විශ්වවිද්‍යාලවලට තෝරා ගන්න කොට “අපිට අසාධාරණයක් වෙලා තියෙනවා” කියලා ගොඩක් අය කතා වෙනවා මම අහල තියෙනවා , ඇත්තටම ඒ අය ඒක මොනවගේ පදනමකින්ද කියන්නෙ කියලා මම දන්නේ නැහැ.
මුලින්ම පොඩි අවබෝධයක් අරගෙන ඉන්න ඕනේ Z අගය කියන්නේ මොකක්ද කියලා, ඒකට සංඛ්‍යානය ගැන පොඩි අවබෝධයක් ඕනේ. ලකුණු ව්‍යාප්තියක මධ්‍යන්නය ගැන O/L කාලේ කරනවා මට මතක විදිහට. සරලව කිව්වොත් මධ්‍යන්‍යය කියලා කියන්නේ,යම්කිසි මැද අගයක්. උදාහරණයක් විදිහට 3,5,7,4,8 කියලා සංඛ්‍යා පහක් සැලකුවොත්, ඒ සංඛ්‍යා පහේ මධ්‍යන්‍යය කියලා කියන්නේ ඒ සංඛ්‍යා ඔක්කොම එකතු කරලා සංඛ්‍යා ගානෙන් බෙදන එකට . මේ විදිහට උඩ කියල තියෙන සංඛ්‍යා පහේ මධ්‍යන්‍ය =[3+5+7+4+8]/5 = 5.4
ඉතින් ගොඩක් සරලව මේ විදිහට මධ්‍යන්‍යය ගැන පැහැදිලි කරන්න පුළුවන්. අනික් දේ තමයි සංඛ්‍යා ව්‍යාප්තියක සම්මත අපගමනය කියන එක.මේක නම් O/Lවලට කරන්නේ නැහැ,උසස් පෙළ ගණිත අංශය හරි ඒ හා සමගාමී වෙනත් පාඨමාලාවක් හරි කරපු කෙනෙක් නම් මේ මිනුම ගැන දන්නවා ඇති. සංඛ්‍යානයේ දී නම් මේ වගේ මිනුම් හඳුන්වන්නේ විචලතාව පිළිබඳ මිනුමක් විදිහට. මේ ගැන නම් මධ්‍යන්‍යය වගේ සරලව පැහැදිලි කරන්න බැහැ. සම්මත අපගමනය කියන මිනුම මගින් කරන්නේ , යම් සංඛ්‍යාත ව්‍යාප්තියක දත්ත විසිරිලා තියෙන විදිය ගැන සංඛ්‍යාත්මක අවබෝධයක් දෙන එක. ඒක,එක් එක් සංඛ්‍යාත ව්‍යාප්තියකට නියත අගයක් . දැන් බලමු z ලකුණු ගණනය කරන විදිහ. අපි විභාගයේ දී ගන්න ලකුණු අරගෙන මුලින්ම ඒකෙන් මධ්‍යන්නය ගණනය කරනවා.ඊට පස්සේ සම්මත අපගමනය කියන මිනුමත් ගණනය කරනවා.ඊට පස්සේ කරන්නේ ඉසෙඩ් ලකුණු ගණනය කරන එක , සරලව කිව්වොත් ඉසෙඩ් ලකුණු කියන්නේ යම්කිසි කෙනෙකුගේ ලකුණු ,ඒ කෙනාගේ ලකුණු අයිති ලකුණු ව්‍යාප්තියේ, මධ්‍යන්‍යයේ ඉඳලා සම්මත අපගමන කීයක් ඈතින් ද කියන එක. උදාහරණයක් විදියට හිතමු 2020 නව නිර්දේශය යටතේ ගණිත අංශයෙන් විභාගය ලිව්ව කෙනෙක් කියලා,එතකොට ගණිත අංශයේ සියලුම ලමයින්ගේ ලකුණු භාවිත කරලා විභාග දෙපාර්තමේන්තුව ගණිත විෂය ධාරාවට අදාළ මධ්‍යන්‍යයයි සම්මත අපගමනයයි ගණනය කරනවා. අපි හිතමු මධ්‍යන්නය ගණනය කරහම එන අගය 60 යි කියලා. සම්මත අපගමනය 10 යි කියලා ගමු ලේසියට.ඊට පස්සේ බලමු ඉසෙඩ් ලකුණු ගණනය කරන විදිහ. දැන් maths වලින් A / L කරලා ළමයෙක් ලකුණු 70 ක් ගත්තොත් ඒ ළමයගෙ Z එක කීයද?
ව්‍යාප්තියේ මධ්‍යන්නය = 60
සම්මත අපගමනය = 10එතකොට ළමයගෙ ලකුණු තියෙන්නේ මධ්‍යන්‍යයේ ඉඳලා (60 ඉදලා)ලකුණු 10 ක් ඉදිරියෙන්, නැත්තම් සම්මත අපගමන එකක දුරකින් ,ඒ කියන්නේ ලකුණු හැත්තෑවක් ගත්ත කෙනාගේ z ලකුණ 1 යි .නැත්නම් 1.0000 යි. ඒ විෂය ධාරාවෙන් ම ලකුණු අසූවක් ගත්ත කෙනෙක් ගැන හිතමු. එතකොට එයා 60 ඉඳලා ලකුණු විස්සක් ඉදිරියෙන් ඉන්නේ. ඒ කියන්නේ 10 වගේ දෙකක්. එතකොට එයාගෙ ඉසෙඩ් ලකුණ 2.0000 යි.දැන් මේ විදිහට 60 ට වඩා ලකුණු ගත්ත ලමයින්ගේ Z ලකුණ,ධන අගයක් වුණත් 60 ට වඩා අඩුවෙන් ලකුණු ගත්තොත්,මේ උදාහරණ හැටියට z අගය ඍණ වෙන්නත් පුළුවන්.ලකුණු 60 ක් ගත්ත ළමයගෙ z ලකුණ 0 ක් වෙනවා. ඒ කියන්නේ එයා ව්‍යාප්තියේ මධ්‍යන්‍යයේ ඉඳලා අපගමනය වෙලා නැහැ! හරි ඊළඟට බලමු සංයුක්ත මධ්‍යකය කියන්නේ මොකක්ද කියලා.
මේ ගැටලුවේ එන්නෙ නව සහ පැරණි විෂය නිර්දේශ දෙකක් පැවතීම නිසා. UGC එක කියන විදියට මේ වර්ෂය දී විශ්වවිද්‍යාලය ප්‍රවේශය සඳහා සිසුන් තෝරා ගැනීමේදී අනුගමනය කරලා තියෙන්නේ 2011 දී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දීපු නඩු තීන්දුවක් අනුව , UGC ඒක ගත්ත තීරණයක් . ඒක පහතින් තියෙනවා ,
“”• 2019 වර්ෂෙ අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා නව නිර්දේශය යටතේ පෙනී සිටින සිසුන් විශ්වවිද්‍යාලවල එක් එක් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා දිස්ත්‍රික් කුසලතා පදනම මත සෑම දිස්ත්‍රික්කයකින්ම සහ , දීප ව්‍යාප්ත කුසලතා පදනම මත තෝරාගනු ලබන ප්‍රතිශතය, 2013 වසෙර සිට2017 වසර දක්වා වූ පස් අවුරුදු කාලය තුළදී පළමු වර අ.පො.ස.(උසස් පෙළ) විභාග සඳහා පෙනී සිට, පිළිෙවළින් දිස්ත්‍රික්ක කුසලතා පදනම සෑම දිස්ත්‍රික්කයකින්ම සහ දීපව්‍යාප්ත කුසලතා පදනම මත එම එක් එක් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ලද සිසුන්ගේ සංයුක්ත මධ්‍යකයේ(Composite Average) ප්‍රතිශතය වේ.
• 2019 වර්ෂෙ අ.පො.ස.(උසස් පෙළ) විභාගය සඳහා පැරණ නිර්දේශය යටෙත් පෙනී සිටින සිසුන් විශ්වවිද්‍යාලවල එක් එක් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා දිස්තික් කුසලතා පදනම මත සෑම දිස්ත්‍රික්කයකින්ම සහ දීපව්‍යාප්ත කුසලතා පදනම මත තෝරා ගනු ලබන ප්‍රතිශතය,2013 වසරේ සිට 2017 වසර දක්වා වූ පස් අවුරුදු කාලය තුල දෙවන සහ තුන් වරට අ.පො.ස.(උසස් පෙළ) විභාග සඳහා පෙනී සිට, පිළිවෙලින් දිස්ත්‍රික් කුසලතා පදනම සෑම දිස්ත්‍රික්කයකින්ම සහ දීපව්‍යාප්ත කුසලතා පදනම මත එම එක් එක් උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිදලවලට ඇතුළත් කරන ලද සිසුන්ගේ සංයුක්ත මධ්‍යකයේ (Composite Average) ප්‍රතිශතය වේ.”
දැන් මේකේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ දිස්ත්‍රික් කුසලතා පදනම සහ දීප ව්‍යාප්ත කුසලතා පදනම මත තෝරා ගන්න එක නෙවෙයි නේ ! හැම අවුරුද්දෙම ඒ දේ වෙනවා. හැබැයි නව නිර්දේශය සහ පැරණි නිර්දේශය කියලා විෂය නිර්දේශ දෙකක් ආවහම තමයි සංයුක්ත මධ්‍යකය කියන වචනෙ එන්නේ. මේක පැහැදිලි කරන්න ගොඩක් සරල පොඩි උදාහරණයක් ගමු ,
දැන් ඒ ලිපියෙ දැනුම් දීල තියන විදිහට එක උපාධි පාඨමාලාවක් ගැන හිතමු.අපි ඒකට කොළඹ වෛද්‍ය පීඨයේ
වෛද්‍ය විද්‍යා පාඨමාලාව ගනිමු. UGC එක කියන විදිහට මේක හදන්න උපයෝගී කරගන්නේ 2013 ඉඳලා 2017 වෙනකම් අවුරුදු පහේ , එක එක අවුරුදුවල කොළඹ වෛද්‍ය පීඨයට , පලමු වර විභාගයෙන් තේරී පත් වුණු පිරිසයි දෙවැනි වර සහ තෙවැනි වර විභාගයෙන් තේරී පත්වුණු පිරිසයි.දැන් එක එක අවුරුදු වල වෙනවෙනම තේරී පත්වුණු පිරිස් මේ විදිහට ගමු. | පලමු වර | 2 හා 3 වන වර|
2013 | 40 | 50
2014 | 30 | 70
2015 | 50 | 50
2016 | 35 | 65
2017 | 50 | 60
———— ———–
205 295
මුළු එකතුව = 205+ 295= 500
දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පාඨමාලාව සඳහා 2013 වසරේ සිට 2017 වසර දක්වා පළමු වරම විභාගයෙන් තේරීපත්වූ සිසුන්ගේ ප්‍රතිශතය = (205/500)% = 41%
දෙවැනි වර හෝ තෙවැනි වර විභාගයෙන් තේරී පත් වූ සිසුන්ගේ ප්‍රතිශතය = (295/500)% = 59%
දැන් අපි හිතමු , 2019 / 2020 විශ්වවිද්‍යාල අධ්‍යයනවර්ෂයට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ, වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් කර ගැනීමට යෝජිත ශිෂ්‍ය සංඛ්‍යාව 120 ක් කියලා. එතකොට ඒ එකසිය විස්සක් වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් නව නිර්දේශය යටතේ සහ පැරණි නිර්දේශය යටතේ සිසුන් සංඛ්‍යාව බෙදෙන්නේ පිළිවලින් 120 න් 41% ක් සහ 59% ක් වශයෙන්. ඒ කියන්නේ, නව නිර්දේශය යටතේ [120×41% = 49.2] සිසුන් 49 ක් සහ පැරණි නිර්දේශය යටතේ [120×59%= 70.8] සිසුන් 71 වෙන විදිහට.
මේ ක්‍රමයේ තියන දුර්වලතාවය වෙන්නේ මේ අවුරුද්දේ දී එක් එක් විශයධාරාව යටතේ එක් එක් පාඨමාලාව සඳහා නව නිර්දේශය සහ පැරණි නිර්දේශය යටතේ පෙනී සිටින සිසුන් ගෙන් තෝරාගන්න ප්‍රතිශතය කලින් අවුරුදු වල පලමු වර සහ දෙවන /තෙවන වර තේරී පත් වුණු සිසුන්ගේ ප්‍රතිශතය මත තීරණය වීම.හැබැයි මේ සඳහා මේ විකල්පයට අමතරව මීට වඩා හොඳ විකල්පයක් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ.මෙතනදී කරන්නේ අතීත දත්ත මත අනාගතය පුරෝකථනය කිරීම වගේ දෙයක්.අනික මට තේරෙන්නේ නැහැ මේ ක්‍රමයෙන් ළමයෙක්ට සිද්ධ වෙන අසාධාරණය මොකක්ද කියලා ! මට හිතෙන විදිහට නම් මේ ක්‍රමය වඩාත් සුදුසු ක්‍රමයක්.
ගොඩක් අය තමන්ගේ ප්‍රතිඵලය අසාධාරණයි කියලා හිතන්නට පෙළඹෙන්නේ ,ගිය වසරේ කඩයිමි ලකුණු ගැන සලකලා . ඇත්තටම ඒක වැරදියි. මොකද ගිය වසරේදී නව නිර්දේශය සහ පැරණි නිර්දේශය කියලා විෂය නිර්දේශ දෙකක් තිබුණේ නැහැ.ඒ නිසා එකම z අගයක් තමයි ගණනය කළේ.හැබැයි මේ පාර විෂය නිර්දේශ දෙකක් නිසා z ලකුණු දෙකක් ගනනය කරන්නට සිදුවෙලා තියෙනවා. ඒක නිසා ගිය අවුරුදු වල කඩයිම් ලකුණු සහ මේ අවුරුද්දේ කඩයිම් ලකුණු සංසන්දනය කිරීම සාධාරණ නැහැ.
තව සමහර අය කියන්නේ ” මට A/B සාමාර්ථ තියෙනවා,ඒත් මම මේ පාඨමාලාවට තේරිලා නැහැ ” කියලා. නැත්තම් , “මට මේ මේ සාමාර්ථ තියෙනවා නමුත් මාව විශ්වවිද්‍යාලයට තේරිලා නැහැ ” කියලා. ඉතින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සලකලා බලන්නේ සාමාර්ථය නෙවෙයි කියලා ඒ අය හිතන්නේ නැහැ. ඇත්තටම විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීම සඳහා සලකන්නේ තමන් අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්නව ද නැද්ද කියන එක. ඇත්තටම උසස් පෙළ කියන්නේ තරග විභාගයක්.ඒකෙදි වෙන්න ඕනේ අනිත් අයට වඩා ඉදිරියට එන එක.තමන් ලකුණු 80 ක් අරගෙන සතුටු උනාට වැඩක් නැහැ අනික් හැමෝම 90 ගණන් අරගෙන තියෙනවා නම්. ඒ වගේම තමන් ලකුණු 40ක් අරගෙන දුක්වෙලා වැඩකුත් නැහැ,අනිත් අය අරගෙන තියෙන්නේ ලකුණු 40 ටඅඩුවෙන් නම් . ඒක නිසා යම් කෙනෙක් තමන්ට මෙච්චර මෙච්චර රිසල්ට් එකක් තියෙනවා කියල කිව්වට වැඩක් නැහැ,මොකද ඒක අනිත් අයගේ ලකුණු වලට සාපේක්ෂව සලකා බැලෙන්නේ.ඒත් මේ විභාග ක්‍රමය කොච්චර දුරට සාධාරණයි ද කියන්න නම් මම දන්නේ නැහැ!
කොහොම වුණත් නඩුවක් දානවා ද නැද්ද කියන එක පුද්ගලයෙකුගේ අයිතියක්. හැබැයි ඇත්තටම අසාධාරණයක් වෙලා තියෙනවද කියලා එහෙම කරන අය මධ්‍යස්ථව හිතල බලන එක වටිනවා. මොකද ඒ වගේ වැඩ වලින් අනෙක් බහුතර පිරිසටත් විශාල අවාසියක් සිද්ධ වෙනවා.
ඉතින් මම මේ දේවල් පැහැදිලි කරේ මම දන්න විදියට.මේකේ වැරදි තියෙන්න පුළුවන්. මේ දේවල් වල වැරැද්දක් තියනවා නම් වරද පෙන්නලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.