එකකට එකක් අදාල නැති කතා දෙකක් එකපාර මතක් උනා. දෙකම දාන්නම් එක පෝස්ට් එකේ.
ෆෝන් එකේ වොලියුම් එක කියන්නෙ පුදුමාකාර අවදානයක් දෙන්න ඕන බටන් එකක්. කොටිම්ම මම ඒක අදහන්නෙ දේවත්වෙං. ඕකට කුඩම්මගෙ සැලකිලි කරපු දවස් වලට බස් එකේ හෑන්ඩ්ෆ්රී ගැහුවම හරියට වැදිල නැතුව මහ සද්දෙන් ශෝන් මෙන්ඩිස්ගෙ බාප්පගෙ පුතා විලාප දීපු අවස්තා එමටයි. ඒ නිසාම මම ෆෝන් එකට අයන් එකක ප්ලග් එකක් ගැහුවත් වොලියුම් එක අඩුද කියල බලනවා.
ඒ කාලෙ මම බොරැල්ලෙ ඔෆිස් එකේ වැඩ කරේ. බොරැල්ලෙ කියන්නෙ කනත්තට මූණලා. ජීවිතේ අනිත්‍ය මෙනෙහි කරන්න කනත්ත ඕන්නෑ ඒ කාලෙ. හවසට බස් එකක් එනකම් පැය බාගයක් විතර කනත්ත අයිනෙ වාඩි වෙලා හොල්මනක් පේනකම් බලං ඉන්නවා. එතන තියන සද්ද බද්ද එක්ක මැරිලවත් කනක් ඇහිල බුදියගන්න නෑ. වලලපු ගමන් අකුලගෙන යනව ඇති නිස්කලංක පැත්තකට උස්සන් ආපු උන්ටත් බැන බැන.
අපෙ ඔෆිස් එකේ සීට් වෙන් කරල තියෙන්නෙ පාටිශන් ගහලා. හතරට බෙදපු කොටු ඇතුලෙ තමා අපි ඉන්නෙ. පාටිශන් එකට උඩින් ඉස්සරහ එකාගෙ මූණට එබෙන්න පුලුවන්. මම හිටියෙ බිත්තිය අයිනෙ. ඒ සීට් එක ගන්න එහා පැත්තෙ එකා එක්ක මිනී මරාගත්තෙ නැති ටික විතරයි. රජ මගුල් ඉතින්. කාටවත් පේන්නෑ මොනා කරත්. ඔක්කොටම හපන් ෆ්‍රී වයිෆයි. ඒ උනාට වැඩි සද්ද බද්ද නැති සංසුං වටපිටාවක් තිබ්බෙ ඔෆිස් එක ඇතුලෙ. ඒකටත් හරියන්න පාරෙ බස්! හැතැප්මක් විතර දිග ට්‍රැෆික් එකෙත් හෝන් ගහන්නෙ මරු විකල්ලෙන්. සමහර ඩ්‍රයිවර්ලා හෝන් එක උඩ සිහිමුර්ජා වෙලා වැටෙනවද කියල සාදාරණ සැකයක් තිබ්බා ඒ දවස් වල.
ඒ කාලෙ මම හෑන්ඩ්ෆ්රී එක ගෙනිච්චෙ මතක් උනොත් විතරයි. දවසක් මම වැඩ කර කර ඉද්දි අඳුරන්නැති නම්බරේකින් මැසේජ් එකක් ආවා වට්සැප්.
“ඕයි. මම දුලංජලී”
මං දන්න එකම දුලංජලී හිටියෙ අපේ ඉස්කෝලෙ. මාත් ඉතින් ෆෝන් එක අරන් වැඩ ඔක්කොම පැත්තකට දාල මැසේජ් එකක් කොටල දැම්මා. ඒ සැනින් අනිත් අතට ආවෙ වොයිස් නෝට් එකක්.
මට මේක අහනකං ඉවසිල්ලක් නෑ. හෑන්ඩ්ෆ්රී දෙකත් නෑ. මගෙ සිහියට බැන බැනම මම වොලියුම් එක උපරිම අඩු කරා. හුස්ම ගන්න සද්දෙයි කොල පෙරලෙන සද්දෙයි විතරයි ඇහෙන්නෙ. සද්දෙ අඩුම කරල මං ෆෝන් එකේ ස්පීකර් එක කන ගාවට කරලා වොයිස් නෝට් එක ප්ලේ කරා. වැලමිට මේසෙ ගැට්ට කිට්ටුවෙන් තියාගෙන හිටියෙ.
ප්ලේ කරා විතරයි මතක.. අත ගැස්සුනා. වැලමිට ලිස්සුවා. මොකක් හරි එබුනා.
“ඕයි ගස් බල්ලො තෝ කොහෙද මෙච්චර කල් හිටියෙ යකෝ… මැසේජ් එකක්වත් දාන්නෙපා පරයා….
සල්පිලේ ලවුස්පීකරේ වගේ දෙදරන්න කෑ ගහනවා අරකි ෆෝන් එකෙන්. මෙච්චර වෙලා නැමිල තිබුණ ඔලු ටික පාටිශන් වලින් ඉස්සිලා ජිරාෆ්ලගෙ වගේ දික් වෙලා.
මට ඉස්සරහ ඉන්න අයියල දෙන්නා මොකක් හරි විකාගෙන ඉකි ගහනව ඇහෙනවා. මගෙ එහා පැත්තෙ අක්කා මේසෙ යටට රිංගුවා පෑනක් බිමට දාලා.
අරකි විනාඩි දෙක තුනක් මොන මොනාදෝ කුනුහබ්බ කිය කිය කෑ ගහනවා.. කියන මුකුත් ඔලුවට ගියේ නෑ ඒ වෙලවේ. එහෙන් මෙහෙන් විසික් වෙච්ච පරුස වචන ද්‍ර්ක තුනක් විතරයි හරියට ඇහුණෙ. මගෙ කරුමෙට ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් එක ඔන් වෙන්නෙත් නෑ. බැට්රිය එකපාර ගලවන්නත් බෑ. දෙපාරක් උස්සල පොලවෙ ගහන්න හදල ආයි පහලට ගත්තා තාම ගෙවල ඉවර නෑ කියල මතක් උනාම.
බොස් ටිකක් මැදි වයසෙ කාන්තාවක්. බොස් හිටගෙන බලාගෙන ඉන්නවා. ඉහින් කනින් බේරෙන දාඩිය පිහදාගෙන ඕන මගුලක් කියල ෆෝන් එක තිබ්බා මේසෙ උඩින් අරකි කෑ ගහල ඉවර වෙනකම්. කියන්න තියන ඔක්කොම කියල මගෙ රෙද්ද ඔලුවෙන් ගැලෙව්වට පස්සෙ ස්ක්‍රීන් ලොක් එක ඔන් උනා. ඊට පස්සෙ ඉතිං බම්බු ගහන්නයැ..
ඔක්කොම ඉවර උනාට පස්සෙ බොස්..
“තක්ෂිලා.. ෆෝන් එක පැත්තකින් තියලා පෙන්ඩින් ඕඩර්ස් ටිකත් අරං මෙතනට එන්න”
.
.
.
.
ඊට ටික කාලෙකට පස්සෙ… මට තද ආසාවක් තිබ්බා ඇඟට හිරට කොටට කලු සායක් ඇඳල බ්ලවුස් එක යට කරන්න. සතියෙ දවස් පහෙන් දෙකක් අනිවාර්යයෙන් සාය ඇන්දෙ ඒ නිසා. ආසාවට ඇන්දට පාර දිගේ පහලට ඇද ඇද එන්නෙ. මිනිස්සු බලනව ඇති ‘මේකිට අපි අන්දල වගේ අපි දිහා බල බල සාය අදින්නෙ’ කියල.
මිනිස්සුන්ට උනත් බලල සැනසෙන්න පුලුවන් පංච කල්‍යාණියක් නෙමේ තිබ්බේ. උණ බම්බුවට රෙද්දක් ඔතල වගේ.
කොහොමහරි උදේක.. ලිෆ්ට් එකේ එන්නැතුව වියායාමෙටත් එක්ක මම හතර වෙනි තට්ටුවට යන්න පඩිපෙල නැග්ගා. මගක් දුර යනකොට බරාස් ගෑවා. හෙමීට අතගාලා බැලුවෙ සායෙ පිටිපස්සෙන් තිබ්බ පැල්ම. තිබ්බට වඩා අගලක් විතර උඩට පැලිලා. ගොඩක් මැදි වයසෙ අය ඉන්න නිසා කොටට ඇඳල කතන්දර අහන්න ආස නෑ මං ඉස්සර. ඒ නිසා සාය ඇන්දෙ දනිස්ස ගානට. හැබැයි අඩිය තියන්න ලේසි වෙන්න පලලා. දැන් අඩිය තියවෙන්නෙ නිකං වගේ. පඩි නගිනකොට නූල නූල ගැලවෙනවා. එක අතක් පස්සට කරල පැලිච්ච තැන අල්ලගෙන රුවිතෙට පඩිපෙල නැගල දොර අරිද්දිම කන්ෆරන්ස් රූම් එකේ මීටින් එකක්. උදේ පාන්දර දොර ඇරියම ඔක්කොම හැරුනා මගෙ දිහා. පහු කරන් යන්නත් ඕන.
සාය උඩටම පලාගෙන ඔතනින් වන වන යන්න පුලුවන්ද.. සාන්ත බල්ලා වගේ විරිත්තගෙන වම් පැත්තට කකුලෙන් කකුල තිය තිය පැත්තට ගියා ඕන එකෙක්ට බලං ඉන්න කියලා.
පලවෙනි පාරට ඔහොම උනේ ඉස්කෝලෙ කැන්ටිම ගාව වැටේ ඇමිණිලා. සාක්කුවෙ ඉඳන් පහලට ගවුම දෙබෑ උනා. එදා නොතිබ්බ ලැජ්ජාව දැන් කොස් කොටන්නද කියල හිත හදාගත්තා.
සීට් එකට ගිහින් අපෙ ගැන්සියට කිව්වම ඔක්කොම බෙදිල ගියා ඉඳිකට්ටකුයි නූලකුයි හොයන්න. කොහෙවත් නෑ. ඊට පස්සෙ අවසාන තීරණේ උනේ ඉස්ටේප්ලර් ගහල සෙලෝටේප් අලවන්න.
යට ඉඳන් උඩට ස්ටේප්ලර් කටු ගහල සෙලෝටේප් අලවගෙන හිටියා දවසම.
දවසම ඉන්න එකත් හරි කෝච්චියෙ එද්දි ඉස්ටේප්ලර් කැලේ. සෙලෝටේප් කටේ. සායෙ පලු නෑ. යන්තං අතෙනුයි බෑග් එකෙනුයි කවර් කරගෙන බොරැල්ලෙ ඉඳන් පිලියන්දලට ආවා ත්රීවිලර් එකකට රිංගගන්නකම්.
එදයින් පස්සෙ ඔෆිස් අඳින කොට සායවල් වලට තිබ්බ පණු ගාය නිට්ටාවටම සුව උනා..
ඔෆිස් යනව කියන්නෙ ලේසි පාසු කාරියක් නෙමේ. වෙන්න කිසි දෙයක් නැත්තම් සාය හරි පැලෙනවා.
උපුටා ගැනීම: Thakshila Sri Pathum