අපේ ගෙදරට අවන් එකක් ගේනකොට මං හය වසරෙ වගේ. ඒ දවස් කොහොම හරි අම්මටයි තාත්තටයි දෙන්නටම එකට නිවාඩු වැටුනු දවස් ටිකක්. අපි තුන්දෙනා දවල්ට කාලා එහෙම තමයි අවන් එක ගේන්න ගියේ .
මම නම් ඉතින් මොකක් උනත් කමක් නෑ කේක් එකක් හදාගන්න පුළුවන් විදියේ අවන් එකක් නම් ඒ ඇති කියන තැන හිටියේ. තාත්තා නම් ඒක හදලා තියෙන්නේ කොහොමද , වොරන්ටිය කොච්චර කාලෙකටද, දෙන්න පුළුවන් අඩුම ගාන කොහොමද ඔන්න ඔය වගේ සෑහෙන දේවල් බැලුවා. අම්මානම් හෙව්වේ ගෙදරට ලස්සන හුරුබුහුටි අවන් එකක්. කොහොමහරි කඩේ තියෙන අවන් ඔක්කොම වගේ අතගාලා අතගාලා අම්මා නැවතුනේ ලස්සන කොල පාට අවන් එකක් ළඟ. ඉතින් අන්තිමට අපි ඒක ගෙදර ගෙනාවා . ආ තව කිලෝ එකේ කොටු තැටියකුත් ගෙනාවා. තව කේක් හදන්න ඕනි බඩුත් අරගෙනම ආවා.
අවන් එක ගේන්න යන්න කලින්ම ඒක ගෙනාවම තියන්න තැනකුත් අම්මා ලැහැස්ති කරලා තිබ්බේ. ගෙදර ඇවිත් අවන් එක ඒකට අයිති තැනින් තිබ්බට පස්සේ අම්මා ගියා රෑට කන්න උයන්න. තාත්තා තමයි කේක් හදන වැඩේ භාරගත්තේ. අපි ඉස්සර හිටියේ පොලිස් ක්වාටර්ස් වල. ඒකෙ තිබ්බෙ චූටි කුස්සියක් . ඉතින් ඒක නිසා කේක් හදන වැඩේ කලේ සාලෙ කෑල්ලේ. සාලෙම කෙළවරක තමයි අපේ හුරුබුහුටි කොල පාට අවන් එක තිබ්බෙත්. අවන් එකත් එක්කම ලැබුනු උපදෙස් පත්රිකාවක බටර් කේක් එකක් හදාගන්න විදිය ලියලා තිබ්බා. ඉතින් තාත්තා ඒකෙ තියෙන විදියට ඕනි කරන බඩු මුට්ටු කිරලා මැනලා හදාගත්තා. උයන වැඩ වලට ලොකු කැමැත්තක් ඒ කාලෙ නැති උනාට කේක් කන්න පෙරේතකමට තාත්තා ළඟින් හෙල්ලෙන්නවත් නැතුව හිටියා. මොකද මං අහලා තිබ්බා උනු උනුවෙන්ම කේක් ගොඩක් රසයි කියලා.
” පැත්තකට වෙලා බලන් ඉන්නේ නැතුව දෙන්නම එකතු වෙලා කේක් එක හදමු ” කියලා තඩි භාජනයකට බටරුයි සීනියි දාලා ලී හැන්දකුත් එක්ක තාත්තා මට දුන්නා . ඊටපස්සේ තාත්තා ගියා බිත්තර සුදු මද බීට් කරන්න. මාත් ඉතින් සැරින් සැරේ ඇඟිල්ල ග ගහ රස බලන ගමන් සීනි බටර් හැඳි ගගා හිටියා. ඔහොම ටික වෙලාවක් යද්දි මගෙ ටිකිරි මොලේට අදහසක් ආවා මේකට තව සීනි ටිකක් වැඩි උනානම් හොදයි කියලා. ඉතින් එහෙම හිතලා සීනි පැකට් එකෙන් සීනි ටිකක් දාන්න හදද්දී සීනි ටිකක් වැඩිපුර වැටුනා. තාත්තා දකින්න කලින් සීනි පැකට් එක හන්ගලා වෙනසක් තේරෙන්නේ නැති වෙන්න බටරුයි සීනියි ඉක්මනට කලවම් කලා. මං ඉතින් හිතුවේ ඕනිනම් පැණිරස චුට්ටක් වැඩි වෙයි කියලයි. කේක් බැටර් එක ට්රේ එකට දාලා අවන් එකට දාලා කේක් එක ලස්සනට පිම්බිලා එනකන් අපි ආසාවෙන් බලන් හිටියේ.
අවන් එකේ වීදුරුවෙන් කේක් එක දිහා බලන් ඉන්නකොට ටික වෙලාවක් යද්දි තාත්තගේ මූණ ටිකෙන් ටික වෙනස් වෙන්න ගත්තා.
” ඇයි මොකද ” ඒ අපෙ අම්මා
” නෑ කේක් එක අවුල් වගේ ” කියලා කියාගෙනම තාත්තා කේක් එක එලියට ගත්තා. කරවෙච්චි පැනිවගේ දිය ගතියට තියෙන මොකක්දෝ එකක් තමයි එලියට ආවේ.
” ඒ මේ මොකක්ද අනේ ” ආයෙත් අපෙ අම්මා
” මං හිතන්නේ සීනි වැඩි වෙලා “
” ඇයි ඔයා මැනලා නෙමෙයිද දැම්මේ “
” මැනලනම් තමයි ” කියමින් තාත්තා මං දිහා හොරෙන් බැලුවා.
වෙචිචි දේ මං කිව්වට පස්සේ අම්මා,
” තාත්තයි දුවයි දෙන්නම එකතු වෙලා දැන්ම ආයෙත් කේක් එකක් හදන එකයි ඇත්තේ ” කියාගෙන එතනින් යන්න ගියා. එදා රෑ තාත්තා හැදුවා රසම රස පුළුන් වගේ සැහැල්ලු කේක් එකක්. ඒ කේක් එකටත් බටරුයි සීනියි හැඳි ගෑවේ මංම තමයි.
කාලෙ වෙනස් වෙලා විවිධාකාරයේ බටර් කේක් රෙසිපි ආවත් තාත්තා කවදාවත් එයාගෙ රෙසිපිය වෙනස් කලේ නැහැ. හැමදාමත් හැදුවේ එකම විදියකට. කේක් එක හදන්න පටන් ගත්ත වෙලේ ඉඳලා අවන් එකෙන් එලියට ගන්නකම් තාත්තා ඒ වැඩේට සමවැදිලා ඉන්නේ. හරියට භාවනා කරනවා වගේ.
මේ අවුරුදු ගානටම එක එක ගනන් වලට එක එක රස වලින් කේක් කොච්චර කාලා තිබ්බත් තාත්තගේ බටර් කේක් එකේ රසට හරියන කේක් එකක් තාමත් කාලා නෑ.
පින්තූරය – තාත්තගේ රෙසිපියට හදපු බටර් කේක් එකක්
උපුටා ගැනීම: බුද්ධි ජයවීර