තේ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අනේ මංදා ඉතින් ඔය තේ කියන දේ එක අකුරකින් ලියන්න පුළුවන් වුනාට ලංකාවේ බහුතරයක් හරි ආසාවෙන් ලේසියට හදාගෙන උදේ හවස බිව්වට මට නම් තේ අරහං . ආසම නෑ . මට තේ බීපු ගමන් ඇසිඩ් බිව්වා වගේ බඩ දනවා .උගුරට එනවා .මාර විකාරයක් වෙනවා මුළු බඩම.ඉදල හිටල හරි බොන්න පුළුවන් කිරි තේ ටිකක් විතරයි .
හැබැයි ඉතින් මගේ හස්බන්ඩ් ඕකෙ අනිත් පැත්ත.ප්ලේන්ටියක් නැත්නම් උදේට නැගිටින්නත් අකමැතියි .එයාට කිරි තේ පේන්න බෑ.ඒකටත් එක්ක පැය විසිහතරේම කන්න නැතත් ප්ලේන්ටි ඕන .තේ ,තේ ,තේ ඒක නම් පුදුම තේවාවක් තමා.ඒ වුණාට මට නම් රහට තේ හදන්න තාම බෑ .සීනි ,කහට අඩු වැඩි වෙනවා .කොච්චර ට්රයි කලත් මට තේ හදාගන්න අමාරු නිසා හස්බන්ඩ් ඕකට හොයා ගත්ත විකල්පය තමා ටී බෑග් . දැන් ලොකු අවුලක් නෑ .
ඔය තේ එක්ක මට මතක සටහන් කීපයක් ම තියනවා .ඔන්න දවසක් මම සාමාන්ය පෙළ පංතියෙ ඉන්න කාලේ මගේ යාලුවෙක් අපේ ගෙදර ආවා . කොල්ලෙක් .මගේ හොඳම යාළුවා උනාට මොකද මූ අපේ අම්මට කේලම් කියනවා මං කරන වැඩ ගැන.ඇත්තට මට අදටත් සැකයි ඕකා මගේ යාළුවා ද අම්මගේ යාළුවද කියලා.ඉතිං අම්මත් එයත් එක්ක බරටම කයියක් දාගෙන ඉන්න අතර මට කිව්වා තේ එකක් හදල දෙන්න කියලා.ගෙදරට ආපු කෙනෙක්ට සංග්රහ කරන එක අපේ රටේ මිනිසුන් ගේ හොඳම පුරුද්දක් නේ . මාත් අම්මත් කියපු එකේ තේ එකක් හදල යාළුවට දුන්නා.අනේ ඉතින් මූත් කිසිම චකිතයක් නැතිව තේ බොන්න ගත්තා.පලවෙනි උගුර බීලා මූණ චොර කරගෙන තේ එක පැත්තකින් තිබ්බා.මම කෝකටත් අම්මට අතට අහු නොවෙන දුරකට වෙලා බලං හිටියා.අම්මට සැක හිතිලා ඇයි කියල ඇහුවම තේ එක ලුණු රසයි කියලා මූ කියපි.අම්මා මගේ හැටි දන්න නිසා හරිම හරි ආදරෙන් මට නොසෑහෙන්න ආමන්ත්රණය කරලා යාළුවට කූල් ඩ්රින්ක් එකක් හදල දුන්නා.දෙයියනේ කියල ඒ කරපු වැඩේට දවස් ගානක් බැනුම් ඇහුවා අම්මගෙන් . අම්මට කේලම් කියනවා කියල හිතල එදා ඒ කොල්ලට තේ එකට ලුණු දාපු පාපකර්මය මට මුළු ජීවිත කාලයම ගෙවන්න වෙලා.මොකද කාලය ගෙවිල ගිහින් අම්මටත් හොරෙන් මාව කසාද බැඳ ගත්තේ ඒ කොල්ලා ම තමා . දැන් ඉතින් පැය විසිහතරෙම එයාටම තේ හදන්න වෙලා.කලකම් පල දෙනවා කියලා කියන්නේ ඕවට තමයි.
දෙවනියටත් ඉතින් ඒ වගේම මතක සටහනක් තමා . දෙයියනේ කියලා ඒකත් ජය සිරි මංගලම් . මට නෙවේ.මගේ පොඩි නෑනට.අපි තේ හැදුවොත් එහෙමයි.ඔන්න ඉතින් මගේ හස්බන්ඩ් ගේ අක්කා බැදලා ඉන්න කෙනාගේ යාළුවො දෙන්නෙක් ආවා මස්සිනත් එක්ක ගෙදර .ඒ වෙලාවේ හිටියේ මායි පොඩි නෑනයි විතරයි. ඔන්න ඉතින් අපි දෙන්නත් එක්ක එකතු වෙලා හොදට කෝප්ප එහෙම හෝදලා ආපු අයට තේ හදලා දුන්නා.ඒ කොල්ලොත් තේ ටිකක් බීලා හොරෙන් මොනවද කුටු කුටු ගෑවා . දැන් අපිටත් ටිකක් විතර අවුල්.ඉතිං අවුලක් නම් ලිහා ගන්න එපෑ.නෑනා ඇහුවා ඇයි කියලා .මුන් අහපි තේ හැදුවෙ මොනවගෙන් කෝප්ප හෝදලා ද කියල. නෑනා කිව්වා සබන් දාලා කියල.එතකොට තමයි මට වැඩේ මීටර් වුනේ.එදා විම් තිබ්බෙ නෑ ගෙදර .අපි දෙන්නා හදිස්සියට අතට අහුවුන සබන් කෑල්ලක් අරගෙන සේදුවා.කරුමෙ කියන්නේ ඒක ලක්ස් සබන් .අපි දෙන්නා ම හිතුවෙ නෑ තේ එකෙන් ඒ සුවඳ එයි කියලා .කොහොම හරි අපි දෙන්නම චාටර් එදා.හැබැයි ඉතින් පස්සේ කාලෙක ආදර සම්බන්ධයක් හදාගෙන මගේ පොඩි නෑනා කසාද බැන්ඳෙ ඒ තේ බීපු කොල්ලො දෙන්නගෙන් එක්කෙනෙක්.
මේක නම් ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි .ඒ දවස්වල මට තිබ්බා හරිම කැත පුරුද්දක් .කාට හරි කෑමක් බීමක් දීපුවම නොකා නොබී හිටියොත් මම කියනවා අපි එක්තරා ජාතියක අය නෙවේ .බය නැතුව කන්න බොන්න කියලා.ඉතින් දවසක් හස්බන්ඩ් ගේ යාලුවෙක් ආවා ගෙදර .මේ මනුස්සයා තේ එකක් දුන්නාට බිව්වේ නෑ.ඔන්න ඉතින් මගේ අර සුපුරුදු නරක නුසුදුසු කතාව කටින් එලියට පැන්නා.අනේ අර මනුස්සයා මූණ දිහා බලලා තේ එකත් බීලා ආපු වැඩෙත් කරගෙන ගියා.එයා ගියා විතරයි හස්බන්ඩ් ඇහුවා මොනවද ඔයා ඒ කිව්වේ එයාගේ වයිෆ් ඒ ඔයා කියපු ජාතියෙ.ඒ මනුස්සයා මොනවා හිතුවද දන්නේ නෑ කියලා .අම්මපා ඒකට නම් මට මාර විදිහට දුක හිතුනා .ඒ සිද්ධියෙන් පස්සෙ අර නරක කතාවත් මගෙන් ඈත් වුණා.
තේ නිසා මට අන්තිමට වුන දේ තමයි .මේක තුන් පාරක් ලියන්න වුණා.එක පාරක් මගේ අතින් ඩිලීට් වුණා.දෙවෙනි සැරේ භාගෙට ලියපු එක පුතා දාලා.වැඩක් නෑනේ එහෙම දැම්මට.මේ තුන්වෙනි වතාව.ඇත්තමයි මේ තේ නම් මට පේන්න බෑ.මම ආසම නෑ.
උපුටා ගැනීම: Menaka Jayasekara

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!