මම සෝවියට් දේශයේ ඉගෙන ගත්තු කාලේ සිදු වූ තවත් සිද්දියක් අද ලියන්නේ. මම ඒ වෙනකොට තුන්වෙනි වසරේ ඉගෙනගත්තේ. අපේ ෆැකල්ටියට අලුතෙන් ලංකාවේ කෙල්ලො දෙන්නෙකුයි කොල්ලෙකුයි ආවා. එයාලා නැවතුනෙත් මම හිටපු හොස්ටල් එකේමයි.
එක කෙල්ලෙකුගෙ නම ප්රසානි කියමුකෝ, එයා දැන් ජීවතුන් අතර නැහැ, එයා එහේ ඉන්න කාලයේ ආදරයෙන් ඉඳලා පසුව බැන්දෙත් අපි හිටපු කාලයේම එහේ ඉගෙනගත් තවත් පුද්ගලයෙක් සමග. ඒ පුද්ගලයා කොවිඩ් පටන්ගත් කාලයේ ඉතාම ජනප්රිය වූ චරිතයකුත්.
ඉතින් ප්රසානි කාමරයක් ෂෙයා කරගත්තේ රුස්සියෙක් එක්ක. මේ රුස්සි යාලුවුනා ලෙබනොන් කොල්ලෙක් එක්ක.
ඌ දවසක් ප්රසානිගෙන් අහලා
‘ඔයා මොන රටෙන් ද?’
‘මම ශ්රී ලංකාවෙන්’
‘ආ ඇත්තද? අපේ ගෙදර හවුස්මේඩ් ලංකාවෙ කෙනෙක් හරි හොඳයි’
‘ඔව් ලංකාවෙ ගොඩක් දෙනෙක් මැද පෙරදිග වැඩට යනවා’
‘ඔයාලගෙ රට හරි දුප්පත් නේ’
‘දුප්පත් අයත් ඉන්නව පොහොසත් අයත් ඉන්නවා’
කියල ප්රසානි කතාව නවත්තලා.
ඒත් මූ හැමදාම කාමරේට ආවම අර රුස්සි කෙල්ලට උගේ ලොකු කම පෙන්නන්නයි ප්රසානිව පහතට දාන්නයි ඔය කතාව කියනව, ප්රසානිට දැන් ඒක අහලම එපා වෙලා කියල මට හැමදාම නහයෙන් අඬනවා ඒක ගැන මොනව හරි කරන්න කියලා.
මම කිව්වා
‘ඉතින් කියන්නකෝ ඔයාගේ ලව් එකට’ කියලා.
‘එයා ඉතින් රන්ඩුවට යන කෙනෙක් නෙවෙයි නේ’
‘ඒ කියන්නේ ඔයා ඌව රන්ඩුවට නොයව අපව බිල්ලට දෙන්න ද යන්නේ’
‘අනේ නෑ. ඔයාගේ කටට වෙලාවට වචන එනවනේ. ඒකයි කිව්වේ. අනේ ප්ලීස් මොකක් හරි කරන්නකෝ’
කියල දැන් මට ඇනේ. හැබැයි කෙල්ල හරි හොඳයි මට බඩගිනිවෙලා ගිය ඕන වෙලාවක මට මොනව හරි හදල කන්න බොන්න දෙනවා. මගේ හොස්ටල් එකේ රහස් නිම්මිට කිව්වෙ එහෙමත් නෑ, කියන්න ඉතින් මම මොකුත් කලෙත් නෑ නේ.
‘හරි, ඒ ලෙබ්බා ආපු වෙලාවක ටක් ගාලා ඇවිල්ල මට කියන්න’ කියල ඉතින් මම බාර ගත්ත වැඩේ.
ඊට පසුවදා ඔන්න ප්රසානි හති දාගෙන ඇවිල්ලා
‘අන්න එයා ආවා කාමරේට. දැම්ම යන්න එපා, ටිකක් වෙලා ඉඳල යමු. අපි එකට යමු මාත් එක්ක එකතුවෙලා උයන්න ආවා වගේ’
ඉතින් අපි විනාඩි දහයක් විතර ඉඳලා ප්රසානිගෙ කාමරේට ගිහිල්ලා උන් දෙන්නට හලෝ කියලා, මම ප්රසානිගෙ ඇඳේ වාඩි වුනාම ඔන්න අරූ මටත් ටොපිය දෙන්න හිතිල
‘ඔයත් ලංකාවෙන් ද’ කියල ඇහුව
‘ඔව්. ඔයා කොහෙන්ද?’
‘මම ලෙබනොන් වලින්. අපේ හවුස්මේඩ් ලංකාවෙ කෙනෙක්’
‘ආ ඇත්තද? පුදුම අහඹුවක්. මගේ ලන්ඩන්වල ඉන්න දොස්තර අයියගෙ ගෙදර හවුස්මේඩ් ලෙබනොන් වලින්’
කියල කිව්ව විතරයි අර අබ්බගේ මූන කරත්ත රෝදෙට අහුවුනු දෙහි ගෙඩියක් මිරිකල බීලා වගේ වුනා. රුස්සි කෙල්ලට හිනා ගියා මොකද එයාටත් තේරිල තිබුනේ උගේ ලොකු ටෝක් ගැන.
‘ඔයාලගෙ රටේ අයත් එහෙම පිට රට ගිහිල්ල වැඩ කරනව ද? ඒ කියන්නෙ ඔයාලගෙ රටත් දුප්පත් ද?’
කියල අර රුස්සි ඇහුවම ඌ ටිකක් ලැජ්ජාවෙන් වගේ කිව්වා.
‘ඔව්, වැඩියෙන් සල්ලි හොයන්න, අපේ රටේ හරි අවස්ථා නොලැබුනු අය ඉතින් යනවා’
මමත් ඉතින් පැනල කිව්වා.
‘අපේ අයත් එහෙමයි. ඒ නිසා ඒක පහත් කරල කතා කරන එක හරි නැහැ නේ. ඒ මදිවට රටම පහත් කරන එක ඊට අන්තයි නේ’ කියලා.
මිනිහා මොකුත් කිව්වෙ නැහැ, මගේ මූන බලාගෙන හිටිය මිසක්. තව දුරටත් අපහසුතාවයට පත් කරන්න අවශ්ය නැති නිසා මම නැගිටලා,
‘එක්ස්කියුස් අස්.
ප්රසානී අපි උයන්න පටන් ගමු. මාර බඩගිනියි’
කියලා කාමරෙන් එලියට ගියා. එදායින් පසුනම් ඒ ලෙබ්බා ප්රසානිට ඇනයක් වෙලා නෑ. ඔන්න ඔහොමයි අපි අපේ ලංකාවෙ නංගිලාව අපි බලා ගත්තේ.
උපුටා ගැනීම: Devapriya Siriwardena