වැලන්ටයින් ගැන සිහි කැඳවමින් බුකියෙ උඩ යට දුවන පෝස්ට් දැක්කම මට හිනා ගියෙ එක්තරා සිදුවීමක් මතක් වෙලා.
අපෙ ප්රේම පුරාණෙට ඒ වෙද්දි අවුරුදු හතයි, මාස හතයි. කතාව අයිතිවෙන්නෙ 2019 අවුරුද්දට.
හා හා පුරා කියලා අලුත් රස්සාවට ගිහින් හරියටම දවස් හතරයි. ඒ පෙබරවාරියේ පෙම්බර දාහතරවෙනිදා.
මේ ඔපීසියෙ බහුතරය පිරිමි. බහුතරය කියන්නෙ සීයට අනූවක්ම කලිසන් කකුල්. පිරිමි ගොඩක් මැද හිටපු එකම සාරිය මං.
ඔන්න දැන් තමා කතාවෙ පළවෙනි ජවනිකාව.
යන්තන් කොළඹ අහස උඩට ඉර මාම එද්දි ඔන්න මගෙ සදාකාලික රෝගය වෙච්චි මිග්රේන් එනවා දැනෙනවා දෙයියෝ බුදුන් සිහිකරන්.
මිග්රේන් එක්ක මට තියෙන්නෙ ආත්මීය බන්ධනයක්.
හැදුනාම ඉතින් උන්දැයි මායි විතරයි වගෙ තමා ආලෙ තරම.
ඒ තරම් ම ලව්.
කොච්චර ලව්ද කියනවනම් ඕන උලව්වක් කියලා රස්සාවටත් කෙලින්න තමා අදනම් මේ මඟුල හැදෙන්න යන්නෙ කියලා වකුගඩුවලටත් තේරුණා සත්තයි.
ප්රේමය අන්ධයිද මොකද්දෝ ලබ්බක් වගෙ මිග්රේන් ආලෙන් මාව වෙලා ගන්නවා ඇස් අන්ධ කරමින්.
ඔන්න දැන් මට තේරෙනවා ටික ටික ඇස් දෙපැත්තෙන් බෝල, ඉරි,තරු එක්ක නමක් නොදන්නා හැඩ තල, බහුරූ කෝලං එහෙම “හායි” කියනවා දරුණුවටම.
ඉන්න අපහසුයි.
මං දැන් ඇඹරෙනවා.
ඔන්න පුටුවෙන් නැගිටලා ආවා ලන්ච් රූම් එකට.
එකා දෙන්නා එබෙනවා.
“ඇයි නංගි මොකද්ද සීන් එක..” අහනවා.
හරියන්නෙ නෑ… පිරිමි පරාණවල කෝචෝක් එන්න පටන් ගත්තා වැලන්ටයින් නිසා පැනිල්ලක් කියලා හිතලා.
උන් දන්නවනම් මිග්රේන් එක්ක මගෙ තියන සම්බන්ධෙ ඇත්තමයි උන් කතන්දර කියන්න එන්නෙ නෑ.
කොහොමින් කොහොමහරි ඉන්නම අමාරුබව තේරෙද්දි වේලාසනින් ම බෝඩිමට ආව අඳුරේ අතපත ගාමින්.
ත්රීවිල් එකෙ අයියා බුදුවෙන්න මාව අරන් ආව බෝඩිම ළඟට.
බැස්සා බිමට.
හම්මේ… ඇස් පේන්නෙ නෑ.
අඩිය තියන්නෙ කොහෙද එතන නෙමෙයි යන්න ඕනි තැන.
බේබද්දගෙ ගෑණි වගෙ ඔන්න කොහොමහරි ආව කාමරේට.
ආව ගමන් බුදි.
පැය තුනක විතර නින්දකින් පස්සෙ හවස් වෙද්දි ආලෙන් පැරදුණු මිනිහා වගෙ ඔන්න මිග්රේන් අඩු වුණා.
කොහොමත් හොඳට නිදාගත්තාම මිග්රේන් සුනේ සුන්.
ආධ්යාත්මික සුවය කියන්නෙ අන්න ඒකට වෙන්ටැ.
” අඩී දැන් අඩුද?”
ඔන්න මගෙ බෘන්ග රාජයා ගෑණි මලාද කියලා බලනවා.
හොඳ වෙලාවට ග්රෙහැම් බෙල් මේ අටමගලෙ හොයගත්තෙ.
නැත්තන් ඉතින් පරවියො හොයන්න එපැයි පණිවිඩ යවාගන්න.
“මැරුන් නෑ…”
මං උත්තරෙ කෙටුවා ඇස් අඟිස්සෙන් බලලා.
මිග්රේන් හැදෙන උන් දන්නවා ඒ වෙලාවට ෆෝන් ස්ක්රීන් එක දකිනවා තරං අවලං, අසික්කිත,අසමජ්ජාති වැඩක් ලොවෙත් නෑ… කියලා.
ඒක ඒ තරම් ම සනීපයි. සුවදායකයි.
හරි ටිකෙන් ටික හවස හය විතර වෙද්දි අඩු වුණා ඒ ප්රේමය.
ඔන්න මං දැන් විඳිමින් ඉන්නෙ ආධ්යාත්මික සුවය.
මිග්රේන් තොර හිසක්.
වින්දනය කොච්චරක් අවශෝෂණය කරගන්න ඕනි වුණාද කියනවනම් උපරිම ආස්වාදයක් ලැබුවෙ වතුර මල යටදි.
නිරාමිස සුවය හිසෙ සිට දෙපතුල දක්වාම ගලනවා.
හරි… දැන් මිග්රේන් තිබුණද කියලවත් මට ගාණක් නෑ.
ටිකකින් ඉව්වා… කන්නත් එපැයි.
ලෙඩ්ඩු බඩගින්නෙ ඉන්න හොඳ නෑනෙ.
අනික පාත්තරේ උඩට උස්සගත්තු පනු සැට් එකක් තමා මට ඉන්නෙත්. උන්ව බඩගින්නෙ තියලත් බෑනෙ.
ඉව්ව්ව්ව්වා…. බහු ජන හිතාය බහු ජන සුඛාය කියලා ඉව්වට කන්න පින් මදි වුණා සාන්ත.
සුබ හෝරාව රෑ නමයට ලංවෙලා තියෙන්න ඇති.
දෙමෝලෙන් පිටි කොටන්නා සේ
අහස ගුගුරන්නා සේ
දරුණු සුළි සුළඟක් වගෙ ආයෙමත් ඇස් වලින් තරු විසික්වුණෙ හඳේ හාවො බඩ පිනුං ගගහ පවුල් කද්දි.
මොහොතක සුවය කියන්නෙ ඒකට. ඒක වින්දෙ පොඩි වෙලාවකට.
හරියටම සුනාමියට කලින් මුහුද ඈතට ගිහින් ගත්තු ආතල් එක වගෙ.
මිග්රේන් ආවෙ මාව කරකවලා වීසී කරගෙන.
ගිනි කන්දක් වගෙ නොසෑහෙන්න දරුණු වුණා… ඒක ඒ වෙලාවෙ.
කාමරේ පුරාම මං නිදහසේ වීසි වෙනවා මට තේරෙනවා. දැනෙනවා .
ඒත් වීසිවෙනවා. නවත්තගන්න බෑ.
මට යාන්තමට මතකයි මේ වෙනදා එන ආලවන්ත රුදාව නෙමෙයි කියලා.
ඊට වඩා දරුණු ප්රේමයක් ඒක.
ඉන්නම බෑ…
ඉවසන්නම බෑ….
ඇඬෙනවා.
කාට කියන්නද?
බෝඩිමෙ බිත්ති හතර විතරයි.
උඩ ස්ලැබ් එක.
යට ටයිල් කැට.
එච්චරයි.
“මට අමාරුයි…”
දඩිබිඩියේ යවපු කෙටි පණිවිඩයටත් පිළිතුරු නෑ.
ආයෙමත් “මගෙ ඔලුව පුපුරන්න වගෙ…”
ම්හ්…හු… තාම නෑ.
ගත්තා හිස රුදාව දෙපිටින් යන්න කියලා… කෝල් එකක්.
ඇයි යකූ… බැඳගත්තානම් බෙරේ ගහන්න එපැයි. මොකො මගෙ ඔලුව උන්දැටත් අයිතිනෙ.
“හරි හරි… පෙන්ඩෝල් දෙකක් බීල නිදාගන්න…”
හරි සිම්පල් බේතක් එයාගෙන් අහගන්න එයා වෙදාද… ? මඟුල.
ඕක අහගන්නනෙ කෝල් කළෙ මාත්.
දෙතුන් වතාවක්ම කරදර කරත් මිනිහා නෙමෙයි ගණන් ගන්නෙ.
වෙනදට මදුරුවෙක් කැරකෙනවා කිව්වත් පැනික් වෙන යකාට අද නෑ… කිසිම ගාණක්.
“මේ…හ්, මං මැරෙයි. අනෙ වඳින්නම් මාව ඉස්පිරිතාලෙකට ගිහින් දාන්න….”
අන්තිමේට මට කියාගත්තා කියලා මතක තියෙන්නෙ එච්චරයි.
අසරණකමට එච්චර ම තමා කියාගත්තෙ.
ඒ ටික කියලා විනාඩි පහළොවක් ගියෙ නෑ… මෙන්න මෑන් අතිජාත මිත්රයා එක්ක මගෙ බෝඩිමෙ දොරකඩ.
උපන්දා සිට ඉස්පිරිතාලෙක නැවතිලා නැති මං,
බබෙක් හම්බවෙන්නවත් ඉස්පිරිතාලෙනම් යන්න බෑ කියන මං,
ඉස්පිරිතාලෙට ගිනින් දාන්න කියලා යටි ගිරියෙන් කියද්දි මොන මිනිහද පුදුම නොවෙන්නෙ.
වීසි වෙවී දොර ඇරපු මාව දැක්ක ප්රේම බෘංග රාජයාට තේරුණා මේක බොරුවක්වත්, මගෙ ඇක්ටින් පාරක්වත් නෙමෙයි කියලා.
දැන් මෑන් කළබලයි මට වඩා.
ඒ සුව සැරිය ෆේමස් වෙන කාලෙ. ඒත් එහෙම එකක් ගැන මතක් වුණේ පහුවදා උදේ.
මෑන් ඒ තරම්ම කලබල වෙලා.
ඒ වෙලාවෙ මං දැනගත්තා මිග්රේන්ට වඩා ප්රේම කුරුල්ලා මට ලව් කියලා.
“මට තේ එකක් ඕනි යන්න කලින්”
අවසන් කැමැත්ත ඉල්ලනවා වගෙ මං ඉල්ලුවා ලෝකෙ එයාට කරන්න අමාරුම ඉල්ලීමක්.
ලෙඩා ලෙඩා විදිහට ඉන්න ඕනි තමයි.
මගෙ නොහොබිනා ඉල්ලීමට එයා ඇස් දෙක ලොකු කරගත්තා.
පට්ට රසට කෑම ඉව්වට මං දන්නවා මෑන් ට තේ නම් හදන්න බෑ.
හැදුවට බොන්න බෑ කියලත් එයාම දන්නවා.
“තේ… ඕනිමද? “
කොල්ලොන්ගෙ ගඩ්ස් කැලෙ. තේ එකට පදිරි.
“ඔව්…”
ඉල්ලීම් නම් ඉල්ලීම්.
අන්තිමේට තේ කියලා හදපු උණුවතුර එකක් බීලා ඉස්පිරිතාලෙ ගියා.
ගියෙ කොහොමද, ගියෙ මොකේද මට මීටර් නෑ.
“මගෙ ඔලුව හොල්ලන්න එපා..”
කියලා ඒ අත් දෙක මැද හිරවුණා කියලා විතරක් මතකයි.
මැරුණනම් මැරෙන්න තිබුණු දවසක් ඒක.
නමයට, දහයට විතර කොළඹ මහ ඉස්පිරිතාලෙ ගේට්ටුවෙන් ඇතුලට ගියාට වාට්ටුවට මාව ඇතුල් කරද්දි පාන්දර එකටත් ලඟයි.
එතකන් අපි පුටුවක් උඩ.
යාලුවා ගේට්ටුව ළග.
“ඇතුලට යන්න දෙන්නෙ ලෙඩාගෙ භාරකාරයට විතරයි…”
සිකුරුට්ටා කිව්වෙ එහෙමලු. මං දන්නෙ නෑ ඒවා. මතකයක් නෑ.
ප්රේම බෘංග රාජයාට අතොරක් නැති මගෙ කංකෙඳිරිගෑම් එක්ක මාව එපා වෙන්න ඇති ඒ පුටුව උඩ ගෙවපු වේදනාකාරී හෝරා කීපයෙදි.
‘මේ ගෑණිත් එක්ක දෙයියනෙ කියලා ජීවිත කාලෙම දීග කන්නත් එපැයි’ කියලා සිය දහස් වරක් හිතෙන්න ඇති.
“මට වමනෙ යන්න වගෙ…”
“ඇස් පේන්නෙ නෑනෙ. ඔක්කොම බොඳවෙලා…”
“ඇයි මේ මිනිස්සු හැම තැනදිම විස්තර ලිය ලිය ඉන්නෙ…. දැන් මේ ලියන්නෙ දෙවෙනි පාරටනෙ…”
“අපි හිරකාරයොද මෙච්චර විස්තර අහන්නෙ..?”
“එක්කො අපි ගෙදර යං…”
“ඔයත් ඉන්න. මට තනියෙන් ඉන්න බෑ….”
“ගිහින් අහන්නකො කීයටද වාට්ටුවට දාන්නෙ කියලා… එක්කො මට බේතක්වත් දෙන්න කියලා කියන්නකො…”
“මේ ලයිට් එකට ඇස් ඇරන් ඉන්න බෑනෙ…”
“අනෙ උරිස දඟලවන්න එපා අනෙ. එතකොට මගෙ ඔලුව හෙල්ලෙනවා…”
“ඇයි මේ මිනිස්සු ගණන් ගන්නෙ නැත්තෙ… මට අමාරුයි”
“ඇඳකට දාන්න කියන්නකෝ…”
“අනෙ පේන් කිලර් එකක්වත් නැද්දාප්පා..”
එවැනි බහුබූතවලින් මනුස්සයගෙ ඔලුවනම් පිරුණා ඒ එක රෑකට.
හරි ඔන්න ටිකකින් ඇඳකට දැම්මා.
“ලෙඩාගෙ කරාඹු දෙක ගලවන්න, මුදු මාල මුකුත්ම තියන්න එපා…
කොණ්ඩෙ කරලක් වෙන්න ගොතන්න….”
ඇටෙන්ඩන්ට් කෙනෙක් ඇවිත් කිව්වෙ මෑන්ට මාව ඇස් වලින් පෙන්නලා.
අනෙ ඉතින් කවද ගොතපු කොණ්ඩද?
අරෙහෙන් මෙහෙන් පනින, එබෙන කොණ්ඩ කෑලි අල්ලලා යාන්තමට සෙල්ලමක් දාගත්තා.
පව්… දුකයි තමා
ඉතින් එහෙම තමා… ප්රේමෙ! ප්රේමෙ!
“තව බැන්දාම ඔහොමයැ…”
ලෙඩ අස්සෙන් මාත් දොඩවනවා.
ගෑණු වාට්ටුවක තමන්ගෙ කෙල්ලගෙ කොණ්ඩෙත් බැඳපු මගෙ ප්රේම බෘංග රාජයා ඉන්න ඕනවටත් වඩා ඇඳ ළඟ නැවතිලා හිටියා.
අන්තිමේට යන්න ඕනම නිසා යන්න සැරසුනෙ මගෙ නළලත් ඉඹලා.
“මං හිතුවෙම වැලන්ටයින් නිසා ඔයා බොරු ඇක්ට් එකක් දාල මොක්ක්මහරි ප්ලෑන් එකක් ගහන්න දඟලනවා කියලනෙ. මෙහෙම සීන් එකක් හිතුවෙ නෑ අප්පා… “
සිරාම පසුතැවිල්ලෙන් මෙන්න මේ යකා දැන් දොඩවනවා.
අත අල්ලන්, ඔලුව අත ගගා දොඩවනවා.
ඒත් මොකද්ද හිතෙ වින් ෆීලින්ග් එකකුත් තියෙනවා වගෙ මගෙ ගෑණු හිතටත් දැනෙනවා.
හිහ්.. හිතෙ ඇති එයා මාව තම්බන්න.
“බීල නේද ඉන්නෙ…?”
මෙච්චර හිස අත ගගා මං වෙනුවෙන් කැපවුණත් එව්වා අහන එක ගෑණු අපෙ යුතුකමනෙ…
“මං හිතුවෙ මාට්ටු වුණෙ නෑ කියලා… “
ඒ වෙලාවෙ කතා කළෙ එයාගෙ ඇස්. කටට වචන ආවොත් තමා පුදුමෙ.
මෙච්චර වෙලාම දැනගෙනත් නොදැන වගෙ උන්නු තමන්ගෙ කෙල්ල ගැන අදහගන්න බැරි හැඟීමක් ඒක.
“අමාරු නිසායි තුරුල් වුණෙ. ඒත් ගඳ ඉවසගන්න බැරුව හිටියෙ….”
යන්න සැරසෙන ප්රේමවන්තයට සමුදුන්නෙ ඒ ටිකත් කියලා. නැතුව බෑනෙ ඉතින්.
අත් අතාරින්න ලෝබකමකින් අපි පැය කීපයකට වෙන් වුණේ මගෙ ඇස් තෙත් වෙද්දි.
මං කඳුළු පිහිනවා බලාගෙන උන්නු අල්ලපු ඇඳේ ඇන්ටි ඇහුවෙ,
“ළඟදිද බැන්ඳෙ…?” කියලා.
එයා මේ හුටපට ඔක්කොම බලන් ඉන්න ඇත්තෙ.
මං “නෑ…” කියන්න ඔලුව වැනුවා.
_____________________________________________
මේ ටික දැනගත්තෙ පහුවදා උදේ හයට ආයෙම මාව බලන්න ආවහම.
මිතුරු තෙමෙ දුක සැප දෙකෙහිම බ්ලා බ්ලා බ්ලා කියලා මිත්රයත් හිටියා ඇවිත්.
“මූ හෙන අප්සට් එකෙන් ගියෙ ඔයාව දාල. කවදාවත් ඉස්පිරිතාලෙ තනියම ඉදලා නෑ කිව්වනෙ…”
යාලුවා එහෙම කියද්දි මං දන්නවා. මාත් ඒ හැඟීම ඒ රෑ අත්වින්ඳ නිසා.
_____________________________________________
රෑ ඒ දෙන්නා ඉස්පිරිතාලෙන් යද්දි වුණු කතාව දැනගත්තෙ සතියකින් විතර.
යාළුවා: ගෑණිට මාට්ටු වුණෙ නෑ නේද… ?
බෘංගයා : මාට්ටු බං.
යාලුවා : නෑ… සිරාවටම. යකෝ එතකොට..?
බෘංගයා : ඔක්කොම වැඩ ඉවරවෙලා එන්න ලෑස්ති වෙද්දි ඇහුවනෙ බීල නේද ඉන්නෙ කියලා…
යාලුවා : සිරාවටම… යකූ මං උඹට පර්ෆියුම් බෝතලෙන් බාගෙකට වඩා හැලුවා… නොදකින් ටී ෂර්ට් එක හැමතැනම ඩියෝඩ්රනුත් ගෑවා… සැක්.
ගෑණු යක්කු වගෙ බං. පට්ට ඉව.
_____________________________________________
තාමත් අපි බැඳලා නෑ. දැන් අවුරුදු දහයකට කිට්ටුයි තාමත් වැලන්ටයින් කියලා එකක් සමරලත් නෑ.
ඔන්න ඔහොම අමරණීය මතක ඉතිරිවෙලා තියෙනවා අපිට ඇති තරං සමරන්න.
“ජීවිතේ
හරි අපූරු නවාතැනක්
දින වකවානු නැතිවම
මතක සැමරුම්
ඉතිරිවෙන…”
අකුරු : අයේෂි වර්ණකුලසූරිය