‘‘මහසෝන් බළකාය’’ රටුන් අතරේ ප්රසිද්ධියට පත් වූයේ යුද්ධය පැවති කාලයේය. හිටි හැටියේ කොටි අඩවියට කඩා පැන සතුරාට පහර දී අතුරුදන් වූ නිසා මේ කණ්ඩායම මහසෝන් බළකාය යනුවෙන් හැඳින්වුද යුද හමුදාවේ බසින් ඔවුන් හැඳින්වූයේ ‘‘ලර්ප්’’ හෙවත් දිගු දුර විහිදුම් ඒකකය යනුවෙනි.
යුද හමුදාවේ දිගු දුර විහිදුම් ඒකක තිබුණේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ හා විශේෂ බළකායේය. සිවු වැනි ඊළාම් යුද්ධය පැවැති කාලයේ විශේෂ බළකා බළසේනාධිපතිවරයෙක් වූයේ කර්නල් නිර්මාල් ධර්මරත්නය.
මේජර් ජෙනරාල්වරයෙක් ලෙස ඔහු විශ්රාම ගියේ යුද හමුදා නියෝජ්ය මාණ්ඩලික ප්රධානී ධුරය හොබවාය. ඒ සමයෙහි ඔහු පැන්න පැරෂුට් පිම්මත් වාර්තා පොතට ගියේය.
ඔහුගේ දහස් වැනි පැරෂුට් පිමම වාර්තා, පොතට ගියේ එවැනි හපන්කමක් කළ දකුණු ආසියාවේ ජ්යෙෂ්ඨතම හමුදා නිලධාරියා ලෙසය.
සිය හමුදා දිවියේ දී ඔහු කිහිපවරක් මහ වන මැදදී කරුණා අම්මාන් සමග සටන් කළේය. එකල කරුණා එල්.ටී.ටී.ඊයේ අම්පාර මඩකලපුව භාර සන්නද්ධ නායකයාය. මේ හමුදා දිවියෙන් ඉසඹු ලබා සිටින මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මරත්න සිය අත්දැකීම් පිළිබඳ කරන මතකාවර්ජනයකි.
ඒ එක්දහස් නවසිය අනූව වසරය. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මඩකලපුව හා අම්පාර සන්නද්ධ නායක කරුණා අම්මාන්ගේ ආරක්ෂිත බිම වූයේ තොප්පිගලය.
පොළොන්නරුව-මඩකළපුව ඒ-11 ප්රධාන පාරේ වාකරේනි වැව පහු කරන විට දකුණු පසින් පෙනෙන්නේ තොප්පිගලය.
තොප්පිගල එල්.ටී.ටී.ඊ. කඳවුරු සංකීර්ණයේ උන්නච්චිය නමින් හැඳුන් වූ කොටි කඳවුරක්ද තිබුණි.
කොටි කඳවුරට ප්රහාරය එල්ල කිරීම භාර වන්නේ ශ්රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බළකායටය. අනෙකුත් පාබළ රෙජිමේන්තු මෙන් නොව විශේෂ බළකාය විශේෂ වීමට හේතු කිහිපයක් බලපෑවේය. ඉන් ප්රධාන වන්නේ ඔවුන්ටම ආවේණික වූ සටන් හා පුහුණු ක්රමවේදය.
විශේෂ බළකා සෙබළෙකු සතු විය යුතු මූලිකම ගුණාංගය වන්නේ දරාගැනීමේ හැකියාවයි. අවි පුහුණුවට අමතර ආත්මාරක්ෂක සටන් ක්රම, පුපුරන ද්රව්ය මෝටර් කාර්මික විද්යාව, ඉලෙක්ට්රෝනික විද්යාව මෙන්ම ප්රථමාධාර වැනි සියලු දෙයින් මොවුන්ගේ පුහුණුවීම් සමන්විතය.
විශේෂ බළකායට මෙකී ඉලක්කය දෙන්නේ කරුණා අම්මාන් මේ ප්රදේශයේ නිරන්තරයෙන් ගැවසෙන බව දන්නා බැවිනි.
මේ කොටි කඳවුර විනාශ කිරීමේ කාර්යය පැවරුණේ පළමුවැනි විශේෂ බළකා බළ ඇණියේ ‘‘බ්රාවෝ’’ අනුඛණ්ඩය වෙතටය. එකල නිර්මාල් ධර්මරත්න නිලයෙන් මේජර්වරයෙකි. ඉලක්කය ලද විට ඔවුන් මුලින්ම කළේ දින කිහිපයකට අවශ්ය පතොරම් ආහාර පාන ඇතුළු ද්රව්ය සූදානම් කර ගැනීමය.
විශේෂ බළකාය මෙහෙයුමකට යාමට ප්රථම ඔවුන්ගේ සූදානම අනෙක් රෙජිමේන්තුවලට වඩා වෙනස්ය. වෙනත් පාබළ රෙජිමේන්තුවලට සහයක භට පිරිස් පසු පසින් පැමිණියද මේ රෙජිමේන්තුව ගමන් කරන්නේ තනිවමය. එබැවින් දින ගණනකට සරිලන්නට බඩු ගෙනියන ඔවුන්ගේ පසුපස බෑගය හෙවත් පැක් එක කිලෝ ග්රෑම් තිහක් හතළිහක් පමණ බරය. විශේෂ බළකා පැක් එක කොටස් තුනකින් යුතුය. එක් කුටියක් නිදා ගැනීමට භාවිත කරන ෂිට් එකකින්ද අනෙක් කුටි ආහාර හා පතොරම් ඝන ද්රව්යවලින් සමන්විත වේ.
විශේෂ බළකා සෙබළෙකුගේ පැක් එකේ ඇති ආහාර වේලේ විශේෂත්වයක් ඇත්තේය. බත් පැකට් හා එළවළු හා සුප් කැට කිහිපයකින් යුතුය. මෙකී බත් පැකට් කුඩා නූඩ්ල්ස් පැකට් එකකින් තුනෙන් එකක් තරම් වේ. බත් අසුරා ඇත්තේ තලාය එය ආහාරයට ගත යුත්තේ වතුර මිශ්ර කර රත්කරය. චීස් ක්රීම්කැකර් ඔවුන්ගේ ආහාර වේලට ඇතුළත්ය. වතුරද වැඩි වශයෙන් මොවුන් රැගෙන යයි.
දිගු දුර මෙහෙයුම් භටයන් වැඩිපුරම රැගෙන යන්නේ ආහාර සහ ජලයයි. ඔවුන් අඩුවෙන්ම රැගෙන යන්නේ පතොරම්ය. ඊට හේතුව දිගු දුර විහිදුම් සෙබළෙකු කොටි අඩවියට ඇතුළු වන්නේ නිශ්චිත ඉලක්කයක් ගැනීමටය.
කොටි නායකයෝ මරා දැමීමට ඔවුන්ට නිවැරදි ඉලක්කයට යන එක් ස්නයිපර් උණ්ඩයක් වුවත් ප්රමාණවත්ය. ඔවුන්ගේ ඉලක්කය ඒතරම්ව නිවැරදිව ගැනීමට විශේෂ පුහුණුවක් ඇත්තේය.
ආහාර වෙනුවට බඩගින්න නොදැනෙන ටැබ්ලට් ද විශේෂ බළකා සෙබළුන්ට ලැබේ.
බොහෝ විට දිගු දුර මෙහෙයුම් සඳහා යන භට පිරිස් ඔවුන්ගේ සපත්තුවට යටින් සෙරෙප්පු අඩි සවි කර ගනී. එවිට අඩි පහර සිටින්නේ යුද හමුදා භටයින් ගමන් කළ ආකාරයට නොව සාමාන්ය වැසියකු ගමන් කළ ආකාරයටය. එසේම කුඩා කණ්ඩායම් මෙහෙයුම්වලට යාමේ දී සපත්තු අඩියට යටින් තවත් සපත්තු අඩියක් ඉදිරිපස පිටුපසට සිටින සේ මොවුන් සවි කර ගන්නේය.
එවිට අඩි පහර සිටින්නේ මොවුන් ගිය දිශාවට නොව ප්රතිවාරුද්ධ දිශාවටය. සතුරන්ට ඒක පරීක්ෂා වුවත් ඔවුන් ගමන් කරන්නේ ඔවුන් ගිය දිශාවට නොව පැමිණි දිශාවටය.
මේ සියලු කරුණු අවධාරණය කරමින් මේජර් නිර්මාල් ධර්මරත්න ඇතුළු පිරිස තමන්ගේ පැක් එක සූදානම් කර ගත්තෝය. එසේම දුරදක්න, රාත්රි දුරදක්නද අවශ්ය ආකාරයට පැක්වල අසුරා ගත්තේය.
පසු දින හිරු උදාවත් සමගම මේජර් නිර්මාල් ධර්මරත්න ඉංකිරියාමඩු උන්නච්චිය ප්රදේශයේ කොටි කඳවුර සොයා යාමේ ගමන ආරම්භ කළේය.
නමුත් ඔවුන් දහවල් කාලයේ ගමන් කළේ යුද්ධ හමුදාවේ අණසක පවතින ප්රදේශයේ පමණි. ඔවුහු කොටි ත්රස්තයින් සිටින ප්රදේශයට ඇතුළු වීමට රාත්රිය වන තෙක් බලා සිටියහ.
‘‘අපි සාමාන්යයෙන් මෙහෙයුම්වලට යන්නේ රාත්රි කාලයේ විතරයි. දහවල් කාලයේ ආරක්ෂිත ස්ථානවලට වෙලා ඉඳලා රාත්රියට තමයි ඉලක්ක වෙත ගමන් කරන්නේ.’’
මුල්ම දින බ්රාවෝ කණ්ඩායමට ළඟා වීමට හැකි වූයේ කාරවිකුලම් ප්රදේශයට පමණි. ඉන් ඔබ්බට දහවල් කාලයේ ගමන් කිරීමේ හැකියාවක් නොතිබුණි.
එතැනින් එහාට තිබුණේ විවෘත භූමියක්. මට මතක විදිහට හේන් වවපු ප්රදේශයක්. දහවල් කාලයේ ඒ ප්රදේශය හරහා කොහොමටවත් ගමන් කරන්න බැහැ. හතරවටේටම පේනවා. අපි දෙවැනි දවසේ රාත්රිය වෙනකම් අපි හිටිය ස්ථානයෙම හිටියා. දෙවැනි දවසේ රාත්රියේ තමයි ඒ විවෘත භූමියේ තරණය කළේ.’’
මේ පිරිසට තෙවැනි දින අලුයම හිරු පොළොවට පතිතත වන යාමයේදී සියලු දෙනාටම මේ විවෘත භූමිය හරහා ගමන් කිරීමට හැකි විය. නමුත් දහවලේ ඉන් එහාට ගමන් කිරීම අනතුරුදායක බවට මේජර් නිර්මාල් ධර්මරත්න ඇතුළු පිරිසට අවබෝධ විය.
‘‘අපි මේ ඕපන් එක පැනලා බඩවැටිය වාගේ ප්රදේශයට ආවා. දැන් අපි ඉන්නේ කැලේ. නමුත් අපි දහවල් කාලයේ කොටි ඉලක්කය වෙත ගමන් කළේ නැහැ. මොකද අපිව නිරීක්ෂණය වුවහොත් ඒක ලොකු ප්රශ්නයක් කියලා අපි හැමෝම දන්නවා. අපි එතැනම සිටියත් අපගේ අවට ප්රදේශයේ ආරක්ෂාව තහවුරු කළ යුතු වෙනවා. ඒ හින්දා මම පිරිසක්ව අවට ආරක්ෂාව තහවුරු කිරීමට ක්ලියරින් පෙට්ට්රල් ‘‘දෙකක් දෙපැත්තට යැව්වා.’’
ලුතිනන් ප්රියංකර අබේරත්න, ලුතිනන් තුෂාන් ගනේපොළගෙ නායකත්වයෙන් යුතු විසිහතර දෙනකුගෙන් සමන්විත බට පිරිසක් අවට නිරීක්ෂණය කිරීමට ගියා. ඔවුන් අවට ආරක්ෂාව මෙන්ම අවශ්යතා සඳහා ජලය ආදිය තිබේදැයිද නිරීක්ෂණය කළේය. ඔවුනට එවැනි තැනක්ද හමු වූවේය. නමුත් මේ භට පිරිස එක් කරුණක් පිළිබඳව නොදැන සිටියේය. ඒ තවත් පිරිසක් තමන්ව නිරීක්ෂණය කරන බවකි.
‘‘මේ ගිය අපේ සෙබළු පිරිස ත්රස්තවාදින් පිරිසක් දැකලා තිබෙනවා. ඔවුන් අපේ සෙබළුන්ව නිරීක්ෂණය කරලා ඔවුන් පිටිපස්සෙන් ඇවිත් තිබෙනවා.’’
නිරීක්ෂණය සඳහා ගිය භට පිරිස පිටුපස කොටි ත්රස්තවාදීන්හු පිරිස පැමිණියහ. නමුත් කොටි එක් දෙයක් නොදැන සිටියහ.
‘‘අපේ කට්ටිය පිටිපස්සෙන් කොටි ආවට කොටි දන්නේ නැහැ සියයකට ආසන්න භට පිරිසක් අපට සිටිනවා කියලා. ඔවුන් සිතාගෙන ඉඳලා තියෙන්නේ දැකපු විසිහතරේ කණ්ඩායම විතරයි. අපිට සිටින්නේ කියලා.’’
තමන් පසුපසින් කිසිවකුත් පැමිණෙනවා යැයි නොදත් නිරීක්ෂණයට ගොස් සිටි භට පිරිස් නැවතත් තම කණ්ඩායම සිටින ස්ථානය වෙත පැමිණෙමින් සිටියහ. නමුත් මේ පිරිස වට කරමින් කොටින්ද ඔවුන් සමග ඉදිරියට ඇදුණහ.
යුද්ධ හමුදා සෙබළුන්ගේ තියුණු ඇස්වලට හැංගෙමින් කොටින්ද හෙමින් හෙමින් යුද්ධ හමුදා භට පිරිසට ළං වූවේය. මේ වන විට නිරීක්ෂණ කණ්ඩායම තම සහෝදර සෙබළුන් සිටි ස්ථානයට ළඟා වෙමින් සිටියෝය.
‘‘අපි සිටින තැනට එනවාත් සමගම කොටි දැවැන්ත ප්රහාරයක් අපේ කට්ටියට එල්ල කළා. මේ වන විට අපේ භට පිරිස් තැන් තුනක සිට සටන් කළා. ඒ වාගේම තමයි ඇතුළේ රවුමක අපේ භට පිරිස් සිටිනවා. ඊට පස්සේ කොටි ඉන්නවා පිටත රවුමේ අපි ඉන්නවා මේ විදිහට කොටින්ටවත් අපිටවත් හිතාගන්න බැරි විදිහට දෙගොල්ලොම කලවම් වෙලා සටන දරුණුවටම යනවා. මේ සටනේ දී අපි කාටවත් හිතාගන්න බැහැ වෙඩි තියන්නේ කොහොමද කියලා මොකද කාට වැදෙනවා කියලා හිතාගන්නත් බැහැ. වර්ග කිලෝමීටර් භාගයක වාගේ පොඩි කොටසක ෆයිට් හැම තැනම. කොටින්ටත් හිතා ගන්න බැහැ එයාලාගේ ඉස්සරහා කවුද ඉන්නේ පිටිපස්සේ කවුද ඉන්නේ කියලා.’’
මේ වේලාවේ මමත් හිටියේ ගහකට මුවා වෙලා නමුත් ගහෙන් ඔළුව එළියට දාලා වෙඩි තියන්න බැහැ ඔළුව දාපු හැටිය වෙඩි වරුෂා එල්ල වෙනවා. මේ විදිහට ළඟ ළඟ සටනකට මම මෙතෙක් මුහුණ දීලා සිටියේ නැහැ. අපි හැමෝම එහෙමයි. වෙනදාට අපි ගහගන්නේ දුර ඉන්නේ මේ සටනේ දී ත්රස්තවාදීන්ව ඔහොම මෙහෙම පේනවා.
මේ වනවිට අපේ එකොළොස් දෙනෙක් තුවාල ලබලා සිටියේ. මේ අතරින් ලුතිනන් ප්රියංකර දරුණු ලෙස තුවාල ලබලා සිටියේ. වෙඩි ප්රහාරයකින් ඔහුගේ හිසෙහි කොටසක් ඉවත් වෙලා තිබුණේ. නමුත් ඔහුගේ බඩිය ගෝස් පුළුන් වාගේ දේවලා තබලා තුවාල කොටස හරිගස්සලා. නමුත් අපි ප්රියංකරව දැම්මේ මියගිය ගොඩට.
මේ කලබල අස්සේ හිතුවේ ඔහු මිය ගිහින් කියලා මේ අතරතුර රත්නසේකර කියලා ළමයෙක් සිටියා. එයාගේ බඩට තමයි වෙඩිල්ලක් වැදිලා තිබුණේ ඔහු එතරම් අමාරු නැති නිසා. අපි ඔහුව දෙවැනි හෙලිකොප්ටරයේ යවන්න තීරණය කළා’’
මෙසේ ඔවුහු පළමු හෙලිකොප්ටරයට යවන පිරිස යවා දෙවැනි හෙලිකොප්ටරයේ යවන පිරිසද යැවීමට කටයුතු කළෝය.
‘‘අපි මැරුණ කියලා යවපු ප්රියංකර ජීවත් වූවා. ඔහු මැරුණේ නැහැ. නමුත් සුළු තුවාල කියලා හිතපු රත්නසේකර පසුව මියගියා’’
එදින ඔවුන් අවට භූමිය පරීක්ෂා කිරීමට පටන් ගත්තේය.
මියගිය එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ බොහෝ සිරුරු තැනින් තැන වැටී තිබෙනු දුටුවේය. පසුව ඔවුන් නැවතත් සිය තොප්පිගල කඳවුර වෙත යන්නට පිටත්විය.
‘‘අපි වට ඔක්කොම සර්ච් කරලා නැවත කඳවුරට ආවා. ඒ බැටල් ඒකෙන් මගේ සෙබළුන් තිදෙනෙක් මියගිහින් එකොළොස් දෙනෙකු තුවාල ලැබුවා. කිරිහාමි කියලා හඳුන්වන ළමයෙකුත් මැරුණා. ඔහු හරිම දක්ෂයි. එස්.එෆ්. කිරිහාමි කිව්වම හැම තැනම ප්රසිද්ධයි.
පසුගිය කාලේ යුද්ධෙදී ළඟ ළඟින්ම අපි ගහගත්ත බැටල් එක තමයි මේක. තවත් විශේෂත්වයක් තියෙනවා එදා අපි ගහගෙන තියෙන්නේ නැගෙනහිර එල්.ටී.ටී. නායක කරුණා අම්මාන් ඇතුළු පිිරිස සමගයි.
එල්.ටී.ටී.ඊයෙන් ඉවත් වූ පසුවත් මට තාම මුහුණට මුහුණ කරුණා අම්මාන් හමුවුණේ නැහැ. හමුවුණ දිනක මේ සටන ගැන මම ඔහුගෙන් අහනවා.’’ හමුදා දිවියෙන් ඉසඹු ලබා විවේක සුවයෙන් සිටින මේජර් ජෙනරාල් නිර්මාල් ධර්මත්න සන්සුන් ලෙස කීවේය.
ශිරෝමි රත්නායක.
උපුටා ගැනීම සති අග අරුණ පුවත්පත 2020-10-11
