හැඩට, ලස්සනට ඉන්න කාන්තාවන් හරිම කැමතියි. නිවසේ දී කැඩපත ඉදිරියට එක්වරක්, දෙවරක් ගමන් කරන එක ඔවුන්ගේ සිරිතක්. ඒ වගේම ගමනක් බිමනක් පිටත් වීමේදී හෝ රැකියා කරන ස්ථානයේ දී ස්මාර්ට් දුරකථනයෙන් එහෙමත් නැතිනම් කුඩා බෑගයේ හෝ පසුම්බියේ කොනක සඟවා ගත් කුඩා කැඩපතෙන් හැඩ බැලීමත් ඔවුන්ගේ සාමාන්‍ය සිරිතක් වනවා. එය ලොකු කුඩා කාන්තාවන් සියල්ලන්ගේ ම පුරුද්දක් බවට පත්වෙලා තිබෙනවා.
එලෙස හැඩට ඉන්න වගේම බාහිර අලංකාරය පවත්ත්වා ගන්න රූපලාවන්‍ය ද්‍රව්‍ය හා උපකරණ භාවිතය සාමාන්‍ය යි. රූපලාවන්‍යයේදී Lipstick (ලිප්ස්ටික්) එහෙමත් නැතිනම් තොල් ආලේපන විශේෂ තැනක් අත් කරගන්නවා. මේ ලිපියේ අවධානය Lipstick (ලිප්ස්ටික්) එහෙමත් නැතිනම් තොල් ආලේපනවල රසායනය පිළිබඳව යි.

තොල් ආලේපනවල අඩංගු රසායනික ද්‍රව්‍ය
ලෝකයේ බහුලව ම භාවිත වන රූපලාවන්‍ය නිෂ්පාදනයක් වන තොල් ආලේපන සදහා පුළුල් පරාසයක පැතිරුණු රසායනික ද්‍රව්‍ය අවශ්‍යයි.
ලිප්ස්ටික් සදහා රසායනික ද්‍රව්‍ය තෝරාගැනීමේ දී සාධක 03 ක් සලකා බලනවා.
01) අපේක්ෂිත වර්ණය (Desired Colour)
02) දිළිසුම (Glossiness)
03) නොමැකෙන බව (Indelibility)
මෙම සාධක ඔස්සේ නිපදවන එක් තොල් ආලේපනයක රසායනික සංයෝග සිය ගණනක් අන්තර්ගත යි. ඒ අතුරින් අත්‍යවශ්‍යය වන ද්‍රව්‍ය හා සංයෝග කිහිපයක් පවතිනවා.

තොල් ආලේපනවල සාමාන්‍ය සංයුතිය
තොල් ආලේපන වර්ග අනුව පුළුල් ව වෙනස් විය හැකි ද්‍රව්‍ය අඩංගු වුවත් ඒ සඳහා පවතින සාමාන්‍ය සංයුතිය මෙසේයි:
01) ඉටි (Waxes)
02) තෙල් (Oils)
03) වර්ණක හා සායම් (Pigments and Dyes)
04) සුවඳකාරක (Fragrant)
05) තෙතමනකාරක (Moisturising)
මෙම ද්‍රව්‍ය තොල් ආලේපනවල සංයුතියෙන් වැඩි ප්‍රමාණයක් සෑදීමට දායක වනවා.

01) ඉටි
ඉටි, තොල් ආලේපනවල ව්‍යුහය (Structure) සහ හැඩය (Shape) සදහා දායක වනවා. මේ සදහා ස්භාවිකව වෙනස් ඉටි පරාසයක් භාවිත කරනවා. එහිදී ප්‍රධාන ලෙස මී මැසි ඉටි (Beeswax) යොදා ගන්නා අතර එහි විවිධ රසායනික සංයෝග 300ක් පමණ අඩංගුයි. එහි සංයුතියෙන් 70%ක් පමණ එස්ටර සංයෝග වන අතර ඉතිරි 30% කාබනික අම්ල හා හයිඩ්‍රෝකාබන (හයිඩ්‍රජන් සමඟ බැදුණු කාබන් අඩංගු සංයෝග) යි.

තොල් ආලේපන සඳහා භාවිත වන වෙනත් ඉටි වර්ග
මී ඉටි හැරුණුවිට තොල් ආලේපන සඳහා වෙනත් ඉටි වර්ග කීපයක් භාවිත කරනවා. ඒවා පහත දැක්වෙන පරිදි යි.
කර්නාබා ඉටි (Curnaba Wax)
බ්‍රසීලියානු Copernicia prunifera නම් පාම් ශාකයෙන් ලබා ගන්නා ඉටි මෙසේ හැඳින්වෙන අතර එහි ද්‍රවාංකය 87 ‘C (සෙල්සියස් 87) ක අගයක්. එය ඕනෑම ඉටි වර්ගයක ඉහළම ද්‍රවාංකයයි. මෙම ඉටිවලින් සාදන තොල් ආලේපන තරමක් තද සූර්‍ය්යාලෝකයේ දී වුව ද දිය නොවන බවයි පවසන්නේ. එය තොල් ආලේපන සඳහා අමතර වාසියක් ලිප්ස්ටික් සදහා ගෙන දෙනවා.

කැන්ඩෙලිලා ඉටි – (Candelilla Wax)
කැන්ඩෙලිලා පඳුරුවල (Candelilla Shrub) කොටස් මගින් කැන්ඩෙලිලා ඉටි නිස්සාරණය කරනවා.
ලැනොලින් ඉටි (Lanolin wax )
ලොම් සහිත සතුන්ගේ (Woollen Animals) ග්‍රන්ථිවලින් ශ්‍රාවය වන ඉටි මෙසේ හදුන්වන අතර ඒවා බැටළුවන් වැනි සතුන්ගෙන් ලබා ගන්නවා. තොල් ආලේපනවල ව්‍යුහය සෑදීමට අමතර ව ඉටි මගින් තොල් ආලේපන සඳහා දීප්තියක් ලබාදීම හා අනෙකුත් මූලද්‍රව්‍ය එකට සම්බන්ධ කිරීමට උපකාරීවන සම්බන්ධ කාරකයක් ලෙස ක්‍රියා කරන බවයි පවසන්නේ.

2) තෙල් වර්ග
සම මෘදු කිරීම,සම සිනිදු කිරීම තොල් ආලේපනවල අඩංගු තෙල්වල ප්‍රධාන කටයුත්ත යි. තොල් ආලේපනවල විශාල ම ප්‍රතිශතය ලෙස භාවිත කරන්නේ කැස්(ටෝ)ර් (Castor Oil) තෙල් ය.

මීට අමතර ව ඔලිව් තෙල් (Olive Oil) හා ඛණිජ (Mineral) වර්ග ද භාවිත වනවා. තෙල් මගින් සම සිනිඳු කිරීමට අමතර ව ලිප්ස්ටික් තොල් මත ආලේපනය කිරීම පහසු කරවන අතර පෙනුම හා දීප්තිය ලබා දෙනවා.
තොල් ආලේපනවල භාවිත කරන ද්‍රාව්‍ය වර්ණක සඳහා ද්‍රාවකය ලෙස ද තෙල් ක්‍රියා කරනවා. තොල් ආලේපනවල ඇති දිය නොවන වර්ණක විසුරුවා හැරීමට ද ඒවා දායක වනවා.

03) වර්ණක හා සායම්
තොල් ආලේපනවල සංයුතියේ වර්ණය යනු ඉතා සුළු ප්‍රතිශතයක් වුව ද වර්ණය ලබා දෙන වර්ණක ඉතා වැදගත්. වර්ණක යනු ද්‍රාව්‍ය නොවන වර්ණ සංයෝග වන අතර එම සායම් බහුලව ම දියර හෝ ද්‍රාව්‍ය යි.
උදාහරණ ලෙස රතු වර්ණය සදහා කාමයින් රතු (Carmine Red) කාමයින් අම්ල සාමාන්‍යයෙන් භාවිත කරනවා. එම වර්ණක සෑදීම සදහා ශුෂ්ක ශාක මත ජීවත්වන කෘමීන් යොදා ගන්නවා. එම කෘමීන්ගේ බරෙන් 17-24% ක පමණ කාර්මිනික් අම්ලය
අන්තර් ගතයි. මේ සඳහා යොදා ගන්නා කෘමින්ගේ දේහ ඇමෝනියම් කාබනේට් ද්‍රාවණයක තම්බා පෙරීමේ දී පොටෑසියම් ඇලම්
(Potassium Aluminium Sulphate) එකතු කර මෙම වර්ණය නිස්සාරණය කර ඝන රතු වර්ණය බොහෝ තොල් ආලේපනවල ප්‍රධාන වර්ණකය වනවා.

තොල් ආලේපන භාවිතයේ දී වර්ණය වෙනස් වීම
ඔබ මිල දී ගත් තරමක් නිල් පැහැයට හුරු රතු පැහැති තොල් ආලේපන, ආලේප කර සුළු කාලයකින් තද රතු පැහැවීම ඔබ මේ වන විටත් අත්විඳ ඇති. එයට හේතු කාරකය ඉයොසින් (Eosin) නම් සංයෝගය ලිප්ස්ටික් සදහා භාවිත කිරීමයි. ඒ මගින් තොල් ආලේපන නොමැකී දිගු කාලයක් පවතිනවා.
මෙය සායම් වර්ගයක් වන අතර එය යෙදෙන විට එහි වර්ණය සියුම් ලෙස වෙනස් කරනවා. එය යොදා ඇති තොල් ආලේපන, ආලේපනය කරන විට සමේ ප්‍රෝටීනවල ඇති ඇමයින කාණ්ඩ සමඟ ප්‍රතික්‍රියා කරනවා. මෙම ප්‍රතික්‍රියා නිසා එහි වර්ණය තීව්‍ර වී ගැඹුරු රතු පැහැයක් ගන්නවා. ඔබ තොල් ආලේපන මිලදී ගන්නා විට මෙම සංඝටක සදහන් කර ඇති දැයි බලන්න.

රෝස පැහැ තොල් ආලේපන නිෂ්පාදනය
රතු පාට වර්ණක හා සායම්වල තීව්‍රතාව වෙනස් කිරීමට සුදු පැහැ සංයෝගයක් වන ටයිටේනියම් ඩයොක්සයිඩ් එකතු කරනවා. මේ සදහා යොදා ගන්නා ටයිටේනියම් ඉතා සුපිරිසිදු යි.එමගින් ලැබෙන්නේ රෝස පැහැය යි.
තොල් ආලේපන ශරීරයට අහිතකරයි ද?
බැර ලෝහ සුළු ප්‍රමාණයක් තොල් ආලේපනවල අඩංගු යි. ලෙඩ්, කැඩ්මියම්, ඇලුමිනියම්, ක්‍රෝමියම්, මැන්ගනීස් තොල් ආලේපනවලට මෙසේ එකතු වී තියනවා. ලෙඩ් රහිත නිෂ්පාදනත් වත්මන් වෙළඳ පොළෙන් මිලදී ගන්නට පුළුවන්.

ලෙඩ් විෂකාරකයක් බැවින් ඔබ මිලදී ගන්නා තොල් ආලේපනවල අන්තර්ගතය හොඳින් බලන්න. තොල් ආලේපන වර්ග මිල දී ගන්නා විට මිල මත ම පමණක් පදනම් නොවී ශරීරයට අහිතකර ද හිතකර ද යන්න ගැනත් සැලකිළිමත් වී වඩාත් හොඳ තොල් ආලේපන වර්ග මිලදී ගන්න.
උපුටා ගැනීම: roarmedia