“නෝනා ගිය මාසෙ ඒවත් දෙනවද? “
මිඩ්ඩැයිස් නෝනෙව වට කර ගෙන කට්ටිය ත්රී පෝශා ඉල්ලනවා. ලගදි පත්වෙච්ච පොඩි නෝනා අසරණ වෙලා බලාගෙන ඉන්නවා. ගෑනු උදවිය පිරිමි උදවිය පනහක් විතර එක්ක පොරේ. නෝනෙ කොහේ කතාවට යන්නද , නෝන කියන ඒව ඇහෙන්නෙම නෑ ඒ තරම් ගාල ගෝට්ටිය. ඊයෙ පෙරේදා පාර්ලිමේන්තුවෙ කතා කරා විතරයි අද මාස ගානක් දෙන්නෙ නැතුව හිටපු ත්රී පෝශා ටික ක්ලිනික් එකට එවලා.
” පෝලිමේ ඉන්න, පෝලිමේ මීටරෙන් ඉන්න. අඩු බර දරුවන්ගෙ අම්මල විතරක් එන්න. මාස්ක් දාගෙන එන්න. මාස හයට අඩු බබාල ඉන්න අම්මල එන්න” නෝනා කෑ ගහනවා.
” නෝනා ලා කොල ඉර , පිටි දෙනවද?”
” නෑ නෑ තැඹිලි රතු තීරු වල යන අයට විතරයි දෙන්නෙ. “
” ඒ මොකෝ නෝනා අපෙ ලමයිට ඔය පිටි කැවෙන්නෙ නැද්ද. අල්ලපු ගෙදර ලමයටත් හම්බ වෙලා. අපිට දුන්නම මොකෝ”
” ඒ බබාගෙ බර අඩුයි. මේ බබාගෙ බර හොදයිනෙ. ඉතින් පිටි මොකටද අම්මෙ”
” අනේ නෝනා අපේ ලමයිත් ආසයි තිරිපෝස කන්න, කොටින්ම අපේ ගෙදර මිනිහත් කනවා හැදුවාම ගුලියක් දෙකක්. දෙන්නකො නෝනෙ එක පැකට් එකක්වත්”
” මේව දෙන්නෙ මිනිස්සුන්ට ගිල්ලන්න නෙමෙයි. පොඩි අයට දෙන්න. ඔන්න ඕකනෙ අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ. කෝ දෙනව බලන්න කාඩ් එක” ක්ලිනික් එකෙන් එලියට පැනපු වයසක මිඩ්ඩැයිස් නෝන කිව්වා.
” මේ බලන්න මේ දරුවා නිසි බර තීරුවෙ. මේගොල්ලන්ට දෙනවනම් මැති ඇමතිවරුන්ගෙ ලමයිටත් දෙන්න වෙයි.”
” අනේ නෝනා දෙනවනම් දෙන්න. ඔන්න ඕකුන්ගෙ ලමයි ගානට දාල අපේ පොඩි උන් ගැන කතා කරන්න එපා. අපේ ලමයෙක්ට ඔයින් එකක් දුන්නම තමයි රට බංකොලොත් වෙන්නෙ. උන් අපෙන් ගසා කන ඒවා නෝනලට පේන්නෙ නෑනෙ. “
” අපි කරන්නෙ අපිට කියල තියෙන දේනෙ. ඇරත් ත්රිපෝශා නොලැබෙන්නෙ තමන්ගෙ බබාගෙ පෝශනය හරි නිසානෙ. ඒ ගැන සතුටු වෙන්න එපැයි. ” පොඩි නෝනා කිව්වා. ලොකු නෝන මීක් නෑ.
” නෝනා මේ පැකට් එක පැලිල, මාරු කරල දෙනවද?”
පොඩි නෝනා සිමෙන්ති බෑග් වගේ ත්රිපෝශා ගෙනාපු බෑග් වලින් පැකට් එලියට ගන්නවා. ඩැමේජ් වෙච්ච පැකට් ගොඩයි. හරියට සීල් වෙලා නැති නිසා හරි ලොරියට විසිකරන කොට පැකට් ඩැමේජ් වෙලා.
“මේ කැඩිච්ච ඒවා දෙන්නත් බෑනෙ ආයිත් එම් ඕ එච් එකටම යවනවා.” පැකට් එක මාරු කරන ගමන් මිසී කිව්වා.
” මේ සීයා පෝලිමේ මොකද, අද මෙතන ඩිස්පැන්සරිය හවසට විතරයි. හවසට එන්න”
” නෑ මිසී මෙන්න මේ මිනිපිරීගෙ දරුවගෙ කාඩ් එක දුන්නා. පිටි පැකට් දෙක අරං එන්න කියල”
” අනේ අනේ ගිහින් එන්න කියන්න මිනිපිරීට. පුදුම මිනිස්සු , මේ වයසක මිනිස්සුන්ව එලියට බස්සන කාලයක්ද. යන්න යන්න. ලමයගෙ අම්ම නැත්නම් ආච්චිට එන්න කියන්න.”
” අනේ නෝනෙ මිනිපිරී ගාමන්ට් යනවා. අපේ දූ ඉන්නෙ කුවේට් වල. එන්න විදියක් නැතුව. මායි මහ උන්දැයි තමයි පොඩි එකී බලා ගන්නෙ. “
” ඔන්න දැක්කද දරිද්රතාවය. කොහේ ගියත් තැලෙන්නෙ දුප්පත් මනුස්සයා. රටේ ඉන්න චෞර වලල්ල දුප්පත් මනුස්සයව සූරා කනවා. දූශිතයො හැම තැනම. ” මගේ හිතේ ඉන්න රතු ටී ශර්ට් එක ඇදල හිටපු මහත්තයා කිව්වා.
” සීයෙ මේ බබාගෙ බර හොදයි ත්රිපෝශා ඕන නෑ කියල මිනිපිරීට කියන්න” පොඩි මිසී කිව්වා.
” පොඩි එකී කන්න හරිම ආසයි. ඒ නිසා දෙනවද බලන්න ආවෙ. ගිහින් එන්නම් මිසී” සීයා ආපහු හැරුනා.
” ඔය අම්මා මොකද? ” ත්රිපෝශා පෝලිමේ ඉදන් හිමීට පල්ලම් බහින මාව දැකල ලොකු මිස් ඇහුවා.
” නෑ නෑ මිස් බේත් විදින දවස බලා ගන්න ආවෙ . “
” කෝ බලන්න කාඩ් එක. මේ ලමයගෙ බර හොදටම අඩුවෙලානෙ. කෑම දෙන්න පටන් ගත්තෙ නැද්ද හරියට. පොතේ විදියට කවා ගත්තෙ නැත්නම් ලමයගෙ බර අඩු වෙයි. ගෙවල් වල මස් මාලු කන්නෙම නැද්ද. කොහෙද අද කාලෙ අම්මලට ලමයිට වඩා වැදගත් වෙන වෙන වැඩ තියෙනවනෙ “
” බබා සනීප නැතුව හිටිය මිස් පහුගිය ටිකේ. ඒකයි.”
” ආ මේ ත්රිපෝශා දෙකත් අරන් යන්න එහෙනම්” කරුණාව වෑහෙන මූනින් පොඩි මිස් ත්රිපෝශා දෙකකුත් දුන්නා. මම දෝතින්ම පැකට් දෙක භාර ගත්තා.
ත්රිපෝශා එක්ක තියෙන්නෙ සාංසාරික බැදීමක්ද මන්දා. ඒ සුවද ඒ රස. ගෙදර කවුරු උනත් පොඩ්ඩක් රහ බලන්න කැමතිනේ. පොඩි එක්කෙනාට නම් ලබන මාසෙ වෙනකන් පැකට් එකක් හොදටම ඇති. ඉතුරු එක කන්නෙ අපි. අපි කිව්වෙ මම.
අර පෝශා, මේ පෝශා ආවත් ත්රිපෝශා වලට ගහන්න පෝශාවක් නෑ. සීනි දැම්මත් , පැනි දැම්මත්, අග්ගලා හැදුවත් , පිට්ටු හැදුවත් , රොටි හැදුවත් කොහොම හැදුවත් රසයි.
පාරට එන කොට අර සීයා බස් හෝල්ට් එකේ ඉන්නවා. අදුරන්නෙ නැති උනත් සීය මං දිහා බලල හිනාවුනා. සීයගෙ මූනෙ තිබ්බෙ දුක්බර බවක්. හිස් අතින්ම ගෙදර යන්න උනානෙ. මම බෑග් එකට අත දාල ත්රිපෝශා පැකට් දෙකෙන් එකක් අරන් සීයට දුන්නා.
( ප.ලි. – මේ ලිපිය මා ලිව්වෙ දින කිහිපයකදී සායනයේදී අත් දුටු දේවල එකතුවකිනි. – පින්තූරය අන්තර්ජාලයෙන් )
උපුටා ගැනීම: Buddhika Abeysundara