සතියක් පුරාවටම කුඹුරු වැඩ කරලා අහවර වෙලා අද තමයි ගොඩට ආවෙ.මුලින්ම නියරවල් ටික ගානට බදින්න ඕනෙ.උදැල්ලෙන් මඩ තල්ලියක් අරගෙන නියරට තද වෙන්න ගහලා උදැල්ලෙන්ම මට්ටම් කරන්න ඕනෙ.එතකොටයි මඩ වේලුනාට පස්සෙ නියරෙ හොදට ඇවිදගෙන යන්න පුළුවන්.වතුරත් එක්ක උදැල්ලට මඩ ගනිද්දි මුලින් ටිකක් උරපතු රිදෙනවා.පස්සෙ ඒක ගාණක් නැති වෙලා යනවා.පළවෙනි දෙවනි හීයවල් ටික හාලා මුලින්ම නියරවල් ටික බැඳලා මහ ඇලෙන් වතුර හරවගෙන ලියැදි වලට ඇලවල් කඩලා පෝරුවෙන් පෝරු ගාන්න ඕනෙ.නිකන් පෝරු ගෑවට හරියන්නෙ නෑ.උඩ මතුවෙන තණකොළ කකුලෙන් පුළුවන් වීරිය දාලා යටටම යන්න පාගන්න ඕනෙ.එතකොට ඒ තණකොලේ ආයෙමත් හැදෙන්නෙ නෑ.තණකොළ තෙල් ගහන්න ඕනෙ වෙන්නෙත් නෑ.ඊටපස්සෙ ලියැදි ටික පෝරු ගාලා වක්කඩවල් කඩලා වතුරට මහ ඇල දිගේ යන්න දීලා ගෝනි වලට පුරවන් ආපු බිත්තර වී ටික කූඩෙට අරන් එක අතක් උඩ තියාන වී ගහන්න ඕනෙ.වී ගැහිල්ලෙත් තියනවා ක්රමයක්.වී නන්ඩුව කෙළින්ම මඩට වදින්න ගහන්න පුළුවන් නම් එහෙමත් සමත් කාරයෙක් තමයි.කෝකටත් අත හුරුවක් තියෙන්න ඕනෙ කියලා අපේ සීයා ඉස්සර කියනවා.
“අඩෝ උඹ සර් කෙනෙක් නේද? ලැජ්ජ නැද්ද බං මඩ නාගෙන කුඹුරු කොටන්න”
ශෝටකුත් ගහගෙන ඉහේ ඉදන් මඩ නාගෙන වපුරනකොට වෙලෙන් උඩ පාරෙ ගියපු යාළුවෙක් මගෙන් අහනවා.
” මෙහෙම ඉන්න ලැජ්ජ නෑ ඒත් මට කඩේට මල්ල අල්ලන්න ලැජ්ජයි බං”
මම අපේ තාත්තා අපිට කියනවා වගේ ඌට කියනවා.
ඇත්තටම ඌ විතරක් නෙවෙයි ගමේ ඉන්න ඇන්ටිලා කීප දෙනෙකුත් මඩ තවරගෙන පාර දිගේ උදැල්ලත් කරේ ගහගෙන එන මගෙන් අහනවා පුතේ ඔහේ දැන් සර් කෙනෙක් නේද?ඉගෙනගත්තහම කුඹුරු කොටන්නත් ඕනෙද?තවත් බොහොම උජාරුවෙන් කියනවා අපේ එකානම් කුඹුරක් දිහා ඇහැක් ඇරලා බලන්නෙ නෑ කියලා.
පරම්පරාවෙන්ම අපිට එන කුඹුරු අක්කර හය හතක් ඉස්සර තනියම වගා කලේ අපේ සීයා.උන්දැ මියැදුනාට පස්සෙ අපේ තාත්තා ගෙදර අයට කන්න දෙන්න ඕනි නිසා කලේ කුඹුරු අක්කර දෙක තුනයි.අනිත් ඒවා ඔහේ පුරන් වෙලා ගියා.මට අතට උදැල්ල හුරු උනු දවසෙ ඉදලා උදේ පාන්දරම කුඹුරට ගිහින් නියරවල් බැදලා මඩ පෙරලලා කුඹුරු අක්කර හතක් එක්ක තනියෙන් ඔට්ටු වෙන්නෙ පපු කැනැත්තෙන්ම එන මාර ආසාවකට.අස්වනු නෙළුවාම වී මිටි ගණන් වහළ උසට ගොඩගහන්න.සාගතයක්,වැස්සක් වැහැලා ගොවිතැන්බත හේදිලා ගියහම කඩේට මල්ල අල්ලන්නෙ නැතුව තුන් වේලම ගෙදර අයට හොදට කන්න දෙන්න.දුප්පත් නැති බැරි එකාලට දෙන්න.අනේ මල්ලි අනේ අයියෙ අනේ මචං අලුත් බත් කන්න ආසයි බං කිව්වහම උන්ට ගෝනි පුරවලා අලුත් හාල් යවන්න,ගමකට උනත් කන්න දෙන්න අදටත් මම අවුරුද්දෙ යල මහ කන්න දෙකම කුඹුරට බහිනවා වගේම මීඩියා උගන්වන්න පන්තිවල ස්ටේජ් එකටත් නගිනවා.ඉගෙනගත්තහම දුක් විදින්න ඕනෙ නෑ කියන එක.ඉගෙනගත්තෙ නැති උනොත් උඹට කුඹුරු කොටන්න වෙයි කියන එක ඕවා මහ බොරු කතා.ඒ කතා වලින්ම තමයි මේ උතුම් ගොවිකම හෑල්ලුවට ලක් කරලා තියෙන්නෙත්.
කුඹුරට බැහැලා මඩ ගාගත්තා කියලා අමුතු ලැජ්ජාවක් වත් සර් කෙනෙක් කියලා හීන මානයක්වත් මට නෑ.එහෙම එකක් මට අඩුම තරමෙ දැනිලවත් නෑ.කුඹුරට බැස්සා කියලා ඉගෙනගත්ත දේවල් මහ ඇළ දිගේ ගහගෙන යන්නෙත් නෑ.මං පන්ති වලට මඩ ගාගෙන ශෝට ගහගෙන යන්නෙ නෑ.කොටින්ම කිව්වොත් මම සර් කියන කෑල්ල පන්තියෙන් තියලයි ගෙදර එන්නෙ.කුඹුරු වලින් උදේට මඩ පෙරළනකොට එන ඒ නැවුම් සුවඳ විඳගෙන අනිත් ගොවියොත් එක්ක හරි හරියට වැඩ කරද්දි එන ගැම්ම ජීවිතේ වෙන දේකින් ලබන්න බෑ.ඒක වෙනම ආශ්වාදයක්.
මේ දවස් ටිකේම මම දැකපු දුක්ඛිතම දේ තමයි මගේ වයසෙවත් මට වඩා පහළ වයසකවත් කිසිම කොල්ලෙක් යාය පුරාවටම ගොවිතැනට බැහැලා හිටියෙ නෑ.ඔක්කොම මාමලා,සීයලා,ඇයි එහෙම වෙලා තියෙන්නෙ?ගොඩක් කොල්ලො හිතාගෙන ඉන්නෙ මඩ ගාගත්තහම උන්ගෙ තත්වෙට හරි නෑ කියලා.ලැජ්ජයි උන්ට.අව්වෙ කට්ට කන්න කැමති නෑ.ආසාවක් නෑ.අනේ ඉතින් ලංකාවටම බත දෙන මේ ගොවි පරම්පරාව මියැදිලා අහවර උනාම මේවා බාරගන්න කෙනෙක් නෑ.ඔක්කොම කඩේට මල්ල අල්ලයි.කඩේටත් හාල් එන්න විදිහක් කෝ?අනේ ඉතින් අපි පිටරටින් හාල් ආනයනය කරයි.ඒක මතක් වෙද්දි නම් මට හරිම දුකයි.
උපුටා ගැනීම: Prasan Lakshitha Subasinghe