වර්ෂ 1880 විතර වන විට කොළඹ නගරය පුරා තහඩු සෙවිලි කරන ලද තාවකාලික මඩු කුඩාරම් රාශියක් මතු වුණා. ඒ, නාට්ය වේදිකාගත කිරීමට යි. මේ වන විටත් කොළඹ වැලිපාරවල්වල අශ්ව කරත්ත තමයි ගමන් කළේ. එකල කොළඹ වැසියන්ට විනෝදාස්වාදය සඳහා තිබුණු එකම ශ්රව්ය-දෘශ්ය මාධ්යය වුණේ නාට්යය පමණ යි. මෙම තාවකාලික මඩු, පැවිලියන් තියටර්, පබ්ලික් හෝල්, සරස්වතී හෝල් ආදි වශයෙන් නම් කර තිබුණා. මේ අතරින් කොළඹ කොටුවේ රැකට් කෝට්හි ෆ්ලවර් හෝල් නම් ශාලාව ඉතා ජනප්රියව පැවතුණා. නමුත් එය 1886 දී ගින්නකින් විනාශ වී යනවා. එය නූර්ති නාට්යවලට විශාල පාඩුවක් වෙනවා.
1888 වන විට උළු සෙවිලි කළ ගොඩනැගිල්ලකින් යුත් නව පුෂ්ප ශාලාව ඉදිවෙනවා. ඒ සඳහා බැස්ටියන්ගේ නෘත්ය සමාගමේ කළමනාකාර සයිමන් සිල්වා මුල්වූ බව සඳහන්. අලුතින් ඉදිකළ ශාලාවත් තාවකාලික පදනම මත තැනූ ගොඩනැගිල්ලක් වුණා. මේ වන විට ඉබ්බන්වල හන්දියට නුදුරින් වඩාත් පහසුකම් සහිත පබ්ලික් හෝල් නම් අංගසම්පූර්ණ ශාලාවක් (පසුව එම්පයර් ශාලාව) ඉදිවූ අතර නව පුෂ්ප ශාලාව ගරා වැටෙන්නට වුණා. 1900 වන විට පිටකොටුව මල්වත්ත පාරේ අභිනව ක්රීඩා මණ්ඩල ශාලාව නම් තාවකාලික රඟහලක් ද පැවතුණා.
මරදානේ නාට්ය
මුලින්ම නාට්ය පෙන්වූයේ පිටකොටුවේ වුණත්, ටික කලක් යන විට එයට නුදුරින් පිහිටි මරදාන නාට්ය කලාවට ප්රකට තැන වුණා. පිටකොටුවේ අයත් නාට්ය බලන්න මහ රෑ මරදානට එන්න වුණා. මරදානේ එක්සත් ප්රිති නත්තල් නාට්ය කණ්ඩායම, මරදාන ෆෝබස් පාරේ (අද දේවානම්පියතිස්ස මාවත) ඔරියන්ටල් තියටර් සමාගම වැනි නාට්ය සමාගම් ඒ කාලේ තිබුණා. නීතිඥ ජෝන් ද සිල්වා නාට්යකරුවන් අතර කප් ගසා සිටියා.
1908 දී අභිනව සිංහල නාට්ය සමාගම මරදානේ ආරම්භ වුණා. එහි සභාපති වුණේ ජේම්ස් ප්රේරා නම් ප්රකට ව්යාපාරිකයා යි. ඔහු මුලින්ම නාට්ය පෙන්වන්නේ 1906 දී තැනූ අලුත් ශාලාවක යි. පසුව එල්ෆින්ස්ටන් රඟහල ඉදිවුණේ එතැන යි.
දබරයක් නිසා බිහිවූ රඟහල
මරදානේ ප්රසිද්ධ යූනියන් පැසෙන්ජර් හෝටලයේ හිමිකරු වූයේ ගනේගොඩ අප්පුහාමිලිගේ හෙන්ද්රික් සෙනවිරත්න යි. ඔහුගේ පුතෙකු වූ එඩ්මන්ඩ් දිනක් නාට්යයක් නැරඹීමට පිටකොටුවේ ශාලාවකට ගිය අවස්ථාවේ දබරයකට මැදි වුණා. ඒ අවස්ථාවේ මරදානේ පිරිසට පිටකොටුවේ තරුණයන්ගෙන් ගුටිකන්නටත් සිදුවුණා. මේ අපකීර්තියෙන් මිදනේනට එඩ්මන්ඩ්ට අමුතුම අදහසක් පහළ වුණා. ඒ, තම පවුලේ මූලිකත්වයෙන් රංගශාලාවක් ඉදිකිරීම යි. එය අනෙක් රඟහල් පරදවන එකක් වීමත් ඔහුගේ අදහසක් වුණා. පුතා තම අදහස පියා වූ හෙන්ද්රික්ට පැවසුවා. හෙන්ද්රික් අනෙක් පවුලේ සාමාජිකයන්ගේ ද කැමැත්ත මත ස්ථිර රංග ශාලාවක් මරදානේ ඉදිකිරීමේ අභියෝගය බාරගත්තා. එසේ ශ්රී ලංකාවේ ඉදිවු ප්රථම ස්ථාවර රංග ශාලාව බවට ටවර් රඟහල පත් වුණා.
හෙන්ද්රික් මුදලාලි 1907 සැප්තැම්බර් 27 දා පංචිකාවත්ත පාරේ අශ්ව ඉස්තාලයකට වෙන් කරන ලද ඉඩමක් රු. 2000කට මිල දී ගත්තා. පර්චස් 68කින් යුත් ඒ ඉඩම හැඳින්වුණේ “මෙරෙඤ්ඤගේ වත්ත” කියල යි. ඒ කාලෙ බහුලව භාවිත වුණූ අශ්වකරත්තවල අශ්වයන් බැඳ තබන ස්ථානයක් ලෙස යි මෙරෙඤඤගේ වත්ත තිබුණේ. ප්රේක්ෂකයන් 800කට ඉඩකඩ සහිත ශාලාවක්, බැල්කනියක්, සහ නේපථ්යාගාරයක් සහිතව රංග ශාලාවක් ඉදිකිරීමට ඔහු සැලසුම් කළා. රගහලට මුල්ගල තබන අවස්ථාවට අනගාරික ධර්මපාලතුමා, ඩී. එස්. සේනානායක, ඇෆ්. ආර්. සේනානායක, නීතිඥ ජෝන් ද සිල්වා වැනි ප්රකට චරිත රාශියක් පැමිණ තිබෙන බව සඳහන්.
රංග ශාලාව ඉදිරිපස ඔරලෝසු කණුව සැලසුම් කරන ලද්දේ ලන්ඩනයේ ටවර් ඔෆ් ලන්ඩන් නම් ඔරලෝසු කණුව නිරූපනය කිරීමට යි. එහි ආකෘතිය අනුව පැති තුනකින් යුත් ඔරලෝසුවක් මෙහි ද සවිකර තිබෙනවා. මෙයට “ටවර් හෝල්” කියන නම ලැබුණෙත් මේ කණුව නිසා යි. මේ අතර හෙන්ද්රික් සෙනවිරත්නගේ දියණිය විවාහකරගත් බෑණා වූ නීතිඥ චාල්ස් ඩයස් නාට්යයක් නිෂ්පාදනයත් ආරම්භ කර තිබුණා. ඒ ඔහුගේ මුල්ම නාට්යය යි.
රඟහල විවෘත වෙයි
ටවර් හෝල් රඟහල 1911 දෙසැම්බර් 16 දින විවෘත කළ බවත් සඳහන්. විවෘත කිරීමේ ප්රධාන අමුත්තා වී ඇත්තේ කොළඹ නගරාධිපති කේ. වී. බී. මැක්ලියඩ්. අලුත් රංග ශාලාවේ මංගල නාට්යය වශයෙන් රංගගත වුණේ චාල්ස් ඩයස්ගේ පණ්ඩුකාභය යි. එය ටවර් හෝල් නාට්ය සම්ප්රදායක් ආරම්භ කිරීමට මුල්වූ නිර්මාණය වුණා. මෙම නාට්යයට අවශ්ය සියලුම ඇදුම් පැළඳුම් බොම්බායේ (මුම්බායි) සිට ආනයනය කර තිබෙනවා. ආරම්භයේ දී ටවර් රඟහල වෙන්කර තිබුණේ චාල්ස් ඩයස් විසින් ලියා අධ්යක්ෂණය කෙරුණු නාට්ය සඳහා පමණ යි. එහෙත් පසුව නීතිඥ ජෝන් ද සිල්වාගේ නාට්ය ප්රදර්ශනය කිරීම ද අරඹා තිබෙනවා. මෙම යුගය හඳුන්වා දෙන ලද්දේ ටවර් යුගය නමින්. එකල නිෂ්පාදනය කරන ලද නාට්ය “නූර්ති” හෙවත් නව නාට්ය නමින් හඳුන්වන ලද අතර, ඉන්දියානු නාට්ය ආභාෂය ද ඒවාට ලැබී තිබුණා.
ටවර් යුගය ඇරඹේ
කෙටි කලකින්ම ටවර් රඟහල ජාතික රංග ශාලාවක් ලෙස ස්ථාපිත වුණා. 1930- 40 වන විට එහි ස්ථිර නාට්ය ශිල්පීන් 120ක් පමණ සිටි බව සඳහන් වෙනවා. එවකට පුරෝගාමී නාට්ය ශිල්පියෙකුගේ මාසික වැටුප රු. 400ක් තරම් ඉහළ අගයක් වුණා. ඔවුන්ගේ දින චරියාව මෙසේ වුණා. එය මෙරට මුල්ම වෘත්තීය නාට්ය කණ්ඩායම යි.
උදෑසන 9.00-12.00 දක්වා පුහුණුවීම්
දහවල් 12.30-4.20 දක්වා විවේකය
සවස 4.30 නාට්යයට අවශ්ය ඇඳුම්වලින් සැරසීම
6.30 පළමු නාට්ය දර්ශනය සහ රාත්රී 10.30 දෙවන දර්ශනය
1915 සිංහල මුස්ලිම් අරගලයේ දී ටවර් හෝල් හිමිකරුවන් සහ නාට්යකරුවන් ද සිරභාරයට පත්වුණා. කොළඹ සියලුම රංග ශාලා වසා දැමුණා. ඔවුන්ට පසුව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමිවුණ අතර 1916 දී ආණ්ඩුකාර ජෝන් ඇන්ඩර්සන් ඔවුන්ට නිදහස ලබාදුන්නා. ඒ අතරම වසා තිබූ රඟහල් විවෘත කිරීමටත් අවසර ලබාදුන්නා.
ටවර් හෝල් අර්බුදයක
හෙන්ද්රික් සෙනවිරත්නගේ මරණයෙන් පසු ටවර් රගහල අර්බුදයකට ගොදුරු වුයේ ඔහුගේ දරුවන් අතර දේපල පිළිබඳ නීතිමය අර්බුදයක් පැනනැගුණ නිසා යි. මේ වන විට නිහඬ චිත්රපට ලංකාවට පැමිණෙමින් තිබුණා.
1930 එෆ්. ඩී. ෆ්රෑන්ක් නම් පුද්ගලයා මසකට රු.2000 බැගින් ටවර් රඟහල් භුමිය කුලියට ගෙන එහි චිත්රපට තිරගත කිරිම පටන් ගත්තා. 1931 දී සයරන් එෆ්. බැග්ඩෑඩ් එහි තිරගත කිරීම ඇරඹුණා. ටවර් හෝල් ශිල්පීන්ට සිය වෘත්තිය අහිමි වූ නිසා ඔවුහු එවකට වෘත්තිය සමිති නායකයකු වු ඒ. ඊ. ගුණසිංහ හමුවී ආයාචනා කළ බව සඳහන් වෙනවා. ඔහු නීතිඥයින් සමග නාට්ය ශිල්පීන් ගැන සාකච්ඡා කර සෑම බ්රහස්පතින්දා දිනකම සිංහල නාට්යයක් ටවර් රඟහලේ දී වේදිකාගත කළ යුතු ය යන සමතයට එළඹුණු බවත් පැවසෙනවා.
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ටවර් රංග ශාලාව පවත්වාගෙන යාම හිමිකරුවන්ට අසීරු වුණා. 1947 අප්රේල් මාසයේ දී සිලෝන් තියටර්ස් සමාගම එම රඟහල රුපියල් 125,000කට මිල දී ගත්තා. ඉන්පසුව සිලෝන් තියටර්ස් සමාගමේ අධ්යක්ෂ වූ එම්. සෙල්ලමුත්තු සහ සීමාසහිත සිනමා සමාගමේ අයිතිකරු වූ කේ. ගුණරත්නම් සමග එක්වී ටවර් හෝල් රඟහල සිනමා ශාලාවක් වශයෙන් පවත්වාගෙන යාම සඳහා සීමාසහිත ටවර් ටෝකිස්ටි නැමැති සමාගම පිහිටුවා ගත්තා.
ආණ්ඩුවට ගන්නයයි ඉල්ලීම්
ටවර් නාට්ය ගායන ශිල්පිනී විවියන් ද සිල්වා බොරලැස්සට එවකට අගමැති දි. මු. ජයරත්න ආධාර ප්රදානය කිරීමක්- dinamina.lk
සිලෝන් තියටර්ස් යන සමාගමට අයත්ව තිබූ ටවර්හෝල් රඟහල රජයට පවරාගෙන එහි නැවත වේදිකා නාට්ය රඟ දැක්විය යුතු බව ඉල්ලීමක් කලාකරුවන් වෙතින් කෙරුණේ 1965 – 70 ඩඩ්ලි සේනානායක ආණ්ඩු කාලයේ දී යි. එය ක්රියාත්මක වුණේ නැහැ. මේ කාලය වන විට එදා බැබලුණු පැරණි ටවර්හෝල් කලාකරුවන් ඉතාම අන්ත අසරණ ජීවිතයක් ගෙන ගියේ. සරලා බායි ඇඳුම් මැසීමෙන් දිවි ගැටගසා ගත්තා. සුසිලා ජයසිංහ තම නිවෙස කුලියට දී කුස්සියේ ජීවත්වුණා. ඒ විතරක් නෙමෙයි ලක්ෂ්මි බායි, විමලා කාන්ති, එම්. ජී. තුංගසේන, මාෂල් පෙරේරා, දේවි සකුන්තලා, ඒ. ඇසිලින් රණසිංහ, ෆ්ලෝරි දේවි වැනි නළු නිළියන් ද ගෙන ගියේ ඊට සමාන ජීවන පැවැත්මක් බව පැවසෙනවා.
රඟහල ආණ්ඩුවට
පසුව 1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය (අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ගැන මෙතැනින් කියවන්න) වශයෙන් සිටිය දී ටවර් රඟහල ජනසතු කළ යුතු ය යන යෝජනාව යළිත් පිළිගනු ලැබ ලියකියවිලි පවා සකස් කළත්, එය ඉටුවුණේ නැහැ. මේ යෝජනාව ක්රියාත්මක කෙරුනේ 1977 දී බලයට පත් එජාප රජයේ අගමැති ලෙස පත්වූ ආර්. ප්රේමදාසගේ කාලයේ දී යි. ඔහු 1978 මාර්තු 15 වැනි දින ටවර් රඟහල ආණ්ඩුවට පවරාගත්තා. මේ පවරාගැනීමෙන් පසුව අගමැති ආර්. ප්රේමදාසගේ නායකත්වය යටතේ ටවර් හෝල් රඟහල පදනම යන පරිපාලන ඒකකය පිහිටවුවා. ඒ, ටවර් හෝල් රඟහල පුනරුත්ථාපනය කිරීමේ අරමුණ ඇතුව යි. ඒ අතර අසරණ වූ ටවර් රංගන ශිල්පීන්ට විශ්රාම මුදලක් මාසිකව ලබාදීමටත් කටයුතු කළා. මේ අසරණ කලාකරුවන්ට මාලිගාවත්ත මහල් නිවාසවලින් නිවාස ලබාදීමෙන් ද, ඔවුන්ට මාසික වශයෙන් පාරිතෝෂික මුදලක් පිරිනැමීමෙන් ද, ඔවුන් නාට්යවලට, සංදර්ශනවලට සහභාගි කරවාගෙන ඔවුන්ට කිසියම් ගෙවීමක් ලබාදීමෙන් ද ප්රේමදාස දැක්වූ අනුග්රහය බොහෝ දෙනා අගය කරනවා.
ටවර් හෝල් රඟහල පදනම
මේ අතර 1978 ඔක්තෝබර් 10 දින අංක 01 දරන පනත යටතේ ටවර් හෝල් රඟහල පදනම පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ක්රියාත්මක වූණා.
ටවර් හෝල් රඟහල පදනම නවීකරණයකොට පවරාගැනීමෙන් පසු එහි වේදිකාගත කරන ලද ප්රථම නාට්යය සිරිසඟබෝ යි. ඊට පසු ශ්රී වික්රම, සමුද්රදේවී ආදී නාට්ය ද ඒ මඟින් නිෂ්පාදනය කෙරුණා. දියුණු නාට්ය සංස්කෘතියක් හා ගුණාත්මක නාට්ය පරිසරයක් ගොඩනැගීමේ අරමුණ ඇතිව, අංකුර හා තරුණ නාට්යකරුවන්ගේ නිර්මාණ එළිදැක්වීම සඳහා රංගශාලා පහසුකම් ලබාදීම ටවර් රඟහල පදනමේ අරමුණ යි. එමෙන්ම එහි නාට්යකරුවන් පුහුණු කිරීම් ද සිදුවෙනවා….
සියවසක් තිස්සේ ජනප්රිය එකම සිංහල නාට්යකරුවා….
“දන්නෝ බුදුන්ගේ ශ්රී ධර්මස්කන්ධා” ගීය අදත් අපට අසන්නට ලැබෙනවා. එය ගායක ගායිකාවන් කිහිප දෙනෙකුම ගායනා කර තිබෙනවා. මේ ගීතයේ වයස අවුරුදු 110ක් බවත්, එය රචනා කළේ නාට්ය රචක නීතිඥ ජෝන් ද සිල්වා බවත් දන්නා අය නම් ඉන්නේ අල්ප යි. 1900 ආසන්න කාලයේ ඔහු ජනප්රියව සිටියේ සිංහල ෂෙක්ස්පියර් නැත්නම් සිංහල කාලිදාස කියලයි. ජෝන් ද සිල්වාගේ රාමායනය නාට්යයත් මෑතක දී යළිත් නිෂ්පාදනය වුණා. ඔහු සැමරීමට ජෝන් ද සිල්වා සමරු රඟහල කලාභවන අසල ඉදිකර තිබුණත්, පසුගිය දා එය කඩා නවින රංග ශාලාවක් එතැන ඉදිකිරීම ආරම්භ කර තිබෙනවා.
අදටත් ජනප්රිය නාට්ය රචකයා
සවන් දී පෙර රාම
චරිතේ අසව්
පොරන දඹදිව උන්නු රාවණ
ආල වී ජානකී
ගෙන ගියේ තම රියේ
(රාමායනය නාට්යයෙන්)
සියවසකටත් අධික කාලයක් තිස්සේ පරපුරෙන් පරපුරට ජනප්රිය වූ මෙම ගීතයේ නිර්මාණ ශිල්පියා වන්නේ නීතිඥ ජෝන් ද සිල්වා යි. ඔහු කෙතරම් මෙරට ජනප්රියදැ යි කිවහොත් ඔහුගේ නාට්ය ගීත ඩීවීඩී පට වශයෙන් තවමත් නිකුත් වන අතරම, සෑම වර්ෂයකම පාහේ සැමරුම් උත්සව ද පවත්වනවා.
සුවඳ පත්ම ඕලූ ආදි
නොයෙක පුෂ්පයෙන් සැදී
සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී
(සිරිසඟබෝ නාට්යය)
ඔහු ලියූ නාට්ය ගීත අදටත් වැඩිහිටියත් අතර පමණක් නොව තරුණ පරපුර අතරත් ජනප්රියව පැවතීම විශේෂත්වයක්. මෑතක දී භාතිය සන්තුෂ් ගැයූ “සිරි සංඝබෝධි මාලිගාවේ දී” ගීතය තරුණ පරපුර ආදරයෙන් වැළද ගත්තේ එය අවුරුදු 110ක් පරණ, පරම්පරා දෙකකට ඉහත ජෝන් ද සිල්වා ලියූ නූර්ති ගීයක් බව දැනගෙන නම් නොවෙයි.
සිරි සංඝබෝධි මාලිගාවේ දී
මා දැක ප්රාණේ හානී වෙන්ට බැට දෙම්//
අල්ලා බන්දා රැන්දා බින්දා උන්දෑ කොන්දෑ ලාම් සින්දා
සැන්දෑ කාලේ මාලිගාවේ ඉන්නවා සොයා (සිරිසගබෝ නාට්යය)
මේ ශ්රී වික්රම නාට්ය යේ ගීයක කොටසක්:
පිනවන්ට සවන් ඇසුවන්ගෙ සොඳින් සංගීත සිංහල ද්වීපේ
මා වාගේ උගත් මේ කාලෙ අයෙක් නැත ඊට දුර්ජනාකෝපේ
ජෝන් ද සිල්වා මෙලොව උපත ලබා ඇත්තේ 1857 ජනවාරි 13 වැනිදා යි. ඔහු උපන්නේ කෝට්ටේ දියවන්නා ඔය අද්දර තෙලඹුගහවත්තේ දී යි. ඒ කාලෙ රෝහල්වල දරු උපත් සිදුවන සිරිතක් තුබුණේ නැහැනේ. ඔහුගේ පියා එවකට සම්භාවනීය පවුලක් වූ මාකලන්ද පරම්පාරාවේ කෙනෙක්. ඒ මාකලන්දගේ දොන් බැස්ටියන් පෙරේරා. මව නාවලගේ දෝන ඉසබෙලා හාමිනේ. ඒ කාලයේ ප්රකටව සිටි බත්තරමුල්ලේ සුභූති හාමුදුරුවෝ ජෝන් ද සිල්වාගේ ඥාති සහෝදරයෙක්. ජෝන් ද සිල්වා වැලිපිල්ලේ අකුරු ලියා අවුරුදු හය වන විට සිංහල ඉගෙනගන්න පටන් ගත්තා. හතර වන පන්තිය දක්වා සිංහල ඉගෙනගත් ජෝන් ද සිල්වා ඊට පසු කෝට්ටේ චර්ච් මිෂන් එංගලන්ත සභා පාසලට ඇතුළු වී ඉගෙනුම ආරම්භ කළා. එහිදී ක්රිස්තියානි ආගමට ඇතුළත් වී බෞතීස්මයත් ලබාගත් ජෝන් දරුවා හය වැනි පන්තිට සමත් වූ පසුව කොළඹ ඇකඩමියට ඇතුළු වී තිබෙනවා. එහිදී සිංහල භාෂාව හා සාහිත්යය ඉගෙන ගැනීම ආරම්භ කළා. ඒ ගුරුවරයකු වීමේ අරමුණ ඇතිව යි.
බටුවන්තුඩාවේ දේවරක්ෂිත පඩිතුමාත් ඔහුට සිංහල ව්යාකරණ, පාලි, හා සංස්කෘත උගන්වා තිබෙනවා. අධ්යාපනයෙන් පසු වයස අවුරුදු 20 දී ගුරුවරයකු ලෙස මහනුවර රජයේ පාසලක කටයුතු කරන ඔහු, පසුව කොළඹ ශාන්ත ජෝශප් සහ වෙස්ලි විදුහල්වල සේවය කර තිබෙනවා. මේ කාලයේ රටේ ප්රචලිතව පැවතුණේ මිෂනාරි අධ්යාපනය යි. ප්රධාන පෙළේ බෞද්ධ පාසල් එකක්වත් මේ කාලයේ ආරම්භ වී පැවතුණේ නැහැ.
වයස අවුරුදු 23 දී ඔහු විවාහ වන්නේ කොටහේනේ කතෝලික පවුලක සෙලෙස්තිනා පෙරේරා තරුණිය සමග යි. දරු තිදෙනෙක් උපත ලැබීමෙන් පසු සෙලෙස්තිනා මිය යනවා. ඊට පසු ඔහු සරණ කර ගන්නේ ජෙනට් ප්රසිලා ගුණතිලක නම් කාන්තාවක්. ඇගෙන් ඔහුට දියණියක් ලැබෙනවා. ජෙනට් ද එතරම් කල් ජීවත්වූ බව පෙනෙන්නෙ නැහැ. ඇගේ මරණයෙන් පසු ජෝන් ද සිල්වා තරුණයා සමග විවාහයට එළඹෙන්නේ ජෙරී ඒකනායක යි. ජෙරී දියණියන් දෙදෙනකු ලබනවා. බිරින්දෑවරුන් තිදෙනෙකුගෙන් ජෝන් ද් සිල්වා දරුවන් හයදෙනෙකුගේ පියෙක් බවට පත්වෙනවා.
ගුරු වෘත්තියේ යෙදී සිටිය දීම පුවත්පත්, සඟරා ආදියට ලිපි ලිවීම සිරිතක් කරගත් ඔහු මවුබිමේ වටිනාකම ගැන ජනතා මනස අවදිකරවීමට කටයුතු කළා. මේ අතරතුර නීතිය හැදෑරූ ඔහු පසුව නීතිඥයෙකු වශයෙන් කටයුතු ආරම්භ කළා.
නාට්ය කලාවට පෙම් බඳී
නීතිඥ ජෝන් ද සිල්වා පිටකොටුවේ ෆ්ලවර්හෝල් නම් රගහලේ පෙන්වූ සී. දොන් බස්තියන්ගේ නූර්ති නාට්ය නැරඹීම විනෝදාංශයක් කරගෙන සිටි අයෙක්. ඔහුට ගුරුකමට හා නීතිඥ වෘත්තියට වඩා නාට්ය කලාවට ඇල්මක් ඇතිවන්නේ ඒ අවස්ථාවෙ දී යි. ඔහු නාට්ය නරඹමින් නාට්ය ලියන්නට පටන් ගත්තා. බස්තියන් හැරුණු විට ඩබ්ලිව්. ජෝන් පෙරේරා, ඊ. වයි. පෙරේරා, ඩී. බර්තොලමියුස් වැනි එකල ප්රකට කලාකරුවන් ඔහු ඇසුරු කිරීමට පටන් ගත්තා. ඒ අතර නාට්ය කටයුතු කිරීමට 1885 දී සීමාසහිත ලංකා පෙරදිග නාට්ය සමාගම සංගමය පිහිටුවා ගත්තේ ධනවත් ව්යාපාරික පිරිසකගේ සහයෝගයෙන්. රාමායණය, නලරාජ චරිතය, සීතාහරණය, දස්කොන් හා පරංගි හටන එම සංගමයෙන් නිර්මාණය කළා.
ජෝන් ද සිල්වාගේ පළමු නාට්යය රාමායනය පෙන්නුවේ පිටකොටුව මල්වත්ත පාරේ ෆ්ලවර් හෝල් ශාලාවේ. 1886 මැයි 27 දා ඒ ගැන දැන්වීමක් ලක්මිණි පහණ පත්රයේ පළකර තිබුණා. රාමායනය එම ශාලාවේ පෙන්වූ දෙවන දිනය වූ ජූනි 5 දා අබිරහස් ගින්නකින් ශාලාව දැවී ගියා. එය කඩාකප්පල්කාරී වැඩක් බවයි පසුව හෙළි වුණේ. කලක් ගතවන විට මෙම නාට්ය සමාගමේ ක්රියාකාරිත්වය හීනවීම නිසා ඔහු විසින් 1902 දී “සිංහල ආර්ය සුබෝධ නාට්ය සභාව” ආරම්භ කළා.
1905 දී නීතිඥ ජෝන් ද සිල්වා විසින් නිෂ්පාදිත සිරිසඟබෝ නාට්යයට සංගීතය සපයන ලද්දේ විශ්වනාත් ලෞජි විසින්. සිරිසඟබෝ චරිතය, ශ්රී වික්රම රාජසිංහ ඇතුළු නාට්ය ගණනාවක් මෙම සංගමය මඟින් නිෂ්පාදනය කළා. ඒවා ජනතාව තර ඉතා ජනප්රිය වුණා.
ඔහු අන්තිම රජු වූ ශ්රී වික්රම රාජසිංහ නාට්යය රචනා කර නිෂ්පාදනය කරන්නේ 1906 දී යි. ඒ ගැන ඔහු මෙසේ සඳහන් කරනවා:
යම් ජාතියක දියුණුව මැන බලන්නේ එම ජාතිය සතුව පවතින නාට්ය මණ්ඩපවල සංඛ්යාවෙන්යැ යි එක්තරා යුරෝපීය මතයකි. විසි ලක්ෂයක් පමණ සිටින අප මහළු සිංහල වංශයට එක් නාට්ය මණ්ඩපයක්වත් නොමැති බැවින් එකී යුරෝපීය පණ්ඩිත මතයේ ප්රකාර දියුණුව වෙනුවට පිරිහීම පටන් ගෙන තිබෙන බව කාට නොකියා ඉන්ට පුළුවන් ද?
(ශ්රී වික්රම රාජසිංහ නාට්ය කෘතිය – ප්රස්තාවනා)
මෙම නාට්ය සංගමයේකටයුතු හීනවන විට 1913 දී “විජය රංග සභාව” පිහිටුවන ලදී. ඒ හරහා “දේවානම්පියතිස්ස”, “අලකේශ්වර” ඇතුළු නාට්ය කිහිපයක් නිෂ්පාදනය විය. පසුව විජය රංග සභාව යන නම වෙනස් කර “ශ්රී ලංකා නාට්ය සභාව” යන නමින් කටයුතු කළහ. මෙම නාට්ය සභාව මඟින් “විදුර ජාතකය”, “කැප්පෙටිපොළ”, “දුටුගැමුණු චරිතය සහ කුස ජාතකය” නිෂ්පාදනය කරන ලදී. වර්තමානයේ නාට්යකරුවන් මුහුණපාන ගැටලු මෙන්ම එකල ද ජෝන් ද සිල්වාට නාට්ය ක්ෂේත්රයේ නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුවිය.
ජනප්රිය වීමේ රහස
ජෝන් ද සිල්වාගේ නාට්යයක් නොබැලූ නාට්ය රසිකයෙක් ඒ කාලයේ සිටියේ නැහැ. ඔහු දේශීය නාට්යවලට ඉන්දියානු ආභාෂය ලබාදුන් බව පසුකාලීන විචාරකයන් කිව්වත් යටත්විජිත යුගයේ ජනතාව තුළ දේශාභිමානය වර්ධනය කිරීමට මේ නාට්ය ඉවහල් වූ බව නොරහසක්. දේශීයත්වයක් ඇතිව ශ්රී ලාංකික ඓතිහාසික කතා පසුබිම් කොට ගනිමින් ජෝන් ද සිල්වා නූර්ති නිර්මාණය කළා. රාමායනය ශ්රී වික්රම, සිරිසඟබෝ, වෙස්‌සන්තර, රත්නාවලී , සකුන්තලා ආදි වශයෙන් නූර්ති 42 ක් පමණ ඔහු නිර්මාණය කළා. වෘත්තීය නළු නිළි පිරිසක් මේ නාට්ය නිසා බිහිවුණා. මේවායේ පිටපත ද රචනා කළේ ජෝන් ද සිල්වා විසින්ම යි. එහි ඉතා මධුර ගීත අඩංගු වුණා. ඒ ගීත බොහොමයක් එකල පමණක් නොව අදටත් ජනප්රිය යි.
අඹ දඹ නාරං
කෙසෙල් දෙල්
පනා කකා මේ
වානා සැපා ලබනේ
(රාමායනය නාට්යයෙන්)
මේ නාට්යකරුවා ගැන මාර්ටින් වික්රමසිංහ මෙසේ සදහන් කරනවා:
නාටක බලන්නවුන් තුළ සංවේගය දනවන අනුචිත අවස්ථා තම නාටකයන්ගෙන් බැහැර කිරීමට ඔහු පරෙස්සම් වුයේ ය. නාටකයක් සදහා ඔහු තෝරාගත් කතා වස්තූන්ගෙන් සමහරක් මනුෂ්ය ජීවිතයෙහි සරු අරුත් හා ඇතැම් විට මිනිස් සිතෙහි ගුප්ත දහම් ද හෙළිකරන පුවත්වලින් තොර නොවී ය.
(සිංහල නාටකය හා සදකිදුරුව)
නිදහසට මඟ කියා සිරගත වෙයි
ජෝන් ද සිල්වා චතුර කථිකයෙක්. ඒ කාලය නිදහස් හැගීම් මතුවෙමින් තිබූ සමයක්. සෙනග පොදිකන තමාගේ නාට්ය දර්ශනවල විවේක කාලයේ දී වේදිකාවට නැගි ඔහු, නාට්ය පිළිබඳ තොරතුරු බිඳක් කියන අතරම ජාත්යානුරාගය සහ දේශීයත්වය පිළිබඳ අදහස ප්රේක්ෂකයාගේ සිතට හොරෙන්ම ඇතුළු කළා.
ඔහුගේ නාට්ය වැඩිහරියක් පෙන්නුවේ මරදාන ටවර් රඟහලෙ යි. දේශානුරාගී නාට්යවලින් මිනිසුන් ඇවිස්සුවා යන මතය ඉදිරිපත් කළ ඉංග්රීසි පාලකයන් 1915 සිංහල මුස්ලිම් කෝලහලය දඩමීමා කරගෙන ටවර් හෝල් පාලකයන් ද සමග නීතිඥ ජෝන් ද සිල්වා ද අත්අඩංගුවට ගත්තා. එමෙන්ම යුද්ධ නීතිය ක්රියාත්මක කර ටටර්හෝල් සමග දිවයිනේ අනෙක් රංග ශාලා ද වසා දැමීමට නියෝග කළා. ඒත් ජෝන් ද සිල්වා ඇතුළු පිරිසක් ටික කලකට පසුව නිදහස් කළා.
නීතිඥ ජෝන් ද සිල්වා 1922 ජනවාරි 28 වන දින මෙලොවින් සමුගත්තා. ඔහුගේ මරණය ගැන සිංහල ජාතිය පුවත් පත දුක් වුණේ මෙලෙස යි.
ජාතිහිතෛෂී, සද්ගුණවත්, නීතිඥ ජෝන් ද සිල්වා මහතාගේ මරණයෙන් ලක්දිවට සිදුවූ හානිය ඉවසිය නොහැක්කකි.
ජෝන් ද සිල්වා මහතා ජාතියේ උතුම් ගුණ ධර්ම හා චාරිත්ර වාරිත්ර උද්දීපනය කළ වීර පුරුෂයෙකි. අපේ භාෂාවෙත් පැරණී මුතුන්මිත්තන්ගේ පරාක්රමාන්විත භාවයත් මතක නැතිකර යුරෝපීය වේශධාරී බවට පැමිණ ගෙන ද, සිංහලයින්ගේ ඇස ඇරෙවූ වීර පුරුෂයා ජෝන් ද සිල්වා මහතානෝ ය. පූර්වාදේශීය භාෂා දැනඋගත් මේ නීතිඥ මහතා ස්වකීය තනතුරේ වැඩගැනම කාලය ගතකළේ නම් සෑහෙන ධනවතෙක් බවට පත්වෙන්නට ඉඩ තිබුණේය. පුද්ගලික දියුණුවට වඩා ජාතියේත් ආගමේත් රටේත් අභිවෘද්ධිය සැලසූ මේ සද්ගුණවත් පඬිතුමා බලවත් පරිශ්රමයෙන් හා අධික වියදමෙන් නාට්ය කීපයක් සම්පාදනය කොට ධර්මශාස්ත්ර නූගතුන් තුළ පවා අපේ උතුම් ආගම කෙරෙහිත්, ජාතිය කෙරෙහිත් ඇල්මක් ඇති කරවූවේ ය.
…………..අන්තර්ජාලය ඇසුරෙනි………….
උපුටා ගැනීම: දැනුම සොයන්න මේ පාරෙන් එන්න