උඹලට හිතේ නිර්මලාටයි මටයි වෙන්නෙම හිනා යන වැඩ කියලද? පිස්සු. සමහර ඒවා ඇඟේ මයිල් ඉස්මයිල් වෙන ඒවා. ඕන්න එහෙම එකක් හරිද.
මගේ නන්ඟිලයි, මගේ අක්කලයි ට්රිප් එකක් ගියා. ඒ දවසෙ මට ඔෆිස් එකේ වැඩක් තිබ්බ හින්ඳා මගේ ෆැමලි එක ගියෙ නෑ උන් පෙරැත්ත කරාට. ඒත් දවල් වෙනකොට මටත් ඉතින් කැසිල්ල. උන් කෝල් කරලා කිව්වා ‘දැන් වුනත් වරෙන්, රෑ වෙනකොට මෙහාට එන්න පුලුවන්. අපි රූම් එකක් බුක් කරන්නන්’ කියලා. මගේ ඉතින් ඔය වගේ හදිසි තීරණ වලට නිර්මලා පුරුදුයි. මම කෝල් කරලා කිව්වා ‘ටක් බග් ගාලා ලෑස්ති කර ගන්න. මම දැන්මම එනවා’ කියලා. නිර්මලාගේ සාමාන්ය විරෝධතා එනකොටම කෝල් එක කට් කරපු මම බොසාට සැලියුට් එක ගහලා මාරු වුනා.
එදා සෙනසුරාදා මට මතක විදියට. දෙසැම්බර් විසි හතර. අපි කටුබැද්දෙන් පටන් ගන්නකොට හවස තුන හමාරයි. යන්න ඕනෙ යාල සෆාරි හෝටලේට. ඒක තියෙන්නේ යාල පාරේ කිරින්ඳට ඉස්සෙල්ලා හැරිලා. ඉතින් දැන් මම පොඩි උන් දෙන්නත් දාන් අරිනවා හැටට හැටේ. ඇයි දන්නවනේ අර අන්තිම ටිකේ අලි ඉන්නවා කියලා. නිර්මලා මේ ලෝකෙ කාට හරි බයනන් ඒ අලින්ට මිත්රෝරුනි. ඔය ගෑනුන්ගෙ ලොකු කටවල් තිබ්බට කැරපොත්තන්ට, මීයන්ට, කූඬැල්ලොන්ට, අලින්ට සහ මැරවරයොන්ට උන් පට්ට බයයි. ඒකෙනුත් කූඬැල්ලොන්ටයි අලින්ටයි තමා මම හිතන්නෙ වැඩිම බය.
ඉතින් නිර්මලාට කිව්වේ නෑ අලි ඉන්න කතාවක්. එයා කුමාරිහාමි වගේ සීට් එකත් ස්ලාන්ට් කරන් කාර් එකේ යන සින්ඳුවත් මුමුණ මුමුණ ෆුල් ආතල් එකේ යනවා. ‘ඇයි අනේ ඔය හයියෙන් යන්නේ?’ කිය කියත් ගෑනු බ්රේක් දානවා විටින් විට. මමනෙ දන්නේ කෙලිය. ඕන් කොහොමෙන් කොහොම හරි අපි ආවා යාලට හැරෙන හන්ඳිය ලඟට කිරින්ඳ පාරේ. දැන් රෑ වෙලා. පැටව් දෙන්නා පස්සෙ සීට් එකේ නිදි. නිර්මලා එයාගේ සීට් එක හොඳටම ස්ලාන්ට් කරන් නිදි. ‘තරුද නිදන මහ රෑ’ කියන සින්ඳුව යනවා කාර් එකේ. තරුයි, වයිෆුයි නිදි හින්ඳා කනක් ඇහිලා කාර් එක එලවනවා මම. ටික දුරක් ගියා. සෆාරි ඉවර වෙලා එන ජීප් නවත්තලා. පාර ක්රොස් කරන්නේ මේ මිහිපිට එදා මෙදා තුර බිහිවුනු ලොකුම අලියා කිව්වොත් අතිශෝක්තියක් නෙවෙයි ආයුබෝන්!! ඌ ඒ මදිවට දියවඩන නිලමේ අර බඩත් උස්සන් කැරකෙනව වගේ පාර මැද කැටයම් කප කපා යන්නේ හරියට මයි කාර් මයි පැට්රල් වගේ.
ජීප් ටික එහෙන් නවත්තගෙන. මම මේ පැත්තෙන්. මගේ කාර් එකට මීටර් පහලොවක් විතර ඉස්සරහින් තමා මූ පාරට ආවේ. මගෙ පස්සෙනුත් වාහනයක්. පස්සට ගන්නත් බෑ. ජීප් අයියලා අතින් සඤ්ඤා කරනවා ඉස්සරහට එන්න ඌ පාර මැද හිටියට කමක් නෑ කියලා! යකෝ උන් කියයි. මම එපායැ ඌ ලඟින් යන්න. අලි දහස් ගනන් බලලා, උන් පන්නනකොට පන එපා කියලා ඇරල දාලා ගිහින් අලින්ගෙ සෙල්ලන් මම හොඳින් දන්නවා. ඕකුන් අහින්සකයො වගේ හිටියට එක වරම පිඹල ගහන්න පනිනවා. ඒත් ඉතින් දැන් මම තමා වාහන පේලිය බ්ලොක් කරන් ඉන්නේ. යන්නම වෙනවා. මගේ වාසනාවට නිදි දෙවදුව තාම නිදි එහා සීට් එකේ. නැත්තන් චූ යනකන් කෑ ගහනවා මගේ කන් අගුලු වැටෙන්න. ඕන් අලියා පාර ක්රොස් කරා. ක්රොස් කරාට ඌ වැඩිය අයිනට ගියෙ නෑ. උගෙ අලි පුකෙන් බාගයක් පාරෙ! මල නොතලා රොන් ගන්නවා වගේ හෙමීන් කාර් එක පාස් කරනවා දැන්. හරියටම පාස් කරන්න ඕන්න මේන්න තියෙද්දී මගෙ සොඳුරිය නැගිට්ටා බොලව්! තූ නොදකින්. තව තත්පර දහයක් ගියානන් මම අරූගේ පුක පාස් කරනවා. කොහෙද! සීට් එකේ ඇල වෙලා හිටපු නිර්මලා පෝඩ්ඩක් ඉස්සිලා එලිය බැලුවා. අම්මට සිරි. අරූගේ පුක නිර්මලාගේ මූනට ඕන්නන් මීටරයක් තියෙන්න ඇති!! ‘හැපෝයී.. මේහ්.. අලියා..හ්’ කියල කෑ ගහනකොටම මම වම් අත දාලා අඟල් විස්සක් විතර ඇරිල තිබ්බ ඇයගේ සුකොමල මුව කමල වැහුවා!! නැත්තන් අලියත් දුවනවා ඊලඟ කෑ ගැහිල්ලට. මගේ අතින් කට වැහුනම ‘හ්ම්ප්..හ්ම්ම්.. ග්රර්.. පීහ්.. පූහ්’ වගේ නහුතයක් මා පෙර අසා නොතිබ්බ සද්ද ඇයගේ මුවින් පිටවුනා ආයුබෝවන්. ඒ මරන බය හඬවල්. අනේ දෙවියො බුදුන්ට පින් සිද්ද වෙන්න කාර් එක පාස් වුනා කරදරයක් නැතුව. අත කටින් ගත්ත ගමන් එෆ් එම් රේඩියෝවක අර තොර තෝන්චියක් නැතුව දොඩන ලාමකියක් වගේ කියෝන කියෝන ගියා ආයෙ මගේ කන් අගුලු වැටෙන්න!! බනිනවා මදිවට මට ගැහුවත් එක්ක උරහිසට!! මම ඉතින් කූල් මෑන්නේ. ‘බය වෙන්න එපා අම්මා. ඌ අහින්සක අලියෙක්’ කියල ගොන් හිනාවක් දාගෙන ගියා…
ඕන් ඔහොමයි නිර්මලා වල් අලි පුකක් ලඟටම බලපු කාන්තාව වුනේ..
උපුටා ගැනීම: Susantha Pethiyagoda