අරුම පුදුම මඟුල් යෝජනාවකින් මුණගැහුනු එයයි මායි අවුරුදු 7කට වැඩියෙන් පවුල් කනකොට එයාටයි මටයි කවදාවත් එකඟ වෙන්න බැරි කාරණා කීපයකින් එකක් තමයි මේ සංගීතය කියන්නේ.
ඇතිවුන මොන නොගැලපීමක් උනත් කොහොමහරි අටවාගෙන ජීවත් වුන අපි දෙන්නට තාමත් බැරි උනානේ මේක ගලපගන්න.
උපරිම ජවය යොදලා සිංදුවක් සම්පූර්ණයෙන්ම ගායනා කලත් අර අහම්බෙන් කියවෙන ස්වර එකක් දෙකක්වත් එයාගේ ගායනයේ නෑ කියලත්, මට යාන්තම් දෙවන වටයට යාගන්න පුලුවන් මට්ටමක් තියෙන බවත් මම කලිනුත් ලියලා තියෙනවා.
ඉතින් මට තියෙන සංගීත උන්මාදයේ හැටියට සෙනසුරාදාටයි ඉරිදාටයි ත්රිකෝණ වාහිනියේ “ද හඬ” වැඩසටහන නම් මම කොහොමටවත් අතපසු කරගන්නේ නෑ නෑමයි. ඉරිදා රෑට වගේ නම් බලන්නේ දුවන ගමන්, ඉස්සරහ සතියටම හරියන්න කළමණා වැඩ කටයුතු සූදානම් කරන ගමන්. මුලු සතියටම මම ටීවී බලන එකම එක අවස්ථාවනේ. මගේ ලැජ්ජා නැති කමක මහත කියන්නේ මට මේක තනියෙන් බලන්න බැරිකමයි.
මේ දවස්වල මොකක්ද මන්දා විභාගෙකට කියලා පාඩම් කර කර ඉන්න එයාට මම කෑ ගහලා අඬ ගහගන්නවා.
“මේ මෙන්න අරක පටන් ගන්නවා එන්න…”
“මොන වදයක්ද, මට ඕනෙ නෑ ඔයා බලන්න”
“බෑ අයියෝ, මොකක්ද අනේ. අද තමයි නියම දවස අර අහවලාගෙ දවස”
“ඕකට මගෙ ඇසුත් ඕනෙද, ඔයා බලන්න, කොහොමත් ඕකෙ සද්දෙ මට මෙහාට ඇහෙනව”
කොහොමින්හරි රෑ නවය විතර වෙද්දි හැමදාම එයාට බොන්න ඕනෙ වෙන කෝපි හරි තේ හරි අල්ලස විදියට පාවිච්චි කරලා එයාව ගෙන්න ගන්න තරම් මම කූට සහ දුස්ට වෙනවා. නැතුව බෑනේ පවුල කන්ඩ.
ඔන්න ඉතින් ඔතන ඉඳන් ආරාධිතයා එක්ක වලි. එයාත් බෑ බෑ ගගා ආවාට මොකොද අර “යුද්ධ වටය”දී අරයා තමයි යන්න ඕනෙ මෙයා තමයි යන්න ඕනෙ, එයා තේරුණාට මෙයයි හොඳට කිව්වේ කිය කිය ගොඩ තීන්දු දෙනවා. 99%ක්ම මම කලින් දෙන ගොඩ තීන්දුව හරි යනවා එයාගෙ එක වරදිනවා. එතකොට මම නිකන් “සංගීත් නිපුන්” වගේ ජයග්රාහී බැල්මක් එයාට දෙන්නේ බරසාර උද්දච්චමකින්.
අන්තිමේදී “යුද්ධ වටයට” සිංදු කියාපු උන් දෙන්න කඳුළු පෙරාගෙන උම්මා දී ගනිද්දී අපි දෙන්නගේ ලෝකල් සංග්රාමය පටන් ගන්නවා.
මගේ සංගීත ඥානය ප්රදර්ශනය කරන්න කරුණු ඔප්පු කිරීමක් මෙතැනදී සිද්ධ වෙනවා. ඒවා අතර උඩින්ම තියෙන කාරණා කීපයක් තියෙනවා.
1. මගේ පළවෙනි වෘත්තීය ලෙස ගායිකාවක වීම (බටු ඇටේ කාලේ මඟුල් ගෙවල්වල ජයමංගල ගාථා සහ පිළිගැනීමේ ගීත ගායනා කර මුදල් හම්බ කිරීම්)
2. ප්රවීණ විනිසුරු මඩුල්ලක අසුනක් දැරීම (ටිකිරි රාජ මාවතේ සිඟිති බක් මහ උළෙලේ ජන කවි ගායනා කළ පොඩි උන් තුන් දෙනාගෙන් ප්රථම, දෙවන සහ තෙවන ස්ථාන තේරීම)
3. අවුරුදු 20ක ප්රසිද්ධ වේදිකාවල ගීත ගායනයේ පළපුරුද්ද (අවුරුදු 5දී පෙර පාසල් වේදිකාවේ දී කිරි දී කිරි ගෙනාවා දීකිරි ගායනයෙන් පටන්ගෙන අවුරුදු 25දී රැකියා ස්ථානයේ ටැලන්ට් සෝ එකේ කුසලතා සමූහ ගායනයේ දොළොස් දෙනාගෙන් එක්කෙනෙකු වීම අතර විසි අවුරුද්දක කාලය තුළ පාසල් ප්රසංග වේදිකාවේ හා දහම් පාසල් භක්ති ගීත කණ්ඩායමේ 50ක පමණ පිරිසකගෙන් එක් අයෙකු වීම)
4. වසරේ හොඳම ගායිකාවට මගේ නම යෝජනා වීමට ඔන්න මෙන්න තිබීම (හොඳම ගායකයාට හිමි සම්මානය වරෙක දිනාගත් ධනුක සමඟ ප්රාථමික වසරවලදී යුග ගී ගායනා කර ඇති අතර යුග ගීයක් ගයන්න නම් දෙන්නම ආසන්නව එක හා සමාන කුසලතාවයක් තිබිය යුතුය යන උපකල්පනය මත පදනම්ව)
5. කෝච්චශිකා වැනි ප්රවීණ ගායිකාවක් සමඟ වෘත්තීය මට්ටමේ සබඳතා පවත්වා තිබීම. (ඉස්කෝලෙ 6 වසරෙ හිටපු මම, ගමේ දහම් පාසලේදී ශෂිකා නිසංසලාගේ තුරුණු ශක්ති රසිකාවියකගේ ලියුමක් අරන් ගිහින් 12 වසරෙ හිටපු ශෂිකා අක්කාගේ අතට දීලා පස්සවත් නොබලා හැරී දිව යාම)
ඔය වරහන් ඇතුලෙ තියෙන ඒවා ඔයාලට කිව්වට එයාට කියන්නෙ නෑ මම. ප්රධාන කාරණා විතරයි කියන්නේ මගේ නිපුණත්වය ඔප්පු කරගන්න.
“ඉතින් ඔච්චර සුදුසුකම් තියෙන වැඩ්ඩෙක් නම් යන්නකෝ ඔයත් තරඟෙට”
“යනවා තමයි කවදාහරි කොම්බුවාහිනියේ හැට එකතුකිරීමේ සිංදු තරඟෙට”
මේ දවස්වල වාතාවරණය අනුව මගේ පැතුමන් දෙකකි. ඒ, කොයිවෙලේ හරි “සම්පූර්ණ සුවය ලැබූ සංඛ්යාවට” සහ කවදාහරි “කොම්බුවාහිනියේ හැට එකතුකිරීමේ සිංදු තරඟෙට” දායකත්වය ලබාදීමයි.
“දැන් කියන්න බලන්න ඔයාගේ සංගීත සුදුසුකම්” ඔන්න දැන් එයාගේ දර්සන වාරය.
එයා කියන්නේ එයා “උසස් සංගීතය” කියලා එකක් හදාරා ඇති බවය. එම නිසා මම වැනි සුලු සංගීත ඥානයක් ඇති මා වැනි අයගේ විශය පථයට එය ගෝචර වෙන්නෙ නෑලු. එයාගෙ ගායනාවන් සහ විනිශ්චයන් මම හෑල්ලුවට සහ උපහාසයට ලක් කරන්නේ ඒ නිසාලු. එයාගේ “උසස් සංගීතය” දෙවැනි වෙන්නේ හෙළ ගාන්ධර්වයාණෝ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට පමණලු. එයාගෙ “උසස් සංගීතය” ඇඟයීමට සහ රස විඳීමට සුදුසුකම් ඇති එකම පුද්ගලයා වන මාස්ටර් දිවංගතවීම එයාගේ අවාසනාවලු.
මේ වෙලාවට ඉතින් “මේ මොන හරුපයක්ද?” මෝස්තරයට මගේ ඇහිබැම උස්සාගෙන එයා දිහා බලනවා.
කොහොමින් කොහොමින් හරි මේ වාදය මගේ පැත්තට වාසි වේගෙන එනකොට එයා මෙහෙම කියනවා,
“මොනවා උනත් සංගීතය ගත්තම මම හරි විශේෂ කෙනෙක්. මුළු ලංකාවටම ඉන්නෙ මම වගේ දෙතුන් දෙනෙක් විතරයි. හැම කෙනාටම කොහොම හරි සිංදුවක් කියාගන්න පුලුවන්. මම වගේ ලඟින් යන එක ස්වරයක්වත් කියාගන්න බැරි අය ඉන්නේ දෙතුන් දෙනයි. ඉතින් පුලුවන් අය ලංකාවක්ම ඉන්නකොට මම ඒ අතර විශේෂ කෙනෙක් නෙමෙයිද? එතකොට ලංකාවේ සංගීත ක්ෂේත්රයේ මම සුවිශේෂයි”
හා හරි! එයා දිනුම්! මට කියන්න දෙයක් නෑ.
— 09/05/2021 ඉරුදින සිදුවූ සත්ය දෙබසකි –
උපුටා ගැනීම: නිල්මි ගුණවර්ධන.