ගම්පොළ රාජධානි සමයේ රජකල විජය පරාක්‍රමබාහු රජු විසින් මායින්ගමුවේ දේවියගේ මිණිබිරියන් දෙදෙනෙකු විවාහ කරගෙන ඇති අතර එම දෙදෙනාගෙන් එක් අයෙකුගේ දරු පරම්පරාව උනම්බුව පරපුර බවට පත්වී තිබෙනවා.ඇයට එම විවාහයෙන් දූවරු තිදෙනෙකුත් එක පුතෙකුත් ලැබී තිබෙනවා.එම පුත් කුමරු රාහුල කුමාරයා වශයෙන් හැඳින්වූ අතර පසුව ඔහු පැවිදිව ගඟසිරිපුර විහාරයේ වැඩවාසය කොට ඇත.දූවරුන් අතරින් රතිපත්තිහාමි යන දියණියට දරුවන් නොසිටි අතර පතිපත්තිහාමි සහ ඕගිරි කුමාරිහාමි යන දියණියන් අතුරින් ඕගිරි කුමාරිහාමි අරත්තන තෙන්නකෝන් බණ්ඩාර සමග විවාහවූ අතර එම විවාහයෙන් ඇයට ලැබුණු දරුවා වීබද්දේ රාල නමින් හැඳින්වීය.එම වීබද්දේ රාලගේ දරුවන් මහ තෙන්නකෝන් දිසාව සහ කුඩා තෙන්නකෝන් දිසාව නමින් ප්‍රචලිත වූ අතර වර්තමානයේද උනම්බුවේ පාරම්පරිකයන් තෙන්නකෝන් මුදියාන්සේ යන වාසගම පාවිච්චි කරති.
අනෙක් දියණිය වූ පතිපත්තිහාමි දන්තුරේ බණ්ඩාර සමග විවාහවූ අතර එම විවාහයෙන් ඇයට දූවරුන්ම සයදෙනෙක් විය.දියණියන් සයදෙනෙක් වූ නිසා දන්තුරේ බණ්ඩාර හදිනාරාල යනුවෙන්ද හැඳින්විනි.මේ දියණියන් සයදෙනා විජය පරාක්‍රමබාහු රජුට පසුව රජවී යැයි කියන වීර පරාක්‍රමබාහු රජුට සහයට ගැනීමට අවශ්‍ය විය.මෙම යෝජනාවට පතිපත්තිහාමි සහ දන්තුරේ බණ්ඩාර අකමැතිවූ නිසා බොහෝසෙයින් උදහස් වූ රජු විසිදැමුණ නම්වූ ඔවුන්ට අයත් නින්දගම එක් දිනක් ඇතුලත ජලාශයක් බවට පත්කොට යටකොට දමා ඇත.මෙම ජලාශය ඉදිකිරීමට ඌවෙන් මිනිසුන් 12500 කුත් යටිනුවරින් මිනිසුන් 3800 කුත් උඩුනුවරින් මිනිසුන් 3800 කුත් ගෙන්වාගෙන ඇති අතර මේ සිදුවීමෙන් තම නින්දගම් අහිමිව රාජ උදහසට ලක්වූ පතිපත්තිහාමි සහ දන්තුරේ බණ්ඩාර තම දියණියන්ද සමග ආපසු මායින්ගමුව බලා පිටත්ව ගොස් ඇත .මේ සිදුවීමෙන් පසුවද රජුගේ නිරන්තර උදහසට ලක්වූ දන්තුරේ බණ්ඩාරව ඝාතනය කිරීමට වීර පරාක්‍රමබාහු රජුට අවශ්‍ය වූ අතර ඒ සඳහා ඔහු තම ඇමතිවරුන්ට නියෝගද නිකුත් කොට ඇත.නමුත් ඔවුන් එම කාර්යය සිදුකිරීමට අපොහොසත් වූ අතර අවසානයේ උරුලෑවත්තේ හේරත් බණ්ඩාර, දන්තුරේ බණ්ඩාරගේ හිස රජුවෙත ගෙනැවිත් දීමට සමත්විය.ඉන්පසු මෙම සිද්ධිය සම්බන්ධව අදහස් පලකල රජු විසින් දන්තුරේ පවුලේ නම්බුකාරකම නිසා තම දියණියන් රජුට පවා විවාහකොට නොදී පලාගිය බැව් දක්වා “උන්ගේ නම්බුව” යනුවෙන් පැවසූ අතර පසුව විසිදෑගම පලාත උන්ගේ නම්බුව අර්ථයෙන් “උනම්බුව” බවට පත්ව ඇත.
දන්තුරේ බණ්ඩාරගේ හිස ලබාගැනීමෙන් පසු රජුගේ කේන්තිය නිවීගිය අතර එය ගෞරව සහිතව ආදාහනය කොට ඇත.මේ සිදුවීමෙන් පසුව පතිපත්තිහාමිගේ දරුවන් කුරුණෑගලට ගිය අතර ඔවුන් අතරින් බාලම දියණිය ඊලඟට රජවූ සේනාධිපති (සේනා සම්මත වික්‍රමබාහු විය යුතුය) රජු හමුවී තමා විසින් පන්වලින් ජලය කාන්දු නොවන සේ නිර්මාණය කල වට්ටියක් ඉදිරිපත් කල අතර රජු විසින් එය ඇයගේ නිර්මාණයක් ලෙස සැලකීමට මැලිවූ නිසා ඇය විසින් රජු ඉදිරියේම එම පන් වට්ටිය ජලය කාන්දු නොවන සේ ඉතා සූක්ෂම ආකාරයෙන් නිමාකොට පෙන්වීය.මේ සිදුවීමෙන් ඇය ගැන මහත්සේ පැහැදුණු රජතුමා ඇයට විසිදාගම ගම්වරය යලිත් වරක් ප්‍රදානය කල අතර ඇය විසින් එම වැව සිඳුවා ,එහි විශාල කුඹුරුයායක් අස්වද්දා, ගම්මාන ප්‍රමාණයක් යලි පිහිටුවා එම නින්දගම භුක්ති විඳි බව සඳහන්.මෙම පරම්පරාව උනම්බුව පරම්පරාව යනුවෙන් ඉදිරියට පැවතවිත් තිබේ.මෙහි සඳහන් වන විජය පරාක්‍රමබාහු පස්වන විජයබාහු විය හැකි අතර වීර පරාක්‍රමබාහු පස්වැනි පරාක්‍රමබාහු විය හැකිය.මේ සමග ඇති පින්තූර එකතුවේ ගම්පොළ උනම්බුව වලව්ව සහ එහි ඇති කෞතුක භාණ්ඩ කීපයක ඡායාරූප දැක්වේ.ඡායාරූප උපුටාගැනීම අන්තර්ජාලයෙනි.
මූලාශ්‍රය –
එංගලන්තයේ බ්‍රිතාන්‍ය පුස්තකාලයේ තිබෙන හියු නෙවිල් නම්වූ එකතුවට අයත් පත් ඉරු දෙකකින් සමන්විත මහනුවර යුගයේ ලියැවිල්ලක් බවට හඳුනාගත හැකි තල්පතක සඳහන්වූ තොරතුරු අධ්‍යයනය කොට කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, උරුම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ අනුර මනතුංග මැතිතුමන් විසින් ඉදිරිපත් කල දේශනයක් ඇසුරිනි.