ඩොක්ටර් අපි මේ කරන ටෙස්ට් එක නීති විරෝධී නැත්නම් නම් ඇයි අපි මේක මෙහෙම රහසේ කරන්නේ..
වෛද්ය විජය වික්රමගේ විශ්වාසනීය සහායක, වයස අවුරුදු හතලිහක් පමණ වූ රංජන්, ජීවානුහරණය කරන ලද බීකරයක් අඩුවකින් ගෙන අධාරකයක් මත තබමින් ඇසීය..
මේක අපි රහසක් විදියට තියාගන්නේ මේක නීති විරෝධී නිසා නෙමෙයි. අපි මේකේ අවසන් ප්රතිඵලය ගන්න කලින් වෙන කෙනෙක් මේක හොරකම් කරන්න ඉඩ තියෙන නිසා…
මොකක්ද ඩොක්ටර් මේ හදන බෙහෙතෙන් කරන්න හදන්නේ..
මේක මම හදන්නේ මොකටද කියලා මම තව ටිකකින් කියන්නම් රංජන්.. දැන් මට මහන්සියි. අපි තේ එකක් බීලා ඉමු..
ඉන්න ඩොක්ටර් මම හදලා ගේන්නම්..
වෛද්යවරයා හිස වනා එයට අනුමැතිය දී තමා කරගෙන ගිය රාජකාරියේම නියැලෙන්නට විය.. ටික වේලාවකින් ඔහු තම අන්වීක්ෂය තුලින් යමක් බලා කල්පනා කරන්නට විය. ඊට සුළු මොහොතකට පසු කේතලයේ විසිල් නාදය සමග වෛද්යවරයා පියවි සිහියට පැමිණියේය.
ආ..මේ.. රංජන්..
ඩොක්ටර් ..
අපි අර ෆ්රීසර් එකේ තියපු D13 කියලා ගහලා තියෙන සාම්පල් වලින් එකක් අරගෙන එන්න. අයිස් කන්ටේනර් එකකම.
තේ .. එක ඩොක්ටර්..
ඒක පස්සේ බොමු.. ම්… නෑ.. හරි.. මම තේ එක හදන්නම් දෙන්නට.. රංජන් අරක ඉක්මනට අරගෙන එන්න..
රංජන් ගිය පසු වෛද්යවරයා තේ දෙකක් සාදාගෙන් පැමිණ නැවත තම කාර්යයෙහි නිරත විය.
මොහොතකින් අයිස් පුරවන ලද බදුනක ගෙන ආ සාම්පලය මේසය මත තැබීය.
වෛද්යවරයා ඉන් ස්වල්පයක් ගෙන තවත් වීදුරු තහඩුවක තබා තවත් සංයෝගයක බිඳක් සමග මිශ්ර කරන්නට විය..
අනේ .. ඩොක්ටර් මටත් තේ හදලා..
මටත් තේ හදන්න පුලුවන් රංජන්..
සිනහවක් සමග පැවසූ වෛද්යවරයා තේ උගුරක් බී කාරයයෙහි නිරත විය.
රංජන්ද තේ උගුරක් බොමින් වෛද්යවරයාගේ කාර්යය දෙස බලා සිටින්නට විය..
රංජන්..
ඩොක්ටර් ..
අදද උපන් දිනේ කිව්වේ..
කාගෙද ඩොක්ටර් ..
පුතාගේ
අන්වීක්ෂයෙන් ඇස නොගෙනම වෛද්යවරයා කීය..
ආහ්.. ඔව්.. ඩොක්ටර් .. මම ඩොක්ටර්ට කියන්නත් හිටියේ..මම පොඩ්ඩක් කලින් ගෙදර යන්නද?
හ්ම්.. ඒකත් එහෙමද කමක් නෑ .. යමු .. මම ඔයාව දාගෙන යන්නම්.. මගෙත් වැඩ ඉවරයි..
නෑ.. ඩොක්ටර් .. මම තෑග්ගකුත් අරන් යන්න ඕන..
හරි .. මටත් ලොකු වැඩක් නෑ නේ රංජන්.. යමු..
දෙදෙනා සෙල්ලම් බඩු පිරුණු සාප්පුවට ඇතුල් විය.. රංජන් මොකක්ද බලන්නේ..
එයාට වාඩි වෙලා යන්න පුලුවන් රිචාර්ජබල් කාර් එකක්.. ඒක දවසක් ලමයෙක් පදිනවා දැකලා බලාගෙන හිටියා. මම එදා හිතාගත්තා ඒක උපන් දිනේට අරන් දෙනවා කියලා..
හ්ම්..
එන්න ඩොක්ටර් ගෙට..
අනේ.. මගෙ චූටි මැණික .. රංජන් තම පුතනුවන් වඩාගෙන හුරුතල් කරන්නට විය.. මේ මගේ පැංචට තාත්ති ගෙනාවා.. බෲම් එක..
නිලූ.. එන්න මේ ඩොක්ටර් ආවා මාත් එක්ක.. මේ හැමෝටම එන්න කියලා තියෙන්නේ නිලූ තමයි ඩොක්ටර් .. මම එනකන් ඉන්නේ කේක් එක කපන්න..
රංජන් එය පැවසූයේ ආඩම්බරයක් මුසු වූ සතුටකිනි..
ඉතින් රංජන් මට කිව්වා නම් අද නිවාඩු ගන්න තිබ්බා නේ..
කමක් නෑ ඩොක්ටර් ඒකට..
වූටි පැටියෝ .. බලාගෙන .. කාර් එකෙන් බහින්නේ හොඳද?.. වෛද්යවරයා සමග කතා කරද්දීම තම පුතු දෙස බලමින් රංජන් පැවසීය..
උපන් දින සාදය සිතුවාටත් වඩා සාර්ථක වීම පිළිබඳව රංජන්ගේ හිත සතුටෙන් පිනා ගියේය . ..
රංජන් එහෙනම් මම යන්නම්..
හරි ඩොක්ටර් .. පරිස්සමෙන් .. පැටියෝ ඩොක්ටර් අංකල්ලට ගුඩ් නයිට් කියන්න..
නිලූ .. මේ ඩොක්ටර් යනවා. තම බිරිඳ ඔතා දුන් කෑම පාර්සලය රංජන් වෛද්යවරයාට දුන්නේ ඔහුගේ බිරිඳට දෙන ලෙස පවසාය..
සාදයේ සතුටත් සිතේ ඇතිව රංජන් තම බිරිඳ හා පුතා සමග නිදන්නට විය..
පසු දින අවදි වූ රංජන් දුටුවේ.. තම කාමරයේ ඇති සෙල්ලම් කාරයයි.. ඔහු කල්පනා කරද්දී ඔහුට සිහි වූයේ ඔහු තම පුතුට එය ඊයේ ගෙන ආ බවයි.. ඒත් සමග ඔහු බිත්තිය දෙස බැලීය.
සුදු මල් මාල දැමූ තම බිරිඳගේ සහ පුතණුවන්ගේ ඡායාරූප දෙක බිත්තියේ එල්ලී ඇත.. ඔහුට මීට වසර පහකට පෙර සිදුවූ ඒ කාලකන්නි රිය අනතුර මතක් වද්දී ඔලුව පැලෙන්නට මෙන් විය.. ඔහු තම හිස වේගයෙන් ඇඳ විට්ටමේ ගසා ගන්නට විය..
කෑ ගසා හැඩූ රංජන් මොහොතකින් සන්සුන් විය.. ඔහුට සියල්ල පැහැදිලි විය. වෛද්යවරයා තමාට යමක් තේ කෝප්පයට මිශ්ර කර දුන් බව ඔහුට පැහැදිලිය.. ඒ අන් කිසිවක් නොව මීට දින කීපයකට පෙර සෑදූ බෙහෙත් පෙත්ත බවට සැක නැත.. එසේ නම් ඒ පෙත්ත මනෝ රූප මවන්නට සමත් වේ.. මොලයේ ක්රියාකාරීත්වය වෙනස් වේ.. මතකය වෙනස් කරන්නට හැකියාවක් ඇත යන්න රංජන්ට පැහැදිලි විය.. ඒත් තමාට හිතන්නට අවශ්ය දෙය තීරණය වන්නේ කෙසේද යන්න රංජන්ට පැහැදිලි නැත..
ඔහුට යමක් මතක් වූයෙන් ඔහු ක්ෂණිකව ඇඳගෙන පරීක්ෂණාගාරය වෙත ගියේය. ඔහු යන විටත් වෛද්යවරයා පැමිණ නොතිබීම ඔහුට වාසියක් විය.. ඔහු ඉක්මනින්ම එහි සී.සී.ටී.වී මගින් පටිගත වූ දර්ශනය නරඹන්නට විය. එහිදී වෛද්යවරයා තේ කෝප්පයට එක පෙත්තක් මිශ්ර කරන ආකාරයත්. තාමා හිතන්නට අවශ්ය කාරණය ඔහු මතක් කර දෙන බවත් දිටීය. එහි හඬ පටිගතවීමත් ඇති නිසා එය පැහැදිලිව දැක ගත හැකි විය..
රංජන් කල්පනා කරන්නට විය.. වසර පහකට පසු තම පුතාත් තම බිරිඳත් එක්ක ගෙවු පෙරදා රැය ඔහුට සිහි විය. ඒ තමා වසර පහකට පසු සතුටෙන්ම සිටි දිනයයි..
රංජන් වහා ක්රියාත්මක විය. නිපදවූ පෙති වලින් තුනක් ගෙන සාක්කුවේ දාගත් ඔහු වහා නිවසට පිටත් විය. ඔහු නිවසට ගිය විගස තම ජංගම දුරකථනය ගෙන එහි තම හඩින් විධාන කීපයක් පටිගත කලේ වේලාවල් පවා බලමිනි..
වෛද්යවරයාට රංජන්ගේ මිණිය හමුවන විට ඔහු මියගොස් දිනක් ගතවී ඇත.. ඔහු ඒ අසලම තිබූ දුරකථන ගෙන පරීක්ෂා කරද්දී එහි තිබූ හඩ පටය හමු විය..
ඔහුගේ පළමු විධානය ලැබෙන්නේ පටිගත කිරීම පටන් ගෙන විනාඩි පහකිනි.. එහිදී පැහැදිලි වූයේ.. ඔහු එම පෙත්ත තම ශරීරයේ ක්රියාත්මක වීමට යන වේලාව එසේ නිහඩව තබා ඉන්පසු විධානය ලැබෙන ලෙස සකසා ඇති බවයි..
ඉන්පසු පළමු හඬ ඇසේ..
ආහ් .. රංජන් අද පාක් ආවද?.. පුතා ඔයාගෙයි නිලූගෙයි අතේ එල්ලිලා සෙල්ලම් කරනවා නේද?
වෛද්යවරයාගේ නෙතින් කඳුලු වැටෙන්නට වූයේ එය රංජන් කොතරම් ආශාවෙන් කරන්නට ඇතිද යන්න තේරුම් ගිය නිසාවෙනි.. මීට වසර පහකට පෙර මිය ගිය තම බිරිඳ හා පුතුන් සමග මේ මිනිසා මීට දිනකට පෙර තම අවසාන මොහොත සතුටින් ගත කොට ඇත.
තවත් විනාඩි පහළොවක් පමණ කිසිදු ශබ්දයක් නැත. ඉන්පසු නැවත් ඔහුගේ හඬ ඇසිනි..
ආහ්.. නිලුයි පුතයි අයිස්ක්රීම් කනවා නේද?. අනේ.. කොලු පැටියා හරි ආසාවෙන් කන්නේ.. අර.. අර.. අයියෝ.. මූණ පුරාම ගාගෙන කනවා.. එසේ කියා රංජන් සිනාසුනි..
ඔහුට විනාඩි පහලොවකට පසු එලෙස දකින්නට උවමනා වූයේ ඇයිදැයි වෛද්යවරයාට ගැටලුවකි.. එය නිරාකරණය වූයේ නැවත ඔහුගේ හඬ ඇසීමෙනි..
ඔයත් ඔය බංකුවේ දකුණු පැත්තේ තියෙන කශාය එක බොන්න. පොඩ්ඩක් තිත්ත උනත් නිලූ ඕක හදලා මේ පාක් එකටත් අරගෙන ආවේ ඔයාට ආදරේ නිසානේ.. ඔය සෙම හොඳවෙන්න එක පාර බිව්වානම් නිලුත් සතුටු වෙයි.. ආහ්.. අර නිලූ අතින් කියනවා බොන්න කියලා..
වෛද්යවරයා බිම වැටී කුඩු වූ කෝප්පය රෙදි කඩකින් අල්ලා නහයට ලං කර බැලීය.. කෘමිනාශක ..
උඹ සතුටෙන් මැරෙන්න ඇති රංජන්..
(සජිත රොෂාන්)..
මූලාශ්‍රය : Malith Madushanka