අද පෙබරවාරි දා හතර..වෙනදා පුරුද්දට මම වාහනේ පාරට දැම්මා තමයි.ඒත් මම යන්නෙ හිතක් නැති වාහනේ මාව අරන් යන තැනකට ඔහේ යනවා වගේ .අහස තවම අදුරට බරයි.නූලත් කඩාගෙන ආව සරුන්ගලයක් සුවිසල් විහාරමහාදේවියේ සුවිසල් ගහක පැටලිලා ..මද සුලගක්වත් නැතත් සරුන්ගලේ ගහෙන් ගැලවෙන්න වගේ දගලනවා.මට මහා හිස් කමක් දැනුනා.මම මටම පොරොන්දු වෙලා තියෙනවා සිය වාරයක් ඒ හිස් කමට දිනන්න ඉඩ දෙන්නෙ නෑ කියලා .මම මට පරදින වාර අනන්තයි.
අද උදෙන්ම විහාරමහාදේවියේ සෙනග?? හැම දේම ඔලුවට ගැලපිලා පේන්න ගත්තේ දැන්.
අද ආදරවන්තයින්ගෙ දිනය..ඒ දිනයේ තේරුම මොකක්ද? මේ විදිහට පාක් ගානෙ සමරන එකද? අනිත් අතට තරුන ජීවිත වල සතුට ගැන මම මොනවද දන්නෙ..මම ලොකු හුස්මක් එක්ක අහක බලා ගත්තා.මගෙ හිත අහක බලන්නෙ නෑ තමයි.මගෙ හිත අකීකරුකම් කරන හැම වෙලේම මම අර හිස් කමට දුවනවා.
“අක්කි ඔයා දා හතර ඕෆ් එකක් අරන් තියන්නෙ උවමනාවකටද???”
“එහෙම විශේශයක් නෑ නන්ගි,ඇයි ?”
” ඔයාට එදාට මගෙ ශිෆ්ට් එක කරලා දෙන්න බැරිද ? අපි විශ්වලගෙ ෆැමිලි එකත් එක්ක ට්රිප් එකක් යනවා..”
“ඕකේ ඔයා චේන්ජ් කර ගන්න..”
අවුරුදු ,නත්තල,වෙසක් ඔය කොයි විශේෂ දවසටත් මම ඩියුටි ඔන්..මොකද හැමෝම දන්නවා මට ගෙදරට වෙලා කරන්න දෙයක් නෑ කියලා..හැමෝම එහෙම උදවුවක් ඉල්ලගෙන එන වෙලාවට මම හරි අසරන වෙනවා..මට අර හිස් කම හොදින් මගෙ ඔලුවෙ පිරෙනවා දැනෙනව..මම අසරණයිද?? නෑ…මම හොද රස්සාවක් කරනව,මට හොද ගෙයක් වාහනයක් තියෙනවා ..ඒ මගේ උඩු හිත කෑ ගහන විදිහ..
මගේ හිත අතීතයට දුවනවා..තාර පාරෙන් ගුරු පාරට..ගුරු පාරෙන් රබර් වත්තට..මායිමේ දොලෙන් එගොඩ වෙලා..ගල් පඩිපෙල දිගේ කටු මැටි ගහපු දිව්ය ලෝකෙකට..පිලේ තාත්තා කහින සද්දෙ ඇහෙන ..කුස්සියේ අම්මගෙ ගෝරනාඩුව ඇහෙන..පිටි පස්සෙ මල්ලිලගෙ රන්ඩුව ඇහෙන ඒ අදුරු ගේ තමයි අදටත් මගෙ දිව්ය ලෝකය..
තාත්තට ගොයම් කයියට එන්න කියන්න වලවුවෙ හාමුඑක්ක ඔහු අපේ ගෙදර ආව දවස තමයි මගෙ ජීවිතේ හැරවුම් ලකුන. එහෙන් මෙහෙන් තාත්තලගෙ කතාවට කන් දුන්නත් අපි දෙන්නම හිටියෙ අපේ ඇස් අස්සෙ අතරමන් වෙලා. ඇත්තටම කියුවොත් මාව පුදුම වෙලා එවලෙ අහම්බෙන් එතනට පාත් උන කුමාර ලීලාවෙන් පිරුන වලවුවෙ පුතා දිහා බලාන හිටියා.
අපි එතනින් පස්සෙ කිහිප වතාවක් අහම්බෙන් හම්බුනා,වචන වලින් හුවමාරු නොවුනත්…මට වඩා වසරක් ඉහල පන්තියේ හිටපු දෙනෙත්,මගේ හිතේ සම්පූර්ණ අයිතිය අර ගත්තා..ඉගන ගන්න පොත් පත්,පන්ති වලට සල්ලි,උපන්දිනේට තෑග්ගක් හුවමාරු වෙන කොට අපේ පන්තියෙ කාගෙන්වත් ඒක හන්ග ගන්න ඒ කාලෙ හිටිය බොලද මට පුලුවන් උනේ නෑ..හැම වෙලේම
“හොදට ඉගන ගන්න,නැතුව අපි පරදිනවා”
කියපු වචන වල තේරුම මට අද තේරුම් ගන්න පුලුවන් ,ඒත් ඒ කාලෙ ඉගන ගන්න ලොකු උවමනාවක් මට නොතිබුනත්,දෙනෙත්ව සතුටු කරන්න මම උනන්දුවෙන් ඉගන ගත්තා..පන්ති යන්න අපේ තාත්තට සල්ලි නොතිබුනත් දෙනෙත් තාත්තෙක් වගේ ඒව හොයලා බැලුවා..
ඒ හැම දේම කනපිට පෙරලිලා මගෙ ජීවිතේ අපායක් වෙන්න ගියේ ටික කාලයයි.ඈතින් ආව හුලු අතු කීපයක් එක්ක අපේ ගදරට කන කොකා ආවේ මාරාවේශයෙන්.ඉස්සරහා පුටු කබල් කීපයක් එලියට විසි වෙන කොට,තාත්තා විස්තර අහන්න ගිහින් ලොකු අතකින් පැත්තකට විසි වෙන කොට,මම බයෙන් බීත වෙලා බලගෙන හිටියා.වලවුවේ හාමුගෙ හැඩි දැඩි අතක් මගෙ කම්මුල හරහා පාවෙනවා, කනාමැදිරි එලි අස්සෙන අම්මා අඬා වැටෙනවා,මල්ලි එලියට පැනලා දුවනවා..
මම මේ ලෝකෙට එන කොට තාත්තා බදාගෙන අම්මා අඬනවා,තාත්තාගෙ මිනිය තියන්න අපේ ගෙදර ඉඩත් මදි.
හැමෝගෙම රැවුම් ගෙරවුම් මැද්දේ,මූසල ගල් ගැහිච්ච හිතක් එක්ක,මම කනත්තට ගියා.තාත්තා මැරුනෙ පපුවේ අමාරුව හැදිලා කියලා තමයි තීරණය උනේ,ඒත් උන දේ ගම්මු දන්නවා.අම්මා මා එක්ක තරහෙන්ද නැත්ද කියලවත් හිතන්න මට තේරෙන්නෙ නෑ,අම්මා ඔහේ කියවන්න ගත්ත.
මාසෙකින් විතර ඉස්කෝලෙ යන කොට,දෙනෙත්ගෙ සලකුනක්වත් නෑ.කොලබ ඉස්කෝලෙකට දාලලු.මම කවදාවත් වලවුව ඉස්සරහින් ගියේ නෑ,රබර් කෑල්ල මැද්දෙන් ගෙදර ගියා.මල්ලි ගඩොල් වැඩපොලට ගියා.අම්මට උයලා තියලා මම කොහොම හරි ඉස්කෝලෙට ගියා.
“ඉගන නොගත්තොත් අපි පරදිනවා”කියපු එක මන්තරයක් වගේ මගෙ ඔලුවෙ තිබුනා,මට කවදා හරි දිනුමක් තියෙයි කියලා මම් හැමදාම මහන්සි උනා.යන්න කලියෙන් දෙනෙත් පන්තියෙ යාලුවෙක්ගෙ අතේ පනිවිඩයක් එවලා තිබුනා.ඒක මගෙ හිතේ ගලේ කොටලා වගේ තිබුනා.
මම මෙඩිකල් කොලේජ් යන්න දවස් කීපයකට කලින් අම්මා අසනීප උනා.මට හිටපු එකම හයිය,කල්පනාව අඩු උනත් මන් ගාව හිටිය එකම ආශිර්වාදය ,අම්මත් මාව දාල ගියා.මල්ලි මා එක්ක හැමදාම වැඩි කතාවක් කරේ නෑ.තාත්තා නැති උනේ අපේ පවුල අගාදයට වැටුනෙ මන් නිසා කියලා හිතෙනවා ඇති.
ඒත් “ඔයා කැම්පස් යන්න,මම පුලුවන් හැටියට වියදම් ටිකක් එවන්නම්” කියුවා .
මම ගම දාලා ආවා,ලැබෙන හැම මොහොතකම අමතරව කීයක් හරි හොයන්න දැඟලුවා, පන්ති කරා,පොත් වල සෝදුපත් බැලුවා .මල්ලි කීයක් හරි එවුවා.මල්ලි අඩු වයසින් කසාද බැන්දා.ඒ නන්ගි හොඳයි,කොයි ගෑනියෙක්ද කැමති තමන්ගේ මනුස්සය හම්බ කරන කීය හරි මට වියදම් කරනවට.මම මල්ලිට කරදර කරන එක නතර කරා,මට සල්ලි එවන්න එපා කියල ගෙදරින් එලියට බහින මොහොතෙ,
“අක්කෙ මේ වෙලාවෙ යන්නෙ නැතුව හෙට යන්න”
කියලා කවදාවත් නැතුව මල්ලි අහක බලාගෙන කියුවා.ඒ මම ෆයිනල් එක්සෑම් වලට දඟලන කාලේ.මම එන්නම ඕන නිසා ආවා.පාරෙ ලොකු කලබලයක්.මගුල් ගෙදරක්.කපල් එකක් කාර් එකෙන් බස්සල පයින් අරන් එනවා,බෙර ගහනවා.මම ගමේ කීප දෙනෙක් එක්ක බස් එක එනකන් හිටගෙන හිටියා.
මල්ලි යන්න එපා කියුවෙ ඇයි කියලා මට තේරුනා.මගෙ කකුල් වෙවුලන්න ගත්තා.මට මොනවත් පේන්නෙ නැතුව ගියා,ඒ දෙනෙත්,ඒ එයාගෙ මගුල් ගෙදර. ලස්සන මනමාලියෙක් එයාගෙ අතේ එල්ලිලා හිනා වෙවී හිටියා.මම බස් හෝල්ට් එකට වාරු උනා.මම කොලබ ආවෙ කොහොමද කියලවත් මතක නෑ.මට උන අරගෙන දවස් ගානක් කියෙවුවලු.මගෙ යාලුවො බැරිම තැන මාව
මානසික උපදේශනයට ගෙනිච්චා.මගෙ හිත ටිකක් හදා ගන්න මට කාලයක් ගියා.මට පුදුමයි.මට මගෙ අම්මා තාත්තා ,කොටින්ම මාවත් නැති උනා.හර්ද රෝග ඒකකයේ පත්වීම ලැබුනේ ආයෙත් දෛවයේ තීරනයක් කියලා මට තේරුම් ගියේ පස්සෙ.තරුන වයසෙන් පපුවෙ අමාරුව හැදුන රෝගියෙක් බලන්න ඉමර්ජන්සි කෝල් එකකට යන කොට මම හීනෙකින්වත් ඒ දෙනෙත් කියලා හිතුවෙ නෑ.මට මුලු ලෝකෙම මගෙ වටේ කැරකෙනවා වගේ දැනුනා.කොයි තරම් අමාරුවෙන් හිටියත් දෙනෙත් මාව අඳුර ගත්ත.ඒක මම එයා කලබල උන විදිහෙන් තේරුම් ගත්තා.මෙච්චර වෙලා මගේ සගයෝ ටික ගත්ත මහන්සිය එයා ස්ට්රෙස්ස් වෙන නිසා අපතේ යනවා කියලා මට තේරුනා.
“මිස්ටර් දෙනෙත්,රිලැක්ස් රිලැක්ස්.. වයි ආ යූ ස්ට්රග්ලින්?”
කියලා කට්ටිය එයාව සන්සුන් කරන්න හැදුවට ඒකට හේතුව මම කියලා කාටවත් තේරුනේ නෑ.මම එයාගෙ අතකින් අල්ල ගත්තා..
“ම්..මට ස..මා වෙන්න.. “
වී ආ ලූසින් හිම්…ඉමර්ජන්සි ටීම්.. හරි අප්..!!
ශොක්.. ක්ලියර්..
ශොක්..!!
නෝ නෝ..!!
හී ඊස් නොට් ගොයින් ටු මේක් ඉට්….!
ඒ ඇස් පියවුනේ මගෙ දිහා බලාගෙනමයි.
මම පටාචාරා වගේ පිස්සුවෙන් දියුවෙ නෑ,කිසා ගෝතමී වගේ නොමල ගෙදරකින් අබ හෙවුවෙ නෑ.ජීවිත කාලයක් ගෙවුනත් මම තාමත් ඊටත් එහා තැනක හිර වෙලා.මට කියලා හිටිය කිසි කෙනෙක් මගෙ ලඟ තියා ගන්න පින නැති උන කෙනෙක් මම.කසාදයක් නොබැඳ ඔහේ තනියම ජීවත් වෙන එක ගැන ගොඩක් කතා කියවෙනවා.මගෙ තනිකම මකන්න…නන්නාඳුනන කසාදෙකට පුලුවන්ද ..මම ඒ වැරදි තීරණය ගත්තේ නෑ.
මම මල්ලිගෙ ලමයින්ට අඩුවක් නැතුව උගන්නන්න වියදම් කරනවා.දෙනෙත්ගෙ පුතා මල්ලිගෙ චූටි පුතාගෙ එක වසරෙ පන්තියෙ ඉන්නවා.මම එක බැල්මකින්ම ඒ ඇස් අඳුර ගත්ත.සුදු ඇඳ ගත්ත වයසට වඩා වියපත් උන ලස්සන අම්මෙක් එක්ක.මම එයාව දැක්කෙ අදමයි..එයාට සුදු අඳින්න අයිතිය තියෙනවා.මම? ජීවිතේටම සුදු ඇන්ඳෙ නැතත්,හැමදාම සුදු ඇඳපු ජීවිතයක් එක්ක ඉන්නවා..
උපුටා ගැනීම: Anuruddhika Balasuriya