මම ලැප් එකේ ස්ක්රීන් එක දිහා බලාගෙන ඔහේ කල්පනා කරන්න ගත්තා. පත්තර වල, ටීවී වල, නිවුස් වෙබ් සයිට්ස්, බ්ලොග් වල මේ හැම එකකම ප්රධාන මාතෘකාව වෙලා තියෙන්නේ ආණ්ඩු පක්ශය ලබාගත්ත විශිෂ්ඨ ජනාධිපතිවරණ ජයග්රහණය ගැන පම්පෝරි විතරයි. වැලේ වැල් නැතුව ඉඳලා ජනාධිපතිවරණය පරදින්න ඔන්න මෙන්න තිබ්බ ආණ්ඩුවට, අන්තිම මොහොතේ අත යටින් තුරුම්පු ආසියෙක් දික් කරලා ගේම ගොඩ දාපු එකා මම කියලා තමයි මුලු රටම මේ වෙලාවේ හිතාගෙන ඉන්නේ. ඒකේ වැරැද්දකුත් නැහැ. හැබැයි ඒ ගැන හිතනකොට මට මං ගැන පට්ට අප්පිරියාවක් දැනෙනවා. මං සිගරට් එකක් පත්තු කරලා දුම් වළල්ලක් ඇරියා. ඊට පස්සේ ජනේලෙන් පෙනෙන ජනාකීර්ණ පාර දිහා මොහොතක් බලාගෙන හිටියා. මිනිස්සු තවමත් පාරට බැහැලා ජයග්රහණය සමනවා. කිරිබත් කනවා. ප්රීති ගෝෂා කරනවා. මේ කතාව ලියනවද නැද්ද කියලා සිය වතාවකට වඩා මං කල්පනා කරන්න ඇති. මම ජීවත් වෙන්නේ ලියන එකෙන්. මගේ ජීවිතේ ලිවීම. ඉතිං මේක ලියන එක මගේ යුතුකම. මිනිස්සු ඒක කොහොම බාරගනියිද කියන එක මට අදාල නැහැ. අනික මට මොනවා උනත් දුක් වෙන්න කවුරුවත් ඇත්තේ නැහැ. ඒ නිසා බරක් නැහැ. මම ගැඹුරු සිගැරට් උගුරක් ඇදලා දුම් වළල්ලක් පිට කලා . ඊට පස්සේ හොඳට ඇඟිලි වල හිරි ඇරලා ටයිප් කරන්න පටන් ගත්තා.
දිනය 2011/ දෙසැම්බර් /8
ජනාධිපතිවරණය අවසන් වී පැය හැත්තෑ දෙකකට පසුව.
ඔබ මේ ලිපිය කියවන මොහොත වනවිට, ශ්රී ලංකාවට නව ජනාධිපතිවරයෙක් පත් වී අවසන්. ඒ නිසා ප්රථමයෙන්ම මම ශ්රී ලංකාවේ අභිනව ජනාධිපතිවරයාට මගේ සුභපැතුම් එක් කිරීමට කැමතියි. බොහෝ දෙනෙක් මා කවුද, මාගේ රැකියාව කුමක්ද, සහ ජනාධිපතිවරණයේදී මාගේ භූමිකාව මොකක්ද යන්න හොඳින්ම දන්නවා වන්නට පුලුවන්. නමුත් මං ඒ ගැන කුඩා හැඳින්වීමක් කරමින්ම මේ කතාව පටන් ගන්නම්.
මම යශෝධා පතිරණ. මම උපදින්නේ 1984 වර්ශයේ මහනුවර කුන්ඩසාලේදීය. මහාමායා බාලිකා විද්යාලයෙන් අධ්යාපනය හදාරන මම උසස්පෙල අවසන් කර කැළණිය විශ්ව විද්යාලයට ඇතුළු වෙනවා. කැලණිය විශ්ව විද්යාලයේදී ජනමාධ්ය සහ ජන සන්නිවේදනය පිළිඹඳව ගෞරව උපාධියක් හදාරා ඉන් පසුව මම ලංකාවේ ප්රධාන පුවත්පත් කීපයකම මාධ්යවේදිනියක් ලෙස වසර ගණනාවක් සේවය නිරත වී සිටිනවා. දැනට මම ලංකා පෝස්ට් නම් විකල්ප ධාරාවේ පුවත්පතේ දේශපාලන විශ්ලේශිකාවක් සහ මාධ්යවේදිනියක් ලෙස සේවය කරනවා.
මෙතනින් එහාට මම, මගේ කතාව පුලුවන් තරම් සරළව ඉදිරිපත් කරන්නම්. ජනාධිපතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට සති කීපයකට පෙර, මේ කියන අමුතු කතාවේ පටන්ගැනීම සිද්දවෙනවා. ඊට පෙර මම ශ්රී ලංකාවේ වත්මන් දේශපාලනය ගැන පුංචි හැඳින්වීමක් කරන්නම්.
1948 වසරේදී ශ්රී ලංකාව බ්රිතාන්යයෙන් නිදහස ලැබීමෙන් පසුව, අවුරුදු 63ක් තිස්සේ රටේ දේශපාලන බලය ප්රධාන පක්ශ දෙකක් අතර මාරුවෙන් මාරුවට දෝලනය වෙමින් පැවතුනා. මේ අතරේදී අසූව දශකය මුල භාගයේ ශ්රී ලංකාව තුල සිවිල් යුද්ධයක් ආරම්භ වෙනවා. මේ යුද්දය ආරම්භ වීමට සහ නිර්මාණය වීමට, රටේ ප්රධාන පක්ශ දෙකම අඩු වැඩි වශයෙන් විශාල දායකත්වය ලබා දුන් බව මතක තබාගත යුතුයි. නමුත් 2009 වසරේ මුල් කාර්තුව වන විට, එතෙක් අවුරුදු තිහකට අධික කාලයක් පැවති යුද්ධය, ශ්රී ලංකා යුධ හමුදාවට දැවැන්ත යුද ජයග්රහනය අත් කර දෙමින් අවසානයකට පත් වුනා. මේ සමඟම, යුද්ධයට නායකත්වය දුන් එවකට සේනාධි නායක අතිගරු වින්ස්ටන් ඔබේසේකර ජනාධිපති තුමාගේ රජයට අති විශාල ජනතා ප්රසාධයක් හිමි වුනා.
නමුත් කාලය ගතවීමත් එක්ක ඔබේසේකර රජය කෙරෙහි තිබුනු අධික ජනප්රසාධය ටිකෙන් ටික දියවී යන්න පටන් ගත්තා. ඒකට මූලිකම හේතුව වුනේ ඔබේසේකර රජයේ හඳුන්වා දුන් නව සෞඛ්ය පෞද්ගලීකරණ ප්රතිපත්තියයි. ඒ වෙනකොටත් පාර්ලිමෙන්තුවේ බහුතර බලයක් ඔබේසේකර රජයට තිබුනු නිසා, අධ්යාපන සහ සෞඛ්ය පෞද්ගලීකරණය කිරීමට අවශ්ය පනත් පාර්ලිමේන්තුව හරහා වැඩි චන්දයෙන් සම්මත කරගැනීමට ඔවුන්ට හැකි වුනා. අධ්යාපනය සඳහා මේ රජයෙන් නව ශිෂ්යත්ව ක්රමයක් හඳුන්වා දුන්නා. ඒ වගේම සෞඛ්ය වෙනුවෙන් නව රක්ශණ ක්රමයක් හඳුන්වා දුන්නා. ඒ අනුව රටේ සියළුම මහජනතාව අලුතෙන් හඳුන්වා දුන් රක්ශණ ක්රමයට යටත් වුනා. ඒ වගේම ඔවුන් සියළුම දෙනාට, රෝහල්ගත වීම් වලදී, අනිවාර්ය ඇතුල්වීමේ ගාස්තුවක් ගෙවීමට සිද්ද වුනා. මේ ක්රමය නිසා මහජනතාව දැඩි අසීරුවකට පත් වු අතර, ඔවුන් පැවති රජය සම්බන්ධයෙන් දැඩි කලකිරීමකට ලක් වී සිටියා.
ජනාධිපතිවරණය ආසන්න වීමත් සමඟ මහජනතාවගේ ආණ්ඩු විරෝධය එන්න එන්නම තීව්ර වන්නට පටන්ගත්තා. ආණ්ඩු පක්ශයේ චන්ද පදනම ගැන සලකා බැලීම මෙතනදී ඉතාම වැදගත් වෙනවා. ආණ්ඩු පක්ශයේ චන්ද පදනම සම්පූර්ණයෙන්ම වාගේ රඳා පවතින්නේ සිංහල බෞද්ධ ජාතිකවාදී චන්ද මත වීම විශේෂයක්. නමුත් ආණ්ඩු පක්ශයේ චන්ද දායකයන්ගෙන් වැඩි ප්රමාණයක් අතිශය දිළිඳු ජනතාව. ආණ්ඩුවේ නව සෞඛ්ය සහ අධ්යාපනය පනතෙන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ මේ කියන ප්රධානම චන්ද දායකයන් කොටසට වීම තවත් වැදගත් කරුණක්.
අපි දැන් මොහොතකට ප්රධාන විපක්ශය දිහාවට හැරෙමු. විපක්ශ නායක ආතර් සෝමවීර මැතිතුමා මේ අවස්ථාව හොඳින් වටහාගෙන තිබුනා. විපක්ශයේ චන්ද පදනම සැකසී තියෙන්නේ මධ්යම පාන්තික සහ ඉහල මධ්යම පාංතික නාගරික ජන කණ්ඩායම් වලින් වීම විශේෂ කරුණක්. ඒ වගේම වර්තමාන වනවිට, මධ්යස්ථ මතදාරී තරුණ පරම්පරාව ප්රධාන විපක්ශයට වැඩි නැඹුරුවක් දැක්වන්නට පටන් ගෙන තිබුනා. නමුත් විපක්ශයේ ජයග්රහණයට එක් අඩුවක් පැවතුනා. ඔවුන්ගේ ජයග්රහනයට ඇති එකම හිඩැස වූයේ සිංහල ජාතිකවාදී චන්ද පමණයි. නමුත් එංගලන්තයේ හැදී වැඩී ලංකාවට පැමිණි ආතර් සෝමවීර මැතිතුමාට, සිංහල ජාතිකවාදී චන්ද ලබා ගැනීම සැලකිය යුතු අභියෝගයක් වුනා. මේ නිසා මෙවර ජනාධිපතිවරණයට විපක්ශයෙන් පොදු අපේක්ශකයෙක් ඉදිරිපත් කිරීමේ යෝජනාවක් ගැන ඉඟියක් මුල සිටම ලැබී තිබුනා. නමුත් මේ කියන පොදු අපේක්ශකයා කවුද යන්න සියල්ලන්ටම අභිරහසක් වී පැවතුනා.
දේශපාලනයට සම්බන්ධ නොවන, උගත් බුද්ධිමත් පුද්ගලයෙක් පොදු අපේක්ශකයා ලෙස නම් කරයි කියන බලාපොරොත්තුව පාක්ශිකයන් බොහෝ දෙනෙක් අතරේ පැවතුනා. නමුත් විපක්ශයෙන් ඒ ගැන කිසිම ඉඟියක් හෝ නොලැබීම නිසා මහජනයා අතරේ තිබුනු කුතුහලය එන්න එන්නම තීව්ර වීමට පටන් ගත්තා. මේ සැඟවුනු පොදු අපේක්ශකයා තේරීමේ නාඩගම නිසා ආණ්ඩු පක්ශයද යම් ආකාරයක පීඩනයකට පත්ව සිටියායැයි කීවොත් නිවැරදියි. විපක්ශයෙන් ඉදිරිපත් කිරීමට යන පොදු අපේක්ශකයා කවුරු වෙයිද යන වග, මග තොටේදී, බස් රියේදී නාන තොටුපොලේදී කාර්යාලයේදී, තැබෑරුමේදී, එකී මෙකී නොකී සියළුම තැන් වල නිතර දෙවේලේ කතාබහට ලක් වෙන්නට පටන් ගත් ප්රමුඛම මාතෘකාව බවට පත් වුනා.
කාලය ටිකෙන් ටික ගතව ගියා. ඒත් පොදු අපේක්ශකයා ගැන කිසිදු ඉඟියක් විපක්ශයෙන් ලැබුනේ නැහැ. ඒ නිසා ජනතාව අතර තිබූනු උද්යෝගයද ක්රම ක්රමයෙන් හීන වෙන්නට පටන් ගත්තා. නමුත් එකම එක දුරකථන ඇමතුමකින් මේ සියලුම දේ උඩු යටිකුරු වන්නට පටන්ගත්තා. මේ දුරකශන ඇමතුම ලැබෙන්නේ විපක්ශය විසින් පොදු අපේක්ශකයා නම් කිරීමට හරියටම සති දෙකකට පෙර දිනයකදීය.
එදා රාත්රියක මා නිවසේ සිට ලිපියක් සකසමින් සිටියා. හදිස්සියේම මාගේ දුරකථන නාද වන්නට පටන්ගත්තා. එය නන්නාදුනන දුරකථන නොම්බරයකින් පැමිනි ඇමතුමක්. සාමාන්යයෙන් මා හට නන්නාදුනන දුරකථන ඇමතුම් සැලකිය යුතු ප්රමාණයක් දෛනිකව ලැබෙනවා. නමුත් මේ දුරකතන ඇමතුමේ විශේෂයක් තිබුනා. මම ඒ දුරකතන ඇමතුම අතරතුර සිදු වූ දෙබස්, මතක ඇති ආකාරයෙන් මෙසේ සටහන් තබන්නම්
“හලෝ ගුඩ් ඊවිනිං මිස් යශෝධා”
“ගුඩ් ඊවිනිං කවුද මේ??”
“මිස් යශෝධා මම කවුද කියන එක වැදගත් නැහැ. පොඩි ඔත්තුවක් දෙන්න කතා කලේ. ලඟදි ඔයාගෙන් හොඳ ඉන්ටවීව් එකක් ආවේ නැහැනේ. මම පොඩි උපදෙසක් දෙන්නම්. වෙනසකටත් එක්ක ආමි ඔෆිසර් කෙනෙක්ව ඉන්ටවීව් කලොත් නරකද?? “
“කරුණාකරලා කවුද මේ කතා කරන්නේ කියලා කියන්න පුලුවන්ද?? “
“බ්රිගේඩියර් පතිරාජ. මිනිහා තව දවස් දෙකකිං රිටයර් වෙනවා. මම මේ කියන අශ්වයට ඔට්ටුවක් අල්ලලා බලන්න. මේ පාර කප් එක ගහන්නේ ඌ.”
දුරකතනය විසන්ධි වුනා. මම නැවතත් කීප වතාවක්ම ඒ දුරකතන අංකය සම්බන්ධ කරගන්න උත්සාහ කලා. නමුත් කිසිම දවසක ඒ දුරකථන අංකය සම්බන්ධ කරගැනීමට හැකි වුනේ නැහැ. නමුත් ඔහු කී දෙය මාගේ මනසේ දෝංකාර දෙන්න පටන් ගත්තා. බ්රිගේඩියර් ජයන්ත පතිරාජ ශ්රී ලංකා යුධ හමුදාවේ සේවය කල අති දක්ශ සහ අභීත සේනාපතියෙක් ලෙස හඳුන්වා දීමට පුලුවන්. අවසන් වන්නි මානුශීය සටනේදී, ඔහු එක්දාස් අසූ පස්වන බලසේනාංකයට නායකත්වය ලබා දුන්නා. එහිදී කොටි සංවිධානයේ නායකයාව ඝාතනය කිරීමේ පූර්ණ ගෞරවය හිමි වන්නේ බ්රිගේඩියර් පතිරාජගේ නායකත්වයෙන් සටන් වැදුනු එක්දාස් අසූ පස්වන සේනාංකයට වීම තවත් විශේෂ කරුණකි. යුද්ධය අවසන් වීමත් සමඟ ඔහුගේ දක්ශ නායකත්වය ගැන බොහෝ දෙනා කතා කිරීමට පටන් ගත්තා. ඒ වගේම, මීලඟ යුධහමුදාපති වරයා වීමට සුදුසුම පුද්ගලයා වශයෙන් අවස්ථා කීපයකදීම ඔහුව යෝජනා වී තිබුනා. නමුත් යම් හේතුවක් නිසා යුධහමුදාපති ධූරය ඔහුට අහිමි වුනා. ඒ වගේම මෙහිදී තවත් වැදගත් දෙයක් සිදු වුනා. බ්රිගේඩියර් පතිරාජගේ වැඩිමහල් සහෝදරයා වුනු, හිටපු කර්මාන්ත සහ වාණිජ ඇමති අසංක පතිරාජ මැතිතුමා, මේ දුරකතන ඇමුතුම ලැබීමට හරියටම දින දෙකකට පෙර, හදිස්සියේම ආණ්ඩු පක්ශයෙන් ඉවත් වී විපක්ශයට ගැලවී ගොස් තිබුනා. මේ සිදුවීම පක්ශ විපක්ශ සියලුදෙනාගේ බරපතල සැකයට තුඩදුන් සිදුවීමක් වුනා. මට කරුණු කාරනා එකින් එක පැහැදිලි වන්නට පටන් ගත්තා.
මා පෙර කී පරිදි විපක්ශයට ඒ මොහොතේ අවශ්ය වූයේ සිංහල ජාතිකවාදී චන්ද ප්රතිශතයක් ලබා ගනීම පමණයි. යුධ විරුවෙක් පොදු අපේක්ශකයා ලෙස නම් කිරීම මගින් ඔවුන්ට පහසුවෙන්ම ඒ චන්ද ප්රතිශතයේ හිඩැස පුරවාගැනීමට හැකි වෙනවා. ඒ නිසා නන්නාඳුනන පුද්ගලයා ලබා දුන් ඔත්තුවේ යම් කිසි පදනමක් තිබෙන බව මට තේරුම් ගියා. පහුදාම මා බ්රිගේඩියර් පතිරාජව සම්බන්ධ කරගෙන ඔහු සමඟ සම්මුඛ සාඛච්චාවක් කිරීමට අවසරය ඉල්ලා සිටියා. ඔහුගේ විශ්රාම දිනයේදීම ඔහු සමඟ සම්මුඛ සාඛච්චාවක් පැවැත්වීමට මා හට අවස්ථාව උදා වුනා. සුපුරුදු සාම්ප්රදායික ප්රශ්ණ කීපය අසා අහවර වූ පසු මම, මා සතුව තිබූ තුරුම්පු කොළයෙන් ඔහුට දමා ගැසුවා. මා ඔහුගෙන් ඇසූ ප්රශ්ණය මෙසේ සටහන් තබන්නම්.
“විශ්රාම ගැනීමෙන් පස්සේ ඔබතුමා මොනවද කරන්න හිතාගෙන ඉන්නේ?? “
“යුද්ධය නිසා මගේ පවුලේ අයට සෑහෙන්න කාලයක් මාව මග ඇරිලා තිබුනා. ඉතිං මගේ විශ්රාම කාලය සම්පූර්ණයෙන්ම මගේ දුවලා දෙන්න එක්ක ගෙවන්න තමයි මං හිතාගෙන ඉන්නේ. “
“ඔබතුමාට දේශපාලනයට එන්න ආසාවක් නැද්ද??”
“තවම ඒ ගැන අදහසක් නැහැ.”
“ඔබතුමාගේ පවුලට යම් කිසි දේශපාලන පසුබිමක් තිබෙනවා. හදිස්සියේවත් ඔබතුමාව පොදු අපේක්ශකයා ලෙස නම් කලොත් ඔබ තුමා ඒ අභියෝගය බාරගන්නවද?”
මම ඇසූ ඒ ප්රශ්නය නිසා ඔහු මොහොතකට ගොලු වුනා. ඔහු මගේ ප්රශ්නය මග ඇරියා. කෙසේ වෙතත් මේ සම්මුඛ සාඛච්චාවට නොසිතූ විදියට අධික ප්රේක්ශක ප්රතිචාරයක් ලැබෙන්නට පටන් ගත්තා. නැවතත් වරක් රටේ සෑම අස්සකම, සෑම මුල්ලකම විපක්ශයේ පොදු අපේක්ශකයා ගැන කතා වන්නට පටන් ගත්තා. පක්ශ විපක්ශ භේදයකින් තොරව බ්රිගේඩියර් පතිරාජ පොදු අපේක්ශකයා ලෙස නම් කිරීම ගැන කතා වන්නට පටන් ගත්තා. කොටින්ම, රටේ මහා සංඝරත්නය පවා ඔහුට සෙත් පතා ආශිර්වාද කරන්නට පටන් ගත්තා. අවසානයේදී බ්රිගේඩියර් ජයන්ත පතිරාජ විපක්ශයේ නිල නොලත් පොදු අපේක්ශකයා බවට පත් වුනා.
ඉන් සති දෙකකට පසුව විපක්ශය විසින් ඔවුන්ගේ පොදු අපේක්ශකයාව නම් කරනු ලැබුවා. ඒ අන් කවරෙක්වත් නොවේ. විශ්රාමික බ්රිගේඩියර් ජයන්ත පතිරාජයි. විපක්ශයේ මේ තෝරාගැනීම නිසා ආණ්ඩු පක්ශය බරපතල තැතිගැන්මකට ලක් වුනා කිවහොත් නිවැරදියි. බ්රිගේඩියර් පතිරාජගේ දේශපාලන ආගමනයත් සමඟ දැවැන්ත ජනතා උද්යෝගයක් රට පුරා පැතිර ගියා. බලාපොරොත්තු වූ ආකාරයටම සිංහල ජාතිකවාදී චන්ද දායකයන් විශාල ප්රමාණයක් විපක්ශය දෙසට ආකර්ශනය වන්නට පටන් ගත්තා. සියළුම මැතිවරණ සමීක්ෂණ වාර්ථා වලින්, පොදු අපේක්ශක බ්රිගේඩියර් පතිරාජගේ ජයග්රහණය තහවුරු වී තිබුනා. මැතිවරණ රැස්වී, ප්රතිපත්ති ප්රකාශන, දේශපාලන සාඛච්චා, කැන්වසින්, රථ පෙලපාලි එකී මෙකී නොකී සියල්ල මගින් සාමාන්ය ජන ජීවිතය සම්පුර්ණයෙන් වෙලාගනු ලැබුවා. කාලය ගතවී යාමත් සමඟ විපක්ශය, ඔවුන්ගේ චන්ද සටනේ කූටප්රාප්තිය දක්වා ලඟා වුනා. ඒ වන විටත් බ්රිගේඩියර් පතිරාජ, රටේ නිල නොලත් ජනාධිපති වරයා බවට පත්වී තිබුනා.
මිත්රවරුණි. මේ සමස්ථ නාට්යම අනෙක් පැත්ත පෙරලීමට ගත වන්නේ තවත් එක් නන්නාඳුනන දුරකථන ඇමතුමක මිනිත්තු කීපයක් පමණයි. ජනාධිපතිවරණයට දින පහකට ප්රථමයෙන් නැවතත් වරක් මා හට නන්නාඳුනන දුරකථන ඇමතුමක් ලැබෙනවා. මම එහිදී ඇති වූ සංවාදය මෙසේ සටහන් තබන්නම්.
“හලෝ! යශෝධා මැඩම්”.
“ඔව් කවුද මේ? “
“යශෝධා මැඩම්. මගේ නම අජිත්. මං දැනට ජීවත් වෙන්නේ ඉන්දියාවේ. මැඩම්ට මං පුංචි කතාවක් කියන්නම්. මොකද මැඩම් කතන්දර ලියන්න දක්ශයි කියලා මං දන්නවා. මැඩම් මාව මුළු රටම දන්නේ තුංකම අජිත් කියන නමින්. හරිනම් මම මීට අවුරුදු හතරකට කලින් මැරුණු මිනිහෙක්. තුංකමට ගියානම් මැඩම්ට මගේ සොහොනත් බලාගන්න පුළුවන්. මම තමයි ඒ කාලේ ලංකාවේ හිටපු අංක එකේ කොකේන් බිස්නස් කාරයා. ඒ ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ. ඒ ගැන මට දුකකුත් නැහැ. හැබැයි මට එක දුකක් තියෙනවා. මගෙත් එක්ක එකට කොකේන් බිස්නස් එක කරපු එකාගේ මල්ලිව මැඩම්ලා රටේ ජනාධිපති කරන්න හදනවා. ඔව් මැඩම්. ඔය අසංක පතිරාජ කියන එකා පාර්ලිමෙන්තුවට යන්න කලින් මගෙත් එක්ක කුඩු වික්කා. ඒ සල්ලි වලින් තමයි ඌ කැන්වසිං කරලා පාර්ලිමෙතු ආවේ. අපේ කොකේන් යාපනේ ඉඳන් කොළඹට ඇද්දේ ජයන්ත පතිරාජ කියන මිනිහගේ බෑනා. මේවා නිකම්ම බොරු කතා නෙවෙයි. මැඩම්ගේ ඊ මේල් එකට මම රෙකෝඩිංස් වගයක් එවලා ඇති. ඒවා චෙක් කරලා බලන්න. මැඩම්ට ඇත්ත මොකද්ද කියලා තේරෙයි.”
ඇමතුම විසන්ධි වුනා. මම වහාම ඊ මේල් ලිපිනය පරික්ශා කර බැලුවා. ඔහු කියූ ආකාරයට හඬ පට කීපයක් මගේ ලිපිනයට ලැබී තිබුනා. මම ඒ හඬපට එකින් එකට සවන් දුන්නා. එහි එක් හඬ පටයක අන්තර්ගත වූ විශේෂ දෙබසක් මා බලවත් කම්පනයට පත් කලා. හඬපටයේ ඇතුලත් වුනේ තුංකම අජිත් සහ අසංක පතිරාජ අතර සිද්දවුනු උනුසුම් වචන හුවමාරුවක කොටසක්. ඒ සංවාදයේ කොටසක් මා මෙහි සටහන් තබන්නම්.
“අසංක මහත්තයා උඹ මට අරිනවා කියලා කියලා මුල ඉඳන්ම මං දැනගෙන හිටියා. මතක තියාගනිං මට කෙලෙව්වොත් මම උඹටත් කෙලවන එක කෙලවනවා. මං මාට්ටු උනොත් උඹත් මාට්ටු වෙනවා කියලා මතක තියාගනිං.”
“තෝ මොකෙක්ද බල්ලෝ මට අරින්න. තෝ වගේ වේස බල්ලෝ එක්ක බුදියගත්ත එක තමයි මං කරපු ලොකුම ගොං වැඩේ.”
“අසංක මහත්තයා උඹව බලේට ගේන්න බලුකං කරනකං අපි හොඳ එවුන්. ඊට පස්සේ කෙලවුනාම අපි වේස බල්ලෝ. යකෝ තෝයි තොගේ අර මල්ලි කියන පරයයි කරපු ජඩකං දන්නේ මං විතරයි. යකෝ ආමි එකේ මැරුනු කොල්ලොන්ගේ බොඩීස් ඇතුලේ කුඩු ගෙනාවේ තොපි දෙන්නනේ. තොපි දෙන්නා මැරුනු අහිංසක කොල්ලොන්වත් විකුණලා තමයි සල්ලි හම්බ කලේ. ඒව බලුකං නෙවෙයිද?”
“ඔව් බල්ලෝ. මායි මගේ අයියයි එකතු වෙලා මැරුණු කොල්ලොන්ගේ ඇගේ ගහලා කොළඹට කුඩු ඇද්දා තමයි. ඉතිං බල්ලෝ ඒ කුඩු වික්කේ මංද??තෝ තොගේ හෙංචයියෝ ටික එක්ක තායි බඩු පොඩ් වල පාටි දැම්මේ ඒ සල්ලි වලින් තමයි. ඒව දැං මතක නෑ.”
මේ හඬපටිය මාධ්යට ලබා දුන්නොත්, එයින් ජනාධිපතිවරණයේ අවසාන ප්රතිඵලයට සිද්දවන බලපෑම ගැන මට හොඳ අවබෝධයක් තිබුනා. නමුත් මම අවංක සහ ප්රතිපත්තිගරුක මාධ්යවේදිනියක් ලෙස මගේ මාධ්ය ජීවිතය තුල දැවැන්ත ප්රතිරූපයක් ගොඩනගාගෙන තිබුනා. මට මගේ හෘද සාක්ශියට විරුද්ධව කටයුතු කිරීමට නොහැකි වුනා. පසුදාම මම මේ හඬපට සියල්ලම මා සේවය කරන මාධ්ය ආයතනය වෙත ලබා දුන්නා. මේ හඬපට ප්රධාන ප්රවෘති වැඩසටහන් වල විකාශය වීමත් සමඟ, සියළු දේ කනපිටට පෙරලෙන්න පටන්ගත්තා. විපක්ශය ඒ වෙනතෙක් ලබාගෙන තිබූ අසීමිත ජනතා ප්රසාදය එක රැයකින් සම්පූර්ණයෙන්ම සුන්නත්දූලි වී ගිය ආකාරය දැක මා පුදුමයට පත් වුනා. විපක්ශයේ අවසාන බලාපොරොත්තු එසේ නිමාවුනා. දින පහකට පසුව ජනාධිපතිවරණය පැවැත්වුනා. සුපුරුදු පරිදි ජනාධිපති වින්ස්ටන් ඔබේසේකර මැතිතුමා විශිෂ්ථ ජයග්රහනයක් ලබා ගත්තා. විපක්ශය ඉදිරිපත් කල පොදු අපේක්ශකයා අන්ත පරාජයට පත් වුනා.
ජනාධිපතිවරණය නිමවී පසුදාම බ්රිගේඩියර් ජයන්ත පතිරාජ සහ හිටපු අමාත්ය අසංක පතිරාජ අත්අඩංගුවට පත් වුනා. නමුත් මේ සිදුවීම් සමුධාය එක් ප්රශ්නාර්තයක් ඉතිරි කරමින් අවසන් වුනා. මේ සියල්ලම කිසිම යම් බරපතල කුමන්ත්රණයක ප්රතිඵලයක්ද?? මා ඒ කුමන්ත්රණයේ තවත් එක් ගොදුරක්ද? මෙය කුමන්ත්රණයක්නම් ඒ පිටුපස සිටින මහා මොළකරුවා කවුරුන් විය හැකිද?
මේ ප්රශ්ණ ගැන මම දැනට පැය හැත්තෑ දෙකක් තිස්සේ නොකඩවා කල්පනා කරමින් සිටිනවා.
………………………………………………
මම ටයිප් කරන එක නතර කරලා ඇස් දෙක පියාගත්තා. ඊළඟට ටයිප් කරන්න ඕන මොකද්ද කියලා මට කිසිම අදහසක් තිබුනේ නැහැ. මම ඒ ගැන කල්පනා කරන්න පටන් ගත්තා. ඒත් හදිස්සියේම මට සාලෙ පැත්තෙන් අඩි සද්දයක් ඇහෙන්න ගත්තා. මගේ පපුව වේගයෙන් ගැහුනා. දෙයියනේ!!! කවුරුහරි එකෙක් ගෙට පැනලා වෙන්න ඕනි. මොකද දැං මම කරන්න ඕනි. මේ ගෙදර මම ජීවත් වෙන්නේ තනියෙම. මම මේ වෙනකොට සෑහෙන්න හතුරෝ තොගයක් හදාගෙන ඉවරයි. සමහරවිට ආතර් සෝමවීර මාව මරලා දාන්න දැනටමත් කාටහරි කොන්ත්රාත් එකක් දීලා ඇති. මම ඊලඟට කරන්න ඕනි මොකද්ද කියලා කල්පනා කරන්න පටන් ගත්තා.
මං පුටුවෙන් නැගිටලා ඇඳ ලඟට ගිහින් ඇඳ ඇතුලේ තිබ්බ පොල්ලක් අතට අරගත්තා. ඊට පස්සේ හෙමින් හෙමින් සාලේ පැත්තට අඩිය තිබ්බා. මගේ අත් දෙක මැශින් එකක් වගේ වෙව්ලන්න ගත්තා. මුළු ඇඟෙන්ම දාඩිය වැක්කෙරෙන්න ගත්තා. පපුව වේගයෙන් රේස් වුනා. කවුරු ආවත් මරන එක මරනවාමයි කියලා මං මටම කියාගත්තා. මම හෙමින් හෙමින් සාලෙට ගියා. මුළු සාලෙම අන්ධකාරයෙන් වැහිලා තිබුනා. ඒත් අන්ධකාරය අතරින් මට මිනිහෙක්ගේ චායාවක් පේන්න ගත්තා. මම හෙමින් හෙමින් ඒ චායාව දිහාවට ලං වුනා. මිනිහෙක් සාලේ මැද තියෙන සෝෆා එකේ වැතිරිලා ඉන්නවා. අන්ධකාරය දෙබෑ කරගෙන, ඒ මිනිහගේ මුහුන පැහැදිලිව පේන්න පටන් ගත්තා. මහත මිනිහෙක් සෝෆා එකේ ඉඳගෙන ඉන්නවා. ඌ දාගෙන ඉන්න රවුම් කණ්නාඩි දෙකක දිස්නය මට පේන්න ගත්තා. මම සාලේ ලයිට් එක දැම්මා. දැන් අපි දෙන්නා මූනෙන් මූන බලාගෙන ඉන්නවා. මූනේ තැනින් තැන ඉදිලා තිබුනු රැවුලක් සහ ගිළුණු ඇස් දෙකක් ඒ මිනිහට තිබුනා. ඒ ඇස් ගොඩක් දුර්වල වෙලා තිබුනා. ඒ මිනිහා ඊලඟ මොහොතේ මං දිහා බලාගෙන හිනා වෙන්න ගත්තා. ඊට පස්සේ සෝෆා එකේ හොඳට හරිබරි ගැහිලා කතා කරන්න පටන් ගත්තා.
යශෝධා මැඩම් පොල්ලක් උස්සගෙන ආවේ මට ගහන්නද??
කවුද උඹ?? දැන්ම එලියට පලයන්. නැත්තං මං පොලිසියට කතා කරනවා. මම තර්ජනය කලා.
මහත මිනිහා මගේ දිහා බලාගෙන බොහොම සංසුන් විදියට කතා කරන්න පටන් ගත්තා.
යශෝධා මැඩම්. මම ආවේ කරදරයක් කරන්න නෙවෙයි. ඔයාට මගේ හැටි පේනවනේ.. මට එහෙම හයියක් තියෙන මිනිහෙක් නෙවෙයි. මම ආවේ මැඩම්ට ස්තූති කරලා යන්න විතරයි. මම කියපු අශ්වයට ඔට්ටුව අල්ලපු එකට මැඩම්ට ගොඩක් ස්තූතියි.
ඒ කතාව අහපු ගමන් මගේ ඇඟ හීතල වෙලා ගියා. එහෙනම් මූ තමයි මට කතා කරපු මිනුහා.
කවුද උඹ. ඇයි උඹ මට ඒ කතාව කිව්වේ?? උඹට මොනවද මගෙන් ඕනි? මම මහත මිනිහගෙන් ඇහුවා.
යශෝධා මැඩම් ඉස්සෙල්ලා ඇවිත් ඉඳගන්නකෝ. මම හැම දෙයක්ම පැහැදිලි කරලා දෙන්නම්.
මම පොල්ල අත් දෙකෙන් තද කරගෙන හෙමින් හෙමින් සෝෆා එකේ කොනකින් ඉඳගත්තා. මහත මිනිහා කණ්නාඩි දෙක ගලවලා, කන්ණාඩි ලෙන්ස් එක ශර්ට් එකෙන් පිහිදාන ගමන් කතා කරන්න පටන් ගත්තා.
මැඩම්ට මේ හැම දෙයක්ම මුලක් මැදක් තේරෙන්නේ නෑ කියලා මම දන්නවා. මම මැඩම්ට පුංචි කතාවක් කියන්නම්කෝ. ඉස්සෙල්ලා මෙහෙන් ඉඳගන්නකෝ.
පළවෙනි කතාව. 2007 අවුරුද්දේ අග වෙනකන්ම දකුණු ආසියාවේ කොකේන් ජාවාරමේ සම්පුර්ණ පාලනය තිබුනේ ඉන්දියාව කේන්ද්ර කරගෙන ඔපරේට් වෙන මස්ථාන් කියන කොකේන් කාර්ටේල් එකට. මේ කාර්ටේල් එක ලංකාව ඇතුලෙත් මහා පරිමාණ විදියට කොකේන් බිස්නස් එක කලා. මේ කොකේන් නෙට්වර්ක් එකේ ලංකාවේ ලුතිනන් විදියට වැඩ කලේ තුංකම අජිත් කියන මිනිහා.
තුංකම අජිත් කියන්නේ අසංක පතිරාජ කියන ජනප්රිය ඇමතිගේ දකුණු අත වගේ හිටපු මිනිහෙක්. අසංකට පාර්ලිමේන්තු එන්න වැඩිම බරක් ඇද්දේ ඔය තුංකම අජිත් කියන මිනිහම තමයි. ඒ කාලේ මම බුද්ධි අංශයට සම්බන්ධ වුනු අලුතම. ඔහොම ඉන්නකොට අපිට ලංකාවේ ආමි එකේ නිළධාරී කීපදෙනෙක් හරහා වෙන කොකේන් බිස්නස් එකක් ගැන ඉඟියක් ලැබෙන්න ගත්තා. මම මේ ගැන හොයන්න මගේ කොල්ලෙක්ව ඇතුලට දැම්මා. කොහොමහරි සෑහෙන්න කාලෙකට පස්සේ මේ නෙට්වර්ක් එකේ එක පොටක් පාදගන්න අපිට පුළුවන් වුනා. ඉන්දියාවේ මස්ථාන් මාෆියා එකෙන් එන කොකේන්, මාළු බොට්ටු වලින් යාපනේට ගේනවා. ඊට පස්සේ ඒ කොකේන් යාපනෙන් කොළඹට අදින්නේ ආමි හෙලිකොප්ටර් වලින්. වෙන විදියකින් කිව්වොත් යුද්දෙන් මැරුණු සොල්දාදුවන්ගේ බොඩීස් ඇතුලේ හංගලා තමයි මේ කොකේන් කොළඹට ගේන්නේ. මේ සෙල්ලම සම්පූර්ණයෙන්ම හැන්ඩ්ල් කලේ මේජර් උද්දික කියලා මිනිහෙක්. මේජර් උද්දික කියන්නේ බ්රිගේඩියර් ජයන්ත පතිරාජගේ බෑනා. අමතක කරන්න එපා ඒ කාලේ යාපනේ හමුදා ආඤ්පති වෙලා හිටියේ බ්රිගේඩියර් ජයන්ත පතිරාජ. එතකොට කොළඹින් මේ බඩු ටික අරගෙන ලංකාව වටේටම බෙදන්නේ කවුද??
තුංකම අජිත්. මම උත්තර දුන්නා.
හරියට හරි. හැබැයි කාලයක් යනකොට ඉන්දියාවේ මස්ථාන් මාෆියා එක ටිකෙන් ටික විසිරිලා විනාස වෙලා යන්න පටන් ගත්තා. ඔය අතරේ, මම මේ නෙට්වර්ක් එක එලියට අදින්න ලොකු කේස් එකක් ෆයිල් කරන්න පටන් ගත්තා. හැබැයි හදිස්සියේම මේ ගැන කොහෙන් හරි ලීක් වුනා. මං ඇතුලට යවපු කොල්ලා එක පාරටම යුද්දෙන් අතුරුදන් වුනා. තුංකම අජිත්ව වෙන මැර කණ්ඩායමක් අතින් ඝාතනය වුනා. මේජර් උද්දික කොටි බෝම්බෙකින් මැරුනා. එක දවසක් බ්රිගේඩියර් ජයන්ත මාව හම්බවෙන්න කොළඹට ආවා. ඇවිත් මගේ කොලර් එකෙන් අල්ලලා ඔලුවට පිස්තෝලයක් තියලා මේ කේස් එක අතෑරලා දාපන් කියලා මට තර්ජනය කලා. මම බුද්ධි අංශයේ වැඩ කරපු සිවිල් නිළධාරියෙක්. අනික බ්රිගේඩියර් ජයන්තව ඒ වෙලාවේ හිර කොලොත් ඒක යුද්දෙට ලොකු පාඩුවක් වෙනවා. ඒ නිසා මට මේ කේස් එක අතාරින්න සිද්ද වුනා. එකතු කරපු සාක්ශි ඔක්කොම විනාශ කරලා දාන්න සිද්දවුනා. කාලය ගතවෙලා ගියා.
දැං දෙවනි කතාවට එමු. මේක පටන්ගන්නේ ජනාධිපතිවරණය ප්රකාශ කරන්න හරියටම මාස දෙකකට කලින්. ඒ වෙනකොටත් සමීක්ෂණ වලට අනුව ජනාධිපති වින්ස්ටන්ගේ රජය අනිවාර්යයෙන්ම පරාද වෙනවා කියලා ඔප්පු වෙලා තිබුනා. ජනාධිපතිතුමා මගෙන් මේකට උදව් ඉල්ලුවා. ඉතිං මම මේකට හරියන අශ්වයෙක්ව හොයන්න පටන් ගත්තා. හදිස්සියේම මට ඉන්දියාවෙන් ඉන්ටෙල් එකක් ආවා. ඒ ඉන්ටෙල් එකේ විදියට තුංකම අජිත් හොර නමකින් ඉන්දියාව ඇතුලේ තවම ජීවත් වෙනවා. මං මිනිහව හොයාගෙන ඉන්දියාවට ගියා. මිනිහට ඕනි වෙලා තිබුනේ එකම එක දෙයයි. අසංක පතිරාජව විනාස කරලා දාන එක. ඒකට ඕනි ආයුදේ මිනිහා අතේ තිබ්බා. එකම දේ මිනිහට ලංකාවට එන්න බැහැ. මිනිහ තාම ජීවත් වෙනවා කියලා දැනගත්තොත් අසංක මිනිහව මරනවා. එක පාරක් අසංක මිනිහව වල පල්ලට යවලා තිබ්බේ. යශෝධා මැඩම් අපි හොයපු කොර අශ්වයව අන්තිමට අපිට හම්බ වුනා. හැබැයි මේ කොර අශ්වයා රේස් එකට දාන්න ඕනි. ඒක කරන්න පුළුවන් එක්කෙනයි ඉන්නේ. ඒ ඔයා.
මොකක්??? මේ මිනිහා කියන කතාවට මට ඔලුව විකාර වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ මම තමයි ජයන්ත පතිරාජව පොදු අපේක්ශකයා කලේ. ඒත් එහෙම වෙන්නේ කොහොමද?? ඒ තීරණේ ගන්න ඕනි විපක්ශ නායක තුමානේ??
අයියෝ මැඩම්. ඔයා දේශපාලන විශ්ලේශිකාවක් නේද?? මොනවද ඔයා මේ අහන ප්රශ්න? ඔයාට තේරෙන්නේ නැද්ද? ආතර් සෝමවීර කියන්නේ අති දක්ශ විපක්ශ නායකයෙක් විතරයි. මිනිහගේ දේශපාලන ජීවිතය තියෙන්නේ විපක්ශේ ඇතුලේ විතරයි. මිනිහා රටේ පාලකයා උනොත් කොනක ඉඳන් නාගන්නවා. ඒ ගැන මිනිහත් හොඳටම දන්නවා. අනික විපක්ශේ මුල් පෙලේ ඉන්න මංත්රීලා සෙට් එකට ඕනි සෝමවීරව පන්නලා අලුත් එකෙක්ව ගේන්න. ඔයා මේක පත්තු කරපු ගමන්, උන් ටික එකතු වෙලා ජයන්ත පතිරාජව ගේන්න ලොකු ගේමක් ගැහුවා. දැං මේ පරාජයේ සම්පුර්ණ වගකීම උන්ගේ ඔලුව උඩටම ලස්සනට අතෑරලා දාලා සෝමවීරට අත පිහිදගෙන පැත්තකට වෙන්න පුලුවන්. මිනිහට ඕනි විපක්ශ නායකකම පරිස්සම් කරගන්න විතරයි. මැඩම්!! සෝමවීරයි ඔබේසේකරයි කියන්නේ එකම කාසියේ දෙපැත්ත.
හත් දෙයියනේ!! මට ඒ කතාවට කැරකිල්ල හැදෙන්න ආවා. ඒ කියන්නේ මේ සෙල්ලම ගැන ආතර් සෝමවීර දන්නවද?? මම ඇහුවා.
එහෙම නැත්තං කොහොමද මේ වගේ ගේම් එකක් ගහන්නේ?? ජයන්ත පතිරාජ වගේ කොර අශ්වයෙක්ව එකපාරට රේස් එකට දාන්න බැහැනේ. ඒකට ග්රවුන්ඩ් එක හදන්න ඕනි. අපි ඒ වැඩේ හරියටම කලා. ඇයි ජයන්ත පතිරාජට හමුදාපති තනතුර නැති වුනේ?ඇයි අසංකට එකපාරටම පක්ශයෙන් විනය පරීක්ෂණයක් ආවේ?? පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. ඊට පස්සේ ඔයා ඒ කොර අශ්වයව රේස් එකට එක්කගෙන ආවා. මිනිස්සු දන්නේ නැතුව කොර අශ්වයෙක් ඔට්ටු අල්ලන්න පටන් ගත්තා. අශ්වයා එක වටයක් දුවනකොටම ජොකියත් එක්කම බිමට පතබෑවුනා. හැබැයි අශ්වයගේ අයිතිකාරයා ඔට්ටුව ඇල්ලුවේ දිනන අශ්වයට.
මගේ දෙයියනේ!!! මම පොල්ල බිමට අතෑරලා කල්පනා කරන්න පටන් ගත්තා. ඒත් මේ දේවල් මට කියන්නේ ඇයි??
මහත මිනිහා හිනා වෙලා කණ්නාඩි දෙක දාගෙන ෆෝෆා එකෙන් නැගිට්ටා.
මැඩම් ඔය ලියන කතාව සම්පූර්ණයෙන්ම මකලා දාන්න. කිසිම කෙනෙක් ඔය කතා විශ්වාස කරන්නේ නැහැ. ඔයාට තේරෙන්නේ නැද්ද? මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න තරම් බුද්ධියක් නැහැ. මිනිස්සුන්ට මේවා තේරුම්ගන්න ඕනකමකුත් නැහැ. ඇත්ත කතාව ඒක. මැඩම්ට ඕනිනම් මේ අලුත් කතාව ලියලා බලන්න. කවුරුවත් ඕක විස්වාස කරන්නේ නැහැ. එකම දේ මැඩම් අලුත් තරහා කාරයෝ ටිකක් හදාගන්නවා විතරයි. ඒකෙන් වෙන්නේ මැඩම්ගේ ඩිවෝස් වුනු මහත්තයගේ ජීවිතේට අනතුරක් වෙන එක විතරයි. මොකද ඩිවෝස් උනත් මැඩම් එයාට තවම ආදරේ කරනවා කියලා අපි දන්නවා. එයා අළුත් ජීවිතයක් පටන් අරන් තියෙන්නේ. ඒ නිසා එයාට ඒ ජීවිතේ ගෙවන්න දෙන්න.
ඒක තර්ජනයක්ද?? ඒත් ඇයි ඔයා මෙහෙම දෙයක් කලේ??
මැඩම් මම ගොඩක් නරක මිනිහෙක්. අනිත් මිනිස්සුන්ට වගේ මට ඇඟේ පතේ හයියවත්, සටන් කරන්න හැකියාවක්වත් නැහැ. හැබැයි උන්ට නැති එක දෙයක් මට තියෙනවා. මං කල්පනා කරලා වැඩ කරන මිනිහෙක්. ජයන්ත පතිරාජ එදා මගේ ඔළුවට පිස්තෝලේ තියනකොට ඒ ගැන හිතන්නේ නැතුව ඇති.
එහෙම කියලා මහත මිනිහා දොර ගාවට ඇවිදගෙන ගියා.
ඒත් ඇයි මට මේවා කියන්නේ?? මම ආයෙත් ඇහුවා. මහත මිනිහා දොර ඇරගෙන එලියට ගිහින් මගේ දිහා එක පාරක් හැරිලා බැලුවා.
හෘද සාක්ශිය නිදහස් කරගන්න. මැඩම් මම ලෙඩෙක්. කාට සෙල්ලම් දැම්මත් උඩ ඉන්න එක්කෙනා එක්ක සෙල්ලම් දාන්න බැහැ. මට ඒ හැටි කාලයක් නැහැ. ඉතිං යන්න කලින් මේ ගැන මැඩම්ට කියලා යන්න මට යුතුකමක් තියෙනවා.
එහෙම කියලා මහත මිනිහා යන්න ගියා. මම ආයෙත් තනිවුනා. මම හෙමින් හෙමින් ලියන මේසේ දිහාවට ඇවිදගෙන ගියා. මට කැරකිල්ලක් එනවා වගේ දැනුනා. මම පුටුවෙන් ඉඳගෙන කල්පනා කරන්න පටන් ගත්තා. කොහොමද අ මේ දේවල් බාරගන්න ඕනි?? ලැප් එක තවමත් ඔන් එකේ තියෙනවා. මේල් එකට අලුත් මැසේජ් එකක් ඇවිත්. මම මැසේජ් එක ඕපන් කරලා බැලුවා. කපල් එකක් බබෙක් වඩාගෙන ඉන්න ෆොටෝ එකක් තියෙනවා. ඒ ඉන්නේ අමල්. මගේ කලින් හස්බන්ඩ්. එයාගේ අලුත් වයිෆ්නුයි බබයි එක්ක ඉන්න ෆොටෝ එකක්. ඊට යටින් නමක් ලියලා තියෙනවා.
හුසේන්
දෙයියනේ. මං දැං මොකද කරන්නේ. මම ලිය ලියා ඉඳපු ඩොකියුමන්ට් එක උඩින් ක්ලික් කරලා SHIFT + DELETE එබුවා.
Are you sure you want to delete this document ?? YES / NO
(නම් ගම් චරිත සහ කතාව සියල්ලම ප්රභන්ධයක්. ටිගර් වෙන්න එපා මේක කතාවක් විතරයි හොඳේ. )
උපුටා ගැනීම: Nisal Ekanayaka