මං එතකොට මිචිගන් සරසවියටම අයිති වෙලා තිබ්බ නෝර්ත්බෑන්ක් සෙන්ටර් කියන එකේ නඩත්තු අංසේ වැඩ. ඒ බිල්ඩිමේ උඩ තට්ටුවක තමයි ලංකාවේ නාකොටික් එක වගේ ඇමරිකාවේ නාකොටික් එක වෙච්ච DEA drug enforcement authority එකේ කට්ටියක් හිටියේ, ඒ නිසා ඕන ඕන හැමෝටම ඒ ගොඩනැඟිල්ල අස්සට යන්න එන්න බෑ. ආ තව මිචිගන් වල සෙනෙට් මණ්ඩල සාමජිකයගේ ඔෆීස් එක තිබුණේ ඒ බිල්ඩිමේ දෙවනි තට්ටුවේ.
හැමදාම උදේට බිල්ඩිම අයිනේ ස්මෝකින් ඒරියා එකේ සිගරට් එකක් බීලා මාත් එක්ක හිනාවෙලා විහිලු තහලු කරන සුද්දා සෙනෙටර් කාරයා කියලා මම දැනගත්තේ ඊට මාසෙකට විතර පස්සෙ…. ඒකට අපේ යන්තං ප්‍රා සබා මන්ත්‍රීතුමෙක් බලන්නකො… පුහ්…මඤ්ඤං සෝරූ මල් පපඩම් වගේ. ඒවිතරක් නෙමේ මොන සක්කරයා ආවත් මාව තමා හම්බෙන්න ඕන. මං හෙන පොරක්ද ? නෑ මං තමා උන්ට බල්ලා වගේ අමුත්තන්ගේ අවසර පත්තරේ නිකුත් කරන්නෙ.
සමහර හද්ද පට්ට නාකි සුද්දන්ට සුද්දියන්ට මම ඒ වැඩේ කරනවා එච්චර දිරවන්නේම නෑ. උන්ගේ ඇමරිකානු ජාත්‍යාලය ඉස්මතුවෙලා උස්මුරුත්තා වෙලා දෝරේ ගලන්ඩ ගන්නවා. අනික ට්‍රම්පච්චි මේක් අමෙරිකා ග්‍රේට් අගේන් කියලා සීන් එකේ ඉන්න දවස්නේ , ඉතිං කලින් කවුරුහරි තමන් අහවල් දවසේ එනවාය කියලා අපිට දැන්වූවම හැමදාම උදේට ඒ එන අයගේ ලිස්ට් එකට අදාලව එන උන්ට ඇක්සස් කාඩ් ටික රිසෙප්ෂන් එකටත්, කාර් පාස් ටික එතන ගේට් එකේ ඉන්න කල්ලටත් දෙන එක මගේ ඩියුටිය. මං ඒ උනාට ආසම රිසෙප්ෂන් එකේ ඉන්න ලෝරී එක්ක කතා කරන්න. හරිම සරල ඇඳුම් වලට වැඩිය රෙදි නාස්ති නොකරන දණිස්සටත් වියත් දෙකක් විතර උඩින් ස්කර්ට් එක අඳින, හොඳ පපුවක් තියන සීදේවී ගෑල්ලමයා.
දවසක් මං ඒකිට සෙනසුරු ග්රහයගේ වලලුවල සංයුතිය පැහැදිලි කරකර ඉන්නවා… ඒකිත් මයෙ අපුච්චේ අර ඩීජේ අරා පැස්බරා එකේ පැස්බරා “හ්ම්…” හ්ම්ම්හූ…”කියන තාලෙට සෙස්සි ටෝන් එකෙන් හූමිටි තිය තියා මගේ පච මල්ල අහන් ඉන්නවා..එතනට කඩං පාත් වෙනව නාකි ජෝඩුවක්, සෑහෙන වත්පොහොසත්කම් තියන යුවලක් වෙන්න ඕන ඇවිත් තිබුනේ ලින්කන් කාර් එකකින්. එයාලා ඇවිත් එයාලගේ අවශ්‍යතාව ලෝරිට විස්තර කරද්දි එයාල දෙන්නගේට අදාල විසිටර්ස් පාස් දෙක බෙල්ලෙ එල්ලගන්න කියලා මම තෝරලා දෙනවා. ඒකට ඒ සුද්දිට තද උනා මොකක් හරි හේතුවකට, කොහොමත් උන් ආවේම මග එද්දි උන්ගේ මූණට නරි පැඩලා වගේ.
ඒ ගෑණි ඒ අයිඩී කාඩ් දෙක ගත්තේ මෙන්න මෙහෙම කියාගෙන
” බ්ලඩී….ඉමිග්‍රන්ට්ස්”
සිංහලෙන් කියනවා නං “ෆුකේ සංක්රමණිකයෝ” වගේ තේරුමක්
ඕක ලෝරිටත් ඇහුණා මටත් ඇහුණා. ලෝකපාලක දෙයියනේනාන්සෙටත් ඇහුණා. හැබයි ඕක කිව්වා කියලා අපි මක්ක කොරන්නද, අනික ඇඟේ වැදුණද නෑ, ඒත් හිතට හරියට වැදුණා. මට බිම බැලුනා… කරුමෙක මහත කොල්ලෙක්ට ලැජ්ජාවට පත්වෙලා බිම බලන්ඩවත් විදියක් නෑ ,ලෝරි නංඟි එයාගේ හෙලෝ කිටී නැවුම් වාතය ලබාගන්න එලියට දාගන. එහෙම කියලා මං අහක බැලුවද? ඔව් මං බැලුවා. ඒ දෙන්නා විදුලි සෝපාන පැත්තට යන්න ගියා. මාත් ඒ එක්කම වගේ වෙන වැඩකට යන්න ගියා.
පැයකට විතර පස්සෙ මං තුන්වෙනි මහලට එනවා මොකක් හරි පණිවිඩයකට , මේං යකඩෝ අර සුදු ජෝඩුව ඉන්නවා. උන් දෙන්නා එතන නැවතිලා බිත්තියේ වීදුරු සෝකේස් එකක ලස්සනට අහුරලා තිබ්බ රතු ඉන්දියානු අරුමෝසම් ආයිත්තම් සහ ඔවුන්ගේ පරණ පිංතූර බලනවා. මං එනවා දැකලා ආයෙමත් ඒ ගෑණි මට කතාකලා
“උඹ දන්නවද මේ මොනවද කියලා ?”
(Do you know what this is?)
මම උත්තරයක් දෙන්න කලින්ම එයා ආයෙම කියවන්න ගත්තා
” අපේ මුතුන්මිත්තන් ….අපේ ජාතියෙ මුල් තමයි මේ… උඹ ඒවා දැනගන්න එක හොඳයි”
(The heritage of our ancestors, the roots of our nation)
මටත් නිකන් ඉන්න බෑනේ මිත්‍රවරුනි , අනික කොහේවත් යන කජුලාටුවක් වගේ සුද්දියෙක් ගෙන් මං මොන එහෙකටද පාච්චල් වෙන්නෙ මං එයා පෙන්නපු දේවල් වලට අත දික්කරලා මෙන්න මෙහෙම කිව්වා
” That ? , Well That Reminds me you are Immigrants too”
(“මේවා දැක්කම,මට නම් මතක් වෙන්නේ උබලත් සංක්‍රමණිකයන් නේද කියන එක”)
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්‍රේමසිරි