ඒ ලෙවල් කරලා ඉස්කෝලෙන් අස්වෙලා යන එන මං නැතුව ගෙදරට වෙලා ඉද්දී අපිට සෑහෙන ෆන්ෂන් තිබුනා සහභාගී වෙන්න. ඇත්තටම කිව්වොත් යන එන මං නැතුව නෙවෙයි. යන්න එන්න මං සෑහෙන්න තිබුනා යන්න ඕන කොයි මඟේ ද කියලා හොයාගන්න බැරි තරමටම කිව්වොත් තමයි හරි. ඉතිං කිසිම වැඩක් නොකර බිබී රට වටේ ඇවිදිනවා කියන මාර්ගය අපි තෝරගත්තා. අනිත් එක ඒ දවස් වල බොහොම පොඩ්ඩක් කටේ හලා ගත්තත් වදිනවා හොම්බෙන් යන්න. මේක උනෙත් එහෙම හොම්බෙන් යන ගානට වැදිලා යන එන මං අමතක උන දවසක.
ඉස්කෝලේ ඉලෙක්ට්රොනික් උගන්නපු හේමදාස සර් අපිත් එක්ක හොඳටම ෆිට්. අතමාරුවක් එහෙම උනත් ඉල්ලුවම පටස් ගාලා දෙනවා. උදේ රැස්වීමට යන්න එහෙම කම්මැලියි කියලා හිතුන දවසට සර් ට ගිහින් කිව්වම එයා අපිව ඉලොක්ට්රොනික් රූම් එක ඇතුලට දාල එළියෙන් ලොක් කරගෙන රැස්වීමට යනවා. සමහර වෙලාවට කැන්ටිමෙන් පහේ රටකජු පැකට් එකක් අරගෙන ජනෙලෙන් ඒකත් දීගෙන යනවා “මේකවත් කකා ඉන්නවා” කියලා. අපි උදේ රැස්වීමට ගිහින් ඈනුම් ඇර ඇර අනිත් උන්ගෙත් දවස මස්ත බාල්දු කරනවට වඩා මෙහෙම තැනක දාලා යන එක හැමෝටම හොඳයි කියලා සර් හිතන්න ඇති.
ඉතින් එක දවසකුත් යාළුවෙකුගේ ගෙදරක් ළඟ අර කිව්වා වගේ ෆන්ෂන් එකකට ගිහින් ඇස් නිලංකාර වෙන්න වැදිලා මුණු රතු කරගෙන ආපහු ගෙදර එන්න අපි හතර පස් දෙනෙක් බස් එකට නැංගා. බස් එකේ මිනිස්සුත් අපේ සුවඳ දැනුන ගමන් නාස් කුහර ජනෙල් වලින් එලියට හරව ගත්තට අපිට ගාණක් තිබුනේ නෑ. බස් එක මෙහෙම ටික දුරක් යනකොට මඟින් නැංගා හේමදාස සර්. සර් ව දැක්කම නං චුට්ටක් විතර අවුල් වගේ. හොඳටම වැදිලා හින්දා ලොකු අවුලකුත් නෑ. කෝකටත් කියලා අපි සර් එක්ක හිනාවෙලා, ඉන්න තත්වේ හොඳ නැති නිසා පොඩ්ඩක් පසු බැස්සා. සර් හිටගත්තේ බස් එකේ අපිට ටිකක් ඈතින්.
මෙහෙම ගියාට මට නිකන් හිතට හරි නෑ වගේ දැනුනා. ඉස්කෝලෙදී අපිට සෑහෙන්න උදව් කරපු මනුස්සයට කතා නොකර ඉන්න එක හොඳ නැති නිසා සර් දුර හිටියත් මම හිතුවා සර් ට කතා කරන්න ඕන කියලා. සර් දුරින් හිටපු නිසා මම ටිකක් සද්දෙන් ඇහුවා “ සර්, කොහෙද ගියේ” කියලා. ළඟ හිටපු මිනිස්සුත් හැරිලා මගේ දිහා බැලුවා. සර් ලැජ්ජාවෙන් මගේ දිහා බලලා හිනා වෙලා අහක බලාගත්තා. මගෙත් එක්ක හිටපු උන් ටික මගෙ ඇඟට ඇන්නා “යකෝ කට වහගෙන හිටපන්” කියලා. එච්චර දෙයක් වෙන්න මං කරපු වැරැද්ද මොකක්ද කියලා මට තේරුම් ගන්න බැරි උනා.
හෝල්ට් දෙකකට පස්සේ ටවුන් එකෙන් බහින්න අපි දොර ළඟට කිට්ටු උනා. ඒ ළඟ හිටගෙන ඉඳපු සර් මගෙ කනට කිට්ටු කරලා “හෝම්ස්, අද නම් චුට්ටක් වැඩියි වගේ නේද” කියලා ඇහුවා. කියාගන්න දෙයක් නැතුව ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරී බස් එකෙන් බැස්සට පස්සේ අපේ උන් දෙස් දෙවොල් තියන්න පටන් ගත්තා.
“මොකක්ද බං උඹ ඒ කරේ”
“ආය කොහොමද කියපංකෝ ඒ මනුස්සයට මූණ දෙන්නේ”
මට තේරුම් ගන්න බෑ මුන් මේ මොකක්ද කියන්නේ කියලා.
“ඇයි බං ඉතිං, මං ඇහුවේ සර් කොහෙද ගියේ කියලනේ. ඒකේ මොකක්ද තියෙන වැරැද්ද”
“ඉතිං යකෝ දවල් දෙක හමාරට ඉස්කෝලේ ඉස්සරහින් බස් එකට නැංගම තේරෙන්නැද්ද සර් ගියේ මගුලක් කතා කරන්න නෙවෙයි කියලා. ඒ මනුස්සය ඉස්කෝලෙ ළඟින් බස් එකට නඟින්නේ වෙන කොහෙ හරි ගිහින් කියලද උඹ හිතුවේ”
පොඩි ප්රමාද දෝශයක් වෙලා තියෙනවා කියලා මට තේරුනේ ඒ වෙලාවෙදී. සර් බස් එකට නැංගා කියලා දැක්කා. ඒ උනාට එතන ඉස්කෝලෙ තියෙනවා මම දැක්කේ නෑනේ.
ටික කාලෙකින් සර් බැන්දා සුදු ලස්සන අක්ක කෙනෙක්ව. ඒ අක්කා වෙන කවුරුත් නෙවෙයි. අපේ නැද්දගේ දුව. නැන්දා කියන්නේ දුර නැන්දා කෙනෙක් නෙවෙයි, අපේ අප්පච්චිගේ නංගිගේ දුවව. දැං සර් මගෙ මස්සිනා. පොර අක්කට ආදරේ නිසා ඕක එයා එක්ක විතරක් කියන්න ඇති. අක්කත් විශ්වාසෙට ඕක නැන්දත් එක්ක කියන්න ඇති.
නැන්දා නම් ඕක පවුලේ මුලු සනුහරේ එක්කම කියලා ඇති.
උපුටා ගැනීම: Sherlock Holms