අපි ඉගෙන ගත්තු ල්වෝව් විශ්ව විද්යාලයට ටියුනීසියාවෙන් ආ බොහෝ දෙනෙක් කඩවසම් අය විය. ඔවුන් ලංකාවේ හිටිය නම් අනිවාර්යයෙන් නලුවන් වීමට පවා සුදුසු වන බව අපි අවිවාදයෙන් පිලි ගත්තෙමු. කෑම අපේ ජීවිතයේ ප්රධානතම අංගයක් නිසා අපි දිනපතා කෑම ඉව්වත් උන් නම් ඉව්වේ ඉඳ හිටයි. ඒත් රෑ කෙල්ලො එක්ක ඇවිදලා බඩ ගිනි වුනාම බිත්තර හතරක් පහක් බැදෙගෙන පාන් පෙත්තක් සමග කා උකු කලු කෝපි එකක් බොන එක හරි අපේ කාමරේකට ඇවිල්ලා ඉතිරි වී තිබුනු දෙයක් කෑමට ගැනීම හරි උන් බොහෝ දෙනෙකුගේ සිරිත වී තිබුනි. රුසියන් කෙල්ලන්ව යාලු කර ගැනීමට නොහැකි වූ අපේ යාලුවන්
‘අඩෝ උන් බඩු එක්ක ආතල් අරගෙන අපේ කෑමටත් අරිනවා. දෙන්න එපා බං ඕකුන්ට’
කියා කීප වරක් මට කිව්වෙ උන් ගැන සාධාරණ තරහින්. කොහොම වුනත් උන් මගේ හොඳ යාලුවන් බවට පත් වූ විට
‘මුගේ පෙනුමත් මොරොක්කන්, ටියුනිසියා පෙනුම නේ’
කියා කලේ විහිලුවක් වුනත්, ඒ රටවල සමහරක් මා සමග අරාබි බාෂාවත් කතා කලේ ඒ රටවල උන් සමග ආශ්රය කලා පමනක් නොව පාපන්දු ක්රීඩාවෙත් යෙදුනු නිසා, උන්ගේම එකෙක් කියා හිතුව නිසා වෙන්නැති. උන්ගේ උසටම මා උස නැති නිසා හරි මගේ බේබි ෆේස් එක නිසා හරි උන් මට කිව්වේ ‘පොඩි එකා’ කියලයි.
අපේ ශ්රී ලංකා ශිෂ්ය සංගමයේ මහා සභා රැස්විම මගේ කාමරයේ තැබීමට තීරනය කලේ යුනි කාලයේ මගේ තුන් වෙනි වසරේදීයි. හැම වසරකම මෙන්, ඒ රැස්වීමට වැඩිම වුනොත් යන්නෙ විනාඩි දහයකි. ඉන් පසුව වොඩ්කා බී, සිංදු දාගෙන නටන පාටියක් බවට පත්වෙයි. මෙවරත් එය වෙන බව මම දැනගෙන හිටපු නිසා කලින්ම පරිප්පු, මස් සමග අල කරියකුත් උයලා, බයිට් ලෑස්ති කරල තිබුනේ.
ඔන්න කට්ටිය ඇවිල්ලා මීටිම පටන් අරගෙන පරන කොමිටිය විසුරුවා හැරලා, අලුත් කොමිටිය පත් කරන්න ගත්තම ධනවාදි කන්ඩායමේ සුරේෂ් සභාපති කමටත්, සමාජවාදී කන්ඩායමේ මම උප සභාපති කමටත් ඇතුලුව පසුගිය වසරෙ නිලයන් දැරූ සියලු දෙනාම නිතරඟයෙන් පත්වීමට ගියේ විනාඩි අටකුත් තත්පර තිහකි.
‘හරි එහෙනම් අපි අලුතෙන් පත් වූ අය වෙනුවෙන් ටෝස්ට් එකට් දාමු’
කියල වොඩ්කා බෝතලකුත්, කියුකම්බර් අච්චාරු, හැම් (කල්බසා), චීස් එහෙම මම මේසෙ උඩින් තිබ්බම, පලවෙනි වොඩ්කා බෝතලේ වාෂ්ප වුනේ මීටිමට ගිය කාලයටත් වඩා අඩුවෙන්. ඔය විදියට වැඩේ නැගල යන අතරේ, කට්ටියක් ගියා කොරිඩෝර් එකේ කොනකට සිගරට් බොන්න.
මමත් එයාලට එකතු වෙන්න කියලා කාමරෙන් එලියට එනකොට මගේ එක ටියුනීසියන් යාලුවෙක් මගේ ලඟට ඇවිල්ලා
‘ආ පොඩි එවුන් අද බීල වගේ’
කියලා මගේ කම්මුල අත ගාලා හිනා වෙවී ගිහිල්ලා උගේ කාමරේට ගියා. මෙන්න අර ඈත සිගරට් බීපු උන් ඕක දැකල දුවගෙන ඇවිල්ලා
‘අඩෝ අර අබ්බා උඹේ කම්මුලට ගැහුව නේ’ කියනවා.
‘පිස්සුද බං? ඌ මගේ යාලුවා ඌ මගේ මූන අත ගෑවේ’
‘පලයං බං. අඩෝ ඔහොම බයවෙලා ජීවත් වෙන්න එපා. අපි ඉන්නවනේ ඕන දේකට’
කියලා අරූ ඉන්නෙ මොන කාමරේද ඉන්නෙ කියල මගෙන් අහනවා. මම කොච්චර කිව්වත් ඌ මට ගැහුවෙ නෑ කියල මුන් පිලිගන්නෙම නෑ. ඔය අතරෙ මොකුත් නොදන්න ටියුනීස්කාරයා උගේ කරුමෙට වගේ ආයෙත් එතනින් යන්න ආවා කියමුකෝ. ඒ මදිවට ඌ හිනා වෙලා
‘අද ලොකු පාටියක් වගේ’ කියල කිව්වම.
අපේ එකෙක් ‘යකෝ මූ නේ අපේ දේව්ට ගැහුවෙ’ කිව්ව ඌව හඳුනගෙන.
‘නෑ බං, මේ වෙන එකෙක්’
කියල මම වැඩේ ෂේප් කරන්න බැලුවත්, උන් ටික සේරම කියනවා ඒ ඌමයි කියලා.
දැන් මේ අඩි හයාමාරක් විතර උස එකා ලඟට අඩි පහයි අඟල් හතරෙ දෙන්නෙක් විතර ගිහිල්ලා
‘ඇයි උඹ දේව්ට ගැහුවෙ’
‘මම ගැහුවෙ නෑ’
‘නෑ නෑ ගැහුව. අපි දැක්කා. අපේ එකෙකුට ගහලා ලේසියෙන් යන්න දෙන්නෙ නෑ’
‘ඇයි මොනව කරන්න ද?’
කියල ඌත් කිව්වෙ ඒ අසාධාරණ කතාවට. මේ කතාව ටිකක් සද්දෙන් යන කොට තව ටියුනීස්කාරයෙක් ආවා. ඌ ටිකක් වලියට බර එකෙක්. කොහොම හරි කතාව දිග් ගැස්සුනා, ඊට පස්සෙ ගලිවරගෙ ඇඟට පැනපු ලිලිපුට්ලා වගේ අපේ එවුන් උන් දෙන්නගෙ ඇඟේ එල්ලිලා නෙලනවා. මම බේරන්න හැදුවට බේරන්න බෑ, ඒ පාර මේ මොන බම්බුවක්ද කියලා මාත් ගහන්න ගත්තා.
එක අවස්තාවක අනික් උන් සේරම එකෙකුට ගහනවා, මම විතරයි අර වලියට බර එකාට ගහන්නේ. මම ගැහිල්ල නවත්තලා
‘ෆයිසල්, කූල් ඩවුන් වෙයං’ කියලා උගේ පිටට තට්ටුවක් දැම්මම ඌට හිනා.
හැබැයි අපේ උන්ට ආයේ මෙහෙම චාන්ස් එකක් එන්නෙ නැති නිසා, අනෙක් එකාව බිම දාගෙන ගහනවා. ඉතින් රුස්සො ඇවිල්ලා රන්ඩුව බේරලා අරුන්ට යන්න දුන්නට පස්සෙ අපි ඇවිල්ලා ආයෙ බොන්න ගත්තට, මට හිතුනා උන් අනෙක් ටියුනීසියන් කාරයො එක්ක ඇවිල්ල රිටන් එක දේවි කියලා.
ටික වෙලාවකින් කවුද දොරට තට්ටු කරනවා. මම ගිහිල්ල දොර ඇරියම ඉන්දියන් යාලුවෙක්.
‘මචන්ලා, අන්න පොලිස් ජීප් එකක් ආවා. ගිහිල්ලා හැංගියල්ලා’
කිව්ව විතරයි මී වදේට ගලක් ගැහුව වගේ මුන් ටික විසිරිලා ගියා නේ. මම මගේ කාමරේ දාලා කොහේ යන්න ද? ඒත් කරන්න දෙයක් තිබුනේ නෑ, මමත් කාමරෙ දොර වහල ගියා ලංකාවේ කෙල්ලෙකුගෙ කාමරේට. එදා රෑ ඒ කාමරේ නිදා ගත්තා. නෑ නැ එහෙම මොකුත් කලේ නෑ බීල හිටියත්, සහෝදරියො වගේ නේ.
කොහොම හරි පොලිසියෙන් කවුරුවත් අල්ල ගත්තෙ නෑ. ඒත් යුනිවර්සිටියෙ විනය පාලක මාව අල්ලගෙන, ඒ ගහපු උන්ගෙ නම් ඉල්ලුවා. මම පාවා නොදුන් නිසා මට තද අවවාදයක් දීලා (විගවෝර් කියල කියන්නේ. ඒව තුනක් ලැබුනොත් හැරෙන තැපෑලෙන් ගෙදර. ඊට පස්සෙ තව එකක් ලැබුනා. ඒක පසුව ලියන්නම්), නිවාඩුවට රටෙන් පිටවීම තහනම් කලා.
අර ගහපු යාලුවො අපේ හොස්ටල් එකේ අය නෙවෙයි. ඉතින් එදා රෑ, පොලිසියට අහු නොවෙන්න දෙවෙනි තට්ටුවේ තව අපේ යාලුවෙකුගේ කාමරේට ගිහිල්ලා, බෙඩ්ෂීට් ගැට ගහලා ජනේලයෙන් පනින්න ගිහිල්ලා. දහ දෙනෙක් විතර ෂීට් අල්ලගෙන හිටපු නිසා, ජනේලයෙන් එලියට ගිහිල්ල තිබුනේ මීටර් දෙකක වගේ කෑල්ලක්. පලවෙනියට ගිය එකා, දන් ඌ ඉන්නෙ පොලව මට්ටමේ කියල හිතල බෙඩ් ෂීට් එක අත හැරලා. උගෙ කකුල කැඩිල තවම කොර ගහනවා. අනික් උන් ටික රට ගියා මට මොකුත් ගෙනාවෙ වත් නෑ, මම ඉතින් ආර්මේනියාවෙ අගනුවර යෙරෙවාන් ගියා. ඒකත් නරක නෑ, ඒ ගමනෙදි තාන්යා හමු වුනා. ඒකත් තව කතාවක්.
ඒත් අර ටියුනීසියන්කාරයෝ මාව හොයා ගෙන ඇවිල්ලා ගැහුවෙ නෑ. ඒ විතරක් නෙවෙයි, මාව දැක්කම උන් හිනා වෙලා
‘එදා පොඩි උන් බීලා හැසිරුනු හැටි නම් හරි සවුත්තුයි. බීලා හැසිරෙන්න දන්නෙ නැති උන් නොබී ඉන්න ඕන’
කිව්වම මට ඇති වූ ලැජ්ජාව අර සේරම දඬුවම්වලට වඩා ලොකු දඬුවමක් වුනා. ඒ එක ටියුනීස්කාරයෙක් දැන් ඉන්නෙ කැනඩාවේ, තවම මගේ යාලුවෙක්.
උපුටා ගැනීම: Devapriya Siriwardena