මට මතක ඇති කාලෙක තාත්ත මට බත් කටක් කවල නෑ. ඒත් සැර කරපු වාර නම් අනන්තවත් තිබුන. ඉස්සර කවදාවත් තාත්ත මං නිසා අඬනව මං දැකල නෑ. ඒ නපුරු කමටද ලැජ්ජාවටද කියල මට තේරුම් ගන්න බෑ. ඒත් එතන නපුරුකමටත් ලැජ්ජාවටත් එහා ගිය දෙයක් තිබුන කියල පස්සෙ මට තේරුනා.
ඉස්කෝලෙ ලමයින්ව අනිත් තාත්තල ලොකු ලොකු වාහන වලින් ගෙනත් බස්සල යද්දි මගෙ තාත්ත මාව එක්කගෙන ගියේ පයින්. මට ඒක ලැජ්ජාවක් වගේ දැනුන නිසා මං ඉස්සර තාත්තට ඉස්කෝලෙ ගේට්ටුව කිට්ටුවට එන්න දෙන්නෙ නෑ. මගෙ තාත්ත මට තේරෙන වයසෙදි මට පෙනුනෙ අසරණ මිනිහෙක් විදියට. මුකුත් කරගන්න බැරි, අපිට කන්න අඳින්න විතරක් දෙන මිනිහෙක් විදියට. තාත්තට මං ගැන ආදරයක් නෑ කියල හිතුනු වාර අනන්තයි. කොච්චර බය උනත් මං ඉස්සර මට පුලුවන් හැම වෙලාවකම මගෙ වචන වලින් තාත්තගෙ හිත රිද්දල ඇති. පන්තියෙ ළමයෙක් අලුත් සපත්තු දෙකක් දාගෙන ආවත් මං ගෙදර ඇවිත් නෝක්කාඩු කියන්නෙ තාත්තට.
දවසක් එහෙම දෙයක් වෙලා තාත්ත මට ගැහුව. එදා මං කෑ ගහල තාත්තට බැන්න. මට හොඳට මතකයි. මුකුත් කරගන්න බැරි මිනිහෙක් කියල මං කෑගහනකොට තාත්ත ගහන එක නතර කරල කාමරේට ගියා.
මං හිතුවෙ කෝටුවක් අරන් ආයෙත් ඇවිත් මට තව ගහයි කියල. ඒත් තාත්ත ආවෙ නෑ.
ඒ වෙනුවට පහුවදා මං ඉස්කෝලෙ ගිහින් එද්දි මගෙ කාමරේ ඇඳ උඩ අලුත් සපත්තු දෙකක් තිබුන. ඇත්තටම එදා නම් මට ඇඬුන. ඊට කලින් දවසෙ තාත්ත මට ගැහුව නම් මේ තරම් රිදෙන්නෙ නෑ කියල හිතුන.
මං තාත්තව හෙව්ව.
බදාගන්න…
අලුත් ගේක වැඩක් හම්බවෙලා තාත්ත ඒ වැඩ වලට ගිහින් තිබුන. එදා තාත්ත එද්දි මං නිදි. පහුවදා ඉස්කෝලෙ යන්න නැගිටිනකොටත් තාත්ත ගිහින්. මං එදා අලුත්ම සපත්තු දෙක දාගෙන ඉස්කෝලෙ ගියා.
ගෙදර එද්දි මට ආරංචි උනා එදා වැඩ කරද්දි තාත්ත පපුවෙ අමාරුවක් හැදිල මැරුණ කියල. මං හොඳටම ඇඬුව. මං තාත්තට කෑගහපුව මතක් කර කර ඇඬුව.
තාත්තගෙ මළගමේ කටයුතු සේරම ඉවර වෙලා ටික දවසක් ගියා. මං කොට්ටෙ අරන් තාත්තගෙ ඇඳට ගියා. ඒ ඇඳ තාත්තගෙ සුවඳයි. මං දැක්ක තාත්තගෙ හිස් වෙලා තිබුණු බෙහෙත් පෙට්ටිය.
උණ්ඩි කරපු බෙහෙත් වට්ටෝරු ලියපු කොල දෙකක් ඒක ඇතුලෙම තිබුණ..
මට තේරුනා..
තාත්ත ඒ සල්ලි වලින් මට සපත්තු දෙකක් අරන් දීල වග..
තාත්ත ඒ මාසෙටම බෙහෙත් අරගෙන නෑ.
හොඳම වර්ගෙන් සපත්තු දෙකක් මට අරන් දුන්නට ඒ කොහොමද කියල මං තාත්තගෙන් ඇහුවෙ නෑ. අහන්න මට තාත්තව හම්බුනෙත් නෑ.
ඇයි තාත්ත එහෙම කලේ කියල අහන්න, ඇයි මට තවත් ගහන්නෙ නැතුව ගිහින් මට සපත්තු දෙකක් ගෙනාවෙ කියල අහන්න ආයෙත් මට තාත්තව හම්බෙන්නෙ නෑ. හිස් බෙහෙත් පෙට්ටිය දිහා බලාගෙන මං පැය ගානක් අඬන්න ඇති. තාත්තට කෑ ගහපු වචන සේරම මතක් කර කර මං ඇඬුව.
ඔව්…
මගෙ තාත්ත නෙමෙයි, අද මුකුත්ම කරගන්න බැරි මිනිහ මමයි කියල මට දැනුන. මුකුත්ම කරගන්න බැරි මිනිහෙක් කියන්නෙ කාටද වග මට දැනුන.
කොටින්ම මට තාත්තගෙ ආදරේ මහමෙරක් වගේ දැනුන..
තාත්ත අරන් දුන්නු සපත්තු දෙක පෙට්ටියක දාල අදටත් මං ඒක පරෙස්සම් කරනව.
තාත්තගෙ ඇඳ රෙද්දෙන් එන සුවඳ මං අදටත් විඳිනව.
ඔව්…
තාමත් මං තාත්තගෙ සුවඳ හොයනවා…
ආයෙම ඇවිත් තාත්ත මට ගහනකල් මං තවම බලන් ඉන්නව…
ඒ පාරවල් මෙච්චර රිදිල නෑ…!
උපුටා ගැනීම: -නෙත්මි යශෝධා-