ඊයේ රාත් රියේ පටන් ගත් වරුසාව තවමත් නිමවී නැත. විටින් විට මහා හඬක් නන්වමින් අකුණු පුපුරා යයී. අහසේ පුපුරා යන අකුණුවලට වැඩියෙන් හදවතේ අකුණු පුපුරයී හරිහැටි නින්දක් නොමැති රාත්රිය පුරාවට අහසෙන් වැසි වැටුනාක් මෙන් නොනවත්වාම කඳුළු ගලා ගිය නෙත් ඉදිමී කළුවී ඇත.
“කහට ටිකක්වත් බීපන් පොඩ්ඩියෙ “
ඒ අම්මාය. ඇගේ මුහුණේ අළුත් වූ තුවාල කැලල් කිහිපයකි ඒ ඊයේ රාත්රියේ තාත්තා හා ඇය අතර ඇතිවූ ආරවුලේ ජීවමාන සාක්ෂිය. කාමරයේ කොනක වූ තාත්තාගේ බූරු ඇඳ හිස් ය ඔහු පාන්දරම පිටව ගොස් ඇති සෙයකි.
“තාත්තා ගියාද අම්මේ…”
අසන්නට කිසිත් නොවූ තැන මා අම්මා ගෙන් ඇසුවෙමි. කිසිත් නොකියූ ඈ කුස්සියේ බිම විසිරී තිබූ වලන් කටු ඉලපොතින් එකතු කරයි.
“මේ අවුරුද්දේ වළංවලටම කීයක් වියදන් උනාද. කොච්චර ගෙනාවත් අන්තිමට ඔච්චර තමයි “
කුස්සියේ මුල්ලකට වළං කටු ටික දමමින් ඇය මුමුණයි ඇගේ මුහුණේ ඇත්තේ බලාපොරොත්තු කඩවූ බවකි. කේන්ති ගිය විට කුස්සියට වැදී වළං මුට්ටි පොඩි කිරීම කලක පටන් තාත්තාගේ පුරුද්දකි.
“මේ වැස්සෙ හැටියට නම් ඔයත් පිටාර ගලනව ඇති මගෙ හිතේ…. රෑ ඉඳලම වහිනවනෙ ජනේලෙන් එපිට බලන ගමන් ඈ පවසයී…’
කහට කෝප්පයත් රැගෙන මා යලිත් කාමරයට වැදුනෙමි. කණ්ණාඩිය ඉදිරිපසට ගොස් එහි වූ මගේ ප්රතිබිම්බය දෙස මොහොතක් බලා සිටියෙමි. ගමේ උන් කියන පරිදි මා තරම් රූමත් එකියක් මේ අහල ගම් හතක නැත. එය සැබෑවකි හොඳින් පිරුණු අඟ පසඟත් දනහිසෙනුත් මදක් පහලට දිගු වූ කොණ්ඩයත් උපතින්ම උරුම වූ ස්වේත පැහැයත් මාගේ රූපයට එකතු කර තිබුනේ අමුතුම සුන්දරත්වයකි.
“කෙල්ලේ ඔය තෙමෙන තැන් වලට බාජන මොනව හරි තියපන් නැත්නම් අද ගෙයි හරියෙ පය තියන්න වෙන්නෙ නෑ..”
අම්මා කුස්සියේ සිට කෑ ගසයී . මා හනිකට කණ්ණාඩිය අසලින් ඉවත් උනෙමි. ටක් ටක් හඬ නන්වමින් සාලයේ වූ පුටුවක් මතට වැහි බිඳු වැටෙයි මා වහා පුටුව ඉවත් කර එතැනින් පරණ බේසම් කැබැල්ලක් තැබුවෙමි.
රාත්රියේ අම්මා හා තාත්තා අතර දබරය ඇති වූයේ මා නිසාය. හිත මෙතරම් වේදනා දෙන්නේ එබැවිනි කෙතරම් රූප සම්පත්තියක් තිබුනත් අත මිටේ යහමින් මුදල් නොගැවසෙන්නේ නම් ඒ රූප සම්පත්තියෙන් පලක් නැත.
චිරාත් ගේ සහ මගේ ප්රේමයේ ආයුකාලය වසර දොලහකි. මේ වසර දොලහ තුල මා සතු සියල්ල ඔහුට පිදීමට තරම් ඔහු කෙරේ විශ්වාසයක් මා සතු විය නිරන්තරයෙන් තාත්තාගේ සහ අම්මාගේ අඩදබර මැද සිරවී සිටි මා හට ඔහුගේ සෙනෙහස මහ මෙරක් විය. ඒ සියල්ලම රැවටීමක් බව වැටෙහෙන විට මා බොහෝ සෙයින් ප්රමාදය. ඔහුට අවැසි වූයේ මාගේ සෙනෙහස නොව මුදල් හා මගේ ශරීරය පමනි. තාත්තා මේ සියල්ල දැන ගත්තේ බොහෝ කලකට පසුවය. කලක් මත් පැන් පානයෙන් ඉවත්ව සිටි ඔහු ඉන්පසු දිගටම බීමට ඇබ්බැහි වූයේ දිගින් දිගටම එක දිගට ආ ප්රශ්න දරාගත නොහැකි නිසායැයි මට සිතේ.
“දෑවැද්දට ලක්ෂ දහයක්වත් නැතිනම් මට බැහැ තමුසෙගෙ දුවව බඳින්න”
දිනක් චිරාත් තාත්තාගේ මුහුණටම කියනු මට ඇසුනි. ඔහු ගිණිවතුරෙන් දිය කර හැරියේ ඒ හිතේ වේදනාව යැයි මට සිතේ.
“ලොකු අක්කේ……ලොකු අක්කේ…….”
ඒ හඬ බාප්පාගෙය ඔහු වැස්සේම නිවස දෙසට දිව එයි. ඔහුගේ මුහුණේ ඇත්තේ කලබල ස්වරූපයකි කුස්සියේ සිටි අම්මාද ඔහු එන පෙර මගට දිව යයි.
“අනේ…..බුදු…..අක්කේ…….අයියා….”
“මොකද මල්ලියෙ උනේ…. කෑ නොගහ කියන් අයියට මොකද වෙලා තියෙන්නේ…”
“පාන්දර මහ වැස්සෙම ඔයෙන් එගෙඩ වෙන්න ගිහින් …. “
බාප්පා මහ හඬින් හඬා වැටෙයි මගේ හදවත ගැහෙන වේගය බොහෝ සේ වැඩිවී ඇති සෙයකි.
“අයියව ඔයේ ගිලිලා අක්කේ…… අන්න ගමේ උන් මිණිය ගොඩ අරන්….”
“අනේ…දෙයියනේ….බීලා ඇව්ත් ඩිංගක් රන්ඩු උනාට කොයි තරම් හොඳ මිනිහෙක්ද ….දෙයියනේ ඔය මනුස්සයා බොන්න ගත්තෙත් හිතේ වේදනාව උහුලන්නම බැරි තැන. අද උදේම ඔප්පුවත් කිහිල්ලෙ ගහගෙන ගියෙත් කෙල්ලගෙ දෑවැද්දට දෙන්න සල්ලි ටික හොයාන්න මේ ඉඩම විකුණනන්නවත් ඕනය කියලයි අපොයි දෙයියනේ…… “
අම්මාගෙ සිහි නැති කය මගේ දෝතට මැදිවිය. බාප්පා මිදුලේ සිට හඬා වැටෙයි සිදුවූයේ කුමක් දැයි සිතා ගත නොහැක දෙකෙපුල් දිගේ උණු කඳුළු වැල් ගලා යයි. දෑස් නිලංකාරව යයි. සිහිලද අම්මා ඔය දෙසට දිව යද්දී මාද ඇගේ පසුපස දිව යන්නට වීමි..
ඔය ඉහැත්තෑවේ ගම්මුන් වටවී බලා සිටී. කළු පැහැති ඉටිකොලයක් මත තාත්තාගේ නිසල සිරුරය ඔහුගේ එක් අතක ඉටි කවරයක් පැටලී ඇත. තෙත බරිත වූ ඉඩම ඔප්පුව ඒ තුලය. අම්මා වැලහින්නක් සේ හඬාවැටෙයි කිසිත් සිදු නොවූ ලෙස ඔය චණ්ඩව ගලා යයි.
“මට සමාවෙන්න මගේ තාත්තේ….. මට සමාවෙන්න මේ ඔක්කොම උනේ මගෙ කාලකන්නි කම නිසා”
යලිත් මහ වැසි ඇද හැලෙයි. අකුණු පුපුරයි දුක හදවතට ඉහිළුම් නොදෙයි
ඉබේම ඔය දෙසට දෙපා එසවෙයි.
ඈත සිට තාත්තා අත වනයි .
සමාප්තයි.
උපුටා ගැනීම: සමීර මධුසංක.