මලිඳු දහවෙනි සැරේටත් අත් ඔරලෝසුව දිහා බැලුවා.
තාම දොළහමාරයි!
“චැං ඉස්කෝලෙ ඇරෙන්න තව පැයක් තියනවා.” මලිඳු තමාටම කියා ගත්තා.
දැනටමත් තාත්තා ගෙදර ඇවිත් ඇති!මලිඳුට හිතුනා. පුදුමාකාර සන්තෝසෙකින් මලිඳුගෙ හිත පිරිලා.කාලෙකට පස්සෙ තාත්තා ගෙදර එන එක තරං සන්තෝසයක් තවත් තියනවද?
“තාත්තා මගේ බර්ත්ඩේ එකට එනවා නේද?”ගිය සැරේ තාත්තා ඇරලවන්න ගිය වෙලාවෙ එයාපෝට් එකේදීත් මලිඳු තාත්තගෙන් ඇහුවා.
“හ්ම්!”තාත්තා හූමිටි තිබ්බා.
හ්ම් කියන්නෙ ඉතින් ඔව් කියන එකටනේ!
අද මලිඳුගෙ උපන් දිනේ. ඒ කියන්නේ අද තාත්තා එන්න ඕනේ.ලොකු අය බොරු කියන්නේ නෑ නොවැ!
මේ සැරේ නම් තාත්තා ආවාම ‘ට්‍රේනින් වීල්’ ගලවලා බයිසිකලේ පදින්න පුරුදු වෙන්න ඕනේ.’ට්‍රේනින් වීල්’ දාගෙන බයිසිකල් පදින්නේ පොඩි ළමයි! මලිඳු දැන් ලොකු ළමයෙක්! එන අවුරුද්දේ දෙකේ පන්තියේ…..
බයිසිකල් පදින්න විතරද තව කීයක් දේවල් තියනවද තාත්තා එක්ක කරන්න.සරුංගල් යවන්න….. ඔරු පදින්න……ගමේ යන්න…..මුහුදු වෙරළට යන්න…..
මේ සැරේ නම් සව් කොල වලින් සරුංගලයක් හදන්න ඕනේ.මලිඳු කල්පනා කලා.
මලිඳුට තියනවා තාත්තා පිටරටින් එවාපු විසාල සරුංගලයක්.දිග වරල් තියන මාලුවෙක්ගේ හැඩේ. අම්මා කියන්නේ නම් ගමේ කාටත් එච්චර ලස්සන සරුංගලයක් නෑ කියලා. එක අතකට ඒ කතාව ඇත්ත. ඒත් ඒක කඩෙන් ගත්ත එකක්නේ!
මලිඳුටත් ඕනෙ සමන්ලා, තාරකලා, අමරලා වගේ තාත්තා එක්ක එකතු වෙලා ඉරටු වලින් සරුංගලේ හදලා, පාප්ප ගාලා සව් කොල අලවලා හැඩ කරන්න.
තාත්තා ගෙදර නැතිකොට හරිම පාලුයි. පන්තියේ අනිත් ළමයින්ගේ තාත්තලා එයාලව ඇරලන්න ඉස්කෝලෙ එනකොට, පහල පිට්ටනියේ එකතු වෙලා ක්‍රිකට්, ගුඩු එහෙම ගහනකොට මලිඳුට දුකයි.
“මොකද ළමයෝ මූණ එල්ලගෙන. ඔයාට තරං ලස්සන ඇඳුම්, සපත්තු, සෙල්ලම් බඩු වෙන කාටවත් තියනවද?” වෙලාවකට අම්මා කියනවා.
“තාත්තා රට නිසා තමා ඔයාට මේ සැප ලැබෙන්නේ.”
ඒ බොරු නෙවේ. මලිඳුට තරං ලස්සන ඇඳුම්, සපත්තු, සෙල්ලම් බඩු ගමේ වෙන කාටවත් නැතිව ඇති!
“බලන්න අර දර පියසේනගේ ළමයි! උන්ට කන්න තියනවද බොන්න තියනවද….හරියට අඳින්න ඇඳුමක් තියනවද?බලන්න ඔයාට තියන සැප!”තවත් වෙලාවකට වෙලාවකට අම්මා මතක් කරනවා.
අම්මා ඔහොම කීවට ඒ ළමයි ඉන්නේ කොච්චර සතුටින් ද! වෙලාවකට මලිඳු හිතනවා. දර පියසේන හැන්දෑවට ළමයිව දර කරත්තේ තියාගෙන මිදුල පුරා දුවනවා.
“තාත්තේ මාව….තාත්තේ මාව….” පොඩිවුන් කෑ ගහනවා. දර කරත්තේ වේගෙ වැඩිවෙනකොට පොඩි එව්වෝ හිනාවෙවී අත්පොඩි ගහනවා.
දර පියසේනගේ පුංචි ගෙදර තියෙන්නේ බේකරිය ගාව.සෝමා හවසට උණු උණු පාන් ගේන්න කියලා බේකරියට යනකොට මලිඳුත් සෝමාගේ අතේ එල්ලිලා යන්නේ දර පියසේනගෙයි, දර පියසේනගේ ළමයින්ගෙයි කරත්ත සෙල්ලම බලන්න.
දර පියසේනගෙ දෙවෙනි ළමයා මලිඳුගෙ පන්තියේ.දවසක් මලිඳු බලා ඉන්නවා දැකලා මලිඳුටත් කතා කලා කරත්තෙ පදින්න. ඕක අම්මගෙන් අහන්න ගිහින් අම්මාට යකා නැග්ගා.
“මේ ආණ්ඩුවේ ඉස්කෝලවල වැරැද්ද ඕක තමා. ආතක් පාතක් නෑ ඕනෙ එකෙක් ගන්නවා. දර කාරයගෙ ළමයි, මාලු කාරයගෙ ළමයි ඔක්කොම අපේ ළමයි එක්ක එක ඉස්කෝලෙ.” ඒ සැරේ තවත් කතාවක්.
“ඕක තමා මම උඹලට කීවෙ දරුවව ප්‍රයිවෙට් ඉස්කෝලෙකට දාන්න කියලා. ” ආත්තම්මත් අම්මගේ කතාවට අගලු තිබ්බා.
“මට මේ ඉස්කෝලේ හොඳයි!”මලිඳු කීවා.
එදා ඉස්කෝලේ ඇරුණාම ‘ස්කූල් වෑන්’ එකට ඉස්සරලාම නැග්ගෙ මලිඳු. අපෝ මෙහෙමත් වෑන් එකක්….යනවා නෙමේ කොටනවා……..
“වෑන් අන්කල් ටිකක් හයියෙන් එලවන්නකෝ.”මලිඳු කීප සැරයක්ම කීවා.
‘ස්කූල් වෑන්’ එකෙන් බැහැලා මලිඳු ගෙදරට දිව්වෙ එක පිම්මට. අම්මා සාලෙ ඉඳන් පෙට්ටියක් අදිනවා. බඩු තැන් තැන් වල.අම්මා සතුටින්! මලිඳුට හිතුනා.
මලිඳුව දැකලා අම්මා කට පුරා හිනාවුනා.
“බලන්නකෝ තාත්තා ඔයාගේ බර්ත්ඩේ එකට එවලා තියන තෑගි ගොඩ.ඔයාට පදින්න ‘රේසො ස්කූටරේ’කුත් එවලා!”අම්මාගේ හිනාවේ සතුට බේරෙනවා.
මලිඳු අම්මා පෙන්නුව තෑගි ගොඩ දිහා බැලුවා. ඇඳුම්, සපත්තු, ‘ගේම්ස්,’චොකොලට්…..ඒ මදිවට අලුත්ම අලුත් ‘රේසො ස්කූටරයක්…….’
“කෝ තාත්තා උඩට ගියාද?”මලිඳු තරප්පු පෙල පැත්තට දිව්වා. ඔක්කෝටම ඉස්සරලා තාත්තගේ තුරුලට පැනලා ඉන්න එපායැ!
“මොන තාත්තද?” අම්මා ඇහුවා.
“මම කීවෙ තාත්තා තෑගි ගොඩක් එවලා කියලනේ. තාත්තා ආවෙ නෑ!”
තමාගේ පපුව හිරවුනා වගේ මලිඳුට දැනුනා. කඳුලු ඇස් වලින් එළියට පනින්න දඟලනවා.මලිඳු හීන්සීරුවේ තරප්පු පෙලේ උඩට නැග්ගා.
“ඇයි ස්කූටරේ ටිකක් පැදලා බලන්නේ නැද්ද?” අම්මා අහනවා.
“මට ස්කූටරේ එපා!”මලිඳු ඇහෙන නෑහෙන හඬින් කීවා.
“ගේම් ටික උඩට ගෙනියන්න!” ඒ සැරේ අම්මා කියනවා.
“මට ගේම් එපා!”
” ඔයා ආස චොකොලට් ජාතිත් තියනවා….”
“මට එපා!” මලිඳු සැරෙන් කීවා.
“එහෙනං මොනවද ඕනේ?”
“තාත්තා!”
උපුටා ගැනීම: Sripali Kotuwella