මේ සිදිධිය වුණේ මං හතවසරෙ ඉඳිද්දී. ඒ කාලේ මගෙ යාලුවො කීපදෙනෙක් හිටියා ඉස්කෝලෙ එපාම වෙන වැඩ කරන උන් අතරෙ හිටිය. ඉස්සර අපෙ අම්මා ඉස්කෝලෙ ව වෙලාවක උන් ටික දැකලා හිත උණු වෙලා අපෙ අම්මා මට කිව්වා උන් එක්ක ඉඳලා උන්ව යහමගට ගන්න කියලා. මටත් ඉතින් ඒ කාලේ රට හදන්න පුදුමාකර උණක් තිබ්බ නිසා මාත් එකෙන්ම ඒකට කැමති වුණා. මං ඒ කාලෙ පංතියෙ ඉඳගත්තෙත් උන් එක්ක. ඉතින් ටික කාලයක් යනකන් මං උන්ට පාඩම් කියලා දුන්නා. උන්ව ගොඩදාන්න හෙන ගේමක් දුන්නා. ඒත් ටික කාලයක් යනකොට මට තේරුනා උන් ඉගෙනගන්නෙත් නෑ මගේ මට්ටමත් පල්ලෙහා යනවා කියලා… ඒත් අරුන් ටිකත් එක්ක පිස්සු නටන්න හුරු වෙලා මට ඒක ලොකු ගානක් උනේ නෑ.
ඔන්න ඉතින් ටික කාලෙකට පස්සේ ඉස්කෝලෙ වෑන් එකේ ගියපු මං බස් එකේ යන්න ගෙදරින් අවසර ගත්තා. මුල් කාලෙදි නම් පාර පනිද්දි වාහන වලටත් අහු වෙන්න ගියා. ඒත් පස්සේ ඒකට හුරු උනා. ඒ කාලේ මගෙ යාලුවො ටික හවස ඉස්කොලෙ ඇරුනට පස්සෙ ටික වෙලාවක් යනකන් සම්බෝල කඩනවා. මටත් ඉතින් බස් එකේ යන නිසා ගෙදර කීයට ගියත් මොකෝ කියලා මාත් උන් එක්ක සෙල්ලම් කරලයි ගෙදර යන්නේ.
ඉතින් මං මුල්ම දවසෙ කට්ටිය එක්ක සෙල්ලම් කරලා ගෙදර යද්දි අවුලක් වුණෙ නෑ. ඒත් දෙවෙනි දවසෙ අපි එක්ක හිටියා උස කොල්ලෙක්. පොර අපට වඩා වැඩිමල් එකෙක්. මිනිහා කජු කෑලි ටිකක් ගන්න කියලා කඩේට ගියා. මං එතකන් එලියෙන් ඉන්නම් කියලා එලියෙ හිටියා. පස්සෙ කජු කෑලි ටික අරන් කකා අපි බස් ස්ටෑන්ඩ් එකට ගියාට පස්සෙ එකෙක් හැමෝටම ටිපිටිප් බෙදුවා. මටත් හරි පුදුමයි අතේ සතේ නැති එවුන් ගාව මෙච්චර සල්ලි කොහෙන්ද කියලා…
මං මේවා කොහෙන්ද කියලා ඇහුවම උබ කාපන්කො කියලා මට පැකට් එකක්ම දුන්නා. පස්සෙ මං අහලා අහලා බැරිමතැන කිව්වා කජු ගන්න ගිය කඩේ පෙට්ටියක නිකන් ටිපිටිප් දාලා තිබිලා උන් බෑග් එකේ දාගෙන ආවා කියලා. ඒදා ඉඳන් මට ටිකක ඒ හොරකමේ රහ වැටුනා. මොකද මොනා උනත් ටිපිටිප්නේ. ඉතින් කට්ටියට මාත් කිව්වා ඊලඟ දවසෙ ඉඳන් මාත් එනවා කියලා ටිපිටිප් හොරකමේ යන්න.
ඔන්න ඉතින් පහුවදාත් සුපුරුදුපරිදි සෙල්ලම්කරලා ඉවරවෙලා අර කඩේට ගිහින් අපි කජු ටිකක් මුදලාලිගෙන් ඉල්ලුවා. ඉල්ලන අතරේ අරුන් ටිපිටිප් උස්සනවා.
කරුමෙ කියන්නේ ටිපිටිප් එකක් අල්ලද්දී චිරි චිරි සද්දේ මුදලාලිට ඇහුනා. මුදාලාලි මොනාද දන්නෑ කරන්නේ කියලා බලන්න එකපාරටම නැගිටලා ආවා..
මුදලාලිට බයේ මුන් එකපාරටම දුවන්න ගත්තා, අර අපට වඩා වැඩිමල් එකා ටවුන් එක පැත්තට දිව්වා. අනිත් එවුන් කඩේ ලඟින් ගිය අතුරුපාරක දිව්වා.
ඇත්තම කිව්වොත් සහෝදර සහෝදරියනි මං ඉගෙනීමේ හැකියාව තිබ්බත් මට අඩි දහයක් දුවාගන්න බෑ. අනික මට වඩා වේගෙන් කෙල්ලොත් දුවනවා. ඉතින් එවලෙත් මට දුවාගන්න බැරිවුණා.
මම ඉතින් කලාබර රුවිතසේන නිසා අර මුල් ටිකේ කට්ටිය දුවපු කලපලේට අතුරුපාර දිගේ දිව්වවුන් එක්ක අඩි දෙකතුනක් දුවලා ඒයි ඒයි කොහෙද දුවන්නේ කියලා කෑගහලා දුවන එක නවත්තලා ආපහු කඩේ පැත්තට යද්දි මුදලාලිත් මං ලඟට ආවා. අරුන් දුවන දිහා බල බල මං මුදලාලිට කිව්වා මුං මාර උන්නේ අංකල් කියලා. මගේ වෙලාවට මං ගැන මුදලාලිට ලොකුවට මොකුත් අවුලක් තිබ්බෙ නෑ.
වටේ හිටිය ත්රී වීල් වල කට්ටියත් කඩේ ගාවට ආවා. මුදලාලි ඒ අස්සේ මගේ හොඳත් ඒ මිනිස්සුන්ට කියනවා. පස්සේ මං යන්නම් අංකල් කියලා මාත් ගියා ටවුම පැත්තට. මං යනකොට ඒ පැත්තට දුවපු එකාව මට හම්බුනා. ඌත් එක්ක ටික වෙලාවක් අනිත් උන්ව බේරගන්න හැටි කල්පනා කරනකොට අපි දැක්කා එකෙක් අහු වෙලා කට්ටිය අල්ලන් ඉන්නවා. ඒ අස්සෙ අනිත් උන් වෙනපාරකින් ඇවිත් අපිව හොයාගත්තා.
පස්සෙ ටිකක් ඌ ඉන්න හරියේ අහු නොවෙන්න අපිත් ගැවසි ගැවසි බලන් ඉන්නකොට අරූගෙන් විස්තර අහලා අතෑරලා තිබ්බා. කොහොමහරි ඌ බොරු විස්තර දීලා තිබ්බේ. වෙලාවට කඩේ මුදලාලි සිද්දිය රබර් කරලා තිබ්බේ නැති නිසා අපිව ඉස්කෝලෙන් අල්ලගත්තේ නෑ.
එදායින් පස්සේ මං ඉස්කෝලේ ඇරුනගමන් ගෙදරත් දිව්වා පුලුවන් තරම් ඉක්මනට.අද වෙනකන් ටිපිටිප් එකක් කන්න බැරිවුණා මට.
-නිමි-
උපුටා ගැනීම: කලාබර රුවිතසේන