෙ මොකක්දෝ හේතුවක් නිසා කෝපයට පත් වෙලා හිටිය රජ්ජුරුවෝ දිවා භෝජනාගාරයට ආවෙත් ඒ කෝපයෙන්මයි..
ව්යංජන එක්ක සරුවට හදල තිබ්බ රත්තම්පලා දීසිය දැක්ක රජතුමා අහල තියෙනව “මේක මෙහේ හදපු එකක් නම් නෙවි කොහෙන්ද මේක ආවෙ?” කියල
අරක්කැමියා කිව්වලු ” අශෝකමාලා කුමරිය එව්වෙ” කියල..
” රොඩී ගෑණි මට කවන්න?” කියල රජ්ජුරුවෝ දීසිය අරං වීසි කරල තියෙනව..
දීසිය ගිහින් වැදිල තියෙන්නෙ බිත්තියක..අර රත්තම්පලා ටික බිත්තියේ ඇලිලා..
කතාවට කියන්නෙ කිසිම කෙනෙක්ට මතක් වෙලා නෑ අර බිත්තිය සුද්ධ කරල දාන්න…ඉතින් අර බිත්තියේ ඇලිල තිබ්බ ව්යංජනේ වේලිලා ඒකෙ තන්තිරියන් කියන මැස්සො වහල කූඩුවක් හදල..
ටික දවසකින් දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ කකුලෙ ගෙඩියක් හැදිල..රාජකීය වෙදදුරා ඇවිල්ල බලල කිව්වලු මේකට රත්තම්පලා ඕන කියල..
රාජපුරුෂයො ඉතින් අනුරාධපුරේ පුරාම රත්තම්පලා හොයල..නියං කාලෙ ඉතින් හොයාගන්න බෑලු..
රාජපුරුෂයො ඉතින් හිස් අතින් රජවාසලට ආවලු..ලෙඩේ උත්සන්න වෙලා..රත්තම්පලා හොයන කතාව රජවාසලේම පැතිරිලා ගිහින් හැමෝම දැන් රත්තම්පලා හොයනවලු..
අර අරක්කැමියට මතක් වෙලා අර එදා වීසි කරපු දීසිය..මිනිහා ඉතින් ඒක ආයෙ කුස්සියට ගෙනාවෙ නෑ කියන තැනට වෙනකල් මතක් කරගත්තලු..එහෙනම් ඒක තවම වීසි කරපු තැනම තියෙන්න ඕන කියල හිතාගෙන රාජ භෝජනාගාරය පුරා හොයනකොට අන්න අර බිත්තියේ තන්තිරි කූඩුව දැකල ඒක ලඟට ගිහින් හොදින් බලනකොට යන්තමට කූඩුව අස්සෙන් රත්තම්පලා දැක්කලු..
අරක්කැමියා අර කූඩුව කඩල ඒ රත්තම්පලා අරං ගිහින් වෙදදුරාට දුන්නලු.. පස්සෙ ඒ බෙහෙත ගාල එක රැයින් රජතුමාගේ ගෙඩිය සුව වෙලා..
පස්සෙ රජ්ජුරුවෝ බෙහෙත හොයාගත්ත හැටි ආරංචි කරල බලන්කොට අශෝකමාලාගෙ ව්යංජන කතාව අරක්කැමියා රජතුමාට කියල..
ඒ වෙලාවෙ රජ්ජුරුවෝ කම්පා වෙලා තියෙනව..”මොකක් උනත් ඒ මගේ ලේලි..මම හරියට සැලකුවේ නෑ නේද? මම එපා කියපු මට එවපු ඒ භෝජනයම මට බෙහෙතක් උනා ” කියල..
රජ්ජුරුවෝ වහාම රාජකීය රන්කරුවා ගෙන්නවල රත්රන් දීල ” මේ රන් වලින් තන්තිරියා කියන මැස්සා වගේ රත්තරන් රූප හදලා ඒවා එකිනෙකට අමුණලා පැළදගත්විට බෙල්ලේ සිට දෙපතුළ දක්වා දික් වනසේ මාලයක් සාදනු” කියල කිව්වලු..
පස්සෙ ඒ හදපු තන්තිරි මාලෙත් අරං රජ්ජුරුවෝ සපිරිවරින් ගියාලු විලච්චියට..
සාලිය අශෝකමාලා දෙන්නත් පිය රජ්ජුරුවන් දැකල සතුටු වෙලා පිළි අරගෙන නියමිත පුද සත්කාර කරල තියෙනව..රජතුමත් අර මාලෙ අශෝකමාලාට දීල ටික දවසක් ඒ මාලිගයේ ඉඳලා තියෙනව…
පස්සෙ කාලෙක අශෝකමාලා සාලිය කුමාරයාගෙ අනුදැනුම මත අර මාලෙ තිවක්ක කියන ගමේ තිබ්බ බෝධිය අසල ගල්තලාවෙ නිධන් කෙරෙව්වලු..
එදා පටන් ඒ විහාරස්ථානයට තන්තිරිමලේ කියල කියනවලු..
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!