කෙල්ල වගෙ බැබලි බැබලි හිටපු කාලය එහෙ බලල මෙහෙ බලද්දී ගෙවිල ගියේ මක් උනාද කියා හිතන්නවත් කාලයක් නොදීමය. එහෙමයි කියා වයසට යාමට නොහැකි බවත් කෙසේ හෝ තරුණකම රැකගත යුතු බවත් මාගේ ඒකමතික තීරණය වේ.
දෑතේ මූණේ පැවති සුසිනිඳු ගතිය නැති උනා මදිවාට ඇස්වලට යටින් කම්මුල් වල අඳුරු පාට වලාකුළු පාවෙන්නට පටන් ගෙන ඇත.
මූණේ ඇති ලප පැල්ලම් කන්දරාව කොහෙන් පාත් උනාද කියා හිතාගන්න බැරිය.
කණ්නාඩියෙන් මූණ බැලුවම තැනින් තැන මතුවන නරකෙස් දකින විට ඇත්තමයි අඬන්නම හිතේ.
මේ මමමද..?
ඔෆිස් එකේ බඩ පිටේ ඇලී මද හුළඟටත් ගහගෙන යන සයිස් කෙල්ලන්ට හා කොල්ලන්ට අනුව මගෙ වාහනයට මුදල් වියදම් කර ටයර් නොදැමිය යුතුය. මේවා ඊරීසියා කතා වුවද එවුන්ට නෙපෙනෙන්නට ඔය කියන ටයර් වැසෙන ආකාරයට සාරි පොට ඔතා ගැනීමට නිරතුරුව ප්රවේසම් සහගත වීම දැන් මට මහා වදයක් වී ඇත.
ඉවසිය නොහැකි තැන ගූගල් පිරික්සා විසඳුම් සොයන ලද අතර එහි නිර්දේශයන් අනුව ජිම් යාම, අධිකව වතුර බීම හැකි තරම් එලවලු පලතුරු කා සතුටින් සිනාසීම අවශ්ය වේ.
කොවිඩ් නිසා ජිම් යාමට නොහැකි බැවින් මගුල් දවසෙන් පස්සෙ දෙපාරකට වඩා බෙල්ලෙ නොබැන්ද කර මාලෙයි වළලු දෙකකුයි උකස් කර ඒ මුදලින් ට්රෙඩ් මිල් එකක් ගූගල් හරහාම හොයාගත් ස්ටෝ එහෙකින් ඕඩ කල අතර එය ලැබීමට තව සතියක් ගතවේ.
ඊසි තිං ෆස්ට් සංකල්පය යටතේ අවසන් නිර්දේශය වහාම ක්රියාත්මක වූ අතර නිවසේදී දත් තිස් දෙකම එලියේ දමන් හේතුවක් ඇතුවත් නැතුවත් සිනාසීම දුටු පුතාගේ නිර්දේශය වූයේ කොවිඩ් වලින් බේරුනත් IDH පැත්තේ වෙනත් රෝහලක ප්රතිකාර මට අවශ්ය වන බවකි.
පසුදා ලීටර් 5 වතුර කෑනයකුත් ගෙන දත් තිස් දෙකම පෙන්නා හයියෙන් සිනාසෙමින් ඔෆීස් එකට යන විට කවදාවත් නැතුව මට කලින් ඇවිත් හිටපු බොසා යටැසින් බලා හිටියේ අමුතු සතෙක් දුටුවා මෙනි.
” මොකද සාමා මිස් අද මෙච්චර සතුටින්.. ?
හස්බන්ඩ් තෑග්ගක් වත් ගෙනාවද ඊයේ ..?
ඇයි මේ වතුර කෑන් එකක් .?”
ඔෆීස් එකේ ඩේලි නිව්ස් රිපෝටර්වරයා වන සිරිල් එකවර ප්රශ්ණ පත්තරයක්ම ඉදිරිපත් කල බැවින් ඒවාට නිසි පිළිතුරක් දීම නොහැකි විය. වතුර කෑනය මේසය යට තබා හරි බරි ගැහී රාජකාරී කරන අතරම කෑනයේ ඇති වතුර කුඩා බෝතලකට පුරවා ගනිමින් පැයකට බෝතලය බැගින් බොන ලදී.
වතුර බීමට සාපේක්ෂව දවසේ වැඩි කාලයක් වොෂ්රූම්හි ගත කිරීමට සිදුවූ අතර අජීර්ණ වෙන දෙයක් කෑවාදැයි සිරිල් ඇතුළු පිරිසගෙන් ඉදිරිපත් වූ පැන ගණන නිමක් නැත. අපේ ඔෆිස් එකේ ඉන්නා පිරිමින් ටික මාධ්ය ඔස්තාර්ලාටත් වඩා චීත්ත කාරයෝය.
හෙට සිට ඉතිරි නිර්දේශයන්ද ක්රියාත්මක කල යුතු බැවින් ගෙදර යන ගමන් එලවලු වර්ග රැසකින් කිලෝ දෙක තුන බැගින්ද ගස්ලබු ගෙඩි 3, 4 ක් කෙසෙල් කැනක් හා අලිපේර කිලෝ දහයෙ හාල් කවරයක් පුරවා අනෙක් අඩුම කුඩුමද මිලට ගෙන ඩිකිය ඉඩ නැති බැවින් ෂීට් වලද ගොඩගසා රැගෙන යන ලදී.
මට පෙර ගෙදර ඇවිත් සිටි හබියා පුදුම විය. මේක මාර වැඩක්, හිනා උනත්, කෑවත්, බිව්වත් මෙයාලට මැජික් වගේ.
” ඇයි මෙච්චර බඩු..?
හෙට ඉඳන් මාසයක්වත් කර්ෆිව්ද..?
මෙච්චර ගොඩක් දාන්න ෆ්රිජ් එකේ ඉඩ කොහෙන්ද..?”
මේ පිරිමින්ට තරම් ප්රශ්ණ ජනාධිපතිටවත් නැත. හොඳට දෙකක් කියා ගන්න බැරුව කට කහන්න ගත්ත..ඇයි වදේ හිනා වෙලා ඉන්න එපැයි.
රෑ නිදාගත් පසු වතුර බීමට නොහැකි නිසා රෑටත් ඇති වෙන්න කියා නිදා ගැනීමට පෙර වතුර ගැලුමක් විතර බොන ලදී. එහි ප්රතිඵලය ලෙස එදා රෑ වැඩිපුරම නිදාගන්න උනේ කොමඩ් එක උඩය.
පහුවදා පාන්දර දෙවන අදියර දියත් කෙරුණි.
කැරට් අල දෙකක් හා පිපිඟඟා ගෙඩියක් ජූස් මේකරයේ දා මිරිකාගත් යුෂ වීදුරුවක් පුරවා හිස් බඩ බොද්දී ඔක්කාරෙට ආවත් එය අමාරුවෙන් පාලනය කරගන්නා ලද්දේ එක බිත්තියෙන් වෙන් වන අල්ලපු ගෙදර උන්දාට ඔක්කාර සද්දෙ ඇහීම නිසා පිලිතුරු දෙන්නට වෙන පැන කන්දරාවට වඩා නාකි වීම වුවද හොඳ බැවිනි.
පැයකට පසු තැම්බූ වට්ටක්කා සමග පොල් නොදා හැදූ ගොටුකොල සම්බෝල දීසියක්ම ගිල දමන ලද්දේ රසය ගැන නොහිතාමය.
ඉන් පසුව ගස්ලබු ගෙඩියක්ද කා ලීටර් 5 වතුර කෑනයද ගෙන ඔෆිස් යන්න හදද්දී උයා තිබෙන කෑම සම්බන්ධ ගෙතුලින් විවිධාකාර වූ සද්ද බද්ද හා අදහස් දැක්වීම් ඇසුනත් ඒවාට සවන් නොදීම පිටත් වෙන ලදී.
කෙසෙල් ඇවරි තුනක්ද බෑගයක දාගන්නා ලද්දේ තනියම වතුර බිව්වාට ඔෆීසියක වෙනත් දෙයක් බෙදා නොගෙන කෑම නුසුදුසු බැවිනි. ඔෆිස් එකේ උදවියට එක් කෙසෙල් ඇවරියක් දී අනෙක් ඇවරි දෙක උදේ 10 හා හවස 2 ට කන ලදී.
තවද එදින සිට වහාම ක්රියාත්මක වන පරිදි මාගේ දිවා ආහාර විවේකය මධ්යහ්න 12 ලෙස සංශෝධනය කෙරුණි. දැනට මුළු ඔෆීස් එකටම 12 ට කන කෙනෙකුට ඉන්නේ හරියටම 11.55 ට කෑම කාමරයට ගොස් 12 වෙද්දම නැකතකට වගේ කන සාගරිකා පමණි.
ඒ අනුව එදින සිට සාගරිකා මගේ කෑම සගයා බවට පත්විය. මගේ බත් පත දුටු සාගරිකගෙ ඇස් උඩ ගියේ මක් නිසාදැයි මට නොවැටහුනි. ඇයි වදේ මේකෙ සිමෙන්ති කොට්ට සයිස් බත් පාර්සල් දිගෑරං කන එවුන් කාටවත් පේන්නෑ.
” සාම මිස් තව කාට හරිත් එක්කද අද බත් එක ?”
“නෑ ..නෑ.. බලන්නකො මේකෙ බත් හැන්දයි තියෙන්නෙ ඉතුරු ටික එලවලු “
බත් පත දිගෑරලාම පෙන්නනට සිදුවිය. තැම්බූ කැරට් හා බෝංචි, කොල මැල්ලම්, කරවිල සම්බෝල හා අතිරේකව සලාද කොල කීපයක් ද තැම්බූ මාලු පෙත්තක්ද ඇරුනම බත් ඇත්තේම හැන්දකි.
” මෙහෙම කෑවැකිද..?
කෝ වෑංජන..?
මගේ ඒව දෙන්නද..?
ඇයි පොල් ඉවර වෙලාද අද ?”
සාගරිකත් දැන් සිරිල්ගෙ අක්ක වී ඇත. ඒත් කිසිවක් කිව නොහැක. හැමදේටම සිනාසීම අනිවාර්ය වේ.
එදින රෑට තැම්බූ එලවලු කිලෝ එකක් පමණ පරළු පාන් පෙත්තක්ද සමග කා ගස්ලබු ගෙඩියක්ද කා පෙර පරිදිම වතුර බී නින්දට යන ලද්දේ අදවත් හරියට නිදා ගන්නවා යැයි හිතමිනි. කරුමෙක මහත එදා ඇඳේ ඉන්නම ඉඩ නොලැබුණ අතර පිටුපස බිත්තියට හේත්තු වී කොමඩය මත රැය පහන් වූවා කීවොත් වඩාත්ම නිවැරදි වේ
පසුදා නව අදියරකට යායුතු බැවින් පෙර වට්ටෝරුවට අනුව කන බොන අතර මීකිරි හා කඩල පිටි මිශ්රකර පාප්ප සාදා මුළු මූණෙම ගාන ලදී. මේ සඳහා පැය භාගයක් වේලාසන නැගිටින්නද සිදු විය.
කරුමෙ කියන්නෙ වෙනදට කිරි එක දීලා දහපාරක් ඇහැරවන්න ඕනැ පුතංඩියා කුස්සියට පාත් වෙච්චි.
” බුදු අම්මෝ..
අම්මට මක් වෙලාද මේ..
අප්පච්චී එන්නකො මේං.. බලන්න….”
මේ ගෙදර මට ඉන්නේ හතුරන්ය. මගේ තරුණ පෙනුම රැක ගැනීම සඳහා මෙහි ඉන්නා බාල මහළු කාගෙන්වත් හරිහමන් සපෝට් එකක් නැත.
අභියෝග වලින් නොසැලී පෙර දින කාලසටහනට අනුව කටයුතු සිදු විය. මෙදින රෑ සිට හඳුන් කුඩු හා මී පැණි මුහුණේ ගෑ යුතුය. ගූගල් වට්ටෝරුවට අනුව කා බී නිමවී නිදා ගැනීමට පෙර ආලේපය ගල්වන ලදී. වැඩි සත්කාරය පිණිස වැඩිපුර මී පැණි යොදන ලදී.
———————
එකවරම උඩ විසිවී අවදිවූ මට දැනුනේ මුළු මූණම පුපුරු ගසන්නාක් මෙනි. දැවිල්ල ඉවසන්න බැරිය. මූණ ඇල්ලූව විට අතද දන්නට පටන් ගත්තේ කුමක් වූවාදැයි සිතාගන්නවත් ඉඩ නොදීය.
” අයියෝ..තිස්ස..තිස්ස..
පුතේ..අම්මෝ මට බෑ ….
එන්නකෝ…..”
———————–
නයි කූඹින් විසින් මුහුණ අධිකව සපා කෑම නිසා වෛද්ය ප්රතිකාර ගැනීමෙන් දවස් දෙකකින් පමණ ඉදිමුම අඩුවී බැවින් ඔෆිස් යාමට හැකි විය.
උපුටා ගැනීම: === කුමාරී දයානන්ද ===