කොහෙද මන්දා එකෝමත් එක කාලෙක එක දූපත් දුප්පත් රටක් තිබුණා..ඔය රට සෑහෙන ප්රශ්න ගොඩකට මුහුණ දීලා දීලා යන්තම් වගේ ගොඩගිය රටක්..රටේ මිනිස්සු බොහොම අහිංසකයි..හිත හොඳයි.. ඒ නිසාම මෝඩයි…ඉක්මනින් ඕන කෙනෙක්ට රැවටෙනවා…ඒක ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙවි..ස්වභාවයෙන්ම එච්චරටම අහිංසක මිනිස්සු තමයි ඒ රටේ හිටියේ..
එක කාලෙකදි ඔන්න ඒ රටේ පාලකයගෙ ඇවෑමෙන් අලුත් පාලකයෙක් පත් උනා..කලින් පාලකයට ළමයි නැති නිසා රටේ මිනිස්සු තමන්ගෙ සේනාපතිව රජ කළා..සේනාපති හොඳයි ඒත් හැම දෙයක් දිහාම බැලුවෙ තමන්ගෙ කෝණයෙන්…කලක් තිස්සෙ ලබපු පුහුණුව නිසා එයාට හැම දෙයක්ම යුද්ධයක් වගේ පේන්න ගත්තා..ඉතින් එයා හැම දේටම යුධ හමුදාව සම්බන්ධ කරගත්තා..
මේ රටේ ඇමැත්තො ටිකත් අලුත් රජුටම ගැලපෙන කට්ටිය..හැබැයි ඔය අතරෙ කිහිප දෙනෙක් හිටියා ලෝකේ පුරා ගිහින් නොයෙක් දේවල් දැකල.. පොත් වලින් කියවල… දිසාපාමොක්ලගෙන් ඉගෙන ගෙන දැණුමින් සන්නද්ධ වුන ඇමැත්තො ටිකකුත්..
ඉතින් මේ රට බොහොම හොඳින් සතුටෙන් පවත්වාගෙන කාලයක් ගත උනා..
ඔන්න එක දවසක් ලෝකෙ එක කොනකට වැස්සක් වැටුණා..රටවල් හරහා හමාගෙන යන මේ වැස්සට තෙමෙන ඕන කෙනෙක්ට පිස්සු හැදෙනවා..ඒ වගේම ඔය වැස්ස දැක්කම එළියට පැනල ඒ වැස්සෙ තෙමෙන්න හිතෙනවා..තෙමිලා දවස් හත අටක් යනකොට සිහිය විකල් වෙනවා..ඒක හරි භයානක තත්ත්වයක්..මේකට කිව්වෙ ” උමතු සං වරුසාව” කියල..ඔන්න ඉතින් මුලු ලෝකෙම මිනිස්සු වැස්සට බයේ තම තමන්ගෙ ගෙවල්වලට වෙලා ඉන්න ගත්තා..අර අපි කතාකරන රටෙත් හදිසි අවස්ථාවක් ප්රකාශ කරල හැමෝම තම තමන්ගෙ දරු මල්ලො එක්ක ගෙවල් ඇතුළට වෙලා හිටියා මේ වැස්සට තෙමෙයි කියල බයේ..වෙන රටවල්වලටත් ඔය වැස්ස වැටෙන්න ගත්තා..වැස්සට තෙමුණු මිනිස්සු නටන පිස්සු විකාර රූප පෙට්ටි වල පෙන්නන්න ගත්තම මේ රටේ මිනිස්සු බොහොම බය වෙලා ගෙදර ෂවර් එක යටටවත් ගියේ නෑ..ලෝකෙ පුරාම විද්යාඥයන්ට මේ වැස්ස ගැන හරි හැටි අවබෝධයක් තිබ්බෙත් නෑ..ඉතින් මේ අය එකතු වෙලා මේකට බෙහෙතක් හෙව්ව..
ඔය අතරෙ මේ වැස්ස අනිත් රටවල්වලට පැතිරිලා ගිහින් ඒ රටවල මිනිස්සු තෙමිලා පිස්සු කෙලින්න ගත්තා..
කොහොම හරි පහුවෙනකොට විද්යාඥයෝ හොයා ගත්තා ඔය වැස්සෙන් වැහි වතුර බිංදුවක් අරං ඇඟේ ගාගත්තම පිස්සුව පොඩ්ඩක් හැඳිලා හෙමිහිට සනීප වෙලා යන බව..ඉතින් ලෝකෙ පුරාම මේ ප්රතිකාරය කරන්න පටන් ගත්තා..ඒත් එහෙම ප්රතිකාර කලත් පිස්සුව තද වෙලා සිහි විකල් වෙන අයත් හිටියා.ඉතින් ඔය ප්රතිකාරය ගැනත් සෑහෙන්න ප්රශ්න තිබුණා..මේ වැස්සට නොතෙමී ඉන්න නම් තමන්ට හැකියාව තියෙන විදියට වැහි කබා, කුඩ, තොප්පි ඒත් බැරිනම් කුමක් හෝ ආවරණයක් භාවිතා කරන්න කියල තමයි වෙද්දු උපදෙස් දුන්නෙ…
ඔන්න ඉතින් අපි මේ කතාවට පාදක කරගත්ත රටටත් මේ වැස්ස ආවා..මේ වැස්ස වහින ක්රමයක් තිබ්බා..වැස්ස එන්නෙ රැළි විදියට..මුලින් පොඳ වැහි රැල්ලක් තමයි එන්නෙ..දෙවැනියට ටිකක් හයියෙන් වහිනවා..ඔහොම මේ රටෙත් වැහි රැළි තුනක් ගියා..අනිත් රටවල වගේම මේ රටෙත් සමහර මිනිස්සු වැස්ස දැක්කම ආසාවෙ බැරුව තෙමිලා තමන්ගෙ සිහිය විකල් කරගත්ත..රටේ රජ්ජුරුවෝයි ඇමැත්තොයි රටේ වෙද්දු ටිකයි එකතුවෙලා අර හොයාගත්ත බෙහෙත රට පුරාම බෙදන්න ගත්තා..බෙහෙත ගන්න පෝළිම්වල ඉන්නකොටත් හීනියට වැහි රැලි ගියා..ඒවට තෙමුණු සමහර මිනිස්සුන්ගෙ සිහිය විකල් උනා..මේ අතරෙ රජ්ජුරුවෝ කිව්වා “අපිට මේක ලොකු නෑ
අපි තමයි ලෝකෙන්ම මේ ලෙඩේ හොඳටම පාලනය කරන්නෙ”කියල..ඉතින් බෙහෙත ගත්ත මේ අහිංසක මෝඩ මිනිස්සු බය නැතිව පොඳ වැස්සෙ තෙමි තෙමි තමන්ගෙ වැඩ රාජකාරි කරන්න ගත්තා..එහෙම කරලා සිහි විකල් වෙලා ගිය මිනිස්සුන්ගෙන් රටේ වෙද හල් පිරිලා ඉතිරිලා ගියා..
ඒ වගේම මේ වැස්ස ගැන හොඳ අවබෝධයක් ඇතිව වැහි කබා, කුඩ හරි විදියට භාවිතා කරලා සිහි විකල් නොවී ඉන්න උන්න ගොඩක් මිනිස්සුත් මේ අතරෙ හිටියා..
ඔය අතරෙ තවත් ලොකු වැහි රැල්ලක් එනවා කියල ලෝකෙම දැනගත්තා.. කලින් වැහි රැළි තුන රටේ වෙද්දුයි අර ඉගෙන ගත්තු ඇමැත්තො ටිකයි නිසා යන්තම් ගොඩ ගිය මේ රටේ රජ්ජුරුවෝ කිව්වා බය වෙන්න ඕන නෑ මම රටේ යුද්ධ හමුදාවට වැස්ස පාලනය කරන්න භාර දෙනව කියල..ඒ අතරෙ රජ වාසල අඬබෙර කාරයො ටික මේ
වැස්සෙ තියෙන භයානක කම ගැන රට වැසියන්ට හරියට කිව්වෙ නෑ..උන් රටේ ඉන්න නිළියො ගැනයි වෙන මොකක් හරි ඕපාදූපයක් ගැනයි අඬබෙර ගහල කිව්ව නිසා ස්වභාවයෙන්ම රැවටෙන රට වැස්සො ටික ඒ අඬබෙරවලට වහ වැටිලා ඒවම අහගෙන හිටියා..ඉතින් අඬබෙර කාරයො ටිකත් හැම සතියෙම මොකක් හරි කුණු කන්දලයක් අවුස්සන්න පුරුදු උනා..රටේ මිනිස්සු රැවටිලා ඒවා ගැනම කඩේ පිළේ කතාවෙන්න ගත්තා..
මේ වෙනකොට රටේ මිනිස්සු බහුතරයකට බෙහෙත දීලා ඉවරයි..ඇමැත්තො ටිකයි රජ්ජුරුවෝයි මේ බෙහෙත ගැනම විශ්වාසය පළ කලා..
එක නුවණැති ඇමැත්තියක් විතරක් කිව්වා මේ වැස්සෙ තෙමෙන්න එපා..ගෙවල් වලට වෙලා තමන්ගෙ දරු මල්ලො එක්කම ඉන්න..නිස්කාරණේ එළිමහනේ ගැවසෙන්නට යන්න එපා වැස්සට අහුවෙයි සිහිය විකල් වෙයි කියල..
ඒත් මිනිස්සු කිහිපදෙනක් ඇරෙන්නට අනිත් අය ඒව ඇහුවෙ නෑ.
හතරවන වැහි රැල්ල මහ භයානක විදියට මේ රටට කඩා වැටුණා..ඒ අනිත් රටවල් වලට කඩා වැදුණු වේගයට වඩා කිහිප ගුණයක් වැඩි වේගයකින්…
මිනිස්සු රටේ වෙද්දු කියන එක ගණන් නොගෙන ඔන්න රට හතරවන උමතු සං වරුසා රැල්ලට තෙමෙන්න ගත්තා..මේ වැස්සට තෙමිලා පැයක් දෙකක් යනකොට මිනිස්සුන්ගෙ සිහි විකල් වෙන්න ගත්තා..
ගෙවල් වලට වෙලා උන්න මිනිස්සුන්ට වැස්ස දැකල වාව ගන්න බැරුව දරු මල්ලොත් එක්කම එළියට පැනල අර වැස්සෙ තෙමෙන්න ගත්තා…රජ්ජුරුවොයි ඇමැත්තො ටිකයි ඔක්කොම ඔය වැස්සට පැනල නෑවා..තෙමුණු මිනිස්සු වහල තියෙන ගෙවල් වලට පැනල ගෙවල් ඇතුලෙ හිටිය අයටත් අර වැහි වතුර ගැහුවා..අර ඇමැත්තිය විතරක් හයිය කඹේකින් තමන්ව ගෙදර කණුවකට තියල ගැට ගහගත්තා..ගෙදර දොර ජනෙල් වලට පරාල රීප්ප යකඩ පට්ටම් එහෙම තියල ඇණ ගහල මුද්රා කරගත්ත..ඊට කලින් හදිසියට බෙහෙතක් විදියට ගන්න ප්රයෝජං වෙයි කියල ඔය වැස්සෙන් වැහි වතුර කළයක් එකතු කරගන්න කියල කළේකුත් ගෙදර මැද මිදුලෙන් තිබ්බා..
වැස්ස වැහැල ඉවර උනා..අර ඇමත්තිය ඇරෙන්නට රටේ අනිත් හැමෝගෙම සිහිය විකල් වෙලා තිබ්බා..
රජ වාසලට අර ඇමැත්තිය ගියාම මුලු රාජ සභාවම එකම පිස්සන් කොටුවක් වෙලා තිබ්බා..පාර දිගෙත් පිස්සො..කඩේට ගියත් පිස්සො..උඩ බැලුවත් බිම බැලුවත් කොහෙ බැලුවත් පිස්සො..
මේක දැකල කළකිරිලා ගෙදර ආව ඇමැත්තිය “රජෙක් පිස්සෙක් කළත් එකයි පිස්සෙක් රජෙක් කළත් එකයි” කියල අර වතුර කළේ උස්සල අරං ඔලුවෙ නවා ගත්තා..
උපුටා ගැනීම: Mahesh Neranjan Palliyaguru