මං පොඩි කාලෙ අාසම දවසක් තමයි ගෙදර තෙල් හිඳින දවස. ඒ කාලෙ කඩෙන් පොල් තෙල් ගේන්නෙම නැති තරම්. තෙල් මෝලෙන් තෙල් හිඳින්න නම් පොල් කෑලි කපල වේලන්න ඔ්න. නැත්තම් පොල් කුඩු වේලන්න ඔ්න. අත්තම්ම කියන්නෙ ගෙදර තෙල් හිඳින එක ඊට ලේසිලු. පිරිසුදුයිලු.
දර මඩුවෙ පැත්තක වේලිච්ච පොල් ගෙඩි ගොඩ ගහල තියෙනව. අත්තම්ම බාප්පට කියල එ්ව සේරම ලෙලි ගහගන්නව. අපි නම් කියන්නෙ පොල් ඔයනව කියල. බෑ කිව්වොත් දවල්ට බතුත් නෑ කියල දන්න නිසා බාප්ප කුනු කුනු ගගා උදේ ඉඳන් පොල් ඔයනව. හැබැයි අත්තම්ම පොල් හිඳින්න යනව කියල බාප්පට කලින් දවසෙ ඉව වැටුණොත් එහෙම සද්ද නැතුව උදේම කොහෙටහරි මාරු වෙනව. එහෙම දවසට අත්තම්ම බාප්පට බැණ බැණ දළු කඩන සිරිපාල මාමව ගෙන්න ගන්නව.
තෙල් හිඳින දවසට උදේට උයන්නෙ දවල්ටත් එක්කමයි. එදාට කන්න ඉන්න කට්ටියත් වැඩියිනෙ. කලින් දවසෙ රෑ ලිප තියපු මාලු අැඹුල්තියල් වලට කිරිකොස් උයල මෑ කරල් තෙල් දානව. නැත්තම් කොස් මැල්ලුම් හදල සැමන් හොදි හදල වට්ටක්ක උයනව. තක්කාලි සම්බෝලෙකුත් වරදින්නෙ නෑ. සේරම දීසි වලට බෙදල මේසෙට අැරල කුස්සිය අස්කර ගන්නව.
පොඩි නැන්ද ලොකු පිහියෙන් පොල් ගෙඩි එක එක බිඳල වට්ටියෙන් තියනව. පොල් වතුර ටික ජොග්ගුවට වක් කරනව. මම පැත්තකින් වාඩි වෙලා ඉන්නව. වැඩිය වේලුනේ නැති පොල් ගෙඩි තිබුණොත් නැන්ද එ්වගෙ වතුර ජොග්ගුවට නොදා පොල් බෑයටම අරගෙන මට දෙනව. එ්ව පැණි රසයි. පොඩි සැර ගතියකුත් තියනව වේලුණු පොල් වල වතුරට වැඩිය.
සමහර පොල්ගෙඩි වල පොල් මද හැදිල. චූටිම එ්වගෙ තිත්ත රහක් තියෙන්නෙ. ටිකක් ලොකු එ්වනම් හරිම රසයි. කිරි රහයි පැණි රහයි කවලම් වෙලා. පොල් ගෙඩිය පිරෙන්න තියෙන ලොකු ඒව පුලුන් වගේ උනාට හුඟක් වෙලාවට දිය රහයි.
අත්තම්ම හිරමනෙත් අරන් පොල් ගාන්න වාඩි වෙනව. හිරමනේ හදල තියෙන්නෙ ලී කොටයක් එක කොනකින් ඉස්සිලා තියෙන විදියට කපල තලයක් හයි කරල. එ්ක අපේ සීයගෙ අම්මගෙලු. පොඩි නැන්ද පොල් ගාන්නෙ බංකුවක් එක්ක තියන හිරමනෙන්.
පොල් ගෙඩි ගොඩක් හිඳින දවසට කර්ලිනා අාච්චිත් එනව හිරමනේකුත් අරගෙන. අාච්චි කිව්වට එයා අඳින්නෙ අපේ අත්තම්ම වගේ රෙද්දයි හැට්ටෙයි නෙවේ. හොඳටම බුරුල දිග ගව්මක්. ඒකට කියන්නෙ කිමෝනාව කියල. හැබැයි ඔෂින්ගෙ කිමෝනාවෙ වගේ බඩ මැදට පටියක් ගැට ගහන්නෙ නෑ.
තුන් දෙනාම එකතු වෙලා පොල් ගානව. මං කැරකි කැරකි ඉඳල පොල් අහුරක් අරන් කටේ දාගෙන තවත් පොල් ටිකක් අරන් කිටියටත් දෙනව. එතකොට නම් අත්තම්ම සැර කරනව. එදාට කිටිය කුස්සියට එනවටවත් අත්තම්ම කැමති නෑ.
දවල් වෙනකොට මට බඩගිනියි. අත්තම්ම මට බත් බෙදල දීල ඉස්තෝප්පුවේ පුටුවකින් වාඩි කරවනව. මායි කිටියයි බත් කනව. අත්තම්ම කවන්නෙ නැති නිසා බත් එකෙන් බාගයක් අනල කිටියට දානව. “පොල් ටිකත් මිරිකලම කමු නේද කරලිනෝ” අත්තම්ම කියන සද්දෙ කුස්සියෙන් අැහෙනව.
පොල් කිරි මිරිකල දොදොල් හදන ලොකු තාච්චියට දාල වහල තියෙනව. කවුරුත් එහාට මෙහාට වෙනකම් ඉඳල මං මගේ චූටි කෝප්පෙන් කිරි ටිකක් අරගෙන කිටියට දෙනව.
පොඩි නැන්දයි කර්ලිනා අාච්චියි බත් කනකම් අත්තම්ම ලිප මොලවනව. ගෙයි කුස්සියේ ලිප පොඩි නිසා මැටි කුස්සියෙ තියන ලොකු ලිපේ තමයි තියන්නෙ. අත්තම්ම ලොකු දර කෑලියි පොල් හණසුයි ලිපට දාල වේලිච්ච පොල් කොල ටිකකට ගිණිකූරක් ගහල ලිපට ඔබනව. පොල් හනසු කෑලි ගිණි අරන් හැදෙන රතුපාට කණාමැදිරියො වහලෙ පොල් අතු වලට පියාඹන්න හැදුවට මගදිම නිවිල යනව. කර්ලිනා අාච්චියි පොඩි නැන්දයි දොදොල් තාච්චිය දෙපැත්තෙන් අල්ලගෙන අැවිත් ලිප උඩ තියනව. අත්තම්ම අායෙ ලිපට පිඹල පොල් කටුවකුත් දාල තමයි බත් කන්න යන්නෙ.
පොඩි නැන්දයි කර්ලිනා අාච්චියි පොල් කුඩු ටික අරන් අැවිත් රතු ගාපු සාලෙ බිම මදිනව. එතකොට බිම දිලිසෙන්න ගන්නව. දිව්වොත් එහෙම ලිස්සල වැටෙන්නත් පුලුවන්.
අත්තම්ම සැරින් සැරේට ගිහින් ලිප තියපු පොල් කිරි ටික බලල එනව. පොල් කිරි මුලින්ම රත් වෙලා නටනව. උතුරන්න අාවොත් විතරක් හැඳි ගානව. හුඟ වෙලාවකට පස්සෙ සුදු පාට කැටි හැදිල එ්ව යට ගිහින් තෙල් මතුවෙන්න ගන්නව. එ් වෙලාවට නම් හැඳි ගානව තියා සොලවන්නෙවත් නෑ. එහෙම සුදු පාට කැටි යට ගිහින් එ්ව කර වෙනකොට පලාතම සුවඳයි.
හොඳට තෙල් මතු උනාට පස්සෙ බොකු ගැහිච්ච පොල්කටු හැන්දක් අරන් තෙල් ටික විතරක් පරිස්සමින් වෙන බාජනේකට දාගන්නව. සුදු කැදලි කර වෙවී තව තෙල් මතු වෙනව. සේරම තෙල් එකතු කර ගන්නකොට ලිපත් ඉබේම නිවිල ගිහින්.
තෙල් නිවුනම රෙදි කෑල්ලක් තියල පෙරල වීදුරු බෝතල් වලට පුරව ගන්නව. තෙල් ටිකක් ඉතුරු කරගෙන උලුහාල් බැඳල තෙල් කර කරල වෙනම බෝතලේකට දා ගන්නව ඔලුවෙ ගාන්න ගන්න. එ්කට සැවැන්දරා මුල් කෑල්ලකුත් දැම්මම හරි සුවඳයි.
තෙල් හිඳිද්දි යට ගියපු සුදු පාට කැටි තාච්චිය පතුලෙ අැලිල තියෙනව. මැද එ්ව කිරි කෝපි පාටයි. එ්ව කිරි රසයි. පොඩි වතුර ගතියකුත් තියෙනව. කෙලවරට යනකොට පාට එන්න එන්න තද වෙලා කිරි නොදා තදට හදපු කෝපි පාටයි. කිරි රස ටික ටික අඩු වෙවී පැණි රස වැඩි වෙනව. හැබැයි ගොඩක් කර වෙච්ච එ්ව තිත්ත ගතියයි. එ් හැම පාටම එ්වට කියන්නෙ තෙල්කා කියල.
මං පොල් හිඳිනකම් බලන් ඉන්නෙ තෙල්ක කන්න. හැබැයි අත්තම්ම දෙන්නෙ මේස හැන්දකින් එකක් විතර හරිම චුට්ටයි. අත්තම්ම තෙල්ක වතුරෙ දිය කරල ලුණු ටිකකුත් දාල තෙල්ක කැඳ හදනව. එ්ව එච්චර රස නෑ. මට ඔ්න තෙල්ක විතරක් කන්න.
ඉතින් ඔහොම තෙල් හිඳපු දවසක මායි කිටියයි හොරෙන් මැටි කුස්සියට රිංගුව තෙල්ක කන්න. හැන්දකින් හූර හූර හිතේ හැටියට තෙල්ක කෑව. අම්මෝ දිවියලෝක රහයි. කිටියටත් දුන්න එපා වෙනකම්ම. අත්තම්ම තේ බොන්න කතා කරන සද්දෙ අැහෙනකොට තාච්චියෙන් බාගෙකටත් වැඩිය ඉවරයි. මං කට පිහදගෙන සද්ද නැතුව අැවිත් කිටියටත් වැඩිය පූස වගේ හිටියා.
කොහොමහරි අත්තම්මට එදා වැඩ වැඩි නිසාද කොහෙද තෙල්ක කැඳ හැදුවෙත් නෑ. එ් නිසා අපි අහු උනෙත් නෑ.
එ් උනාට රෑ වෙනකොට හොඳටම බඩේ අමාරුව. වමනෙ යනව ඉවරයක් නෑ. මට විතරනම් මොකෝ කිටියටත් එහෙමයි. එ්ත් මං කිව්වෙ නෑ තෙල්ක කෑව කියල. තාත්ත ගෙදර අාපු ගමන් ඩොක්ට ගාවට අරන් ගියා. කොහොමහරි ඉස්පිරිතාලෙත් දවසක් ඉන්න උනා. ඉපදුනාට පස්සෙ මුලින්ම ඉස්පිරිතාලෙ නැවැත්තුවමද කොහෙද. කිටිය නම් කුප්පමේනිය අනම් මනම් කාල සනීප වෙලා.
ඒ තමයි තෙල්ක කාපු අන්තිම දවස. තෙල් හිඳපු ගමන් තාච්චිය හෝදල දානව. පස්සෙ අත්තම්ම ලෙඩ උන නිසා ගෙදර තෙල් හිඳින එකත් නැවතුනා. දැන් තෙල් ගේන්නෙම කඩෙන්නෙ.
කවදහරි මගේම කියල කුස්සියක අයිතිකාරයෙක් වෙච්චි දවසක තෙල් හිඳල තෙල්ක කන්න තමයි හිතන් ඉන්නෙ. ඒත් ඉතින් දැන් පොල් ගණන් යන හැටියට එ්කත් හීනයක් වෙයි වගේ.
උපුටා ගැනීම: Arundi Wijesooriya