මම ඉස්කෝලෙ ගියේ ගල්කිස්සෙ බෞද්ධ බාලිකාවට. අපේ ඉස්කෝලෙ තිබ්බෙ කඳු ගැටයක් උඩ. ඉස්කෝලෙට ඇතුල්වෙන ප්රධාන ගේට්ටුවෙ ඉඳලා ඇතුලට යනකොට කඳු බෑවුම වගේ… තට්ටු තට්ටු තමයි භූමියෙ පිහිටීම. ඉස්කෝලෙ පිටිපස්සෙ තිබ්බෙ මවුන්ට් ලැවීනියා හෝටලේට යන පාර. ඊට එහායින් ගල්කිස්සෙ උසස් බාලිකාව. ඔය පාරෙ තමයි අපි ඉස්කෝලෙ ඇරුනම ස්ටේශන් එකට යන්නෙ. ඉස්කෝලේ කෙලවරට, ඒ කියන්නෙ හොටෙල් පාර පැත්තට වෙන්න අපිට මුහුද දකින්න පුලුවන්. ඒ වගේම කොලඹ වරායත්.
කාලවකවානු ගැන මගේ මතකය බිංදුවක් නිසා මට මේක සිද්ධ වෙච්ච අවුරුද්දනං මතක නෑ. එතකොට මල්ලි ශිෂ්යත්වෙ පාස් වෙලා තර්ස්ටන් එකට ගිය එකයි, අපි ඒ වෙන කොටත් හිටියෙ රත්මලානෙ කියන එකයි සැලකුවම මම අටේ හරි නවයෙ හරි වෙන්න ඕනෙ. ඒ කාලෙ උතුරෙ යුද්ධෙ ඇවිලිලා කොලඹ තැනින් තැන බෝම්බ පුපුරන කාලෙ. අම්මයි තාත්තයි දෙන්නා කොලඹ වැඩට ගිය නිසාත්, මල්ලිගෙ ඉස්කෝලෙ ඒ පැත්තෙ තිබුන නිසාත් අපිත් හිටියෙ බයේ. ඉස්කෝලවලට බෝම්බ එවයි කියන බය නිසා අපි ෂොපින් බෑග්වල පොත් දාගෙන ගිය කාලෙකුත් තිබ්බා.
මේ කියන දවසෙ අපි ඉස්කෝලෙ ඉන්නකොට එක පාරටම ඩීං ගාලා සද්දයක් ඇහුනා. ඒ වෙනකොට බෝම්බ ගහන එක ගැන දැනගෙන හිටපු නිසා ඒක බෝම්බයක් කියලා අපි හැමෝම දැන ගත්තා. ඒත් ඒක පිපිරුවෙ කොහෙද කියලා අපි දැනගෙන හිටියෙ නෑ. ඉස්කෝලෙ පහල හරියට ගියාම කොලඹ වරාය පැත්තෙන් දුමක් නගිනවා පේනවා. අපි හිතුවා වරායට බෝම්බ තියලා කියලා. ඒ කාලෙ හැමෝම ගාව හෑන්ඩ්ෆෝන් තිබේ නෑ. ඔෆීස් එකේ තිබ්බ ෆෝන් එක විතරයි. ඒ වගේම ඉස්කෝලෙ ටීවී නෑනෙ. ඉතිං ප්රවෘත්ති දැනගන්න විදිහකුත් නෑ. කොහොම හරි ටික වෙලාවකින් රාවයක් ගියා බෝම්බෙ ගහලා තිබ්බෙ මහ බැංකුවට කියලා. එයාර් ලංකා එකේ වැඩකරන්න අපේ ඉස්කෝලෙ මැඩම් කෙනෙක්ගෙ දුවෙක් ඉරුන සාරිය පිටින් සෙරෙප්පුත් නැතුව ඉස්කෝලෙට දුවගෙන ආවා. එයා කොහොම හරි ගල්කිස්සට වෙනකල් ඇවිත්, එයාගෙ අම්මා ඉස්කෝලෙ කියලා මතක් උන නිසා තමයි ඉස්කෝලෙට ඇවිත් තිබ්බෙ.
අම්මා කොලඹ වැඩ කරන බව දැනගෙන හිටියට අම්ම වැඩ කරපු තැන තියෙන්නෙ මහ බැංකුව ගාව කියලා මම දැනගෙන හිටියෙ නෑ. මම එතනට කීප සැරයක්ම ගිහින් තිබ්බත් යන පාරවල් දැනං හිටියෙ නෑ. ඒවා මතක තියාගන්න තරං සිහියක් මට තිබ්බෙත් නෑ. ඉතිං වැඩි කලබලයක් නැතුව මම ඉස්කෝලෙ ඇරිලා ගෙදර ගියා. ගෙදර ටිකක් කලබල ගතියයි කියලා මට දැනුනට ඒකට හේතුව බෝම්බෙ කියලා හිතන්න තරං මගේ මොලේ වර්ධනේ වෙලා තිබ්බෙ නෑ. අම්මයි තාත්තයි ගෙදර එනකොට රෑ වෙන නිසා කලබල වෙන්න දේකුත් නෑනෙ. හැබැයි මල්ලි ටිකක් බය වෙලා වගේ හිටපු නිසා හවස් වෙනකොට මට පොඩි සැකයක් ආවා. එයා මට මුකුත් කිව්වෙ නෑ. මම පුංචිගෙන් ඇහුවා අම්මා ඉන්නෙ ඒ පැත්තෙද කියලා. පුංචි නෑ කිව්වා. පස්සෙ තමයි දැන ගත්තේ අම්ම වැඩ කරන තැනත් බෝම්බෙට අහු වෙලා කියලා. ඉස්පිරිතාල වාට්ටුවල හොයා ගන්න බැරුව තාත්තයි මාමයි මෝචරියෙත් බලලා
කොහොම හරි අම්මව හම්බුනා අතක විතරක් පොඩි තුවාලයක් එක්ක, හිස්පිට්ලෙකක ඉඳලා. වෙලා තියෙන්නෙ මේකයි.

අම්මා වැඩ කලේ ස.තො.ස. ක්රීඩා භාණ්ඩ ශෝරූම් එකේ. එකේ හැම පැත්තකම තිබ්බෙ ඝනකම වීදුරු. ශෝකේස් පවා වීදුරු. අම්ම හිටියෙ ඒකෙ ඇතුලෙ තිබ්බ වෙනම කෑල්ලක ඒ හරියෙ වීදුරු නැති උනාට බිංගුහාව වගේ කලුවර නිසා ටියුබ්ලයිට් ගොඩක් තිබ්බා එලිය වැටෙන්න. ඒ වගේම ෆයිල් දාන ලොකු යකඩ අල්මාරිත් පහක් විතර තිබ්බා.
බෝම්බෙ පිපිරෙන්න කලින් කොටි වෙඩි තියලා තිබ්බනෙ. ඒ වෙඩි සද්දෙ ඇහිලා ඉස්සරහා ශෝරූම් එකේ හිටපු ඔක්කොම වගේ වීදුරු අයිනට ගිහින් මොකද වෙන්නෙ බලන්න. අම්මට කලබලේ ඇහිලා එයත් ඉන්න තැනින් ඉස්සරහටඇවිත් ඒ එන අතරෙ තමයි බෝම්බෙ පුපුරලා තියෙන්නෙ. ඒකෙන් ඇතිවෙච්ච කම්පනේට අම්මලගෙ ශෝරූම් එකෙ වීදුරු ඔක්කොම කඩන් වැටිලා. ඒ වීදුරු කොච්චර ඝනකමයිද. ඒත් ඒවා කුඩු වෙලා. ඒවා කඩන් වැටිලා තියෙන්නෙ මොකද වෙන්නෙ කියලා බලන්න ගිය අයගෙ ඇඟ උඩට. අම්මා එතකො ඉඳලා තියෙන්නෙ අම්මා ඉන්න තැනයි ශෝරූම් එකයි අතර තිබ්බ පැසේජ් එකක් වගේ තැනක. එතන තිබ්බ ටියුබ් ලයිට් එක බිඳිලා තමයි අම්මගෙ අත තුවාලවෙලා තියෙන්නෙ. අම්මා ඉස්සරහට යනකොට කට්ටියම ඉන්නවලු ලේ පෙරාගෙන බිම වැටිලා. අම්මා කැශියර් එකේ හිටපු ඇන්ටිවත් ඇදගෙන එලියට පැන්නලු. ඒයාගෙන් ලේ වැක්කෙරෙනවලු. අම්මලා ටික දුරක් යනකොට හමුදාවෙන් ඇවිත් තමයි ඉස්පිරිතාලෙට ගෙනිහින් දාලා තියෙන්නෙ.
ඒකෙන් ඒ කැශියර් ඇන්ටිගෙයි තව දෙතුන් දෙනෙක්ගෙයි ඇස් අන්ධ උනා. ගොඩක් අයට ලේ දෙන්න උනා. එයාලා කාගෙවත් ජීවිත හානි නොවුනට කාලයක් යනකල්ම වීදුරු කටු කෑලි ඇඟවල් ඇතුලෙ තිබුනා. අම්මා විතරයි අත යන්තං තුවාල වෙලා බේරුනේ. ඒකනං හාස්කමක්. මොකද අම්මා වැඩ කර කර හිටපු තැන තිබ්බ ටියුබ් ලයිට් ඔක්කොම කඩන් වැටිලා, යකඩ අල්මාරි ඔක්කොම බිම පෙරලිලා තිබ්බෙ. එතන හිටියනං අපිට අම්මා නැති වෙනවා.
අන්තිමට අම්මලගෙ ශෝරූම් එක කොලඹ මහ තැපැල් කාර්යාලෙ හරියෙ තිබ්බ සතොස ගබඩා ගාවට අරන් ගියා..

යුද්ධෙ කොයි තරම් කුරිරුද…ඒ යුද්ධෙ ඉවරයක් වෙච්ච එක කොයිතරම් ලොකු සැනසීමක්ද…
උපුටා ගැනීම:Gayathri Kanishka