හබී : “මොකද අනේ මේ මගෙ පොතට මිකී මවුස් කවර දාලා. එක වසරට යන්න වගේ.ඕවා අයින් කරන්න හරිද.”
මම : ” බෑ බෑ අළුතෙන් ක්ලාස් එකකට යනකොට පිලිවෙලට යන්න ඕනි, එතකොට තමයි අපේ මයින්ඩ් එකත් හැදෙන්නේ.මගෙ පෙන්සිල් කේස් එකටම ඔයාගෙ රතු, නිල් පෑන් දෙකත් දාගෙන තියෙන්නේ හරිද.”
…………………………………………………………………………
මුල්ලේරියාවෙ ඇනෙක්ස් එකේ ඉන්න කාලේ මායි හබියි වැල්ලවත්තෙ IELTS නයිට් ක්ලාස් එකකට ගියා. නයිට් කිව්වට ඉතින් හවස හතරෙ ඉඳන් රෑ අට වගේ වෙනකම් තමයි අපිට උපරිම ඉන්න පුළුවන් උනේ. ක්ලාස් එකනම් රෑ දහයත් පහුවෙනකම් යනවා.
අළුත් පොත් අරගෙන ලස්සන පිට කවර දාලා ක්ලාස් යන්න පටන් ගත්තට මොකද සතියටම දවස් දෙකයි යන්න හම්බෙන්නේ. අවාරෙට පොල් වැටෙනවා වගේ තමයි මට පැය හයේ ඩියුටියක් වැටෙන්නේ. එයත් ජෝඩු දාලා යන්න ඉන්න නිසා මං නැති දවසට ක්ලාස් නොයා ගෙදර එනවා.
ඔන්න ඉතින් ක්ලාස් යන්න කියලා වාට්ටුවේ ඉන්චාර්ජ් මිස්ට කියලා උදේ ඩියුටියක් දාගත්ත දවසට , දවල් එකට ඕෆ් වෙලා ඇනෙක්ස් එකට ගිහින් ලිස්ට්නින්ග් එකක් එහෙම කරලා යන්න රෙඩි වෙනවා.
ක්ලාස් එක වැල්ලවත්තෙ උනාට මං යන්න ඕනි ඉස්සෙල්ලම කොල්ලුපිටියට. කොල්ලුපිටියේ හබියා වැඩ කරන හොටෙල් එක ලඟම තියෙනවා පොඩි රෙස්ටුරන්ට් එකක්. අම්මෝ ඒකේ තියෙනවා ක්රීම් චිකන් පැස්ටා එකක් , හරිම රසයි. ඉතින් දෙන්නටම දෙකක් ඕඩර් කරලා හබියා ඕෆ් වෙලා එනකන් මං මගෙ පැස්ටා එක කනවා. එයත් ඇවිත් චැට් එකක් දාගෙන කන ගමන් ඉද්දි තමයි දෙන්නටම මතක් වෙන්නේ,
” යකෝ අපි මේ ක්ලාස් එකකට යන්න නේද ඇවිත් තියෙන්නේ “කියලා.
එතකොට ඉතින් නැට්ට ගිනිගත්ත හනුමා වගේ දෙන්නම ටාර් ගාලා බස් එකකට නැඟගෙන යන්තම් හවස හතරහමාර විතර වෙද්දි ක්ලාස් එකට රිංගා ගන්නවා.
ක්ලාස් එකට ගිහින් පේපරයක් එහෙම කරගෙන ඉන්නකොට, හවස හත , හතහමාර විතර වෙද්දි , ” අනේ හෙට ෆුල් ඩේ, මෝනින් නයිට් , ඊව්නින්ග් නයිට් ” කියලා මොකක් හරි තියෙන ඩියුටියක් මතක් වෙලා, පාඩුවේ පේපරයක් කරගෙන ඉන්න තමන්ගේ මනුස්සයා පැත්තට හැරිලා හිමින් සැරේ , ” මේ බබා මට හෙට දවසම ඩියුටි අනේ, දැන් ඇති දැන් යමුකෝ” කියලා කියනවා.
ඊටපස්සේ වැල්ලවත්තෙ ඉඳන් කොටුවට එනවා. ඒ ඇවිත් අපේ පාරෙ යන බස් එකක් හොයන් යන අතරෙ මම , ” මේ යන ගමන්ම කාලා යමුනේහ්. අර කඩෙන් බිත්තර ආප්ප කමු ” කියලා අදහස දානවා. ඉතින් හාෆ් කුක් බිත්තර ආප්ප මැද්දට සැරම සැර ලුණු මිරිස් දාගෙන බඩ පැලෙන්න කාලා ආපහු ගෙදර එද්දී රෑ දහය විතර වෙනවා.
ඔය විදියට ඕන්නම් මාසයක් විතර කරන්න ඇති. මාසෙකට විතර පස්සෙ දවසක හබී,
” ආ සුදූ අපි IELTS ක්ලාස් නොගිහින් සෙල්ෆ් ස්ටඩීස් කරමුද ?” කියලා අහනවා.
මම : ” ඒ මොකද ඒ එකපාරටම ?”
හබී : නෑ ඉතින් හවස තුනහමාරෙ ඉඳන් රෑ දහය වෙනකම් තියෙන පැය හයහමාරෙන් පැය දෙකක් විතරනෙ අපි ක්ලාස් එකේ ඉන්නේ. ඉතිරි පැය හතරහමාරම මඟ නේහ් “
මම : හ්ම්ම් හ්ම්ම් එහෙම කරමු එහෙනම්. ඒත් ඉතින් මට තමයි පාඩු වෙන්නේ.
හබී : ඔයාට කොහොමද පාඩු වෙන්නේ?තේරුනේ නෑහ්…
මම : නෑ බබා මේහ් ක්රීම් චිකන් පැස්ටයි, බිත්තර ආප්පයි…
හබී : ඈහ්…මොකක්
ඔන්න ඔහොමයි අපේ IELTS මතක …
උපුටා ගැනීම: Buddhi Jayaweera