තාත්තා (වැල් වටාරම්)

Read More

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගිරා හොටක් වගේ නහය, හැමවෙලේම හිනාව පිරුණු මූණ , මං දැකපු ලස්සනම පිරිමියා පිටතින් වගේම හදවතිනුත්.
” අළු පාට ෂර්ට් එක ඇඳලා , ෂර්ට් එකේ අත වැලමිට ලඟට නමලා ඇඳන් යන්නකෝ තාත්තේ” කියලා කොයි වෙලෙත් කියන නිසා ගෙදර අළු පාට ෂර්ට් තුන හතරක්ම තිබ්බා මතකද තාත්තේ.
උපරිමයටත් වැඩි උපරිමයකින් ආදරේ දීලා
බැල්මකින්වත් රවා නොබලා, නිය පිටින්වත් පහරක් නොගහා, මුරණ්ඩු, දඩබ්බර කෙල්ලෙක් මට්ටු කරපු හැටි අදටත් පුදුමයි.
තාත්තා ගෙදර ඉන්න දවස් වලට උදේට අම්මා , ” ඔයා තමයි මේ කෙල්ලව නරක් කරන්නේ ” කියලා කියනකොට,
තාත්තා , ” මගේ දරුවා මං ලඟ ඉන්නකන් මං මෙහෙමම තමයි” කියලා කට ලඟට පෙන පුරවපු රසම රස කිරි කෝප්පෙකුයි, කට හෝදන්න වතුර කෝප්පෙකුයි අරන් එන හැටි තාමත් මතකයි තාත්තේ.
මතකද තාත්තේ ඉස්කෝලේ ගුරු දෙගුරු රැස්වීම් ඉවර වෙලා ගෙදර එන ගමන් ජයවර්ධන එකෙන් ලොකුම ලොකු වීදුරු වලට දාපු රස පැණි දොඩම් බොන හැටි, ෆෘට් සැලඩ් කන හැටි.
අපි දෙන්නා තමයි හොඳම යාළුවෝ. ගෙදර හිටියොත් අනිවාර්යයෙන් රෑට මාත් එක්ක එක්ස් ෆයිල්ස් බලන්න එනවා. මාව අවුස්සන්න මෙන්න ඔයාගෙ අන්කල්ගෙ ෆිල්ම් එකක් කිය කිය ශාරුක්ගේ ෆිල්ම් සීඩී කොච්චරක් මට ගෙනත් දුන්නද, තාමත් ඒවා මතකයි තාත්තේ.
ඔයයි අම්මයි කැමතිම මං පොත් කියවනවට. ඔයාලා දෙන්නම මට ලයිබ්රි එකකට තරම් පොත් එකතු කරලා දුන්නා. මතකද තාත්තේ හැම මාසෙම ඔයා මාව සමුද්රා එකට එක්කන් යනවා පොත් ගන්න.
තාත්තා හැමදෙයක්ම පුදුම ඉක්මනින් අල්ල ගන්නවා. කොහෙහරි රස කෑමක් දැක්කොත් තාත්තටත් පුළුවන් ඒ රසටම ඒ කෑම එක හදන්න. අළුත් ගෙදර හදපුවාම මුළු ගෙදරටම කර්ට්න් මැහුවේ තාත්තා. හැමදෙයක්ම හරිම ඉක්මනට අල්ලා ගන්නවා. වඩු වැඩ, මේසන් වැඩ, ඉලෙක්ට්රික් වැඩ, උයන වැඩ, මහන වැඩ මේ හැමදේම එක වගේ පුළුවන් ඔයා නම් පුදුම දක්ෂයෙක් තාත්තේ.
“ඇයි තාත්තේ ඔයාට තරහ යන්නැත්තේ? ” මං අහන හැමවෙලේම ඔයා කියන්නේ ,
” මටත් තරහ යනවා පුතේ, ඒත් ඒක එළියට පේන්න කලින් මං ඒක අමතක කරනවා. තරහ අරගෙන ප්රශ්න විසඳන්න බෑ. ” කියලා.
තාත්තගේ අකුරු මුතු ඇට වගේ ලස්සනයි. අම්මා මේ ලඟදී දවසක් කිව්වා තාත්තා තමයිලු මට වමතින් ලියන්න හුරු කලේ කියලා. අම්මා අහද්දී ඒ ඇයි කියලා, තාත්තා කිව්වලු ” අපි දෙන්නම දකුණෙන් ලියන එකේ දුව වමෙන් ලිව්වොත් වෙනසක් නේහ් චන්දි ” කියලා.
ජීවිතේ විඳින හැටි, ඉවසන හැටි, අමාරුම කාලෙත් හිනාවෙන හැටි කියලා දුන්න විදිය අදටත් මතකයි තාත්තේ.
කොච්චර වයසට ගියත් අමතක වෙන්නේ නැති, පොතක් ලියන්න තරම් ලස්සන කතා ගොඩක් එකතු කරපු, සුන්දර ළමා කාලයක් හදලා දුන්නේ ඔයයි අම්මයි.
” මේ තාත්තා තමයි ලබන ආත්මෙත් තාත්තා “
එක දවසක් එහෙම පොරොන්දුවක් දුන්නා මතකද තාත්තේ.
මාත් දෙන්නම් අද පොරොන්දුවක් .
ඊළඟ සැරේනම් මෙච්චර ඉක්මනට මාවයි අම්මවයි දාලා යන්න ඔයාට ඉඩක් දෙන්නෙම නෑ මගෙ තාත්තේ.
උපුටා ගැනීම: Buddhi Jayaweera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!