මේක පාසල් කාලයේ සිදුවීමක්.
ඒ දිනවල දුම්රිය වාර ප්රවේශ පත්රය; විශේෂයෙන්ම ශිෂ්යයන්ට ලබා දුන් මාසික වාර ප්රවේශ පත්රය ඉතා ලාභදායක එකක්. සාමාන්ය ප්රවේශ පත්රයක මිළ මෙන් 25% – 30% පමණ මිළකට එය ලබා ගත හැකි වුනා. ඒ නිසා මාසයෙන් දින 8 ක් 9ක් ගමන් කළත් දිනපතා ටිකට් ගැනීමට වඩා මාසික ප්රවේශපත්රයක් ගැනීම ලාභ දායකයි.
අපේ පාසල් කාලයේ වේයන්ගොඩ හා විශේෂයෙන්ම ගම්පහ සිට උදේ දුම්රියෙන් මරදානට ගොස් එතනින් බස් එකේ හෝ පයින් පාසලට යන රාජකීය, ආනන්ද, නාලන්ද සිසුන් රොත්තක්ම සිටියා. (කාන්තා පාසල්වලට යන අයත් ඉන්න ඇති. අපි දන්නවෑ ඕවා!) මේ හැමෝම කෝච්චියේ එකට සෙට් වී හිටියේ දුකට, සැපට, සොමියට, වලියට, ඇඹුලට මඟුලට නොහැර සිටිනා ඉටු මිතුරන් සෙට් එකක් ලෙසයි.
රාජකීය විද්යාලයට යන අපට පහල පන්තියේ සිටි උපාලි ඉන් එක් අයෙක්. වරක් එක් දෙසැම්බරයක නත්තල් නිවාඩුවට පෙර දින 4-5 ක් පාසල් යා යුතුව තිබුනා. පැරණි සීසන් එකෙන් ඊළඟ මාසයේ මුල් දිනයේ යාමට හා ආපසු ඒමටත් හැකි වූ අතර දෙවැනි දිනයේත් පාසල් යාම සඳහා පමණක් එය වලංගු වුනා. මේ නිසා මේ දෙසැම්බර් මාසයේ සීසන් එක ගැනීමට බොහෝ දෙනා අදිමදි කළා.
දෙසැම්බර් 3 දා උදේ පාසල් යද්දී මරදානේ පිටවන දොරටුවේ දී ටිකට් පරීක්ෂකයන් උපාලිව අල්ලා ගත්තා. උපාලි තම සීසන් පත්රය අමතක වී ගෙදර දමා විත් ඇතැයි නිදහසට කරුණු ලෙස කීවත් පරීක්ෂකවරුන්ගෙන් ගැලවීමක් ලැබුනේ නැහැ. දඩ ගෙවන්න මුදල් නැතැයි කී විට ඔවුන් උපාලි කාමරයකට දමා දොර වසා දැමුවා. උපාලි දැන් හිටියේ හොඳටම බියපත් වෙලා.
උපාලි කොලු නඩේ ජනප්රිය සාමාජිකයෙකු වී සිටි නිසා ඔහු වෙනුවෙන් බොහෝ දෙනා කතා කළා. ආයාචනා, තර්ක ආදී කිසිවකින් පරීක්ෂකවරුන් මෙල්ල නොවෙන අතරේ නාලන්දයේ ශිෂ්යයෙකු වූ ජයකොඩි අනිත් අය පීරා ගෙන ඉදිරියට ආවා. හැමෝටම වඩා උස ශිෂ්යයෙකු වූ ඔහු ශිෂ්යයන් අමතා මෙසේ කීවා.
“මචං, මේ අංකල්ලා එක්ක වාද කරලා වැඩක් නෑ. ඒ ගොල්ලෝ කරන්නේ ඒ ගොල්ලන්ගේ රාජකාරිය. අංකල්, දැන් මොකද වෙන්න ඕනෑ? දඩයක් ගෙව්වොත් අපේ මේ මල්ලිට යන්න පුළුවන් නේද?”
තමන්ගේ දරුවන්ගේ වයසේ කොලු ගැටයන් සමඟ විවාදයෙන් හෙම්බත් ව සිටි පරීක්ෂකවරුන්ට මේ කතාව ලොකු අස්වැසිල්ලක් වුනා.
“ඒකනේ. අපට මොකුත් කරන්න බෑනේ, දඩ ගෙවලා යන්න පුළුවනි.”
ජයකොඩි මොහොතින් ලැයිස්තුවක් හදා මුදල් එකතු කිරීම ආරම්භ කළා. විනාඩි 5 – 10 තුල අවශ්ය මුදල එකතු වුනා. ඒ මුදලින් දඩය ගෙවූ ජයකොඩි ලැයිස්තුව උපාලි අතට දී, “මල්ලි ලබන වාරේ තාත්තාගෙන් සල්ලි ඉල්ලලා මේ හැමෝගෙම සල්ලි ආපහු දෙන්න ඕනෑ” කියා අවවාද කළා.
දුම්රිය පොළෙන් පිටට පැමිණි ජයකොඩි උපාලිට වැඩි දුරටත් මෙසේ අවවාද කළා.
“යකෝ, ටිකට් නැතුව ඇවිල්ලා මාරු වෙන හැටි දන්නේ නැත්නම් ඒක කරන්න යන්න එපා! දැන් මම ඔතන සල්ලි එකතු කරලා, දඩ ගෙවලා ඔක්කොම වැඩ කළේ ප්ලැට්ෆෝම් ටිකට් එකක්වත් තිබිලද? නෑ!!!!”
උපුටා ගැනීම: Parakrama Kuruppu