වැඩ ඇරිලා එන ගමන් දිවා සුරැකුම් මධ්යස්ථානයෙන් පොඩි එකාවත් අරගෙන කෙලින් ම ගියේ කෙල්ලගේ ඉංග්රීසි පන්තිය තියෙන තැනට. පන්තිය ඉවර වෙන්න තව විනාඩි පහළොවක් විතර තියෙන නිසා පන්තියට එපිටින් තියෙන මැයි ගහ යටට වෙලා හිටියේ පොඩි පුතාවත් වඩාගෙන. දවස තිස්සෙම සෙල්ලම් කරලා මහන්සියට ද කොහෙද කොල්ලට උරහිසේම නින්ද ගිහින්.
ගහ යට ඉඳගෙන මං උදේ බුද්ධිකගෙන් ආපු කෝල් එක ගැන හිතුවා.
“මචන් උදේනිගේ ලෝයර් කතා කරා.උදේනි කියනවලු කොල්ලගේ DNA ටෙස්ට් එකක් කරන්නෝනි කියලා”..
ඒ මොකටද.? මං ගත් කටට ම ඇහුවා
“දරුවව ඒකි ළඟට ගන්න..”
එතකොට කෙල්..
අප්පච්චී, කෙල්ල කෑගහගෙන මං ගාවට දුවගෙන එනකොට මගේ මනෝලෝකෙත් කඩාගෙන වැටුණා.
අප්පච්චි මල්ලි නිදිද..? කොල්ලගේ අතින් අල්ලන ගමන් දුව ඇහුවා.
ඔව්නේ මල්ලිට නින්ද ගියානේ අප්පච්චි අතම මං එහෙම කියන ගමන් දූගේ බෑග් එක කොල්ලව අල්ලන් හිටපු වමතටම දාගෙන කෙල්ලව දකුණු අතින් අල්ලගත්තා.
යන ගමන් අපි ගෙදරට බඩු මොනාහරි අරන් යං පුතේ.කෙල්ල ඔළුව වැනුවා.කෙල්ල මගේ අතේ වෙලිලා.
ෆුඩ් සිටියට ගිහින් ගෙදරට බඩු ටිකකුත් අරගෙන රෑට කන්න කොත්තුවකුත් අරන් අපි බස් එකට නැග්ගා.
“ආ.. අසේල, මොකො මේ බස් එකේ කෝ බයික් එක ? ගෙවල් ළඟ විශාඛා අක්කා බස් එකේ..”
මේ දෙන්නව දාගෙන බයික් එකේ යන්න බෑ අක්කේ, ඒ නිසා බස් එකේ තමා යන්නේ.මං එහෙම කියාගෙන යන්න හැදුවත් ගෑණි තවත් මොනවහරි කියන්න අර ඇද්දා..
“දැං අවුරුද්දකටත් වැඩීනේ නේද.?හනේ අප්පේ මේ කිරි සප්පයා.”
අක්කේ මේ පිටිපස්සේ සීට් එකක් තියෙනවා මං යනවා.එහෙම කියලා මං පිටිපස්සෙන් වාඩි උනා. දැං ඉතින් නිවිහැනහිල්ලේ ගෙදරට ගිහිල්ලත් ඉවරයි.මං හිතුවා.
බස් එකෙන් බැහැපු ගමන් මං කරේ ඉක්මණට කඩේට ගිය එක. විශාඛා අක්කව මඟ අරින්න කඩේට ආවට සෝකේස් එක දැක්කමයි මතක් උනේ කොල්ලගේ රස්ක් එක ඉවරයි කියලා. රස්ක් බිස්කට් පෙට්ටියකුත් අරගෙන මං පාර පැන්නා. කෙල්ලත් ඉස්කෝලේ උනු දේවල් ගිරවි වගේ කියනවා මං හූ මිටි තිය තිය ආවා.
මට දැං එකම කතාව හැමෝම අහනකොට කේන්තියි.ඒ වගේම අනුකම්පාවෙන් බලනකොට ලැජ්ජයි.දෙයියනේ මෙහෙම දෙයක් උනු එකම මිනිහා මංද.? ගෑණු අනුකම්පා කරනවා පිරිමි හිනාවෙනවා. එක අතකට හැමදාම මෙහෙම කළුවරේම ඉන්න තිබ්බා නං හොඳයි, මං හිතුවා.
ගෙදර ඇවිත් ඇඳෙන් තියනකොටම දරුවා ඇහැරුනා.සීනීබෝල කතා ටිකක් කිය කිය කෙල්ලගේ ඇඳුම් ටික මාරු කරලා ඇඟ සෝදන්න යවලා මාත් ඇඳුම් මාරු කරලා සාළුව ඇදගත්තා.කොල්ල මගේ කතා වලට හිනා වෙනවා.පව් , අවුරුදු එකහාමාරට මේ අහිංසකයා මොනවා දන්නවද..
වතුර ටිකක් රත් කරලා කොල්ලවත් ඇඟ සෝදවලා රස්ක් බිස්කට් දෙකක් හදලා කොල්ලට කැව්වා. කෙල්ල ඇඟ සෝදන් ඇවිත් ඉස්කෝලේ වැඩ දෙක වසරේ උනාට මොකද තනියෙන් ඒවත් කරනවා.ටී වී එක දාලා කොල්ලව බිමින් තියලා මං ගියා නාන්න.
පුතේ මල්ලිව බලන්න,කියාගෙන මං බාත්රූම් එකට ගියා.
මට නානගමනුත් හිතුණේ බුද්ධිකගේ කතාව, කෙල්ල උඹේ කියන්නේ.
කෙල්ල මගේ.. කෙල්ල මගේ.. කෙල්ල මගේ..
එතකොට කොල්ලා.?
නාගෙන ඇවිත් අරන් ආපු කොත්තුව දූට කවලා මාත් කෑවා.
කෙල්ලගේ පොත් ටික අරන් බිම ඉඳගෙන කොල්ලවත් උකුලේ තියලා නිදිකරන ගමන් මං පොත් ටික බැලුවා.අඩුපාඩුවක් නං නෑ..
හප්පට සිරි., පලතුරු වර්ග දහයක් අලවගෙන එන්න කියලා,කෙල්ලට ඒක කරන්න අමතක වෙලා..
කෙල්ලට ඇඳේම නින්ද ගිහින් කොල්ලවත් ඇඳෙන් තියලා නෙට් එක දාලා මං පලතුරු රූප හොයන්න ගත්තා.
“මට කවදහරි ඔයා වගේම කොල්ලෙක් ඕනේ, දවස තිස්සෙම දඟලන විසේ කරන..”
“එතකොට මට විසේ කරන්න බෑනේ..”
“ඔය විසේ කරන ටික මදෑ..”
කැම්පස් එකේ ඉන්නකාලේ කතා උනු දෙයක් මතක් උනා. මිනිස්සු කොයි තරම් ඉක්මණට වෙනස් වෙනවද.?මට ලොකු හුස්මක් ඉහළට ඇදුනා.
සුදු ගවුමයි , මගේ වැඩට අඳින ඇඳුනුයි මැදලා තියලා මමත් පොඩි උන් දෙන්නා ගාවින් ඇලවුණා.
උදේම කෙල්ලව ඉස්කෝලේට දාලා කොල්ලවත් අරන් මං ගියේ බුද්ධික හම්බවෙන්න.
මොකක්ද බං මේ කතාව, මං කෙලින්ම බුද්ධිකගෙන් ඇහුවා.
“කෙල්ල උඹේ නිසා කෙල්ල උඹට ගන්නලු කොල්ලා අරූගෙලු ඒ නිසා කොල්ලව උදේනිට ඕනෙලු “
හෙණ ගහන කතාවක් නේ බං මේ දරුවා මගේ බං.. බලපන් මගේ මූණ කටමනේ ඇයි බං මේ ගෑණි මෙහෙම.. ඇත්තටම දුකයි බුද්ධිකට මූණ දීගන්න බැරි ලැජ්ජාවයි හින්දා මට ඇඬුණා.
උඹ කලබල වෙන්නෙපා බං.දැං ළමයින්ගේ අම්මම එහෙම කියනවනං වෙන කරන්න දෙයක් නෑ. DNA ටෙස්ට් එක කරත් ඔප්පු වෙනවනේ.උඹට කොල්ලව දෙන්න වෙනවා බුද්ධික කිව්වා.
ඊළඟ නඩුවාරේ කවද්ද බං.මං ඇහුවා
ලබන 30 වෙනිදා..
මං යනවා බං.දරුවත් වඩන් මං ආවා.අසේල අසේල කියලා බුද්ධික දෙතුන් පාරක් කතා කරත් මං හැරුන්නෑ.
තාත්තත් නැතුව මාව උස්මහත් කරපු අම්මටත් ද්රෝහී වෙලා මං කසාද බැන්දේ මෙහෙම ගෑණියෙක්ද.
මේ දරුවා බඩට ආ දවසේ ඉඳන් බලාපොරොත්තු තියාගෙන බලන් හිටියේ මං,ආස කෑම ජාති ගෙනත් දුන්නේ මං,ඉපදුණු ගමන් අතට ගත්තේ මං,අප්පතී කිය කිය බදාගන්නේ මාව කාත් කවුරුත් නැතුව මාස හතක කිරි දරුවෙක් මෙච්චර කල් හැදුවේ මම. මට ඇඬුනා.
දරුවව දිවා සුරැකුම් මධ්යස්ථානයෙන් දාලා මං වැඩට ආවා.වැඩ කරන්න තරම් මානසිකත්වයක් මට නෑ.
ඉස්කෝලේ ඇරිලා දුවවත් පුතාගේ ඩේ කෙයා එකටම ගෙනත් දාන නිසා මට හවස් වෙනකං කාර්යාලයේ ඉන්න අපහසුතාවක් නෑ. හවස ගෙදර ගිහිනුත් මං කල්පනා කරේ මේ ගැන. දරු දෙන්නගේ මූණ දිහා බලන් මං එක දිගට කල්පනා කරා. අන්තිමට මං ෆෝන් එක අතට ගත්තා. ෆෝන් එකේ තිරේ වැටුනේ වෙලාව පාන්දර 4.22 යි කියලා. කාලයක් භාවිතයට නොගත්තු ඒ අංකයට මං කෝල් එකක් ගත්තා. බොහෝ වෙලාවක් රින්ග්ස් ගිහින් අන්තිම මොහොතේ වගේ එහා පැත්තෙන් හෙලෝ කියලා කටහඬක් ආවා.
මං ඩිවෝස් එකට කැමති නැහැ මං කිව්වා.
අසේල, පිස්සුද ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ.. මහ ලොකුවට කිව්වේ එදා එපා කියලා ගියපු ගෑණි ආයි ඕන්නෑ කියලා.
දැං මොකො මේ.?උදේනි කටකොණකින් හිනාවෙන ගමන් ඇහුවා.තවත් හිනාවක් ඇහුනත් මං එච්චර ගණන් ගත්තේ නෑ..
ඔයාව නං මට කොහොමත් ඕනි නෑ.ආයි මට කවදාවත් ඕනි වෙයි කියලා හිතන්නත් එපා.මං කිව්වා.
එහෙනං මොකද්ද මේ කරන්නේ.?
තමුසෙව ඕන්නැතුවට මට ළමයි දෙන්නා ඕනේ.දෙන්නා..දෙන්නා..දෙන්නව ම..මං කිව්වා..
උදේනිගෙන් පිළිතුරක් නැතුව විනාඩි දහයක් විතර ගෙවුණා.
ඩිවෝස් එක ඕනි නම් දරුවා අවශ්ය නැහැ.දරුවෝ දෙන්නවම මට භාර දෙන්න කැමතියි කියලා මගේ ලෝයර්ට ලිඛිතව දැනුම් දෙන්න. එතකොට තමුන්ට අවශ්ය දේ ඉක්මණට ලැබෙයි.
ඒත් අසේල.
මං ෆෝන් එක තිබ්බා. දරුවගේ ඔළුවට අත තියාගෙනම මං ඇස් දෙක පියාගත්තා.
30 වෙනිදා නඩු වාරෙට යනකොට උදේනිගෙන් දරුවෝ දෙන්නවම මට දෙන්න කියලා ලිඛිත ලියුමක් බුද්ධිකට ලැබිලා තිබුණා. ආයේත් ඇදෙන්න හේතුවන් නැති නිසාම ඊළඟ නඩුවාරෙදී දික්කසාදය ලැබුණා.
උසාවියෙන් මං ආවේ කා දිහාවත් නොබලා. උදේනි කතා කරන්න හැදුවත් මං අහක බලාගෙන ආවා. අවුරුදු හතරක ආදරේ අවුරුදු අටක කසාදේ එහෙම මළගම් යවලා මං උසාවි ගේට්ටුවෙන් එළියට ආවා. දිවා සුරැකුම් මධ්යස්ථානයෙන් දරුවෝ දෙන්නත් අරන් මං ඉක්මණට ගෙදර ගියා. බාගෙට හදපු ගෙදර, උදේනිගේ වෙනස්වීම ඇරෙන්න හැමදේම එහෙමමයි නේද කියලා හිතුණා. උදේනිගේ සම්බන්දේ අහුවෙනකං ම මේ පුංචි ගේ ඇතුලේ සතුටත් ගොඩක් තිබුණා.
අම්මා ආවේ නැද්ද අප්පච්චි.? කෙල්ල දන්නවා මෙහෙම සුදු ඇඳන් යන්නේ අම්මව හම්බවෙන්න කියලා.
නෑ පුතේ, හැබැයි අම්මා කිව්වා මගේ පුතාලව මතක් කරන්න කියලා. මං එහෙම කිව්වා.
දරුවෝ සෙල්ලම් කරනවා.මං පුටුවකට බර දුන්නේ දැන් මං තනියෙන් නේද කියන අදහසත් එක්ක.
————————————————————————————————————
මාස පහකට විතර පස්සේ එක දවසක හවස මහ වැස්සේ දරුවෝ දෙන්නත් වඩාගෙන මං ටවුන් එකේ කඩයක් ගාව හිටගෙන හිටියේ ධාරාණීපාත වැස්සේ බස් එකට යාගන්න බැරුව. මං ඉඳපු තැනට ඇතුගල පේනවා. මහාවැස්සට ඇතුගල හරි ලස්සනට පේනවා.
අසේල, එක පාරට ආපු කටහඬකින් මං මෙපිට බැලුවා.
උදේනි , මට එකපාරට කියවුනා.උදේනිව මහත් වෙලා ඇඟට ම හිර උනු කොට ගවුම වැස්සේ හිරිකඩට පෙඟිලා.
කෙල්ලයි කොල්ලයි දෙන්නම නිදි මගේ උරහිසට බර වෙලා. ‘හොඳ වෙලාවට’ මං හිතින් හිතුවා.
වැස්සට ඇතුගල හරි ලස්සනයි නේද අසේල.. මගෙන් එහෙම අහන ගමන් උදේනි දුවව අතගෑවා. මං හිමිහිට දුවව එහාට හරවගෙන පැත්තකට උනා.
උදේනි ඒක දැක්කා.ආයි දරුවන්ව අතගාන්න උත්සහ කරේ නෑ.
අහන්න දෙයක් නැති කමටම මං කොහොමද කියලා ඇහුවා.
වරදක් නෑ.. උදේනි හිනාඋනා.
මමත් හිමිහිට හිනාවෙලා ආයේම ඇතුගල දිහාට ඇස් තිබ්බා.
අහම්බෙන් හරි ඔයාව දැකපු එක හොඳයි අසේල. මං මොකුත් නොකියා ඔහේ හිටියා.
මගේ අතින් ලොකු වැරැද්දක් උනේ උදේනි ගේ කටහඬ බරවෙලා වගේ.
දැං ඒක ගැන කතා කරලා වැඩක් නෑ.මං ඇස් අහකට නොගෙනම කිව්වා.
චේතකට දරුවෝ නැහැ අසේල අපි ට්රීට්මන්ට්ස් ගන්නකොටයි දැනගත්තේ.උදේනි එහෙම කියනවත් එක්කම ඇතුගල පැත්තෙන් මහහෙණයක් ගැහුවා. මං උදේනිගේ මූණ දිහා බලන් හිටියා.
ටිකක් වෙලා බිම බලාගෙන ඉඳපු උදේනි කුඩේ ඉහලුවා. මේ දරුවෝ දෙන්නම ඔයාගේ.මට සමාවෙන්න අසේල.
චේතකට හරි හමන් රස්සාවක් නැහැ. ඉන්නෙත් කුලියට නිසා මගේ පඩිය ඒවට ඉවරයි.ඒ නිසා දරුවෝ දෙන්නට චොකලට් එකක් අරන් දෙන්නවත් මං ළඟ සල්ලි නෑ අසේල.
උදේනි අඬනවා.මට ඒ දිහා නොබලා ඉන්න බැරි වුනා.
කොහොමත් මට දැං ජීවිතයක් නෑ අසේල.මං තෝරගත්තු ජීවිතේ මංම විඳවනවා
උදේනි එහෙම කියලා යන්න ගියා.
මට බරට හීල්ලුණා.දරුවෝ දෙන්නා හීතලට මාව බදාගෙන උරහිසේ නිදි. මං අහේතුකව ම වහින වැස්ස මැද්දේ ඇතුගල දිහාට ආපහු ඇස් තිබ්බා.
උපුටා ගැනීම: Kanchu Jayaweera