” අනුත්තරා මම යනවා ඉස්පිරිතාලෙ……අද නංගීව ගෙදර අරන් එන දවස……මේ ගේ ටිකක් අස්පස් කරලා දාහන්……අර පොඩි එකාට නැත්තම් ලෙඩ හැදෙයි…..උබේ ඔය කාමරෙත් අස් කරලා දාගනින්…..ගෙදර වැඩක් පලක් කරපන්……මූසලකමට කල්පනා කර කර ඉන්නේ නැතුව කාමරය අස්සට වෙලා……..”
අම්මා එහෙම කියලා මට රවලා කාමරයෙන් පිට වෙලා ගියා…….මට දැන් මේවා අහලා පුරුදුයි….ඉස්සර නම් ඒ හැම වචනයකටම මගෙ හිත ගොඩක් රිදුනා….ඒත් දැන් එහෙම නෑ……මම ඒවා ඇහුනත් නෑහුන ගානටම ඉන්නවා…….
අම්මා මට දොස් කිව්වත් මේ ගෙදර සේරම වැඩ කලේ මම……පුංචි කාලේ ඉදන්ම ගෙදර වැඩ කලේ මම…..මම මොන තරම් දේවල් කලත් අම්මා කවදාවත් ඒ දේවල් වල හොඳක් දැක්කේ නෑ…….ඒ උනත් මගෙ තුන් හිතකවත් අම්මා ගැන තරහක් නෑ…….
අම්මා ගොඩක් ආදරේ කලේ නංගීට……අද නංගීගෙ කුළුදුල් දරුවා ගෙදර අරන් එන දවස…..ඇත්තටම මට හරි සතුටුයි…….මට අම්මා කෙනෙක් වෙන වාසනාව නෑ…….ඒ අවාසනාව මගෙ මුලු ජිවීතෙම අඳුරු කලා….මගෙ කසාඳේ කැඩුනා…..ඒ මට දරුවෝ නැති නිසා………
මම පියල් එක්ක විවාහ උනේ විවාහ යෝජනාවකින්……..නංගී තරම්ම මගෙ මහ ලොකු ලස්සනක් තිබ්බේ නෑ……ඒ නිසා පෙම් ඇරයුම් ලැබුනෙත් මට අඩුවෙන්…….නංගී ලස්සනයි කියලා මට නංගී ගැන තරහක් ඊර්ෂ්යාවක් තිබ්බෙත් නෑ……ඒත් පුංචි කාලේ ඉදන්ම නංගීත් හිටියේ මගෙන් ගොඩක් දුරස් වෙලා…….
පියලුයි මායි විවාහ වෙලා ගොඩාක් ආදරෙන් හිටියා…….පියල් ගුරුවරයෙක්……ඒත් අපි අතර තිබ්බ සතුට තිබ්බේ බොහොම ටික කාලයයි…….මට දරුවෝ නැති නිසා පියල් වගේම පියල්ගෙ අම්මත් මට වෙනස් කම් කලා……
නිතරම අම්මාගෙන් කටෙන් පිට උන වචනය මම වඳ ගෑනියෙක් කියන එකයි….ඒ වචන මගෙ පපුව පසාරු කරගෙන කිඳා බැස්සා…….අවසානයේ පියලුයි මායි වෙන් උනා…..හරියටම අවුරුදු එකහමාරක විවාහ ජිවිතයට සමුදීලා මම නැවතත් ගෙදර ආවා……
මම ගෙදර එනවට අම්මා කැමති උනේ නෑ…..ඒත් මට යන්න තැනක් තිබ්බෙත් නෑ…….මම කොහේ කියලා යන්නද…..ඉතින් අම්මාගෙ අනවසරයෙන් උනත් මට ගෙදර එන්න සිද්ද උනා……..
මම කල්පනා කරන ගමන්ම ගෙදර වැඩ ටික කරලා ඉවර කලා……උයලා ඉවර වෙලා කෑම ටිකත් මේසයට ඇරියා……ඒත් එක්කම වාහනයක් මිදුලේ නතර කරන සද්ද ඇහුන නිසා කවුද කියලා බලන්න මම ඉස්සරහට ගියා…….මම දැක්කා අම්මා දඩිබිඩියේ වෑන් එකෙන් බැහැලා ගේ පැත්තට එනවා……..
” උබ මේ කාව පිලිගන්නද ගේ ඉස්සරහට වෙලා ඉන්නේ……පලයන් යන්න කාමරයට……නංගී දරුවා එක්ක ගෙට ගොඩ වෙන්නයි හදන්නේ………”
නොහිතපු විදිහට අම්මාගෙ මුවින් පිටවුන ඒ වචන ටික මාව ගොඩාක් රිද්දුවා……මම කාමරයට ආවේ ඇස් වල කඳුලු පුරවගෙන……මම මහ කාලකණ්ණි මූසල ගෑනීයෙක් කියලා මට හිතුනා…..මගෙ දරුවෙක්ගෙ මූණ බලන්න වාසනාවක් නැති මට මගෙ නංගීගෙ දරුවාගෙ මූණවත් බලන්න වාසනාවක් නෑ………
පියල්ගෙ ගෙදර ඉද්දීත් දවස පුරාම ඇහුන වචනය වඳ ගෑනී……වඳ ගෑනි……..මගෙ ගෙදරත් ඒ වගෙ……..ඇත්තටම මම මොන තරම් කරුමයක් කරලා ඇතිද කියලා මට හිතුනා……තාත්තා අද ජිවතුන් අතර හිටියා නම් මට මේ තරම් දේවල් වලට මූණ දෙන්න වෙන්නේ නෑ කියලා මට හිතුනා……
තාත්තා මට ගොඩක් ආදරෙයි……අම්මත් මට ආදරේ ඇති……සමහර වෙලාවට හිතෙනවා අම්මාගෙ හිතේ මං ගැන තියන තරහා සාධාරණයි කියලා…..මට අම්මාව ආච්චි කෙනෙක් කරන්න බැරි උනා…..ඒත් ඒ වාසනාව නංගීට තිබ්බා……ඉතින් අම්මා මට වඩා නංගීට ආදරේ කරන එක සාධාරණයි…….
මට ඇහුනා නංගීගෙ දරුවා අඬන සද්දේ…..ඒත් එක්කම මට එකපාරටම හිතට ආසාවක් ඇති උනා ඒ පුංචි කිරිකැටියාව බලන්න…….ඔව්…..ඒක ඉවසුම් නොදෙන ආසාවක්…….දරුවෙක් නැති උන පලියට දරුවෙක්ට ආදරේ නෑ කියලා කාටවත් කියන්න බෑ……මගෙ හිතේ ඒ පුංචි කිරිකැටියා වෙනුවෙන් ලොකු ආදරයක් උපන්නා…….
මම හෙමින් සැරේ අඩිය තියලා කාමරයේ දොර ලඟට ගිහින් දොර රෙද්ද මෑත් කරලා බැලුවා……..නංගී ඉස්තොප්පුවේ සැටියේ ඉඳගෙන දරුවා නළවනවා……අම්මා ඒ ලඟින්ම ඉදන් දරුවා එක්ක මොන මොනවාදෝ කියවනවා….එකපාරටම මටත් ආසාවක් ආවා ඒ අය අතරට එකතු වෙන්න…….
පුංචි කිරිකැටියාව හුරතල් කරන්න……ඒ සිනිඳු අත්පය හෙමින් පිරිමදින්න……..මම දැන් ලොකු අම්මා කෙනෙක්…..ඒක මතක් වෙද්දී මගෙ හිතට දැනුනේ ආඩම්බරයක්…..මම දොර රෙද්ද මෑත් කරගෙන කාමරයේ ඉදන් හෙමින් සැරේ නංගිලා ඉන්න තැනට අඩි තිබ්බා……..
” අනුත්තරා……උබ මොකද මෙතන…..පලයන් කුස්සියට……..”
මාව දැක්ක අම්මා එකපාරටම කෑ ගැහුවා….නංගී අතේ හිටිය කිරි කැටියාව රෙද්දකින් වැහුවේ මට නොපෙනෙන්න…….ඒත් ඒ රෝස පාට කකුල් නම් මට හොඳින්ම පෙනුනා….ඒත් එක්කම ඒ ලඟින් දැනුනේ කිරි සුවඳක්…….මට පුංචි කිරිකැටියාව අල්ලලා ඉබින්න හිතුනත් මට ඒකට අවසර තිබ්බේ නෑ…….
” මේ මොන කෝලමක්ද අම්මේ මේ…….”
නංගී එහෙම කියලා පුටුවෙන් නැඟිටලා මට ගස්සගෙන කාමරයට ගියා…….මම ඒත් නංගී යන දිහාම බලාගෙන හිටියා…..මගෙ හිතේ ලොකු ආසාවක් තිබ්බේ කිරිකැටියාගෙ මූණ බලන්න……දුවෙක්ද පුතෙක්ද කියලාත් මම දැනගෙන හිටියේ නෑනේ……..ඒ උනත් දරුවාව වහගෙන හිටිය නිල්පාට රෙදි කෑල්ල නිසා මට හිතුනා ඒ පුතෙක් කියලා…….
” අනුත්තරා……උබ මීට පස්සේ මගෙන් නාහා නංගී ඉන්න තැනට එන්නෙ එහෙම නෑ……උබට දරුවෙක් නැති උනාට නංගීට ඊර්ෂ්යා කරන්න එපා……උබ වඳ ගෑනියෙක් උනේ උබේ කරුමෙට අනුත්තරා……..”
අම්මා එහෙම කියලා නංගීගෙ කාමරයට ගියේ කේන්තියෙන්………අම්මාගෙ වචන වලට මගෙ හිත රිදුනා…..හැමදාම මම අහන වචනය වඳ ගෑනි…….ඒ වචනය අලුත් නොවුනත් මගේම අම්මාගෙ කටින් අහනකොට දුක වැඩියි……..
ඇස් වල පිරුන කඳුලුත් එක්කම මම ගියේ කුස්සියට….කන්න තරම් පිරියක් තිබ්බෙත් නෑ…..ඒ නිසා මම එහෙම්මම එතන දොරින් එලියට බැස්සා…….මාව දැක්ක ගමන් වලිගෙත් වනාගෙන වෙඩිල්ලක් වගෙ දුවගෙන ආවේ සුදු මැණික……..සුදු මැණික කියන්නේ අපේ ගෙදර ඉන්න බැල්ලී……..
අපේ ගෙදර කිව්වට සුදු මැණික මගෙ බල්ලා…..හොඳ වර්ගයේ බල්ලෙක් නොවුනත් සුදු මැණිකට මට ගොඩාක් ආදරෙයි……සුදු මැණික අලුත් අමුත්තෝ ටිකක් අරන් ඇවිල්ලයි තියෙන්නෙ…..සුදු මැණික වලිගයත් වනාගෙන මා ලඟට ඇවිත් මාව එක්කගෙන ගියේ අලුත් අමුත්තෝ ටික බලන්නයි…….ලස්සන පුංචි බෝල ගෙඩි වගෙ පැටව්……..
මම ඒ පැටියෙක් හෙමින් සැරේ අතට ගත්තා….සුදු මැණික මගෙ ලඟට ඇවිත් මගෙ ඇඟේ දැවටුනේ සතුටින්……ඔව්……මගෙ හිතේ තිබ්බ හැමදේම අමතක වෙලා මටත් එකපාරටම දැනුනේ ලොකු සතුටක්…….මගෙ නංගීගෙ දරුවා මට නොපෙනෙන්න හැංගුවට සුදු මැණික නම් මට එහෙම කලේ නෑ…….
ඉතින් කවුද කියන්නේ මම වඳ ගෑනියෙක් කියලා…….නෑ……..මම වඳ ගෑනියෙක් නෙමෙයි……මම ලස්සන පැටව් හතර දෙනෙක්ගෙ අම්මා කෙනෙක් දැන්………
” සුදු මැණික….ඔන්න අද ඉදන් උබේ ලමයින්ට අම්මලා දෙන්නෙක් ඉන්නවා……ඒ උබයි මායි…….”
මම එහෙම කියලා සුදු මැණිකගෙ හිස ආදරයෙන් පිරිමැද්දා………..
********නිමි*******
/
………………………………………………………………………
මිනිසුන්ට යම් යම් අඩුපාඩුකම් ඇති වෙන්න පුලුවන්….ඒක මූසල කමක්වත් මුස්පේන්තු කමක්වත් නෙමෙයි……ඒ වගෙ පුහුමත හිත්වල තියාගෙන ඒ වගෙ අසරණ හිත් රිද්දන්න එපා……
අම්මා කෙනෙක් වෙන්න දරුවෙක් කුසෙන් උපද්දවන්නම ඕන නෑ….හිතේ ආදරය සෙනෙහස තියන ඕනම ගැහැනියකට මවක් විය හැකිය…….තිරිසන් සතෙකුට ආදරය කරුණාව දැක්වීමද එක්තරා වූ මව් සෙනෙහසකි………
තමාට ඇති දේ ගැන උදම් වී අනිත් අයට නැති දේ ගැනම කියමින් ඒ අයගෙ සිත් රිද්දන්න එපා……එලෙස කරන අයට ඒ ලැබී තිබෙන දේවල් ලැබෙන්නේ මේ ආත්මයේ පමණක් විය හැකියි……..
උපුටා ගැනීම: අමාලි සෙල්වකුමාර්