” අම්මේ හෙට ස්කෝලෙදී මං උයනවා “
” උයනවා ? ඒ කිව්වේ”
” කුඩා මිතුරියන්ට එහෙම ඇක්ටිවිටි එකක් තියෙනවා. අපිම මෙනූ එකක් හදාගෙන, කෑම උයලා, ලස්සනට පිළිගන්වන්නත් ඕනි.”
” හ්ම්ම්ම් දැන් ඔයාගෙ ටීම් එකේ කවුද ඉන්නේ? මොනාද ගෙනියන්න ඕනි? “
” ටීම් එකක් නෑ අනේ. හැමෝම තනියම හදන්න ඕනි. මං හදන්න ඉන්නේ බත්, පරිප්පු, සෝයා ඩෙවල්.”
” ඒකනම් හොදයි. එතකොට හදිස්සියකට බතක් , මාළුවක් හරි හදාගන්න පුළුවන් නේහ් නැද්ද ජයේ ? ” කියලා අම්මා ටී.වී බල බල හිටපු තාත්තත් කතාවට හවුල් කරගත්තා.
” ඉස්කෝලෙන් පස්සෙද දැන් උයන්නේ? ලිප් කොහෙන්ද ? කවුරුහරි ටීචර් කෙනෙක් ඉන්නවද හදිසියක් උනොත්? ඇයි තනියම උයන්නේ ? ඕකට ඉන්නම ඕනද? ” තාත්තගෙන් ප්රශ්න කෝටියක් විතර.
” මොකෝ ජයේ මේ ? ගෙදරදි තේ එකක්වත් හදන්නේ නැති ළමයා එහෙමවත් මොනවා හරි උයන්න කරන්න පුරුදු වෙන එක හොදයිනේ අනේ , නැත්නම් ඉස්සරහට තමයි ඕවා තේරෙන්නේ “
” වෙලාව ආවම අපේ දුව රස රස කෑම ජාති හදයි. දැන් ඔන්න ඔහේ ඉන්න විදියට හිටපු දෙන්. අනික තනියම ලිප් හදාගෙන උයන්න ගිහින් පුච්චගනියිද මන්දා ?
ඊළග දවසේ ඉස්කෝලෙන් පස්සේ තාත්තා ඉන්නවා ගේට් එක ළගට වෙලා තඩි බෑග් එකකුත් උස්සගෙන. උයන්න ඕනි කරන බඩු ජාති තමයි ගෙනත් තිබ්බේ.
” පුතේ , අම්මට ඕවා ලෑස්ති කරන්න වෙලාවක් තිබ්බේ නෑ, එයා දවසම ඩියුටි. මං පුළුවන් විදියට ලෑස්ති කලේ. පරිස්සමින් උයන්න හරිද ” කියලා තාත්තා ගියා.
ඒ දවස්වල හය වසරෙ පන්ති වලට එහායින් තිබ්බ එළිමහන් තැනක් තමයි උයන්න ලෑස්ති කරන් හිටියේ. අනිත් යාළුවෝ ටිකත් හරි හරියට උයන්න ලෑස්තිය. මාත් බෑග් එක ඇරලා බැලුවා. අනේ මේ මොනවද ?
ලොකු භාජනේක උයපු බත් එකක් , ඊට උඩින් චූටි පෙට්ටියක්, ඒක ඇතුලේ හීනියට ලියපු කැරට්, ලීක්ස් හා ඇස්ට්රා කෑල්ලක්. තව භාජනේක පොල්කිරි නොදා හදපු පරිප්පුවක් සහ පොල්කිරි දාපු චූටි බෝතලයක්. අනිත් භාජනේ බැඳපු සෝයා මීට් එක්ක කලවම් නොකර පැත්තකින් කපලා තියපු බී ළූනුයි මාළු මිරිසුයි. ආ තව හට්ටි තුනක්, පුංච් පිගන් සෙට් එකක්, චූටි මල් වාස් එකක්, ලස්සන මේස රෙද්දක් තිබ්බා. බෑග් එකේ අඩියට වෙන්න චූටි කොල කෑල්ලකුත් තිබ්බා. ඒකෙ තිබ්බේ තාත්තගේ අකුරු.
පුතේ, තරහ ගන්න එපා හොදේ . බත් එකට ඇස්ට්රා , එළවළු දාලා රයිස් එකක් හදන්න. පරිප්පු එකට පොල්කිරි ටික දාලා කිරි ටික නටනකන් තියලා ගන්න. සෝයාමීට් ටිකට ළූනුයි, මාළු මිරිසුයි කලවම් කරලා ගන්න. ආ ලස්සනට මේසෙ සරසන්න පුරුදු වෙන්න. පස්සේ බැරියැ ලොකු ලොකු රස කෑම උයන්න.
පින්තූරය – අද කබඩ් එකක් අස් කරද්දි මේ සිහිවටන ටික දැක්කට පස්සේ උඩ ලිව්ව සිද්ධිය මතක් උනා.
අන්තිමේ තාත්තගේ අනාවැකිය හරිගියා. දැන් මට ඕනි කෑමක් හදන්න පුළුවන් රසටම …
උපුටා ගැනීම: Buddhi Jayaweera