වදපු අම්මා (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“අම්මා ඉන්නවා!”ජානක ගෙට ගොඩ වැදුනෙ එහෙම කියාගෙන​.
ඩිවාන් එකේ වාඩිවෙලා පාන්තිර අඹර අඹර හිටිය යසෝදා නැගිට්ටා නෙමෙයි නැගිටුනා.
“කොහෙද​?”
“ගිණිගත්හේනෙයි කියන්නේ!”
යසෝදා ඇස්දෙක ලොකු කරගෙන ජානක දිහා බැලුවා.
ඇයි හත් දෙයියනේ ගිණිගත්හේනට එසේ මෙසේ දුරක්ද​?
‘බොරු වෙන්නැති!’යසෝදාට හිතුනා.
“කොහොමද දන්නේ?”
“ෆේස් බුක්කෙකෙන්!”
“ෆේස් බුක් එකෙන්?”
“කවුදෝ ෆේස් බුක්කෙකේ දාලා. රංජි විස්තරේ එවලා තිබුණා.”ජානක අතේ තිබුන සිරි සිරි බෑග්ගෙක එතනම බිම තියලා හාන්සි පුටුවේ වාඩිවුනා.
යසෝදාට තාම අගක් මුලක් තෝර ගන්න බෑ.
“මොන විස්තරේද?”
ජානක සාක්කුවෙන් ෆෝන් එක ඇදලා ගත්තා.
“මේ බලන්න​!”
යසෝදා ජානකගෙ උරහිසට උඩින් ෆෝන් එකට එබුණා.
අම්මාගේ පින්තූරයක් ලොකුවට! යසෝදා මීට ඉස්සර දැකලා නොතිබුනු මල් මල් ගවුමකුත් ඇඳගෙන අම්මා බස් නැවතුම් පලක් වගේ තැනක වාඩි වෙලා ඉන්නවා.
“එහෙනං ඔයාම විස්තරේ කියවලා බලන්නකෝ. “ජානක යසෝදා අතට ෆෝන් එක දුන්නා.
ජානකගේ කට හඬේ තිබ්බේ නොරිස්සුම් කමක්ද​, තරහක්ද​, අනුකම්පාවක්ද හිතන්න වෙලාවක් නොගෙන යසෝදා ආපහු ඩිවාන් එකේම වාඩිවෙලා පැටලුන නූල්බෝලේ අග මුල හොයාගන්න බැලුවා.
‘දහදුක් විඳ හැදූ දරුවන් රජ සැප විඳිද්දී අම්මලා මහ පාරේ!’අම්මාගේ පින්තූරයට උඩින් ලියලා. යසෝදාට ‘හීක්’ ගෑවුනා. යසෝදා ඇස් දෙකේ කඳුලු තද කරගෙන පෝස්ටුව කියවන්න පටන් ගත්තා.
‘දරුවන් විසින් අත්හැර දමන ලද මේ අම්මා ගිණිගත්හේනේ බස් නැවතුමේ හිඟා කමින් සිටියදී අපට මුණ ගැහුණා. තමන් හදා වඩා ගත් දෙමාපියන් මෙසේ මහපාරට අතහැර දමන මුන් දරුවන් ද​?’
ඊළඟට පෝස්ටුවට පහලින් ‘කොමෙන්ට්ස්!’
“මුන් දරුවො නෙමේ තිරිසන්නු!”
“ඔය දරුවන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනෙ!”
“මෙහෙමත් කාලකණ්ණි!”
“මෙවැනි දරුවන්ට සාප වෙන්න ඕනෙ!”
සාප කරලා……හෙණ ඉල්ලලා…..
හෙණ ඉල්ලලා…..සාප කරලා……
යසෝදා ‘කොමෙන්ට්ස්’ කියවිල්ල නතර කලා.
දවස් දෙක තුනකට ඉස්සරලා යසෝදායි ජානකයි ඉස්කෝලෙ ඇරිලා එනකොට අම්මා ගෙදර නෑ. ගෙදර වැඩට ඉන්න ලිලීගෙ ඔලුවට හට්ටියක් කැඩෙනකම්ම ගහලා යසෝදාටයි ජානකටයි දෙන්නටම බැන බැන ගෙදරින් පිටවෙලා ගිහිල්ලා.
ලොකු හාමිනේගේ නපුරු කම් ඉවසන්න බෑ ගෙදර යන්න ඕනෙ කියලා ලිලීත් වැලහින්න වගේ අඬනවා.ලිලී වගේ කඩිසර ගෑණියෙක් හොයාගන්න ලේසි නෑ.දාහක් දේවල් කියලා ලිලීවත් අස්වසලා යසෝදායි ජානකයි ගම පුරාම ගියා අම්මාව හොයන්න​. කෝකටත් කියලා පොලෝසියට පැමිනිල්ලකුත් දැම්මා.
ඇත්තම කීවොත් මේ අම්මා ගෙදරින් ගිය පළවෙනි සැරේ නෙමෙයි. මීට ඉස්සරත් පස් හය පාරක්ම ගෙදරින් ගිහින් තියනවා. හැබැයි ටවුමට විතරයි!
පළවෙනි සැරේ ටවුමට ගිහින්, පාරෙ ඉඳගෙන, දරුවො සලකන්නෙ නෑ කියලා අඳෝනා තියලා. මිනිස්සු කෑම බීම, ඇඳුම් පවා දිලා. ගෙදරට එක්කරගෙන ආවෙ පොලිසියේ ඉන්ස්පැට්ටර මහත්තයා.
‘ආයෙ එහෙම අම්මාව ගෙනල්ලා පාරෙ අත ඇරියොත් තමන්ලාවත් පොලිසි ගෙනියනවා!’ කියනකොට යසෝදායි ජානකයි උඩ බිම බැලුවෙ මොකක්ද වුනේ කියලාවත් හාංකවිසියක්වත් දන්නේ නැති හින් දා. අම්මා නං මිනිස්සු දුන්න කෑම බීම, ඇඳුම් තුරුලු කරගෙන උජාරුවෙන් කාමරේට රිංග ගත්තා.
දෙවෙනි සැරේ පොලිසියේ ඉන්ස්පැට්ටර මහත්තයා අවවාද දෙන්න හදනකොට ගමේ මිනිස්සු කීපදෙනෙක්ම ඉස්සරහට ඇවිල්ලා යසෝදාගෙයි ජානකගෙයි පැත්තට කතාකලා. ගමේ කාටත් උදව් කරගෙන ඉන්න ගුරු ජෝඩුවට නිකරුනේ දොස් අහන්න දෙන්න පුලුවන් ද​?
පස්සෙ පස්සෙ වෙනකොට අම්මා කරන්නේ බොරුවක් කියන එක පොලීසියටත් තේරිලායි තිබුනේ. යුතුකමට වගේ ජීප් එකේ දාගෙන ඇවිත් ගේ ල​ඟ බස්සවලා දාලා ගියා.අම්මාත් මිනිස්සු රැවටිලා දුන්න කෑම බීම, ඇඳුම් තුරුලු කරගෙන කාමරේට රිංග ගත්තා.
ඉන්ස්පැට්ටර මහත්තයා නං අම්මාව වැඩිහිටි නිවාසෙකට දාන්න කියලා යෝජනාවකුත් කලා.යසෝදා නම් මොකුත් කීවෙ නෑ. ජානක තමා අකමැති වුනේ.
“කොච්චර කලත් ඔයාව වදපු අම්මනේ යසෝ!” ජානක හීන් හඬින් කීවා.
යසෝදා වෙනසක් නොකර අම්මාට සැලකුවාට වැදුවා මිසක් අම්මා අපිව හැදුවේ නෑ නේද කියන එකනම් යසෝදාට නිතරම මතක් වුනා.
ඇත්තම කීවොත් යසෝදායි මල්ලීයි දෙන්නා ඔහේ හැදුනා.
වෙලාවට කන්න බොන්න නෑ. අඳින්න ඇඳුමක් නෑ. ඉස්කෝලේ යන්න පොත පත නෑ.අම්මා ටීවී බල බල ඔහේ ඉන්නවා.
බඩගින්න ඉවසන්න බැරිකොට යසෝදා මල්ලී එක්ක නැන් දලෑ දිහා යනවා. නැන් දා කීවාට තාත්තාට ඈතින් නෑදෑ වෙන ගෙදරක්. අපරාදෙ කියන්න බෑ නැන් දා දෙන්නාව ගෙට අරගෙන බඩ කට පිරෙන්න කන්න බොන්න දෙනවා. ඒත් හැන්දෑ වෙනකොට අම්මා ඇවිත් නැන් දාටත් කුණුහරුපෙන් බැනලා යසෝදාවයි මල්ලීවයි ගෙදර එක්ක යනවා. ආයෙත් ඉතින් වේලක් ඇර වේලක්වත් කන්න නැති ජීවිතේ!
පස්සෙ පස්සේ නැන්දාත් මග අරින්න පටන් ගත්තා. කාටද පුලුවන් එක එකාගෙන් ඔහොම කුණු හරුප අහන්න!
ඒත් ඉතින් මග තොටදී අහුවුනාම නැන්දා කීයක් හරි යසෝදාගේ අතට මිට මෙලෙව්වා.
තාත්තා අකාලේ නැතිවුනෙත් අම්මාගේ නපුරුකං හින් දලු. සමහරු කියන්නේ තාත්තා දිවි නසා ගත්තා කියලා.
මල්ලීනම් අවුරුදු පාළොහ වෙනකොට ගෙදරින් පැනලා ගියා.
පැනලා ගියා කීවට නිතරම යසෝදාව බලන්න ඉස්කෝලෙ ලඟට ආවා.
“අක්කේ උඹ කොහොම හරි ඉගනගෙන මේ අපායෙන් ගොඩ පලයං. මම උඹට වියදං කරන්නං.”මල්ලී කීවේ ලොකු මිනිහෙක් වගේ. කීවා වාගෙම මල්ලී ගරාජ් එක්ක වැඩ ඉගන ගන්න ගමන් යසෝදාට ගුරු අභ්යාස විද්යාලෙට යන්න උදව් කලා.
යසෝදා ජානක එක්ක විවාහ වෙනකොට මල්ලී මැද පෙරදිග​.
අම්මාට කොහොම වෙතත් මල්ලී යසෝදාට නම් අහ අහා උදව් කලා.
“අම්මට සලකන්න කලින් තොට බඳින්න හදිසි වුනේ මොකද​?” ජානක එක්ක විවාහ වෙන්න ඕනෙ කියනකොට අම්මා කඩා පැන්නා.
යසෝදා කවදාවත් අම්මා අතට කීයක් හරි යවන්න අමතක කලේ නෑ.අම්මාට ඉතිං කොච්චර කෙරුවත් මදි.
ජානකගෙ පැත්තෙන් නං විවාහයට ප්රශ්නයක් ආවේ නෑ.මොනවා වුණත් විවාහ වුණාට පස්සෙත් යසෝදා අම්මා අතට කීයක් හරි යැව්වා.
විවාහ වෙලා කාලයක් යනකල් පැත්ත පලාතෙවත් ආවෙ නැති අම්මා හදිසියේ යසෝදාගේ ගෙදරට​ කඩා වැදුනා. ඇවිත් මොන මොනවාදෝ කියලා යසෝදාගේ ගෙදර නතර වුණා.
අම්මා ආවට පස්සේ එලවන්නයැ! පුලුවන් විදිහට සලකනවා. යසෝදා හිතහදා ගත්තා. ජානකත් ඒකට විරුද්ද වුනේ නෑ.
හැබැයි ඉතිං අම්මානං දෙන්නාගේ ජීවිත උඩු යටිකුරු කලා.
ජානකයි, යසෝදායි තමාට හරියට කන්න බොන්නවත් දෙන්නේ නෑ කියලා තැන් තැන්වල කීවා.
ගමේ අයත් එක්ක රණ්ඩුවල පැටලුනා.
ගමේ අය තමාට එකඟ නොවෙනකොට නගරෙට යන්න පටන් ගත්තා.
ඒත් මේ ගිණිගත්හේනෙ ගියේ අහවල් එකකටද?
‘මේ සැරේ නං ජානකටත් යකා නැගලා ඇති!’ යසෝදාට හිතුණා. මේ අම්මා කරන වැඩ වලට තරහා නොයන්නේ කාටද​?
ඔක්කෝටම වඩා ඇත්ත කතාව දන්නේවත් නැතිව මිනිස්සු සාප කරන හැටි!
කුරා කූඹියෙකුටවත් වරදක් නොකරන මනුස්සයාත් නිකරුණේ දොස් අහනවා. යසෝදා පිටි අල්ලෙන් ඇස්දෙක පිහිද ගත්තා.දැං මේ අම්මාගේ ප්රරශ්නෙට මොකද කරන්නේ?
“යසෝ!”ජානක කතා කලා.
“හ්ම්!”
“දැම්ම පිටත් වෙමුද​?”
“කොහෙද​?”
“ගිණිගත්හේනෙ!”
යසෝදා දෙවෙනි සැරේටත් ඇස්දෙක ලොකු කරගෙන ජානක දිහා බැලුවා.
“කොච්චර කලත් ඔයාව වදපු අම්මනේ යසෝ!”
උපුටා ගැනීම: Sripali Kotuwella

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!