“ඇප දෙන්න වරෙන්…”
යාළුවගෙ මේ පණිවිඩයට මම පොලිසීයට දිව්වෙ පැය භාගෙන්. ඌට ඇප දීලා එළියට අරන් ඇවිත් තේ එකක් අරන් දීලා කතාව අහගත්තා.
මේ උගේ කතාව:
“උඹ දන්නවනෙ අපි ගිය සතියෙ ගෙයක් ගත්තා ආනන්ද මාවතෙන්? ඕකට අපි බඩු ගෙනිහින් දැම්මෙ සිකුරාදා.
බඩු ටික ගෙනිහින් මමයි ලොරිකාරයයි ඒ ටික බෑවා. එතකොට අල්ලපු ගෙදර ඉඳලා ආපු මනුස්සයෙකුත් ආවා උදව්වට. මම අහල පහළ අය අඳුරන්නෙත් නැති නිසා මිනිහව අඳුනගන්න ලැබීම ගැන සතුටු වුණා. මිනිහා බිස්නස්කාරයෙක්. අල්ලපු ගෙදර සෑහෙන කලක් ඉඳලා තියනවා. අපි එනවත් එක්කම මිනිහාටත් දුර පළාතක ජොබක් සෙට් වෙලා පවුල පිටින් යනවලු.
‘අපරාදෙ. ඒ ගෙදර මෙහෙටත් වඩා හොඳයි වගේ. දන්නවනං ඒක ගන්නවා. ‘ මම කීවා.
‘ගෙදර හොඳ වුණාට දොර අප්සෙට් ‘ මිනිහා කියනවා.’මම මේ බඩු ටික අස් කරගෙන යන්න ආවා. යතුර ඇද වුණා අගුල හිර වෙලා. ලොරි කාරයටත් තද වෙලා යන්න ගියා පරක්කු වෙන නිසා. ඒ අතරෙ තමයි මහත්තයා බඩු බානවා දැක්කෙ.’
‘ඇරෙන්නැද්ද? යං බලන්න.’ මමයි ලොරි ඩ්රයිවර් නුයි දෙන්නත් ගියා බලන්න. ඇත්ත තමයි . මෙච්චර කල් මේ යතුරෙන් කොහොම ඇරුණද මන්ද ඒ දොර! ‘දොරට යටින් අලවංගුවක් දාලා පොඩ්ඩක් ඇල්ලුවනං අසව්ව ඇදෙනවා. පස්සෙ හයිකරල දාන්න බැරියැ. ඒත් අලවංගුවක් තමයි නැත්තෙ. ‘ මිනිහා කල්පනා කරනවා.
මම සුටුස් ගාලා ගිහින් අපේ අලවංගුවයි නියනකුයි ගෙනාවා. හිතපු තරම් ලේසි නැති වුණත් දොර ඇරගන්න පුළුවන් වුණා.
‘ඒත් කෝ ලොරියක්?’
‘මේ තියෙන්නේ අත ළඟ ලොරියක්! තමුසෙ මේ ලොරියෙ පටෝගෙන යනවා බඩු ටික. බාගන්නත් උදව් කරයි මේ මනුස්සයා. ‘ මං අපේ ලොරිකාරයව පෙන්නුවා.
වැඩේ හොඳට කෙරුණා. අපි තුන්දෙනා එකතු වෙලා ආයෙ ලොරිය පිරෙව්වා. මගේ අලුත් යාළුවා පිටත් වෙලා ගියේ මුව නොසෑහෙන්න ස්තුති කරලා විතරක් නෙවේ මිනිහගෙ මේසෙ උඩ තිබුණ ලස්සන ලී කැටයමකුත් මට තෑගි කරලා. මෙච්චර හොඳ අසල්වැසියෙක් හඳුනා ගත් ගමන්ම අහිමි වීම ගැන මටත් දුකයි.
ඊයෙ උදේ අපේ ගෙට ගෙවදින නැකත.
අපි කිරි උතුරවන වෙලාවෙ පොලිස් ජීප් එකක් නැවැත්තුවා ගෙදර ඉස්සරහ. අපේ අල්ලපු ගෙදර ලෝයර් මහත්තයෙකුගෙලු. ඒක සිකුරාදා හොරු බිඳලාලු. ගේ බිඳින්න යොදාගත් අලවංගුව ඇතුළු උපකරණත් ඒ ගෙදරින් සොරකම් කෙරුණු ලී කැටයමකුත් අපේ අලුත් ගෙදරින් හොයාගත්තා. ගෙදර බිඳින්න හා බඩු සොරකමට උදව් කළ කෙනෙක් විදියට ගමේ තැපැල්කාරයා මගේ මුහුණුවරෙන් මාව අඳුනගත්තා. අර හිත හොඳ අසල්වැසියා වගේ හිටපු එකා ගෙවල් බිඳින පල් හොරෙක්! මං ලවා දොර කඩවලා මං ලවා මං ගෙනාපු ලොරියටම බඩුත් පටෝලා ඌ මට තෑගි දීලා තියෙන්නෙත් අනුන්ගෙ හොර බඩුවක්. ‘
උපුටා ගැනීම: නිරන්ජන් ලියනගම