වජ්‍ර ජයන්තිය (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ආදිපොල සර් ගැන තව කතා තියෙනවා නම් දාන්න කියලා ඉල්ලීමක් තිබුනා.මේක කෙලින්ම මම සම්බන්ධ සිද්ධියක් නිසා පොඩි පසු බෑමකුත් තියෙනවා.ඒත් ඉතින් ගන්න දෙයක් තියේනම් ගන්න.සර්ගෙ මේ ගෝලයා හොල්මන් කතාවක් කිව්වත්,සීරියස් වෙන්න ගියත් හිනා යනවා.ඒක නිසා සර් සමාවෙන්න ඕනෑ.ගෝලයට පුලුවන් විදිහට කරන ගුරු උපහාරයක් මේ.
අපි දහය වසරෙදි තමයි අපේ ඉස්කෝලෙ වජ්ර ජයන්තිය යෙදුණෙ.මේ වෙනුවෙන් මුලු පාසලේම දැවැන්ත ප්රදර්ශනයක් පැවැත් වුනා.
මම භාර ගත්තෙ ජල විදුලි බලාගාරයක ක්රියාවලිය නිරූපණය කරන්න.මමයි සුබසිංහයි තමයි මේක කලේ.අපි සිවිලිම් ශීට් වලින් මාලු ටැංකියක් වගේ හදලා ඒකෙ සුදු හුණු ගාලා වටේට කදු යායක් වගේ ඇන්දා.කදු යාය මැද ජලාශය හෝස් එකකින් පුරවලා ඒකෙන් පහලට දිය ඇල්ලක් වගේ වතුර ගලා එන්නයි,ප්ලාස්ටික් රෝදයක් ටර්බයින් එකක් විදිහට ඒ වතුර පාරෙන් කැරකෙන විදිහටයි හැදුවා.
පරණ බයිසිකල් ඩයිනමෝවකුත් ඒකට මාට්ටු කරලා පෙන් ටෝච් බල්බ් එකක් පත්තු කරලා පෙන්නන්න තමයි සැලසුම් කලේ.ඇත්තම කියනව නම් ඒ ටර්බයින් එකෙන් ඩයිනමෝව කරකවන්න හිතන්නවත් බෑ.අපි නොපෙනෙන්න බැටරියකින් තමයි ලයිට් එක පත්තු කලේ.වතුර ඇතත් නැතත් ඒ ලයිට් එක පත්තු වෙනවා.ගලාගෙන යන වතුරත් වැහිපීලි කෑල්ලක් දිගේ ජනේලෙකින් එලියට යන්න ලෑස්ති කරලා තිබුනෙ.
අපි මේක ප්රදර්ශනයට කලින් දවසෙඔක්කොම ටෙස්ට් කරලා බැලුවා .(පංති කාමරේ ටිකක් මඩ වුනා තමයි)
අපේ පංති කාමරේ තේමාව බල ශක්තිය.අපේ එකට අමතරව තාප බලාගාරය (මේකෙ මොකක් හරි හුමාල සෙල්ලමක් තිබුනා,කේතලයක් හංගලාද කොහෙද..),න්යෂ්ටික බලාගාරය (බිල්ඩිම විතරයි),සුලං විදුලි බලාගාරය(හැම හුලං පෙත්තකටම පොඩි මෝටර් හයි කරලා, හුලං ඇතා නැතා බඩු රූං ගාලා වැඩ)උදම් රල බලාගාරය(මේකෙ නම් ටැංකියක් ඇතුලෙ රැල්ල ගහනවා තිබුනා,ඒත් අපේ වගේ ලොකු වතුර ගැලිල්ලක් නෑ.)යනාදී බලාගාරත් තිබුනා.ආදිපොල සර් තමයි කුටිය භාරව හිටියෙ.
ප්රදර්ශනය පලමු දවසෙම අපිට වැඩේ සවුත්තු වුනා.කිසිම පන්ති කාමරයකට ඇතුලට වතුර සැපයුම් ගන්න එපා කියලා තීරණයක් අරගෙන!ආදිපොල සර්ට කොච්චර ඇවටිලි කලත් අපිට වතුර ගන්න නම් ලැබුනෙ නෑ.අපිට වුනේ හිස් ටැංකියයි,රෝදෙයි,පීල්ලයි පෙන්න පෙන්න ඉන්න.වැඩේ මෙලෝ රහක් නැතිව ගියා.හැබැයි අපරාදෙ කියන්න බෑ ලයිට් එක නම් පත්තු වුනා!
එදා දවසම අපි එතන අපේම එවුන්ගෙන් නෝන්ඩි වුනා.
“කල්දේරාගෙයි සුබසිංහගෙයි ලැට් වල බලන්න එනවා!” කියලා මුන් පෝලිම් ගැහිලා අපේ වතුර නැති ජලාශෙට එබී එබී යන්න පටන් ගත්තා.
පිට ඉස්කෝල වල ලමයි බොහොම කුතුහලයෙන් මේකට එබිල බලද්දී අපි රූපසටහන් පෙන්නලා යන්තම් ජාමෙ බේරගත්තා.එදා පිට අය වැඩිය ආවෙ නෑ.
හෙට නම් මේක කරන්න බෑ කියලා අපි දෙන්න කතා වුනා.ඒ මදිවට හෙට ගර්ල්ස් ස්කූල්ස් බර ගාණක් එන්න ඉන්නවා!සුන්දර ගෑනු ලමයි ඉස්සරහ මේ ලැට් වලක් පෙන්න පෙන්න ඉන්න පුලුවන්ද ආයිබොවන්ඩ ?ඒ මදිවට මේ මගුලක් බාර අරන් අපිට ඉස්කෝලෙ ප්රදර්ශනේ හිතේ හැටියට බලන්නත් නෑ.අපි මේක හදනකම් ඉදලා වතුර නොදුන්නට සර්ත් එක්ක පොඩි ඇරියස් එකකුත් තිබුනා.
අපි දෙන්නා පහුවදා උදේ පොඩ්ඩක් සර්ට පේන්න ඉදලා කට් එක දැම්මා.(සර්ත් නිතරම කුටියෙ ඉන්න සිරිතක් නෑ.)මුලු ඉස්කෝලෙ පුරාම ඇවිදලා හිතේ හැටියට ප්රදර්ශනෙත් බැලුවා.ඒ ලෙවල් සෙක්ෂන් එකේ අපේ වගේ සෙල්ලම් වැඩ නෙමෙයි, නියම වැඩ කෑලි තිබුනා.අඩි 20ක විතර ඩයිනෝසරයෙක් එක්ක ජුරාසික යුගය,ඇට සැකිලි ,බෝතල්වල දාපු සර්පයො,මිනිස් අවයව,ගණිතයෙන් ගේම් වර්ග,කසිප්පු පෙරීම..නෑ නෑ සොරි! භාගික ආසවනය..!වගේ දේවල්.වෙලාව ගියා දැනුනෙත් නෑ.
තිබහක් දැනුනමයි මතක් වුනේ මගේ සාක්කුවේ තිබ්බා බඩී බෝතල් බොන්න පුලුවන් ටෝකන් වගයක්.මේවා අපේ කුටියෙ හිටපු දහයකට විතර දෙන්න ආදිපොල සර් උදේ මට එවපුවා.මේ වෙද්දි අපිත් එක්ක තව තුන් හතර දෙනෙක් සෙට් වෙලා හිටියා.
“කවුරු බිව්වත් ඉස්කෝලෙම ලමයිනෙ? දැන් ඉස්කෝලේ ඇරෙන්නත් කිට්ටුව ආදිපොලේට ඕක මතක නැතිව ඇති..!”කියලා අපි ටික බඩී රස වින්දා.
“මට ෆැන්ටා!මට කොකා කෝලා!කියලා මගෙ යාලුවො කෑගහද්දි අනේ මමත් තාත්තා කෙනෙක් වගේ කිසි ලෝබ කමක් නැතිව මුන්ට සංග්රහ කලා.
ඊට පස්සෙ බෑග් එක අරගෙන ගෙදර යන්න හිතාගෙන අපේ කුටියට ගියා. සෙනග නෑ.සර්ත් නෑ.බලාගාර භාරව හිටපු පස් හය දෙනා මගෙ දිහා බලලා ඇස් උඩ තියා ගත්තා!හරියට මම පණ පිටින් ඉන්න එකම පුදුමයක් වගේ.
“යකෝ..!සර් උඹව මරයි!අන්න පලයං ආපු ගමන් උඹව එවන්න කිව්වා.කීප සැරයක් ඇවිත් බැලුවා.උඹේ බෑග් එකත් සර් අරන් ගියා.”
හරිම සනීපයිනේ ඉතින්.බෑග් එක නැතිව ගෙදර යනවද කියලත් කල්පනා කලා…අද කෑ යුතුදේ අදම කන්න කියලා පුරාණ පඬියො කියලා තියෙනවනෙ.හෙමින් හෙමින් ඔෆිස් එක පැත්තට ගියා සර්ට භාර වෙන්න.
සර් ස්ටාෆ් රූම් එක පැත්තෙ ඉදන් එනව මූණටම හම්බු වුණා.
“ආ වීදි සංචාරෙ ඉවරද රජෝ?ඉස්සෙල්ලම ගන්නව ටෝකන් ටික..!උදේ ඉදන් මහන්සි වෙච්ච ලමයින්ට බීම නෑ මෙතන!”සර් ගෝරනාඩු කලා.සර් ඉක්මනින් කුටිය තිබුන පංති කාමරේ පැත්තට යනවා,මම සාක්කුවෙන් ඉතිරි ටෝකන් ටික ඇද ඇද පස්සෙන් දුවනවා.
පංතිය ඇතුලට ගිය ගමන් සර් මගෙන් ටෝකන් ටික අරගෙන ලමයින්ට බෙදාගෙන ගියා.ඒ වෙලාවෙ කීප දෙනෙක්ව සර් ප්රදර්ශනය බලන්න නිදහස් කරල තිබුන නිසාත් මටත් සුබසිංහටත් ටෝකන් දෙකක් අයිති නිසාත් අඩු වුනේ ටෝකන් තුනයි.
“ඉස්කෝලෙ ඇරෙන්න ටික වෙලාවයි තියෙන්නෙ.මේ තුන් දෙනාට බීම අරන් දෙන්න සල්ලි තියෙනවද? “සර් මගෙ දිහා බලල ඇහුවා.
මගෙ අතේ සල්ලි තිබුනා.මම බොහොම දුකෙන් ඔලුව වැනුවා.
“ආ මෙයත් එක්ක යනවලා!මෙයා බීම අරන් දෙයි.”සර් බීම මදි වුන තුන් දෙනාව මාත් එක්ක එව්වා.
” මට ෆැන්ටා!මට කොකා කෝලා!මට ස්ප්රයිට්!”මම ආයෙම සැරයක් තාත්තා කෙනෙක් වගේ වුනා.
කලින් සැරේ අනේපිඬුසිටුතුමා වගේ නම් මේ සැරේ අදින්න පුබ්බකයා වගේ තාත්තා කෙනෙක්!
“උඹල තුන් දෙනාට උගුර උගුර බොන්න එක බෝතලයක් මදිද බං?” කියලත් ඒ තාත්තා ඇහුවා මතකයි.මොන..ඒ නාස්තිකාර පුත්තු ඒව කනකටවත් ගත්තෙ නෑනෙ.
නයා මැරිච්ච අහිගුණ්ඨිකය වගේ ආයෙම සර් ලගට ගියා.ඉස්කෝලෙත් ඇරුණා.ලමයිනුත් ඔක්කොම ගියා.සාමාන්යයෙන් කුටියෙ ඉන්න ලමයි පංතිය අතු ගාලා යන්නෙ. සර් ඒකට ඉඩදුන්නෙ නෑ.
“ඔක්කොම කොණක ඉදන් අතු ගාලා කුණු ටික මොකකට හරි දාගන්නවා”
මට නියෝග කරපු ආදිපොල සර් පංතියෙන් එලියට දාලා තිබුණු ගුරු මේසයකට පුටුවක් කිට්ටු කරන් වාඩි වුනා.මමත් ඉතින් කියපු විදිහටම කලා.කොල කෑලි අනම් මනම් බර තොගයක් ඩෙස් අස්සවල් වලින් හිටන් ඇද්දෙව්වා.මුන් උඩින් ලස්සනට විදුලි බලාගාර තියන් පනාව දාගෙන හිටියට ඔක්කොම අස් කොන් ඩෙස් අස්සෙ..!
ඩස්ට්බිනුත් නෑ.මම එලියෙන් හොයාගෙන ආපු කාඩ්බෝඩ් පෙට්ටියකට කුණු ටික පුරෝ ගත්තා.
“හා යං “සර් ඉස්සර වුනා.ලොකු ඩස්ට්බින් තියෙන හරියට ටිකක් යන්න ඕනෑ.ඔෆිස් එක තියෙන්නේ ඊට පොඩ්ඩක් එහා.සර්ගෙ පස්සෙන් කීකරු ගෝලයා කුණු පෙට්ටියත් උස්සන් යනවා දැන්.ඉස්කෝලෙ ඇරිල නිසා ලමයි නම් අඩුයි.සුබසිංහයා ඈත ඉදන් මන් එනකම් බලන් ඉන්නවා බෑග් එකත් එල්ලන්. හිනා කටයි මිනිහගෙ.සුපිරිවිකී ඇඩ් එකක් වගේ!(ඒකවත් මදැයි)
කුණු විසිකෙරෙව්වට පස්සෙ සර් මාව ස්ටාෆ් රූම් එකටම එක්ක ගියා.මන් පැත්තක හිටගෙන ඉද්දි දින සටහන් ටික ලහි ලහියෙ පුරවන ගමන් මගෙ දිහා බැලුවා.
“මොකද මිනිහො බාර ගත්තු වැඩක් කරන්න බැරි?බලනවා කොච්චර කැතද කියලා?”
“සොරි සර් ..අපිට වතුර හම්බු වුනේ නෑ සර්..”මම තෙපර බෑවා.
“එහෙම කියලා හරි යන්නෙ නෑනෙ ඕයි!වතුර ලැබුනෙ නැත්නම් දිය ඇල්ලක චිත්රයක් ඇදලා හරි වැඩේ කරගෙන යන්න ඕනනේ.තමුන්ගෙ නිර්මාණෙ කැත හෝ ලස්සන වැඩක් නෑ.අනිත් අය කියන ඒවත් වැඩක් නෑ.තමුන් ඒකෙ වගකීම භාර ගන්න ඕනෑ.”සර් මගෙ දිහා බැලුවා.
“හරි සර්..සො..සොරි සර්”(වෙන කියන්න දේකුත් නෑනෙ)
මේ බලනවා!තමුසෙ කොහෙ හරි රස්සාවකට ගියත් මොනදේ කරන්න ගියත් වුවමනා හැමදේම සර්ව සම්පූර්ණව ලැබෙන්නෙ නෑ!අඩුපාඩු තියෙන කොට තැනේ හැටියට ඇණේ ගහනවා අයිසේ..!අරක ලැබුනෙ නෑ මේක නෑ කිව්වට කාටවත් ඒක වැඩක් නෑ.කවුරුවත් ඒව දෙන්න බැදිලත් නෑ!”සර් මට කවදාවත් අමතක නොවන උපදෙස් ටිකක් දීගෙන ගියා.
“තමුන්ගෙ දරුවෙක් දාලා ගියා වගේනෙ දවස් ගානක් මහන්සි වුනු අර ටැංකිය දාල ඇවිද්දෙ!”(අනේ ඒක ජල විදුලි බලාගාරයක් සර්ර්ර්! ඒක මං හිතෙන් කිව්වෙ ඈ)
මෙහෙම කියාගෙන සර් ස්ටාෆ් රූම් එකේ කබඩ් එකක් ඇරලා මෙච්චර වෙලා අත් අඩංගුවේ තිබුන මගෙ බෑග් එක දුන්නා.සර්ට වැදලා මම එලියෙ හිටපු සුබසිංහ ට එකතු වුනා.ජල විදුලි බලාගාරය තිබුනෙ මගේ නමින්. උදව්වට ඉන්න අයට වගකීමක් නෑ.ඉතින් මිනිහා හැමදේකින්ම නිදහස්.ඒත් ඉතින් මම එනකම් ඈත ඉදන් බලන් හරි හිටියනේ.
මම කරපු දේ බරපතල නොසැලකිලිමත් වරදක්.සර් මට ගැහුව නම් ඒක තවත් කේන්තියක් විතරයි.සර් අමතක නොවන විදිහට මට වැරැද්ද පෙන්නලා දුන්නා.
(අපි පහුවදා අපේ ජල විදුලි බලාගාරෙ ලගම හිටියා.ඒක එච්චරම නරක වුනේ නෑ.සර් අපිව ප්රදර්ශනය බලන්න වරින් වර නිදහසුත් කලා.)
සර් කියපු දේ මේ වගේ කරදර සහිත කාලෙකට වැඩියෙන්ම ගැලපෙනවා කියලයි මට හිතෙන්නෙ.අද අපේ සංචරණ සීමා වෙලා.ආයතන වල ස්ටාෆ් භාගයයි,ඒත් වැඩ වෙන්න ඕනෙ.ලමයින්ගෙ ඉගනීම පුංචි තිරයකට සීමා වෙලා,ඒත් ඉගන ගන්න ඕනෙ.සංචාරකයො නෑ,ඒත් හෝටල් පවත්වගෙන යන්න ඕනෙ.කඩවලට යන්න බෑ.බඩු හැදෙන්නෙ නෑ,ඒත් රෙප් මහත්වරු ටාගට් ගහන්න ඕනෙ.ව්යාපාරිකයො පෙබරවාරියෙ බදු ගෙවලා ස්තූතිය ලබාගන්න ඕනෙ.රස්සාවල් නැති වෙලා, ඒත් ජීවත් වෙන්න ඕනෙ.විනෝද වෙන්න තියෙන මාර්ග ඇහිරිලා,ඒත් හිස නිරවුල්ව තියා ගන්න ඕනෙ.
හැමෝටම අවහිර බාධා ඇවිත්.ඒත් අලුත් මාවත් විවර කරගන්න ඕනෙ.මගෙන් අහන්න එපා කොහොමද කියලා.අපි ඉන්නෙ අතීතයට වඩා තාක්ෂණයෙන් සන්නද්ධ වෙලා.තම තමුන්ගේ විෂය පථය ගැන දන්නෙ තම තමුන්මයි.ඉතින් හැමෝටම ජය වේවා!
උපුටා ගැනීම: Nalaka Caldera

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!