” මේ පෙට්ටිය මොකක්ද පුතේ?”
“ඒක ෆ්රීසර් එක”
“ඒ මොකටද”
“කෑම දාන්න…”
අවුරුදු හතරයි කාලේ පුත්රයා එක එක වර්ගයේ චිත්ර අඳින්න පටන් අරගෙන සෑහෙන කලක්. ඉරි කෑලි, බෝල, කුරුටු බලි වලින් පටන් අරගෙන දැන් යමක් පැහැදිලි චිත්රයක් ඇඳගන්න පුලුවන්. ගොඩක් වෙලාවට එහෙම අඳින දේවල් මගෙන් අහනවා, ගහක් අඳින හැටි, මලක් අඳින හැටි වගේ. මටත් චිත්ර ගැන ලොකු දැනීමක් නැති වුනාට පුලුවන් විදියට කියා දෙනවා.
මුල් කාලේ එයා ඇඳපු ඉරි කෑලි, බෝලවලට වුණත් එයාට කියන්න විස්තරයක් තිබුනා. ඉරි කෑලි ගොඩක් උනත් අම්මා, තාත්තා, පුතා, එයාගෙ සුරතල් පූසා ජෝයි කියලා නම් කරලා අපිට පෙන්වනවා.
පුතාගෙ අවුරුදු නවයක් වුන ඥාති සහෝදරී එක්ක එකතු වුනාම එයාට කියලත් චිත්ර අන්දගන්නවා.
දවසක් දෙන්නා එක්ක එකතුවෙලා ලොකු චිත්රයක් ඇන්දා. ඒකෙ ලොකුවටම තිබුනෙ ගල් ගුහාවක් සහ ලොකු ගහක්. ඒක ගොඩාක් දුරට දෝණිගේ සිතුවිල්ලකට ඇඳපු දෙයක්. ඒකත් අරගෙන අපේ ගෙදර ආපු පුතාට චිත්රෙ සම්පූර්ණ කරන්න ඕනෙ උනා. එයා ඒකට ඉරක්, වළාකුලක්, කුරුල්ලෙක් එකතු කලා. අම්මා තාත්තා පුතා කියලා හොල්මන් තුනකුත් ගහ යටින් ඇන්දා. ටිකක් වෙලා කල්පනා කර කර ඉඳලා ගහ යටින් මොකක්දෝ පෙට්ටියකුත් වේගෙන් ඇඳලා රතු පාට දැම්මා. ඒක තමයි ෆ්රීසර් එක කිව්වේ.
හෝ, ගල් ගුහාවෙ හිටියත් කෑම එපැයි.
බොහොම සන්තෝසෙන් දුවගෙන ගිහින් සැරින් සැරේට තාත්තාට චිත්රෙ පෙන්වනවා. අක්කාගෙත් උදවුවෙන් ලස්සනටම සහ සාර්ථකව ඇඳපු පළවෙනි චිත්රෙනේ. ඒත් ආයෙමත් කල්පනා කර කර ඉන්නවා.
“අම්මා, මට තේ කෝප්ප තුනක් ඇඳලා දෙනවද”
පුතා මගෙන් ඇහුවා.
මම එයාට වෙනම තැනක කෝප්පයක් අඳින හැටි කියලා දුන්නත් කුඩා කෝප්පයක් වගේ සියුම් දෙයක් අඳින එක එයාට තාම අමාරුයි. විශේෂයෙන්ම එයාට ඕනෙ උනේ ඒක ගුහාවෙ ඇතුලෙ අඳින්න. ඉතින් මම තේ කෝප්ප තුනක් ඇඳලා දුන්නම එයා පුදුමාකාර සතුටකින් ඒවට පාට දාලා කෝප්ප තුන වෙන් කලා.
“මේක තාත්තාගේ, මේක අම්මාගේ, මේක පුතාගේ”
සම්පූර්ණ කරපු චිත්රය කීප දවසක් යනකල් ආඩම්බරෙන් ළඟම තියා ගත්තා. යන යන හැම තැනම අරන් ගියා. නිදාගත්තෙ පවා ඒක ළඟින් තියාගෙන.
මම කල්පනා කලා ඇයි තේ කෝප්ප තුනක් කියලා. අඩුගානෙ එයාගෙ ආසම සෙල්ලම් බඩුවත්, ජෝයිවත් ඇන්දෙ නෑ.
අපේ ගෙදර මමයි, පුතාගෙ තාත්තායි කාර්යබහුල රැකියාවල යෙදෙන නිසාත්, තාත්තා වරු ක්රමයටත් වැඩ කරන නිසාත්, අපි දෙන්නා ගොඩක් වෙලාවට රෑට කන්නේත් නැති නිසාත්, එකට ඉඳගෙන කෑම ගන්න වෙලාවල් හරි අඩුයි. තුන්දෙනාම ගෙදර හිටියත් දෙන්නගෙන් එක්කෙනෙක් පුතාට කවන යුද්ධෙ කරනවා. හැබැයි අපේ පවුලේ තේ වේලක්, කෝපි වේලක් කියන්නේ අත්යාවශ්ය දෙයක්.
මොන කෑම වේල මඟ ඇරුණත් බොහෝම කාර්යබහුල දවසක උනත් එක් වතාවක් හරි එකට ඉඳගෙන තේ, කෝපි බිබී අපේ දින චර්යාව, වැදගත් සිදුවීම්, ඉදිරි දවස් සැළසුම් කිරීම්, දුක සැප සියල්ලක් බෙදා ගැනෙන්නේ මෙතැනදී. ගැඹුරු දේවල් වගේම විහිළු තහළුත් හුවමාරු වෙනවා. එක ළඟ වාඩි වෙලා මහන්සි නිවාගන්න අතරේ බොහෝ වෙලාවක් අපි කතා බහේ යෙදෙනවා. පුතා ඒ වෙලාවට අපි එක්කම දැවටි දැවටි ඉන්නවා. කරේ නගිනවා, ඇඟට පනිනවා. අපේ ඇඟවල්වල තේ හලපු අවස්ථාවල් බොහොමයි. නිවාඩු දිනකදී නම් මේක තුන් හතර වතාවක් වෙනවා. ඒක තමයි අපේ “පවුලේ වෙලාව” කියලා පුතා අඳුරගෙන තියෙන්නේ.
ඇත්තටම අපේ පවුලේ වෙලාව ඒක තමයි නේද කියලා මටත් මගේ මහත්තයාටත් හරියටම ඔළුවට ගියේ ඔය සිදුවීමෙන් පස්සෙ.
ගල් ගුහාවෙ කෑම ගබඩා කරන්න ශීතකරණයක් ඕනෙ උනා. ඒත් ඒක තිබ්බෙත් ගුහාවෙන් පිට ගහ යට. තේ කෝප්ප තිබ්බේ ඇතුලේ. ඒකට වටිනාකමක් ආරක්ෂාවක් දෙන්න පුතාට ඕනෙ උනා කියලා අපි තේරුම් ගත්තා.
ඒ ආදරණීය උණුසුම් මොහොත එයාට හරිම වැදගත්.
අපිට ඒක ප්රමාද වෙලා තේරුම් ගියත්, අපි මොනතරම් කාර්යබහුල වුනත් සෙනෙහස උණුහුම පිරුණු වෙලාවක් නොදැනුවත්ව වුනත් දරුවා වෙනුවෙන් ලැබීම ගැන අපි ගොඩාක් සතුටු වුනා.
ඒක එයාට හරිම වටින, හදවතේ රැඳුන, සතුටින් ආවර්ජනය කල හැකි මොහොතක් වෙලා තිබුනා…
උපුටා ගැනීම: – නිල්මි ගුණවර්ධන –
සේයාරුව අන්තර්ජාලයෙනි