වීදියේ බණ්ඩාර කුමරු

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
කෝට්ටේ යුගයේ බිහිවූ රණශූරත්වයෙන් හෙබි වීදියේ බණ්ඩාර කුමරුවන්ගේ ඉතිහාසය පිලිබද ගවේෂණාත්මක සාරාංශය

ශ්‍රී ලංකා ඉතිහාසයේ රණශූරයන් ගැන කතා කිරීමේදී වීදිය බණ්ඩාර ගැන සඳහන් නොකළහොත් එය විශාල අඩුවකි.කෝට්ටේ හා සීතාවක රාජ්‍ය සමයෙහි සිදුවූ දේශපාලන පෙරළි තුළ ඔහුගේ සබඳකම් බොහෝය. වීදිය බණ්ඩාර කුමරුගේ මව් සත්වන බුවනෙකබාහු රජුගේ ඥාති සොයුරියක් වූ කපුරු ළමා එතනාය.මෙතුමිය අටවන වීර පරාක්රමබාහු රජුගේ දෙවන බිසවගේ පුත් මාදම්පේ ප්‍රාදේශීයව රජකල තනියවල්ලභ රජුගේ දියණිය වූවාය.(මාදම්පේ සිටිය තනියවල්ල රජුගේ දියණිය වූ සමුද්‍ර‌ාදේවි සොලී රජෙකුට ජාතක කර වීදියේ අදහසින්, තම්මිට අදහසින් යන කුමාරවරුන් දෙදෙනෙකු වැදූ බවත්’
(රාජාවලිය සංස් එ්.වි. සුරවීර පි 93)

ක්‍රි.ව. 1538 දී වීදිය බණ්ඩාර තම මුත්තනුවන් වූද, විජයබාහු රජුගේ සහෝදරයකු වුද, තනියවල්ලභ මරා දැමූ බව කුරුණෑගල විස්තරය නම් පොතෙහි සඳහන් වී ඇත. වීදිය බණ්ඩාර කුමරුගේ පියා වූයේ ඉන්දියාවෙන් මෙහි වැඩමවූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සදහා ලක්දිවට පැමිණි බෝධිගුත්ත කුමරුගේ ටික්කම රජ පෙළපතකට අයත් වූ කුමාර බණ්ඩාර නම් ප්‍රදේශාධිපතියායි.තම්මිට සූරිය බණ්ඩාර යනු වීදිය බණ්ඩාර කුමරුගේ බාල සහෝදරයාය.

බුවනෙකබාහු රජුට පුතුන් නොවූ අතර සිටියේ සමුද්‍ර දේවිය නම් වූ එකම දියණියක් පමණි. ස්වභාවයෙන්ම හැඩි දැඩි වූද, සැහැසි වුද මහා රණ ශූරයකු වූද වීදිය බණ්ඩාර සමුද්‍ර දේවිය පිළිබඳව අදහසකින් පසු වූයේය.නමුත් බුවනෙකබාහු රජ තමා විසින් රජවාසලෙහි තබා හදා වඩා ගත් ජයෝ බණ්ඩාර කුමරුන්ට දියණිය පාවා දීමට අදහස් කරගෙන සිටියේය. ජයෝ බණ්ඩාර කුමරුන් සත්වන බුවනෙකබාහු රජුගේ ඥාති පුත්‍රයෙක් වූ අතර ඔහු කෝට්ටේ රාජධානියේ සිටි දක්ෂ රණ ශූරයකි. සමුද්‍ර දේවිය පිළිබඳ මහරජුගේ තීරණය දැන මහත් සේ කෝපයට පත් වූ වීදිය බණ්ඩාර ද්වන්ද සටනකින් පසුව ජයෝ බණ්ඩාර මරා දමා රජ වාසලින් පිට වුයේය.

එසේ වුව බුද්ධ වංශ සංඝරාජ හිමියන් විසින් බුවනෙකබාහු රජුගෙන් සමාව දෙවනු ලැබූ විදිය බණ්ඩාර සමුද්‍ර දේවිය හා අතිනත් ගත් අතර කාලයාගේ ඇවෑමෙන් මෙම දෙපොළට දරුවන් දෙදෙනකු ලැබුණි. වැඩිමලා විජයපාල අස්ථාන විය. දෙවැන්නා ධර්මපාල කුමරු විය.එහෙත් ධර්මපාල කුමරුගේ උපතින් පසු කලෙක පෘතුගීසි තානාපති මණ්ඩලයට අයත් වූ දියෝනෝද අරවිජෝ නම් පෘතුගීසි තරුණයා සමුද්ර දේවිය හමුවීමට රහසේ පැමිණිමක් ගැන ආරංචි වූ වීදිය බණ්ඩාර මෙයින් සැක උපදවා පසුව සමුද්‍ර දේවිය දියවන්නා ඔයෙහි ගිල්වා ඇගේ දිවිතොර කළ බව සඳහන් වේ.

ඒ පිලිබද තවත් කතා ප්‍රවෘත්තියක් පවතී.පෘතුගීසින් විසින් ධර්මපාල කුමරු රාජ්‍යත්වයට පත්කරන ලද්දේ ඔහු පෘතුගීසි සම්භවයක් සහිත දරුවෙකු නිසා බවද වීදියේ බණ්ඩාරයන්ගේ වැඩිමල් කුමරු වූ විජේපාල අස්ථාන කුමරුට රාජ්‍ය නොදී බාල කුමරු ධර්මපාලට රාජ්‍යය දෙන ලද්දේ රජ මාළිගය තුළ සිටි කඩවසම් පෘතුගීසි සොල්ද‌ාදුවකු හා සමුද්‍ර දේවි බිසව පැවැත්වූ අනියම් සබඳතාවයක් නිසා ලත් දරුවා ධර්මපාල කුමරු නිසා බවද එනිසා උරණ වූ වීදියේ බණ්ඩාර තම බිසව මරා දමන ලද්දේ යැයි තවත් ජනවහරක් පවතී.මෙහි ඇති සත්‍ය අසත්‍යභාවය මැන බැලීම අප සහෘද ඔබ වෙතටම භාර කරන්නෙමු.

නැවත වරක් රාජ උදහසට බියෙන් සැඟවී සිටි වීදිය බණ්ඩාරට සමාව දී බුවනෙකබාහු රජට නැවත රජවාසලට ගෙන්වා ගැනීමට සිදු වූයේ මායාදුන්ගෙන් ප්‍රබල ප්රහාරයක් එල්ල වීම නිසාය.

ක්‍රි.ව. 1539 දී කැලිකට්හි සැමොරින්ගේ ආධාර උපකාර ලබාගත් මායාදුන්නේ හා රයිගම් බණ්ඩාර රජවරු බුවනෙකබාහු රජු හා සටනට එළඹියහ. එහිදී බුනෙකබාහු රජු පෘතුගීසින්ගේ ආධාර ලබාගත් නමුදු සතුරු සේනාවන් උලුවා හැරීමට හැකි වූයේ වීදිය බණ්ඩාරගේ සංග්‍රාමය ශූරත්වය නිසාමය. මේ කාලයෙහි වීදිය බණ්ඩාරගේ සහෝදරයා වූ තමිමිට බණ්ඩාර ද රජුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළේය.අතිමහත් නිර්භීත රණශූරයෙකු වු වීදිය බණ්ඩාර එකල වැසියන් “කෝට්ටේ ව්‍යාඝ්‍රයා” නමින් හැඳින්වූ බව පැවසේ. වීදිය බණ්ඩාරයන්ගේ නිර්භීත සටන් පෙරමුණ නිසා මායාදුන්නේ වරින්වර පරාජයට පත් විය.

1540 දී සිඟිති ධර්මපාල කුමරාගේ පිළිරුවක් රනින් කරවූ බුවනෙකබාහු රජ ඒ සමඟම දුත පිරිසක් පෘතුගාලයේ “ලිස්බන්” නුවරට යවා ඉල්ලා සිටියේ තමාගේ අනුප්‍රාප්තිකයා ලෙස ධර්මපාල කුමරාට රජකම හිමිකර දීමට උදව් කරන ලෙසයි. රාජකීය උරුමය පිළිබඳව මෙම යෝජනාව නිසා නැවත වරක් මායාදුන්නේ සටනට පිවිසියේය. එහෙත් එවර සටනද වැලකුනේ බුවනෙකබා රජුගේ බෑනා වූ වීදිය බණ්ඩාරයන්ගේ මැදිහත් වීමෙනි.
මේ වන විට මහනුවර රජු පෘතුගීසින්ගේ ආධාරයෙන් සිතාවකට පහර දීමට සැලසුම් කළේය. ඔහු එයට හිලව් වශයෙන් කතෝලික ආගම වැළඳ ගන්නට පොරොන්දු වූයේය. මෙයට එකඟ වූ පෘතුගීසීහු තව හේවා පන්නයක් උඩරටට එවූහ.එහෙත් ඔහුගේ වවතය පිළිබඳ සැක පහළ කළ ඔවුහු පෙරළා පැමිණියහ. අතරමඟ රැක සිටි මායාදුන්නේ ඔවුනට පහර නොදී සංග්‍රහශීලී ලෙස සැලකුයෙන් උපද්‍රවයක් නොමැතිව කොළඹට ලඟා වීමට හැකි විය. එම හොද හිත ආශ්‍රයෙන් පෘතුගීසින්ගෙන් උදවු ලැබූ මායාදුන්නේ එවර දැඩි ලෙස බුවනෙකබා රජුට පහර දුන්නේය. එම සේනාවේ ප්‍රධානියා වූයේ ටිකිරි බණ්ඩාර කුමරුන්ය (පසුව රාජසිංහ ලෙස රජවිය).

සීතාවක රාජධානියේ අසහාය සටන්කාමියෙකු වූ ටිකිරි කුමරුන්ට මෙම සටනේදී වීදිය බණ්ඩාරයන් යටත් කරගත හැකිවිය.මෙම සටන 1548 සිදු වුවත් 1550 දී නැවතත් කෝට්ටේ රජුට වාසිදායක සටනක් සිදු වුණේය. සිතාවක රජුට උදව් පිණිස ගිය පෘතුගිසි සේනාවක් කන්ද උඩරටට පහර එල්ල කරන්නට යාම නිසා සටන වෙනතක ඇවිලී ගියේය. කෙසේ නමුත් කෝට්ටේ රාජ්‍ය යටත් කර ගැනීමේ උත්සාහය සාර්ථක නොවීය.

මායාදුන්නේ රජුට ටිකිරි කුමරිය නම් දියණියක් වූයේය.ඇය සූර්ය දේවිය ලෙසද මහ ටිකිරි බිසෝ බණ්‌ඩාර ලෙසද හදුන්වයි. ටිකිරි කුමරිය තුළ වීදිය බණ්ඩාරයන් කෙරෙහි විශේෂ ඇල්මක් විය.සීතාවක සිරගතව සිටි කාලය තුළ වීදිය බණ්ඩාරයෝ හා ටිකිරි කුමරිය අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වූයේ නිතැතින්මය.එහි අවසාන ප්රථිපලයක් වශයෙන් තම පියාට හා තම සොහොයුරාට රහසෙන් ටිකිරි කුමරිය තම ප්‍රේමවන්තයා වූ වීදිය බණ්ඩාරයන්ව සීතාවක සිර කුටියෙන් නිදහස් කළාය. යළිත් කෝට්ටේ බලා පැමිණි විදිය බණ්ඩාර දෙවන වර විවාහ වූයේ තම පරම සතුරා වූ මායාදුන්නේ රජුගේ දියණිය ටිකිරි කුමරිය සමගය.

සත්වන බුවනෙකබාහු රජු මිය ගිය පසු කෝට්ටේ රාජ්‍යත්වයට පත්වූයේ වීදිය බණ්ඩාරගේ හා සමුද්‍රදේවියගේ පුත් ධර්මපාල කුමරුවන්ය.බුවනෙකබාහු රජු මිය ගිය බව දැනගත් මායාදුන්නේ රජු සේනා ගෙන අග රජ වීම සඳහා කෝට්ටේ බලා පිටත් විය. විදිය බණ්ඩාර සේනාවක් ගෙන ඉදිරියටම ගොස් මායාදුන්නේ රජු පරදවා කනපැල්ල දක්වා පලවා හැරියේය.ඒ කාලය තුළ ළමා වියෙහි පසු වූ ධර්මපාල කුමරු නාම මාත්‍රිකව රජ පදවියෙහි තබා රාජ්‍ය පාලන කටයුතු මෙහෙයවන ලද වීදිය බණ්ඩාරයෝ පෘතුගීසි විරෝධී ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළේය.එනිසා ගෝවේ සිට පැමිණ දොන් අපොන්සුද නොරොඤ්ඤෝ නම් ප්රතිකාල් සෙනෙවියා විදිය බණ්ඩාර ගෝවට ගෙන යාමට සුදානම් වුවද, මායාදුන්නේ රජුට මුහුණ දීමට වෙන ප්‍රබලයකු නැති බව පෙන්වා දුන් ධර්මපාල රජු බොහෝ අසීරුවෙන් තම පියා ඉන් මුදවා ගත්තේය. නොරොඤෝ ගෝව බලා ගිය පසු විීදිය බණ්ඩාර නැවතත් පෘතුගීසි විරෝධී ක්‍රියා ඇරඹුවේය. කෝට්ටේ පෘතුගිසි නියෝජිතයා මරා දැමූ හෙතෙම වෙළෙඳපොළ ද ගිනිබත් කොට කතෝලික ආගමි මධ්යස්ථාන ද කඩා බිඳ දමා කතෝලික ආගම ඇදහීම තහනම් කළේය.

වීදියේ බණ්ඩාරගේ ක්රියාකාරකම් කෙසේ නමුත් පෘතුගීසින්ගේ සිත් නොගත්තේය. එසේ හෙයින් ඔහුගේ බලය සිඳ දැමීමට ඔවුනට අවශය විය. කරුණු එසේ වුවද පහසුවෙන් විදියේ බණ්ඩාර සිරභාරයට ගැනීම කළ නොහැක්කක් විය. වීදියේ බණ්ඩාරයන් සතු සංග්‍රාම ශක්තියත්, ජන ප්‍රසාදත් ඊට ප්රධාන හේතුව විය. මේ අනුව විදියේ බණ්ඩාර අල්ලා ගැනීමට බලගතු ක්‍රියාමාර්ගයක් අවශ්ය වූයේය. මෙකී බලගතු අභියෝගය බාරගන්නට බොහෝමයක් මැලි වූයෙන් කරුණු ඉටු නොවීය. එහෙත් “දියෝගුද මෙල්ලෝ” නම් පෘතුගාල සෙන්පතියා ඊට ඉදිරිපත් විය. ඔහුගේ අභිප්‍රාය වූයේ කිසියම් උපාය මගකින් වීදියේ බණ්ඩාර කොටුකර ගැනීමයි. ඊට අවශයම නිර්භීත පුද්ගලයන්ගෙන් සැදුම්ලත් භට කණ්ඩායමක් ඊටම සරිලන අවි ආයුධ වලින් පෝෂිත වුයෙන් කාර්යය සඳහා පිටත් කරනු ලැබීය. දියෝගුද මේලෝ සෙනෙවියා සේනා ගෙන පැමිණි විදිය බණ්ඩාර අල්ලා ගෙන ගොස් කොළඹ කොටුවේ බිම් ගෙයක සිරකර තැබුවේය. ඔහුගේ සොහොයුරු තම්මිට බණ්ඩාර මෙහි දී පෘතුගීසින් හා එක්ව කටයුතු කිරීම අවාසනාවකි. වීදිය බණ්ඩාරට කෑම බීම පවා නොමැතිව සිර කුටියක දුක්ඛිත ජීවිතයක් ගත කිරීමට සිදු වී ඇත.

ඔහු තම මාමා වු මායාදුන්නේගෙන් උපකාර ඉල්ලා යැවුව ද ඉටු නොවුයේ ඒ වන විට මායාදුන්නේ රජු උඩරට රජු හා සටනක නියැළී සිටි හෙයිනි. වීදිය බණ්ඩාරට තිබුණේ තමා සන්තකයේ තිබූ බුදුන්ගේ උතුම් වූ ශාරීරික ධාතුවෙහි රැකවරණය පමණි. කෙසේ වුව ද විචක්ෂණ බුද්ධියෙන් හෙබි විදියේ බණ්ඩාරගේ බිරිඳවු, මායාදුන්නේ රජුගේ දියණිය වූද ටිකිරි කුමරිය පල්ලරුන් පවා උමගක් කරවා ඒ මඟින් විදිය බණ්ඩාර නිදහස් කර ගැනීමට සමත් වූවාය.ටිකිරි කුමරිය වීදිය බණ්ඩාරගේ වාසග්‍රාමයට ආසන්නයේ පිහිටි ගල්ගමුවට ගොස් උමං කැණිමෙහි අති ශූරයන් වූ පල්ලරුන් මුණ ගැසී තමාගේ බලාපොරොත්තුව පළ කර සිටියාය. එයට එකඟ වූ මේ විශ්වාසවන්ත පල්ලරු කෝට්ටේ රාජධානියට ගොස් විදියේ බණ්ඩාර සිටි බන්ධනාගාරයෙන් මතුවන සේ උමඟක් කැණීමට එක්තරා රහසිගත ස්ථානයකින් පටන් ගත්හ.සැතපුම් ගණනාවක දුර සිට හරියටම විදිය බණ්ඩාර සිටි සිර මැදිරිය තුළටම උමගක් කැපීම විස්මිත වූ ද අති භයානක වූ ද ක්‍රියාවක් වුව ද එය අකුරටම ඉටු කිරීමට ඔවුහු සමත් වූහ.විදිය බණ්ඩාරගේ වාසනාවට මෙන් මෝසම් සුළං ඇරඹී මුහුදු ගමනාගමනයට බාධා පැමිණ තිබුණි. එසේ නොවන්නට මේ වන විට ද ඔහු ගෝවට ගෙත යන්නට ඉඩ තිබුණි. කෙසේ වුව ටිකිරි කුමරියගේ ප්‍රයත්නය අකුරටම ඉටු වූයෙන් එක්තරා රාත්රියක මැදියම් රැයේදී තමාගේ සිර කුටියෙන් මතු වු පල්ලර මිනිසුන් ද සමඟ රණශූර විදිය බණ්ඩාර අතුරුදහන්ව සිටියේය.

නිදහස ලැබූ වීදිය බණ්ඩාර පස්දුන් කෝරළයේ පැලැන්දට ගොස් බළකොටුවක් තනාගෙන සේනා රැස්කොට පෘතුගීසින්ට එරෙහිව සටන් ආරම්භ කළේය. මුහුදුකරයේ කතෝලික පල්ලි ගිනිබත් කළ වීදිය බණ්ඩාර ක්‍රිස්තු ධර්මය වැලඳගත් සිංහලයන්ට දරුණු වධ හිංසා පමුණුවා අනතුරුව කෝට්ටේ රාජධානියට පහර දී පෘතුගීසින්ට විරුද්ධව කැරැල්ලක් සංවිධානය කළේය.කෝට්ටේ සිටි තම සොයුරු තමිමිට සූරිය බණ්ඩාරයන් ද පෘතුගීසි හා මිත්‍රව වීදියේ බණ්ඩාරයන්ට විරුද්ධව සටනට සූදානම්ව සිටියේය.

පෞද්ගලික හේතූන් මත මේ අවස්ථාවේ ද මායාදුන්නේ රජු පෘතුගීසින් හා සටනට වීදිය බණ්ඩාරට සහාය නොදුන්නේය. වීදිය බණ්ඩාර ස්වකීය බිරිද වෙත හිරිහැර පාන්නට වූයෙන් මායාදුන්නේ සමඟ වූ හොඳහිත බිඳී ගියේය. මේ නොහොඳ නෝක්කඩුව නිසා මායාදුන්නේ රජ වීදියේ බණ්ඩාරට එරෙහිව පෘතුගීසින් වෙත ඇදී ගියේය. ඒ අනුව පෘතුගීසින් මායාදුන්නේ සමඟ 1555 දී ගිවිසුමකට එන්නට සමත් වූහ. මේ නිසා මායාදුන්නේ විදියේ බණ්ඩාර එක්ව පෘතුගීසින් පරාජයට තිබූ හොඳ අවස්ථාවක් මගහැරි ගියේය.මායාදුන්නේ තම පුතා වූ රණශූර රාජසිංහ කුමරුන් සමග පෘතුගීසින්ගේ ද සහාය ඇතිව විදිය බණ්ඩාරගේ පැලැන්ද බලකොටුවට පහර දුන්නේය. වීදිය බණ්ඩාර පසුබැස දෙවුන්දර හරහා සත්කෝරළයට පලා ගිය අතර ඔහුගේ බිරිඳ වූ ටිකිරි කුමරිය රාජසිංහ කුමරුගේ හමුදාව භාරයට පත් වුවාය. උඩරට රජුගේ සහාය ලද විදිය බණ්ඩාර හමුදාවක් ගෙන සල්පිටි කෝරලය දක්වා ආව ද රාජසිංහ කුමරුන්ගේ හමුදාව අතින් පරාජය ලැබුවේය. එලෙසම නැවතත් අලුත් නුවර දක්වා ආ විදිය බණ්ඩාර මෙවර රාජසිංහ කුමරුන් අතින් තීරණාත්මක පරාජයක් ලැබුවෙන් නැවතත් උඩරටට පලා ගියේය.

විදිය බණ්ඩාර තබාගත හොත් උඩරට ආක්‍රමණය කරන්නේ යයි මායාදුන්නේ රජු තර්ජනය කළෙන් විදිය බණ්ඩාරට නැවතත් සත් කෝරලයට යාමට සිදුවිය. දේවමැදි හත්පත්තුවේ මුණ්ඩකොණ්ඩපොළ (හත් කෝරළය)බළ මධ්යස්ථානය කරගෙන සිටි එදිරිමාන්න සුරිය නම් වූ වන්නි පාලකයාගෙන් උපකාර ලද විදිය බණ්ඩාර පසුව ඔහුව ද ඝාතනය කොට තදබල අසීරුතාවයකට පත් වූයේය. සත් කෝරළයේ මිනිසුන්ගේ අප්‍රසාදයට ලක් වූ විදිය බණ්ඩාර පුත්තලමට පලා ගිය ද රාජසිංහ කුමරුන්ගේ හමුදා විසින් එම ප්‍රදේශයෙන් ද පලවා හරිනු ලැබ යාපනයට ගොස් සංකිලි රජුගේ පිහිට පැතීමට සිදුවිය.

මේ වන විට සංකිලි රජු ද පෘතුගිසි විරෝධී අරගලය නිරත වී සිටියෙන් වීදිය බණ්ඩාර හා එක්ව පොදු සටනක් කිරීමට එකඟ විය. මේ සඳහා ගිවිසුමක් ද සකස්කර ගන්නා ලද අතර එය සපථ කර ගැනීම සඳහා සැවොම යාපනය දේවාලයට රැස් වූහ. වීදිය බණ්ඩාර දේව ප්‍රතිමාව අභියස සිටිය දී කාගේ හෝ අත්වැරැද්දකින් වෙඩි බෙහෙත් වගයක් පිපිරිනි. එය තමාට විරුද්ධව කළ දෙයක් යයි සැක කළ විදිය බණ්ඩාර අසිපත ඇදගෙන සටනට වන්නේය.එසේ වූ අනවශ්‍යය කෝලහාලය හේතුවෙන් ඔහුගේ දිවි කෙළවර වූයේය. මෙම දමිලයන් හා සටනේදි දමියන් හැටදෙනෙකු විදිය බණ්ඩාර හා ඔහුගේ ආරක්ෂකයෙක් වූ වේලායුධ ආරච්චි , බංගෙයි රාළ නොහොත් විජයකෝන් මුදලි විසින් මරා දැමූ බවද ඉතිහාසයේ සදහන් වේ.ඉදිරිපසින් සටන් කොට කිසි විටෙකත් වීදිය බණ්ඩාර පරාජය කළ නොහැකි විය. ඔහු මරණයට පත් වූයේ ද පිටුපස සිට කළ පහර දීමකිනි. මුහුණට මුහුණලා කොතෙක් පිරිසක් සටනට එළැඹිය ද වීදිය බණ්ඩාර බිම හෙළන්නට නොහැකි බව අවබෝධ කැරැගත් එක් දෙමළ සෙබළෙක් පිටුපසින් ගොස් සියඹලා ගසට නැඟී ඒ මත සිට ඔහුට වේගවත් හෙල්ල පහරක් එල්ල කෙළේය.එකී හෙල්ල පහරත් සමගම කුමරුගේ කඩුව අතැතිව තිබූ උරමඩල කඩා බිම පතිත වූයේයැයි කියැවේ.වීදිය බණ්ඩාරගේ රණ ශූරත්වය දැන සිටි සංකිලී රජු ඔහු මියගිය පසු ඔහු නමින් දේවාලයක් ඉදි කළේය.

විදිය බණ්ඩාර සතුව පැවති අන්තිම වස්තුව වූ උතුම් දළදා වහන්සේ ද, පුස්කොළ පොත් කිහිපයක්ද, රන් පගෝදී තිස්තුන් ලක්ෂයක් ද හිමි වුයෙත් සංකිලි රජුටමටම බව ඉතිහාසයේ සදහන් වේ. වීදිය කුමරු සතුව පැවති දළදා වහන්සේ වර්තමානයේ කන්ද උඩරට රාජධානියේ වැඩ වාසය කරන්නාවූ වාම ශ්‍රී දළදා වහන්සේගේ අනුරුවකි.එකී අනුරූ දළදා වහන්සේ නිර්මාණය වූ ආකාරය වෙනත් ලිපියකින් දක්වන්නෙමු.

මේ අනුව ශ්‍රීලංකාවෙන් විදේශීය ජාතියක් පන්නා දමන්නට තරම් ශක්තියක් තිබු නරපතියකු ලක් දෙරණට අහිමි වුයේ ඔහු වැන්නවුන් දුසිමක්වත් ඇවැසි සමයකය. කෙසේ වෙතත් සමකාලීනයන් අතරෙහි ඔහුගේ බලපරාක්‍රමය අද්විතීය වේ. නිර්භීත බවින්ද, උපායශීලීත්වයෙන්ද ඔහු අගතැන් පැමිණ සිටියේය. එහෙත් ඔහු සතු වූ එක් දුර්වල ලක්ෂණයක් නිසා මුළු ඉතිහාසයම වෙනත් මඟක ගමන් ගත්තා යැයි කියන්න පුළුවන.එය නම් බලකාමයෙන් මත්ව ඉක්මන්ව ක්‍රියා කිරීමයි. එසේ නොවන්නට එතුමා ලංකාව එක් සේසත් කරනවා නොඅනුමානය.

මූලාශ්‍ර – සුසිල් ජේ අමරසේකර – සීතාවක රාජසිංහ ග්‍රන්ථය
සුමනසිරි දසනායක – ලක්දිව පුවත ග්‍රන්ථය
නිමේෂ තිවංකර සෙනෙවිපාල – කුරුණෑගල විස්තරය
රාජාවලිය – එ්.වී. සුරවීර
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.කේ. ජයසේනයන්ගේ ලංකාදීප ලිපිය

කතෘ අයිතිය සුරකින්න 🙏🙏

උපුටා ගැනීමකි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!