අද උදේ ඉඳන් ම මට මහා අමුත්තක් දැනුනා. ඒ අයේෂා මගෙන් වෙන් වෙන්න ගත්ත තීරණය නිසා ද කියලා කියන්න මං හරියට ම දැනගෙන හිටියේ නෑ. ඒත් මුළු ලෝකය ම අපි වෙනුවෙන් අඬනවා වගේ හැඟීමක් නම් මට දැනුනා..
අවුරුදු 6 ක සම්බන්ධයක් මේ තරම් ලේසියෙන් නවත්තන්න පුළුවන්ද කියලා මට පුදුමත් හිතුනා. ඒත් එයා ඒ තීරණය අරන්. අද තමයි අපි හම්බවෙන අන්තිම දවස..
හැමදේටම මට ඉන්න එකම යාළුවා වුණ, තාරුකව හම්බවෙන්න මං ගියේ කතා කරලා දුක කියන්න මිසක්, මේකට විසඳුමක් හොයාගන්න නම් නෙමෙයි. මොකද මේකට විසඳුමක් නෑ..
තාරුක හැමදාම වගේ එදත් මගෙ අඳෝනාව අහගෙන හිටියා. අපි හම්බවුණේ හැමදාම අපි දෙන්නා සෙට් වෙන පාක් එකේ. අයේෂා එන්නෙත් එතනට ම තමයි. එයා එන්න කලින් යන්න ඕන නිසාද, නැත්නම් මගේ මේ කියවිල්ල කට පාඩම් නිසාද මන්දා තාරුක උවමනාවෙන් මාව අහගෙන ඉන්න බවක් මට පෙනුනේ නෑ..
මිනිහා කලාතුරකින් කෙනෙකුට හම්බවෙන ජාතියේ යාළුවෙක්. මොකද මිනිහා කරේ අහගෙන ඉඳපු එක විතරමයි. මට ඕන වුණෙත් ඒක විතරක් නිසා තාරුක මට හරියන ම යාළුවා වුණා..
කොහොම හරි ඉතින් වෙනදා වගේම ඉවරයක් නැති, විසඳුමක් නැති, මගේ ප්රශ්න ටික අහගෙන ඉඳලා තාරුක යන්න නැගිට්ටා..
“දැන් අයේෂා එයිනේ. මං යන්නම්..”
තාරුක එහෙම කියලා යන්න ගියා. තාරුක නොපෙනී ගිය තැනින් ම ඊළඟට මතු වුණේ අයේෂා. මගේ ජීවිතේ වෙනස් කරපු ගැහැණු ආත්මය. තනිකමට ම හුරුවෙලා හිටපු මාව ඒකෙන් මුදාගෙන, ආයෙමත් ඒ තනිකමේ ම දාලා යන්න හදන කෙනා..
අයේෂා හරිම සාමාන්ය විදිහට ඇවිත් මං ළඟින් වාඩි වුණා..
“හුඟක් වෙලාද ඇවිත් ?”
“නෑ. දැන් ආවේ..”
කෙටි වචන වලින් අපි දෙන්නම කතාව ඉවර කරා. ඊට පස්සේ අවුරුදු 6 ක් තිස්සේ අපි හම්බවුණ බංකුව උඩට ම වෙලා වට පිටාව බලාගෙන හිටියා..
අන්තිමට අයේෂා අමාරුවෙන් කට ඇරියා..
“අපි අදින් පස්සේ හම්බනොවී ඉමු..”
ඒකට දෙන්න උත්තරයක් මට හිතාගන්න බැරි වුණා. එක අතකට අයේෂා ඒකට උත්තරයක් බලාපොරොත්තු වුණෙත් නෑ. ඒක කියලා එයා යන්න නැගිට්ටා..
“ඉස්සර වගේ එකම එක පාරක් අත් අල්ලගෙන යන්ද ?”
කියලා මං අැහුවේ තව එකම එක මොහොතක් හරි එයා ළඟ ඉන්න ඕන වුණ නිසා. එයා මොකුත් නොකියා මගේ අතින් අල්ලා ගත්තා. අපි දෙන්නා ඉස්සර වගේම කාර්යබහුල පාරක, නිවීසැනසිල්ලේ ඇවිදිමින් හිටියා..
මට අයේෂාගේ අත අත්හැරෙන බව දැනුනත්, ඒ අත තව තදින් අල්ලගන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මොකද ඒ අත දැන් මගේ නෙමෙයි..
ඉතින් මං එයාට යන්න දුන්නා. එයා මාව දාලා පාරේ එහා පැත්තට ගියා. මං එයා දිහා බලාගෙන හිටියා. මට එක පාරට මතක් වුණේ අද තාරුක අහපු ප්රශ්නයක්..
“උඹට එයා නැතුව ජීවත් වෙන්න පුළුවන් ද ?”
බෑ.. එයා නැතුව මට ඉන්න බෑ. ඉතින් මාත් පාර පැන්නා..
එච්චරයි මට මතක..!
මොකක් හරි ඇඟේ වැදුනා. අයේෂා නොපෙනී ගියා. ඇස් අැරෙද්දි මං හිටියේ ඉස්පිරිතාලෙක අැඳක් උඩ..
“මොකද උනේ ?”
නර්ස් කෙනෙක් මගෙන් අහනවා මට යාන්තමට ඇහුනා..
“මොකද්ද ඔයාගේ නම ?”
මට උත්තර දෙන්න ඕන කමක් තිබුණේ නෑ..
පස්සේ එයා මගේ පර්ස් එක ගත්තා. ඒකෙන් එළියට ගත්ත අයිඩින්ටිය බලපු එයා මට කතා කරේ අමුතු නමකින්..
“ඉතින් තාරුක.. තාම අමාරුද ?”
“තාරුක කියන්නේ මගෙ යාළුවා..”
“ඒ උනාට මේකෙ ඉන්නේ නම් ඔයා..”
එහෙම කියපු නර්ස් මට අයිඩින්ටිය පෙන්නුවා. ඒකෙ හිටියේ තාරුක. ඇයි මෙයා මට ඒ නම කියන්නේ ?
මට මූණ ටිකක් හෝදගන්න ඕන වුණා. මේ දකින්නේ හීනයක්ද කියලා බලන්න ඕන වුණා. මං නර්ස් පෙන්නපු පාර දිගේ ගියා. ඒ යද්දිත් මං කල්පනා කරේ අයේෂා කොහෙද කියලා. එයා මාව පාරේ දාලා යන්න ඇද්ද ?
එහෙදි තමයි මං මූණ බලන කන්නාඩියක් දැක්කේ..
දෙයියනේ..! ඒකෙන් බැලුවම මට පෙනුනේ තාරුකව. හැබැයි මිනිහා මගේ යාළුවට වඩා වයස පාටයි. රැවුල, කොන්ඩෙ එහෙමත් සුදු වෙලා..
කල්පනා කර කර එළියට එද්දි මට දැකලා පුරුදු මූණක් හම්බවුණා. හැබැයි කවුද කියලා හරියට නිච්චියක් නෑ..
“ආ තාරුක.. ආයෙත් කරගත්තා නේද වැඩේ ?”
එයා ඩොක්ටර් කෙනෙක් කියලා මං දැනගත්තේ කරේ තිබුණ දොස්තර නළාවෙන්..
“මට මොකද වුණේ ?”
“යන්කො ටිකක් කතා කරන්න..”
එහෙම කියලා ඒ ඩොක්ටර් මාව එළියට එක්ක ගිහින් කතා කරන්න පටන් ගත්තා..
“මොකද්ද තාරුක මේකෙ තේරුම ?පහුගිය අවුරුදු දහය ඇතුළේ ඔයා මෙහෙම හැප්පුන කීවෙනි පාරද මේ ?”
“මං කවුද ? තාරුක කියන්නේ මගෙ යාළුවා..”
“මේ ප්රශ්නෙට මං අනන්ත පාරක් උත්තර දීලා ඇති. ඔයාට ඇති යාළුවෙක් නෑ. ඔයා තමයි තාරුක. දැන්වත් තනියම කියවන එක නවත්තන්න”
“එතකොට අයේෂා ?”
“අයේෂා මැරිලා දැන් අවුරුදු දහයක්. අද ඔයා හැප්පුන තැනදිමයි ඒක වුණේ. එ්ත් මං සිය දහස් පාරක් කියලා ඇති, ඒක ඔයාගේ වරදක් නෙමෙයි කියලා. තමන්ට ම දඬුවම් කරගන්න එක නවත්තන්න..”
මේ කියන කතාව මං මීට කලිනුත් අහලා තියනවා වගේ මට දැනුනා. මට තවත් ඒ කතාව අහන්න ඕන වුණේ නෑ. මං හෙමින් ගිහින් ඉස්පිරිතාලෙ ඇඳේ ඇල වුණා..
මට ටික ටික දේවල් මතක් වෙන්න ගත්තා. අයේෂයි, මායි අන්තිමට හම්බවුන දවස මට මතක් වුණා..
මේ සම්බන්ධය නවත්තමු කියලා මං කියපු හැටි මට මතක් වුණා. තව එකම එක පාරක් අත් අල්ලන් යන්න අයේෂා ඉල්ලපු හැටි මට මතක් වුණා..
හිතේ කිසිම තෙතක් නැතුව අයේෂාව දාලා මං පාර පැනපු හැටි මට මතක් වුණා..
ඒ එක්කම මට මතක් වුණේ පිටිපස්සෙන් මහා සද්දයක් ආව හැටි. ලේ විලක් මැද අයේෂා වැටිලා හිටිය හැටි..
ඔව් මට දැන් හැමදේම මතකයි. මං තමයි මට පණ වගේ ආදරේ කරපු අයේෂාව මරාගත්ත තාරුක. මට දැන් හොඳට මතකයි..!
—————————————————————
අදත් තාරුකව ඉස්පිරිතාලෙට ගෙනත් දාලා. මිනිහා මේ හැප්පුනේ හත්වෙනි පාරට. පාක් එකේ හිටපු අය කිව්වේ වෙනදා කතාවමයි. තනියම බංකුවක් උඩට වෙලා කියව කියවා හිටපු එකෙක්, පාර පනින්න ගිහින් හැප්පුනාලු..
මිනිහව දන්න අය නම් කිව්වේ පිස්සා ආයෙත් හැප්පිලා කියලා. ඒත් තාරුකගේ යාළුවා වුණ මං දන්නවා ඇත්ත කතාව..
තාරුක නරක මිනිහෙක් නෙමෙයි. එ්ත් මිනිහා ජීවිතේ එකම එක පාරක් වැරදි තීරණයක් ගත්තා. තමන්ට පණ වගේ ආදරේ කරපු අයේෂාව අත අරින්න මිනිහා තීරණය කරා..
ඒකට හේතුව මොකද්ද කියලා තාරුක කවදාවත් මට කිව්වේ නෑ. ඒක කියන්න තරම් වෙන යාළුවෙක් එයාට හිටියා කියලත් මං හිතන්නේ නෑ..
තාරුකට හිටපු එක ම යාළුවා වුණු මට, මිනිහගේ දුක අහන්න වෙලාවක් වෙන් කරන්න බැරි වුණා. මොකද ඒ කාලේ මං හිටියේ කැම්පස් එකේ වැඩ වලට හිර වෙලා..
දැන් මට තාරුක එක්ක කතා කරන්න ඕන තරම් වෙලා තියනවා. ඒත් හිතේ තියන දේ කියන්න තාරුක ලෑස්ති නෑ..
අයේෂා එක්ක ලස්සනට ජීවත් වුණ තාරුකට ප්රශ්න තිබුණා කියලා මං ඒ කාලේ හිතුවේ නෑ. ඒත් මට අද හිතෙනවා එකම එක පාරක් තාරුක එක්ක කතා කරන්න ලැබුණා නම් මිනිහව බේරගන්න මට පුළුවන්කමක් තිබුණා කියලා..
මොකද දැන් තවදුරටත් තාරුක කෙනෙක් නෑ. එදා අයේෂාව දාලා පාර පැනපු තාරුක දැක්කේ තමන් පස්සෙන් එන්න ගිය අයේෂා වාහනයක හැප්පිලා වැටිලා හිටපු විදිහ..
එදා ඉඳන් මිනිහගේ ජීවිතේ කැරකුනේ එකම රවුමක්. කාලෙකට මානසික රෝහලේ. සනීපයි කියලා ගෙදර එන හැම පාරම මිනිහා හොඳට හිටියේ ටික දවසයි..
තනියම කියවන්න පටන් ගන්න තාරුක ඉස්පිරිතාලෙ ඉස්සරහ තියන පරණ පාක් එකට එනවා. එතනත් තනියම කියවන මිනිහා පාර පනිනවා. පාර කිව්වට පනින්නේ වාහනයකට..
ඉතින් පුරුදු විදිහට ම ආයෙත් ඉස්පිරිතාලෙට. මිනිහා දවසක මැරෙනකන් ම ඔය රවුම ඔහොම යයි. අයේෂා මැරුණේ එක පාරයි. ඒත් තාරුක හැමදාමත් මැරි මැරී ඉපදෙයි..!
මිනිහගේ දුක අහන්න තරම් වෙලාවක් නොතිබුණු මං අද ඊටත් වඩා මැරි මැරී උපදිනවා. තාරුක හැප්පුන හැම වෙලාවක ම මං ආයෙ ආයෙත් තාරුක එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඒත් තවදුරටත් ඒ මනුස්ස ශරීරය ඇතුළේ තාරුක කෙනෙක් නෑ කියලා මට තේරෙනවා..
දුක කියන්න කෙනෙක් නැති වුණ තාරුක, එයාව ම තමන්ගේ යාළුවා කරගෙන දැන් දුක කියනවා. හැප්පෙනවා. සනීප වෙනවා. ආයෙත් හැප්පෙනවා..
ඒවා බලාගෙන මං ආයෙ ආයෙත් දුක් වෙනවා. හරියට සංසාර චක්රය වගේ. ඉවරයක් නැති ගමනක අපි හැමෝම දුවනවා..!
—————————————————————
ස්වභාවධර්මය කිසිදාක, කිසිවෙකුට අසාධාරණයක් කරන්නේ නැත..
අප ලෝකය වෙත ලබාදෙන සියල්ල, එය කර්මය අත නැවත එවයි..!
උපුටා ගැනීම:– ඉෂාන් ජනිත් දිසානායක –