වෛද්‍යවරයා හෙදිය හා මනමාලිය
වෙලාව රාත්රී දහයයි කාලයි .සීමාවාසික වෛද්ය දර්ශණ බොහෝ වෙහෙසට පත්ව සිටී මෙකල මෙන් නොව එකල මුළු වාට්ටුවකටම හිටියේ සීමාවාසික වෛද්යවරු එක අයෙකු හෝ දෙන්නෙකි .මෙනිසාවෙන් විටෙක දවස දෙක එක දිගට සේවයේ යෙදෙන්නට සිදුවේ එදා දිනය පුරා වෙහෙසුන දර්ශණ වාට්ටුවේ කොනක පිහිටි කාමරයේ කුඩා ඇදෙහි හාන්සි වුවා පමණි
ටක් ටක් ටක්
“සර් ලෙඩෙක් ගෙනල්ලා , හතේ වාට්ටුවට මනමාලියෙක්ලු “
සුළු සේවකයෙක් දොරට තට්ටු කරයි
“මොකෙක් “
“අලුත ගෙනා මනමාලියක් කියා මිසීලා කතා උනා සර්
යමුද බලන්න ?”
“මනමාලි මොකෝ මෙහෙ “
නින්ද කැඩුන මුත් වෛද්ය දර්ශණ ට මේ කුමක්දැයි බලන්නට කුතුහලයක්ද ඇතිවිය
දුහුල් ඇදුමකින් සැරසුණු අවුරුදු තිස් පහක් පමණ වන කාන්තාවක් ට්රොලියේ සිටි ඇගේ දෙතොල් වල තාමත් තොල් ආලේපනය . මුහුණේ ආලේපනකොටසක්ද ඉතිරි වී ඇත . එක අතක සේලයින් යොදා බින්දු බින්දු යමින් පවතී . මුත්රා බටයක් දමා එහි බෑගය සම්පුර්ණයෙන් පිරිලා ඇත .ඇගේ නහයෙන් බටයක් දමා දියර ආහාර දෙන ලෙස යොදා ඇත ඇගේ ස්වාමියා යයි සිතිය හැකි හැඩි දැඩි අවුරුදු හතළිහක් පමණ වන පිරිමියෙකු ට්රොලිය අසල නො ඉවසිල්ලෙන් සිටියි
වෛද්ය දර්ශණ ඇතුල් වීමේ පත කියවා බලන්නට විය . ඇය අද විවාහ වූ
මනමාලියකි . පැයකට පමණ කලින් බාහිර රෝගී අංශය හරහා හදිසි ප්රතිකාර ඒකකයට යවා ඇත්තේ ක්ලාන්තය බව කියමිනි
එහිදී රුධිර සිනි පරික්ෂාව ඊ සී ජී පරික්ෂාව රුධිර පීඩනය ආදිය බලා තිබුනත්
ඒ සියල්ල සාමාන්ය තත්වයේ තිබුණි . ඇද ඉහ පතේ ලියා තිබුනේ මොලයේ
රුධිර කැටියකින් හෝ ලේ වහනයකින් සුළු අංශභාග තත්වයක් ඇතිව පහව
යමින් පවතින බවත් සි ටි හා එම් ආර් අයි පරීක්ෂණ කරන තෙක් ආහාර නොදී
තබන ලෙසත්ය
“ඔයාට මොකක්ද උනේ ?”
වෛද්ය දර්ශණ රෝගියා අසලට විත් සෙමින් විමසුවේය
“අනේ ඩොක්ටර් අද වෙඩින් එකෙන් පස්සේ හොටෙල් එකට ගිහින්
ටික වෙලාවකින් කලන්තේ වගේ ආවා .මහත්තයා බය වෙලා හොස්පිටල්
ගෙනාවට දැන්නම් අමාරුවක් නෑ “
“ඔයාට වෙන මොකුත් ලෙඩ තිබුනද ?ඩයබෙටික් ප්රෙෂර් ඇලර්ජික් වගේ? “
“එහෙම නම් නෑ ඩොක්ටර් “
වෛද්ය දර්ශන රෝගී කතගේ ස්වාමි පුරුෂයාට කතා කරමින් ඔහුගේ මේසය
අසල වාඩි කළේය .
“මෙයාගේ ඔක්කොම නෝමල්නේ මොකද උනේ දැන් නම් අංශ භාග බවකුත් පෙන්න නෑ “
මනමාලයා ටිකක් හැඩි දැඩිය . ඊට සරිලන කාල වර්නයකින්ද යුක්තය ඔහු
එනමුත් ටිකක් කුලෑටි ගතියකින් කතා කරයි
“මේකයි ඩොක්ටර් මෙයා බලමු ඉමජන්සි තැන උන්නේ ටිකක් වයස ලේඩි
ඩොක්ටර් කෙනෙක් .මම හිතන්නේ එයාගේ නම ප්රියානි “
වෛද්ය ප්රියානි මේ රෝහලේ වයසින් වැඩි කාලයක් සේවය කරන අවිවාහක
වයිද්ය වරියකි .කිසියම් හේතුවකින් ඈ ටිකක් සුළු දේටත් කෝප වන තද
තීරණ ඇති තැනත්තියකි
දර්ශණ ටික වෙලාවක් කල්පනා කරමින් සිටියේය
“ඉතිං “
“අද ඩොක්ටර් අපි හොටෙල් ගිහින් නිදන්න ගියා වයිෆ් එකපාර
කකුල් පැත්තට පැත්තට යනවා කියා කෙදිරි ගාන්න ගත්තා හුස්ම
හය්යෙන් ගන්න ගත්තා හොදටම බය වෙච්ච මම එයා හොස්පිටල්
අරන් ආවේ .නමුත් මගදීම ඒක නැති උනා . හොස්පිටල් එකේ
කකුල් පන නැති උනා කිව්වම මෙයාට මේ බට දාලා
වාට්ටුවටත් දැම්මා . අපි ටිකට් කපන්න කිව්වට බැරිය කිව්වා
ඔලුවේ ලේ කැටියක්නම් එකත් බයයි නේ “
වෛද්ය වරයාට කරුණ බොහෝ දුරට වැටහුණි .නමුත් ඔහු ඊට
ගැලපෙනම හෙදියක් යවා මනමාලියගෙන් තොරතුරු ගෙන
ලෙඩේ හදුනාගත්තේය
නහයෙන් දැමු බට , සේලයින් , මුත්රා බට ඉවත් කෙරිණි .මනමාලිය
මහත් පහසුවෙන් හිද ගත්තාය . උණු වතුර බෝතලයෙන් කෝපි
කෝප්පයකට ගෙන හුස්මට දෙකට බිව්වාය
“බැදපු අලුත ඔහොම වෙන්න පුළුවන් අනික ඔයාල ටිකක්
වයස ගිහිල්ලා මැරි කරපු අයනේ ?”
වෛද්යඋපදෙසට මනාලයා හිස සැලුවේ තම පෙම්බර මනාලිය
සුව වීම හා ඇගේ බට ඉවත් වීමේ ප්රීතියද සිතේ ඇතිවය
“ඩොක්ටර් දැන් අපි ඉන්න ඕනිද ?ටිකට් කපන් යන්න බැරිද ?”
“ඉන්න ඕනි නෑ නමුත් මට ටිකට් කපන්න බෑ ඔය ගොල්ල
කැමැත්තෙන් යන විදියට නම් යන්න පුළුවනි “
සිමා වාසික කාලයේ රෝගීන්ගේ ටිකට් කපනුයේ ජේෂ්ඨ වෛද්ය වරයෙකු බැලීමෙන් පසුව පමණි
“එහෙම යන්නම් ඩොක්ටර් “
මනමාලියට හදිස්සි මෙන්ම රෝහලද එපා වෙලාය
“බලමු ..හිතලා බලන්න “
වයිද්ය දර්ශන නැවත කාමරයට ආවේය .දෑස් පියා ගත්තා පමණි
ටක් ටක් ටක්
“ඩොක්ටර් .අර අය යන්න ඕනිලු අගේන්ස්ට් මෙඩිකල් ඇඩවයිස් “
එවර හෙදියක් කතා කරයි
“වෛද්ය අවවාද වලට විරුද්ධව කැමැත්තෙන් රෝහලෙන් රැගෙන යමි කියා ලියලා මහත්තයාට එක්ක යන්න කියන්න .ඇදනුත් හිගය්නේ “
“හරි ඩොක්ටර් “
සුසුමක් හෙලු ඔහු දෑස පියා ගත්තේ වාට්ටුවේ යන්ත්ර යන්ගේ
නොයෙකුත් හඩට කන් දෙමිනි පැය භාගයක් පමණ ගතවිය . කලින් කතා කල හෙදිය කෝපයෙන් මෙන් කිසිවක් කියමින් පැමිණේ
“බලන්න ඩොක්ටර් මේ මිනිස්සු කරලා ගිහින් තියෙන දේ ?”
“ඇයි මොකද ?”
සද්දේ හැටියට දර්ශණ දොර හැර පැමිණියේය
“මේ බලන්න “
හෙදිය ඇද ඉහ පත පෙන්වයි එහි අන්තිමේ මනමාලයා විසින් මෙසේ ලියා අත්සන් කර මනමාලිය රැගෙන ගොසිනි
“හෙදි නිලධාරිනිය කිව් ලෙසින් වෛද්ය අවවාද වලට විරුද්ධ වී රෝගියා රැගෙන යමි “
උපුටා ගැනීම: Premanayake Cyril