මේ කතාවත් මොනරාගල දුෂ්කර සේවයේ රස කතාවක්. මොනරාගල දුෂ්කර කැලෑවෙ කොහෙද තරු පහේ හෝටල්. ඊටත් 1982 මුල. විශ්වාස නොකලට තිබුන හලෝ. අපි කෑවනෙ. බිල ගෙවන්න මාස එකහමාරක් ඉගැන්නුව හලෝ…..!!
මා දුෂ්කර සේවාවට මොනරාගල ඇවිත් කැලෑබද පාසලක ගුරු නිවාස චමරියෙ නැවතුන බවත්, ඒ කාලය හා බැඳුනු රසකතා රාශියක් අඩයාලමේ පල කළ බවත්, ඒවා කියවපු ඔබ දන්නව.
විදුහල්පති තුමා මාව ගුරු නිවාසෙ නතර කරන විටත් එහි දකුණෙන් ආ සර්ල හතරක් හිටිය. ඒගොල්ලො උයාගෙන තමයි කෑවෙ. ඒ අය මට නවාතන් දෙන්න කැමති වුනත් කෑම දෙන්න කැමති වුනෙ නැහැ. විදුහල්පති ඉතින් ලඟ ගෙදරක් පංගාර්තු කළා කෑම කන්න. ඒ පැත්තෙ ගුරුවරයෙකුට එහෙම කෑම දෙන්න තරම් සුදුසු ගෙවල් නැහැ. මේ ගෙදරත් කැමති වුනේ අපේ ලොක්කගෙ වචනෙ අහක දාන්න බැරි නිසා.
මේ ගෙදර පොඩි ගෙයක්. පාසලේ සිට මීටර් පන්සීයක් වගේ දුර. හේන් ගොවිතැන කරන්නෙ. දක්ෂ දඩයක්කාරයො දෙන්නෙක්ම ඉන්නව ගෙදර.
නෙළුවෙ ඉඳන් ආපු මට වඩා ගොඩක් වයස උපාධි සර් කෙනෙක් චමරි කෑම අත හැරල මාත් එක්ක අර ගෙදරින් කෑම කන්න ආව. මටත් තනියට ඒක හොඳයිනෙ. මොකද රෑට කෑම දෙන කොට නමයත් පහු වෙනව. තනියෙන් යන්න බයයි කැලෑ පාරෙ . නපුරු සත්තු ඉන්නව. අපි තුන් වේලටම කෑම කන්න ඒ ගෙදරට යනව.
ඉතින් මොනවද අපි කන්නෙ. බොහොමයක් වෑංජන හේනෙ කටුසර බෝග තමයි. කඩේ එලවළු දකින්නවත් නැහැ. රතු කැකුළු බත්. හැබැයි හැමදාම දඩමස් වරදින්නෙ නැහැ. වේලපු දඩමස් තමයි උම්බලකඩ වෙනුවට පාවිච්චි කරන්නෙ .පරිප්පු හොද්දෙත් හරි හරියට වේලපු මස්. පරිප්පු කියන්නෙ ඒ අයම හදාගත් ධාන්ය මිසක් කඩේ ඒව නෙමෙයි. ඊටත් හැම එකක්ම උයන්නෙ තෙලට. අපිට කිසිම හුරුවක් නැහැ ඒ කෑම රටාව. පරිප්පු හොද්දටත් තෙල් දානවා.
කොහොමටත් අපි දෙන්න අත ඇරියෙ නැහැ වැඩේ. හොඳට කෑව. එළවළු පැත්තකට දාල මස් හා අනිත් වෑංජන වල තිබුන වේලපු මස් තෝර තෝර බඩ පැලෙන්න කෑව. එකක් කන්න පුලුවන් වයස. අනික අමුතු කෑම. ඒ ගෙදර දඩමස් නැති එක වේලක්වත් නැහැ. ඒව උයන්නත් දක්ෂයි. සමහර දාට කුරක්කන් තලප සමඟ මස්.
කොහොමටත් මාස එකහමාරක් මෙහෙම කෑව. කෙට්ටුවට හිටපු මාව ආරල සුදුවෙල ආපු පාර නංගිටවත් අඳුන ගන්න බැරි වුනා කියමුකො. දැන් අපේ චමරියෙ සර්ලටත් අපේ හෝටලේ කෑම දැන ගත්තම ෆුල් ජෙලස්.
සති අන්ත වල අනිත් සර් බොහෝවිට ගාල්ලෙ යනව. මිනිහ පවුල් කාරයනෙ. එතකොට මට රෑට තනියෙන් කන්න යන්න වෙන් නැහැ. රෑ අට වෙනකොට සමහර දිනවල කොටි කෑ ගහනව. මුලු පළාතම දෙවනත් වෙනව ඒ බියකරු සද්දෙට. ඒ කන්දෙ ඉඳල අනිත් කන්දට කොටි මාරු වෙන්නෙ අර කෑම ගෙදරට යන පාරෙ තියෙන වන ලැහැබෙන්. උදේට උන්ගෙ අඩි පාරවල් තියෙනව. ඒ නිසා තනියෙන් නම් මා රෑට කන්න යන්නෙ නැහැ. බඩගින්නෙ නිදා ගන්නව මිසක්. චමරියෙ අය වේලසනම කන නිසා ඒගොල්ලන්ට කරන්න දේකුත් නැහැ.
අපි දෙන්නට මුල් මාසෙ පඩි හදල තිබුනෙ නැහැ. අපි අපේ කෑම ගෙදර අයට කියල තිබුන ඒක. මාස එකහමාරකට පස්සෙ වැටුප් හැදිල ආව.
මම ගෞරව උපාධි. පාසලේම හිටියෙ උපාධි අය අපි චමරියෙ තුන් දෙනෙක් පමණයි. පේ ශීට් එක බැලුවම අලුත්ම ගුරුවරය වෙච්ච මගේ වැටුප හැමෝටම වඩා වැඩියි. විදුහල්පතිගෙ අපි තුන්දෙනාට වඩා අඩුයි. මගෙ මූලික වැටුප 480 යි. දීමනාත් එක්ක 600 ක් විතර ඇති.
දැන් අපි දෙන්න අපේ කෑම ගෙදරින් ඇහුව මාස එකහමාරට ගාස්තුව කීයද කියල. මේ අය කියන්නෙම නැහැ. පස්සෙ අපිට ආරංචි වුනා විදුහල්පතිගෙන් අහල තියෙනව අපෙන් කීයක් ගත්තම ඇද්ද කියල. විදුහල්පති ඒ පැත්තෙ අනිත් ගුරු වරුන් එක්ක මේක සාකච්ඡා කරල නූලට ගිනි තියල. ඒ අයට කියල අපිට ලොකු පඩියක් ලැබෙන බවත් ඒ නිසා සැලකිය යුතු ගානක් අය කරගන්න පුලුවන් බවත්. ඒගොල්ලොම ගාන තීරණය කරල ඒ මිනිස්සුන්ට කියල.
ඊ ලඟ දවසෙ කිව්ව අපේ ගාස්තුව. අපි දෙන්නව කලන්තෙ දාල නොවැටුනා විතරයි. මාසෙකට 400 යි. ඒ අනුව 600 යි. මොනව කරන්නද හෝටල් බිල ගෙවල දැම්ම මිසක්. කෑම බීමට කේවල් කරන්නද ඒ අහිංසක මිනිස්සු එක්ක. මට නම් රකින්න පවුලක් හිටියෙ නැහැ. ඒත් මගෙත් එක්ක කාපු අනිත් මනුස්සය. ඒ සර් ගමේ ගියෙ මගෙ ඉතුරු සොච්චම් ගානත් ණයට ඉල්ලගෙන.
ඒ කියන්නෙ අර විදුහල්පතිගෙ වැටුපටත් වඩා වැඩියි අපේ කෑම බිල. මා කොළඹ බෝඩින් වලටත් 250 කට වඩා ගෙවල නැහැ ඒ කාලෙ. ඉතින් හිතන්නකො මේ අවනඩුව ගැන.
පස්සෙ චමරියෙ හිටි ගුරුවරුන්ට අපිට වෙච්ච දේට දුකයි. අපිව පසුවදාම චමරියට ගත්ත. චමරියෙත් අපි හොඳට කෑව අපිට පුරුදු විදියට. වල් ඌරුමස් කිලෝවක් රුපියල් දහයයි. මාසෙ සියලුම වියදම එක්කෙනෙකුට වැටුනෙ රුපියල් හැත්තෑවක් විතර. ඒ කියන්නෙ විනෝද බද්දත් එක්කම. ඒ කාලෙත් එක්ක හිතා ගන්නකො අපිව ගසා කාපු තරම.
හැබැයි ඒ ගමේ මිනිස්සු හරි අහිංසකයි. ඒ නිසා තමයි ගානක් කිව්වෙ නැත්තෙ. අපි දන්නව වුනේ මොකක්ද කියල.
ඔන්න ඔහොමයි දුෂ්කර සේවයේ අපේ ජීවිතේ ගත වුනේ.
දැන් පිලිගන්නවද ඒ කැලෑ ගම් වලත් තරු පහේ හෝටල් තිබුනු බව හා ඒවයින් කෑම කන්න පුලුවන් වූ බව.
………………………..නිමි…………………………………………….
උපුටා ගැනීම: Jayakumara Ranchagoda