ඔහුගේ නම තුසිත. කළු සාමාන්ය කෙට්ටු, උස, නිහඩ කෙනෙක් , කොණ්ඩේ කර්ල්. කෙල්ලකගේ හිත බැදෙන ස්වරූපයක් තිබුනා.
මේ කතාව දැනට අවුරුදු පහළොවක් ආපස්සට යන එකක් . ඔහු හිටියේ මගේ පන්තියේ. අපි දෙන්නම ඉගෙන ගත්තේ ළමයි අඩු ගමේ පාසලක. පන්තියේ ළමයි දහයක් හිටියා. තුසිත ඔහු මට පන්තියේ හිටපු සාමාන්ය පිරිමි ළමයෙක් උනත් ඔහුට මාව එහෙම වෙලා තිබුනේ නෑ.
ඔහු මං ගැන විශේෂත්වයක් දැක්වුවේ අපි දෙන්නම අට වසරෙදි. යාලුවෙක් අතේ මට කියලා එවලා තිබුනා මට කැමතියි කියලා . මගේ ජීවිතේට ආපු පළමු පෙම් ඇරයුම. ඒ වගේ දෙයක් ඒ වගේ වයසේ ඇහුවම හිත අමුතු ලෝකකෙට යනවා උනත් මගේ හිතේ ඔහු ගැන කිසිම විශේෂත්වයක් තිබ්බේ නෑ.
ඒක එතනින්ම අවසන් උනා. ඔහු පොත් කියවන්න ගොඩක් ආසයි. මාත් එහෙමයි. පුස්තකාලේ තියෙන පොත් අපි දෙන්න කියවන්නේ තරගෙට. මට ඉගෙනගෙන ඉහළට යන්න පුදුම ආසාවක් තිබුනා. ඔහුත් මා එක්ක තරගයක් දුන්නා. මං පන්තියේ හැමදාම පළවෙනියා. තුසිත දෙවෙනියා. සමහර විශයන් වලින් මට වඩා ලකුණු ගත්තා .
11 වසරට එද්දී තුසිත ඔහුගේ ආදරය මට එළිපිට කියන්න ගත්තා . පන්තියේ අනිත් යාලුවොත් මං ගැන තුසිතගේ හිතේ තිබුන ආදරය දැනගෙන හිටියා . ඒත් කවුරුත් මට බල කරේ නෑ එයා එක්ක යාලු වෙන්න කියලා . අපි තුන් දෙනෙක් හිටියා ගොඩක් හිතවත්.
උඹ මගේ ලව් එකනේ තුසිත හැම වෙලාවෙම කියන්න පටන් ගත්තා . එතකොට මං කියන්නේ වෙන එකෙක් හොයාගනින්.. මට උඹ තරම් හරියන වෙන එකෙක් නෑ. මං ඉතින් හිනා වෙනවා. ඇත්තටම මං තුසිතට ආදරය කරේ නෑ. හැබයි ඔහු ගැන මගේ හිතේ ලොකු ලෙන්ගතු කමක් තිබුනා.
තුසිත යි, අනිත් අපේ යාලු ෆිට් එකයි පාඩම් කරන්න අපේ ගෙදර එනවා . මං එයාලට මං ක්ලාස් ගිය සටහන් , බැරි දේවල් කියලා දෙනවා. ඇත්තටම ඒ දෙන්නම මට පුදුම ආදරෙයි. මාත් කොල්ලෙක් වගේ එයාලා එක්ක ඉද්දී .
මං වගේම එයාලවත් විභාගේ ගොඩ දාන්න මට හරි උවමනාවක් තිබුනා. අපි තුන් දෙනාම මහන්සි වෙලා පාඩම් කරා. පොඩි ඉස්කෝලේ අපිට ගුරු හිගතා තිබුනත් අපි අමතර විෂයන් දෙකක් තනියම අධ්යනය කරලා විශයන් 10ක් විභාගයට ලිව්වා.
අපිට ඉස්කෝලේ ඉගැන්නුවේ විශයන් අටයි. කට්ටියම හොදින් විභාගයට මුහුණ දුන්නා. ප්රතිඵල එද්දී ඉංග්රීසි හැරෙන්න අපි තුන් දෙනා විශයන් 9ක් සමත්. මට A පහ ක් තියෙද්දී තුසිතටත් A හතරක් තිබුනා.
ඉතින් සා.පෙළ විතරක් තිබුන ඉස්කෝලෙන් අපිට යන්න උනා. මං නගරයේ තිබුන ලොකුම ඉස්කෝලෙට ආර්ට් කරන්න ඇතුළත් උනා. තුසිත එක පාසලකට යද්දී , අනිත් ෆිට් එක ගියේ අනිත් නගරයේ පාසලකට. අපි තුන් දෙනාම ඉස්කෝල තුනකට ගියත් තුන් දෙනාම ආර්ට් කරපු නිසා ටියුෂන් පන්ති ගියේ එකම පන්ති වලට . තුසිත කරෙත් මං කරපු විශයන් තුනමයි.
අපි එකම ලග ගම්වල නිසා පන්ති ගියේ එක බස් එකේ. තුසිත ආපහු එයාගේ ගර්ල් ෆ්රෙන්ඩ් වගේ මාව විහිලුවට ගන්න පටන් ගත්තා . හැබයි එයා විහිලු කාරයෙක් නෙවෙයි . වැඩිය කතා කරන්නෙත් නෑ. හැබයි ඉදලා හිටලා කියන්නෙම මට තියෙන ආදරේ ගැන.
දොලහ වසර ඉවර වෙද්දී තුසිත ක්ලාස් එන එක අඩු කරා. මං හොයලා බැලුවා . ගෙදර ප්රශ්න ජොබ් එකක් කරන්න ඕනා කිව්වා. මං කිව්වා තව අවුරුද්දක් ඉවසන්න බැරි ද කියලා . අනේ මං දන් නෑ කිව්වා.
එයා මං කියන දේ ඇහුවේ නෑ. ගිහින් .භොරෙන්ම මට හොරෙන් ම ගිහින් . විශේෂ බලකායට . ඊට පස්සෙ තුසිත ව මට හම්බුනේ නෑ. මං කැම්පස් යන ආශවෙන් ඉගෙන ගත්තා . ඒ දවස් වල ඉගෙන ගත්තු ඉස්කෝලේ අයියා කෙනෙක් අවුරුදු දෙකේම මගේ පස්සේ ආවත් මට එයාට කැමත්තක් ඇති උනේ නෑ.
ඒ කාලේ ෆෝන් තිබුනේ නැති නිසා තුසිත එක්ක කතා කරන්නවත් මට හම්බුනේ නෑ.
උසස් පෙළ ලිව්වා මං හොදට. දිස්ත්රික් රෑන්ක් එක 32. පේරාදෙණිය විශ්ව විද්යාලයට මං අයදුම්පත්ර දැම්මා මං. මට පේරාදෙණිය ට යන්න පුලුවන් උනා. මං කැම්පස් යද්දී දවසක් නිවාඩු ඇවිත් ඉද්දී තුසිත ආවා අපේ ගෙදර . අම්මාලට ලොකු විශේශයක් නෑ එයා ආපු එකට මොකද පාඩම් කරන්න ඉස්සර ආපු නිසා.
තුසිත ඉස්සර වගේමයි . ගතිගුණ වෙනස් වෙලා නෑ. හැබයි මට මුකුත් කිව්වේ නෑ ආගිය තොරතුරු කතා කරා. කැම්පස් යද්දී මට ෆෝන් එකක් තිබුනා. අපි දෙන්න ෆොන් වලින් කතා කරා.
මං පොලීසියේ කෙනෙක් එක්ක යාලු උනා. ඒ සම්බන්දේ එක්ක තුසිත එක්ක ආයෙමත් කතා කරන්න බැරි උනා. ඔහොම අවුරුදු දෙකක් ගෙවිලා ගියා. මං කැම්පස් දෙවෙනි අවුරුද්දේ . මගේ බෝයි ෆ්රෙන්ඩ් මාව තේරුම් ගත්තේ නෑ. අපි ගොඩක් රණ්ඩු උනා. එයාට මාව සැකයි. කැම්පස් නිසා. අන්තිමේදී කැම්පස් හිටපු යාලුවො ඔක්කොම කිව්වා ඔය සම්බන්දේ නතර කරන්න කියලා .
මං නතර කරේම නෑ. ඒත් එක පාරක් එයා මාව හම්බෙන්න ආපු වෙලාවේ එයාගේ ෆෝන් එකෙන් ගමේ කෙල්ලෙක් එක්ක තිබුන සම්බන්ධ යක් අහු උනා. එතනින් පස්සේ මං තනි උනා.
ආයෙම ආදරයක් ගැන හිතුවේ නෑ. තුසිත ව මට ගෙදර ආවම ආයෙමත් පාරෙදී හම්බුනා. ෆෝන් නම්බර් එක මං මාරු කරලා තිබුනේ. තුසිත ට ආයෙම නම්බර් එක දුන්නා. අපි ගොඩක් කාලෙකින් විස්තර කතා කරා. තුසිත ට දැන් කෙල්ලෙක් එක්ක සම්බන්ධ යක් තිබුනා. ඒ ගැන විස්තර කිව්වා.
මාත් මගේ සම්බන්දෙට උන දේවල් කිව්වා . අපි ආයෙමත් ඉදලා හිටලා කතා කරලා තොරතුරු හුවමාරු කරගත්තා . ඔහොම අවුරුද්දක් විතර ගෙවිලා ගියා. අපි කතා කරන එක අඩු උනා.
හිටපු ගමන් තුසිත කතා කරනවා. එයාගේ සම්බන්දෙ නතර උනා කිව්වා . ඇයි කියලා ඇහුවම එකම උත්තර යයි දුන්නේ. උඹ තරම් වෙන කවුරුත් මට හරියන් නෑ කිව්වා . මං හිනා උනා.. අනේ නිකන් හිටපන්. එච්චරයි . ඒ කතාව එතනින් ඉවරයි .
මං දැන් කැම්පස් හතරවෙනි අවුරුද්දේ . කැම්පස් එකේ පිරිමි ළමයෙක් එක්ක මගේ සම්බන්ධයක් ඇති උනා. ඒකත් මාස හයකට වගේ සීමා උනා. මොකද එයා බලාපොරොත්තු උනේ රිච් ෆැමිලි එකක කෙල්ලෙක් . මං සාමාන්ය පවුලක කෙනෙක් කියලා දැනගත්තම එයා මගෙන් දුරස් උනා.
ඔහොම කාලයක් ගෙවිලා ගියා. ආයෙමත් තුසිත මාත් එක්ක කතා කරන්න ගත්තා . දවසක් මං කැම්පස් යද්දී මාත් එක්ක කොළඹ ට වෙනකම් ආවා.
අපි දෙන්න ඉස්කෝලේ කාලේ ගැන , එයාගේ විස්තර , මගේ විස්තර කතා කරා. හැබයි ආදරේ ගැන වචනයක්වත් කතා නොකරන්න මං පරිස්සම් උනා. මට තුසිත ගැන තියෙන්නේ සහෝදරත්වය එහා ගිය බැදීමක්. ඒත් ඒක විවාහ ජීවිතයක් ගත කරන්න තරම් දුර ගියේ නෑ.
අවුරුදු හතර අවසන් කරලා මං කැම්පස් අවුට් උනා. ජොබ් කීපයක්ම කරා. ඒ කාලේ තුසිත ගමේ කෙල්ලෙක් එක්ක යාලු උනා. එයා කැමති උනේ නෑ මාත් එක්ක කතා කරනවට. අන්තිමේදී තුසිත එයාගෙන් දුරස් වෙලා. ගැහැණු ළමයා හිතුවේ මං නිසා කියලා .
කැම්පස් අවුට් වෙලත් අවුරුදු 4ක් විතර ගෙවිලා ගියා. තුසිත ලගේ ගෙදරින් එයාට ගොඩක් ප්රෝපොසල් බැලුවා . ඒ එකකටවත් තුසිත කැමති උනේ නෑ. ඉදලා හිටලා මා එක්ක කතා කළා .
අන්තිමේදී කෙළින්ම මගෙන් ඇහුවා. යාලුවෙන එක්කෙනෙක්වත්, අම්මලා හොයන එක්කෙනෙක්වත් මට හරියන්නේ නෑ. මොකද උඹ කියන්නේ දැන්වත් කැමති වෙනවා ද කියලා .
අනේ බන් මට එහෙම හිතක් නෑ. මගේ අවසන් උත්තරේ උනේ ඒකයි.
අන්තිමේදී තුසිත ගේ අම්මා එයාව තේරුම් අරන් අපේ ගෙදරට ප්රෝපොසල් එකක් මාමා කෙනෙක් අතේ එවලා තිබුනා. එයාට දුන්න අන්තිම උත්තරේ උනෙත් මං කැමති නෑ කියන එක.
අපේ අම්මලා තුසිතට කැමති නෑ. එයාලා ජීවත් වෙන ගමට කාටවත් කැමති නෑ. ඉතින් ඒක එහෙම ඉවර උනා. ඊට අවුරුදු දෙකකට විතර පස්සේ මං යාලු උන කෙනෙක් බැන්දා.
ඊටත් අවුරුද්දකට විතර පස්සේ තුසිත ප්රොපොසල් එකකින් බැන්දා. ඉනපසු කවදාවත් අපි යාලුවො විදිහට කතා කළේ නෑ. ඔහුට හම්බුනේ මොන වයිෆ් කෙනෙක් ද අදටත් මං දන්නේ නෑ. මගේ හස්බන්ඩ් මොන වගේ කෙනෙක් ද කියලා ඔහු දන්නෙත් නැතුව ඇති. අපි දෙන්නා අපි දෙන්නගේ වෙඩින් වලට හම්බුනෙත් නෑ.
සත්ය කතාවකි…
උපුටා ගැනීම: සදීනා සහස්විනා ලියනගේ