තාරකාවි (පෙම් කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇයගේ හීනය හැබෑ වෙන දවස එනවත් එක්කම මට ඕන වුනා ඇයගෙන් ඈත් වෙන්න. මොකද ඇයගෙ සැබෑ වෙන හීනෙන් පස්සෙ ඇතිවෙන වෙනස්වීම් මට දරාගන්න බැරි බව මං හොඳටම දන්න නිසයි මං එහෙම තීරණයක් ගත්තෙ. අපි දෙන්නම දන්නවා ආදරයක් නැතුව නෙවෙයි කියලා මම ඈත් වෙන්නෙ. ඇය කිහප වතාවක්ම තව හිතලා තීරණය කරන්න කියලා කිව්වත් මට එහෙම වෙනසක් දැනුනොත් ඒක දරාගන්න බැරිවෙයි කියන බයටමයි මං තනි තීරණයක් ගත්තේ.
ඇය දවසක ප්රසිද්ධ තාරකාවියක් වෙනවා දකින හීනය පස්සෙ මාත් හිටියා. හීනයක පසුබිම කලු පාට වගේ මාත් ඇයගෙ හීනේ පසුබිම වෙලා හිටියා. ඇයත් මං ලඟ එහෙම හිටියා.
මං රට යන්න ආසාවකින් ඉන්නවා කියලා ඇයත් දැනගෙන හිටියේ. එජන්සියක ඉන්ටවිව්ත් ගිහින් තිබුණේ ඒ වෙනකොට. ඒ ඒජන්සියට මුදලක් ගෙවන්න තිබුණා. ඒ කාලේ හැටියට ඒ මුදල මට දරන්න පුළුවන් මුදලක් නෙවෙයි. ඒ මුදල ගෙවන්න ක්රමයක් නැති නිසා මං ඒ වැඩේ පස්සට දාලා තිබුණේ.
ඇය තාරකාවියක් වී ටික කාලයක් ගියත් ඇය මං වෙනුවෙන් වැය කරපු කාලය ඒ වන විටත් මට ලැබුණා. ඒත් මං ඇයව මඟහරින්න ගත්තා. මට තිබුණේ ලොකු බයක්. ඇයව මට නැති වෙනවා දකින එක දරාගන්න බැරි නිසා මං ඇයව නැති කරගන්න එක මට ලේසියි කියලා හිතාගත්තා. ඒ භය හරි දරුණු නිසයි එහෙම තීරණයකට මං ආවේ..
ඔය කාලය අතරතුර මට දවසක් අර මං රට යන්න ඉන්ටවිවි ගිය එජන්සියෙන් දුරකථන ඇමතුමක් ආවා. මට ඒජන්සියෙන් කිව්වෙ ඔයාට මුදල් නොගෙව ඔයා ඉන්ටවිවි ආපු ජොබ් එකට යන්න පුළුවන් කියලා. මට ඒක පුදුමයක් වුනා අච්චර ලොකු ගානක් ඉල්ලපු අය ඇයි දැං නිකං යවන්න හදන්නෙ කියලා. මං ඇහුවා එයාලගෙන් ඇයි එකපාරටම මෙහෙම වුනේ කියලා. එයාලා කිව්වෙ ඒ වෙකන්සි එකට හදිස්සියි කියලා..
මාත් ඒ වෙනකොට හිටියේ ඇයව අමතක කරන්න නෙවෙයි මඟහරින්න මාර්ගයක් හොයන ගමන්. මට ඇයව අමතක කරන්න උවමනාවක් තිබුණේ නැහැ මොකද මට ඕන හැමදාම එයාව මගේ ලඟ තියාගන්න. දුර ඉඳලා මැරීගෙන ආදරේ කරන්න. ලං වෙලා වෙනස්වීමක් දරාගන්න බැරි වෙන බය නිසා..
මං රට යන්න වැඩේට හැමදේම ලෑස්ති කරගත්තා. මට එජන්සි එකෙන් ලියුමක් දුන්නා මේ ලියුම ඔයාට එහෙදි අවශ්ය වෙයි කියලා. ඒ ලියුමත් මං බෑග් එකට දා ගත්තෙ කඩලා බලන්නෙ නැතුව. අන්තිම කෝල් එක කියලා හිතාගෙන මං ඇයට කෝල් කරා. මං රට යන ගමන ගැන ඇයට කිව්වා. ඇයත් ගොඩක් ආසාවෙන් හිටියේ කවදා හරි මගේ හීනත් හැබෑ වෙනවා දකින්න. ඒ නිසාමයි මං කෝල් කරලා ඇයට කිව්වෙ. මේ ගමනේ විස්තර හැමදේම කියලා කෝල් එක කට් කරද්දි ඇය කිව්වා “අපි ගැන පුලුවන්නම් හිතන්න. හිතේ තීන ආදරේ හිතාමතා මරලා දාන්න උත්සාහ කරන්න එපා” කියලා. මං “හ්ම්ම්” විතරක් කිව්වෙ වෙන මුකුත් කියාගන්න බැරි නිසයි..
මං එයාපොර්ට් එකට ඇවිල්ලා ගෙදර අයට සමු දුන්නා. මට යන්න තිබුණු ෆ්ලයිට් එකට නැග්ගෙ දුකකින් වගේම ලොකු සතුටකින් මොකද කාලයක් තිස්සෙ දැකපු හීනයක් නිසා මේ ගමන.
ගමනෙන් පස්සෙ මං සේවය කරන්න ආපු ආයතනයේ වාහනයක් ඇවිත් මාව එයාපොර්ට් එකෙන් අරගෙන ගියා. මට වෙනම කාමරයක් ලැබුණා. මේ හැමදේම වෙනස් පිටස්තර බව පය ගහපු වෙලේ ඉඳලා දැනෙන්න ගත්තා. මේ මිනිස්සු, මේ බාශාව නිකං හරියට අලුත්ම ලෝකෙකට ඇවිල්ලා වගේ. කාමරෙ ඇදට වෙලා හාන්සි වෙලා කල්පනා කරේ එහෙ එයාපොර්ට් එකේදි වැරදිලා එකපාරටම ඇවිල්ලා මාව බදාගත්ත මුස්ලිම් කෙල්ල ගැන. මූනත් වහලා තිබුණු නිසා දැක්කෙ නෑ හරියට. ඒ ගැන කල්පනාවෙ ඉන්නකොට හිතෙන්න ගත්තා අන්තිම වතාවට මට ඇයව මුණගැහෙන්න තිබුණනම් කියලා. ඒත් එහෙම නොකරෙත් මමමයි ඇය හමුවෙමු කියද්දිත්.
ඒ වෙලාවේ මට ඒජන්සියෙන් දුන්න ලියුම මතක් වුනේ මෙහෙදි මට ඒක අවශ්ය වෙයි කියලා දුන්න නිසයි. බෑග් එකේ තිබුණු ලියුම කඩලා බැලුවහම ඒක ඇතුලේ ලියුම් දෙකක් තිබුණා.
එකක තිබුණා මට මේ ගමන එන්න අර මුදල අනිවාර්යයෙන් ගෙවන්න වුන බවත්. ඒ මුදල ඇයගෙ නම සඳහන් කරලා ඇය විසින් ගෙවපු බවත්. මම රටින් පිටවෙනතුරු ඒ බව මට දැනගන්න නොදෙන බවත් ඇයගෙන් එජන්සියට කරපු ඉල්ලිම ගැනත් ඒ ලියුමේ තිබුණා.
මගෙ මුලු ඇඟම සීතල වීගෙන එනවා වගේ දැනුනා. ලියුම අල්ලන් ඉන්න අත වෙව්වලනවා වගේ දැනෙන්න ගත්තා. ඉක්මනින් මට ඕන වුනා අනිත් ලියුමත් කියවන්න. ඒ ලියුමෙ තිබුණා
“මගේ හීන හැබෑවෙලා අද මං මේ වගේ තැනක ඉන්න ප්රධානම හේතුව ඔයා. අපි මහන්සි වෙලා ඔයා මාව ගෙනාපු මේ තැනින් ලැබුණු සල්ලි වලිනුයි එජන්සියෙ සල්ලි දුන්නෙ. ඒක මං එහෙම කරේ ගොඩාරියක් සතුටින්. මේ ඈත් වීම හරි අමාරුයි මට දරාගන්න. ඒත් මට දැනෙනවා අපිට එකතු වෙන්න පුළුවන් කියලා. එයාපොර්ට් එක ලඟදි ඔයාව කලු හිජාබයක් දාගෙන කෙනෙක් ඇවිත් හයියෙන් බදාගත්තා නේද ඒ මම”
ඒ ටික කියවලා මාව ඉබේටම නැවතුනා මාව පිච්චෙනවා වගේ දැනුන නිසා. ආයෙත් ඉතුරු ටික කියවන්න ගත්තේ ඇස්වල කඳුලු පුරෝගෙන. පිරිමි කඳුලු හරි හයිය වුනත් වැටෙන අවස්ථා වලට බිමටම වැටිලා යන්නෙ ලොකු කාලයකට නැගිටින්න බැරි විඳියටයි.
“මං ඔයාට කිව්වා යන්න කලින් එකපාරක් හමුවෙමු කියලා. ඒක ඔයා ප්රතික්ෂේප කරපු නිසයි මට එහෙම කරන්න වුනේ. මට ඕන වුනා ඔයාව හයියෙන් බදාගන්න. ඔය අලුත් රටේදි ඔයා වෙනස් වෙයිද නොවෙයිද කියලා මම දන්නෙ නැහැ. ඒත් තාම මට වෙනස් වෙන්න බැරි වුනා. මට වෙනස් වෙන්න ඕනෙත් නැහැ. ඔයයි මට කියලා දුන්නෙ හීන තමයි මිනිස්සුන්ව ජිවත් කරවන්නෙ කියලා. ඉතිම් මං ඒක විශ්වාස කරනවා. ඔව් දැං මට ඔයාව හීනයක්. සැබෑ වෙනකම් බලාගෙන ඉන්න!
පරිස්සමෙන් ඉන්න
බුදු සරණයි!
ෆෝන් එක අතට ගත්තේ ඇයට කෝල් කරන්න හිතාගෙන වුනත් මට ආපු මුල් දවසෙම කෝල් ගන්න ක්රමයක් තිබුණේ නැහැ. එදා දවස ඉන්න වුනේ කරපු මෝඩ වැඩේ ගැන පිච්චි පිච්චි. පහුවදා මට පුළුවන් වුනා කෝල් එකක් ගන්න. කෝල් එක ගත්තත් කතා කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මං වැටිලා හිටියේ ඒ වෙනකොට බිමට සමතලා වෙන තරමට. කෝල් එක ඇය ආන්සර් කරලා විනාඩි ගානක් යනකම් මං සද්දයක් නැතුව හිටියා. ඇය අඬන බව තේරුනා මටත් ඇඬුනා නැහැ මං ඇඬුවා. හයියෙන් බදාගෙන අඬන්න ඕන වුනා.
එදා ඒ අඬපු කඳුලු වලින්ම මං නවත්තන්න හදපු අපේ කතාව ආයෙත් අරඹන්න පටන් ගත්තා හැබැයි පෙර තිබුණු විදියට ලඟ ඉඳගෙන නෙවෙයි දුර ඈතක ඉඳලා ආදරෙන් ම විතරක් බදාගෙන.
උපුටා ගැනීම: Pubudu Udatiyawala

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!