එදා සියොළගම ගල් ගැහෙන තරමේ සීතල දවසක්. හිම තුහින ටිකෙන් ටික වැටෙන්න පටන් ගද්දි මගේ ගමනෙ වේගය තව තවත් වැඩි වුණා. ජර්සිය අස්සෙන් සීතල ගලා ගෙන ආවෙ සර්පයෙක් මුළු සිරුරම වෙලා ගන්නවා වගේ. ජංගමයේ බැටරිය පැයකටත් කලින් මිය ගිය නිසා අදාල ස්ථානය සොයා යාමේ වගකීම මා වෙතම පවරා ගත්තේ නාඳුනන නගරයේ වෙනත් දෙයක් කිරීමට නොහැකි නිසා. ගමන් මල්ලේ බර වැඩි වැඩියෙන් දැනෙන්න ගත්තා. අවසානයේ නිවැරදි යැයි සිතන ලිපිනයට පැමිණියා. බටහිර ක්‍රමයට නොගැලපෙන ආරුක්කු යෙදූ නිවසක්. රාත්‍රී කාලයේ වුවද තිබූ සළකුණු වලින් ඉතා පිරිසිදු නිවසක් යැයි වැටහුණා. මගේ බලාපොරොත්තු සුන් කරමින් දොර ඇරියේ වයෝවෘද්ධ කාන්තාවක්. ඇය මදෙස බලා සිටියෙ මා ඇය දෙස බලා සිටිනවාටත් වඩා විමතියෙන්.
ලීනා ඉන්නවද ?
“වැරදි ගෙදරක් ” සැර පරුෂ විදියට කිවූ ඇය දඩස් යන සද්දෙන් දොර වසා දැමුවා. මා පත් වූයේ ඉමහත් අසරණ භාවයකට.
“අනේ…අනේ කරුණාකරලා දොර අරින්න. මම මේ නගරයට අලුත්. මේ ඇඩ්රස් එක හොයා ගන්න උදව් කරන්න..”
මගේ කටහඬ ඉකි බිඳුමකට පරිවර්තනය වුණා. සැනෙකින් දොර විවර වුණා. මා අතේ තිබූ ලිපිනය ඇය මහත් පරීක්ෂාවෙන් කියවන්නට ගත්තා .
“මේ ලිපිනය අයිති ගෙවල් දෙකකට එහා පැත්තෙ තියෙන සුදු පාට ගෙදර ට..”
එසේ කියූ ඇය මා ස්තූති කිරීමටත් පෙර නැවතත් මහ හඬින් දොර වසා දැමුවා.
විශ්ව විද්‍යාල අධ්‍යාපනය හැදෑරීමට නාඳුනන නගරයකට තනිව පැමිණියේ ජීවිතයේ ප්‍රථම වරට. මාගේ යෙහෙළිය ලීනා මෙම නගරයේ වාසය කරන නිසා ඇගේ නිවසේ මට නවාතැන් පහසුකම් ගන්න පුලුවන් වුණා . ජංගමයේ බැට්රියට තැබිය යුතු නෝක්කාඩු මා හමුවේ තැබූ නමුත් ලීනා ඇතුළු පවුලේ සැම මාගේ පැමිණීම ඉතා සතුටුදායී අයුරින් සැමරුවේ දිව පිනා යන ආහාර සකස් කරලා.
මා හට පාර කියූ ස්ත්‍රිය ලීනා විසින් හැඳින්වූයේ “නාකි මාර්තා ” ලෙසයි . ඇය කා සමඟවත් කතා නොකරන උද්ධච්ඡ ස්ත්‍රියක් ලෙස හැරුණාම මාර්තා පිළිබඳව අන් කිසිවක් ලීනා දැන සිටියේ නැහැ. එම මුලු කාලය පුරාම මා හට මාර්තා දැකගත හැකි වූයේ මා පාරේ යන එන විට එදෙස බැලීමෙන් .ඒ සෑම විටකම ඈ නිවස තුළට වියරුවෙන් මෙන් දුවගෙන යනවා. එක් දිනක් ඇගේ නපුරු දිවියේ නුපුරුදු දර්ශනයක් මා හට දැක ගත හැකි වුණා . පාරේ සිටි නකුටු බල්ලෙක් සමඟ මාර්තා සුන්දර සිනාවකින් යුක්තව කතා බහේ සිටියා. බල්ලා නකුට වනමින් ඈ කියන දේ වටහා ගෙන මෙන් දඟ කරමින් සිටියා. ඇගේ මහළු රැලි වැටුණු මුහුණේ සිනා රැළි දැවටිලා තිබුණා . එවිට ඒ මුහුණ ඉතා සුන්දරයි. මා හට ඈ සමඟ කතා කරන්න ට සිත් වුණා.
ඇගේ ගෙවත්තට අනවසරයෙන් අඩිය තැබූ මා දෙස ඇය බැලුවේ නොපහන් බැල්මක්.
“මට ටිකක් කතා කරන්න පුලුවන් ද ?
” වැරදි ගෙදරක් දරුවෝ..”
ඇය නිවසට ගොස් දොර වසා ගත්තා. මා හට දැණුනේ ඉමහත් කම්පනයක්. ඉන් පසු මාස කීපයක් යන තුරුම ඒ නිවස දෙස හැරී බැලුවේ වත් නෑ.
සීත කාලය නැවත පැමිණුනා. අති සුන්දර සීතකාලයක්. නත්තලට ලහි ලහියේ ලෑස්ති වෙන මිනිසුන්ගෙන් නගරයම පිරී පැවතුණා . නත්තල් දින මා ලීනාගේ පවුලේ අය සමඟම රැඳුණේ මා හට නිවාඩුවක් ගත කිරීමට මගේ කියා පවුලක් නැති නිසාම නොව ලීනාගේ පවුල මේ වන විට මගේ පවුල ලෙස දැනී තිබූ නිසා. නත්තල් දින උදෑසන දේව මෙහෙයට සහභාගී වූ අප ඇවිදිමින් නිවස කරා පැමිණියා. මාර්තා නිවසේ ඉදිරිපස පඩිපෙලේ හිඳගෙන පාර දෙස බලා සිටියා. ඇගේ දෑසේ වූයේ හිස් බැල්මක්. කුමක් දෝ හේතුවක් නිසා මා හට දරා ගත නොහැකි ශෝකයක් ඇති වුණා . ලීනාගේ පවුලේ සාමාජිකයන් විවිධාකාර නත්තල සැමරීමේ කටයුතු වල නිරත වන අතරේ මා මාර්තා ගේ නිවස බලා පිටත් වුණා. මා ඇයට දීමට රසවත් ආහාර බඳුනක්ද පිළියෙල කර ගත්තේ සියල්ලන්නටම රහසින්. ඇගේ නිවසට ගේට්ටුවක් තිබුණෙ නැහැ. එය මා හට විශාල අස්වැසිල්ලක් වුණා. මා යනවිට සුපුරුදු පරිදි ඇය නිවස තුලට යාමට සැරසුණා.
” ඔහොම ඉන්න…මේ වැරදි ගෙදරක් නෙමේ..”
තුෂ්නිම්භූත වූ ආකාරයෙන් ඇය මා දෙස බැලුවා.
“සුභ නත්තලක් වේවා මාර්තා නැන්දේ…මම ඇතුළට ආවාට කමක් නෑ නේද …”
ඇය හිස වැනුවා. ඈ ගමන් කළේ වෙවුලමින්. ඇඳ සිටි දිගු ගවුම ඉතා පිරිසිදු වුවත් දීර්ඝ කාලයක් පාවිච්චි කර ඇති බව හැඟුණා.
නිවසේ සාලයට ගිය මා හට එක්තරා අපහසුවක් දැණුනා. සුවිශාල පොත් රාක්කයක් සමඟින් විශාලා කරන ලද පවුලක චායාරූපයක් . කඩවසම් මහතෙක්, සුන්දර කාන්තාවක් සහ හුරුබුහුටි දියණියන් දෙදෙනෙක්. මා පුදුමයට පත් කරමින් රැළි වැටුණු මුහුණ අතරින් මාර්තා සුන්දර ලෙස සිනහ වුණා. චායාරූපයේ සුන්දර කාන්තාවගේ සිනහව කාගේද යන්න මට එසැනින් වැටහුණා. ඉන්පසු එළඹියේ අදහා ගත නොහැකි හෝරාවක්. මා ගෙනා ආහාර බඳුන ඈ ඉතාම සංතුෂ්ටියකින් යුතුව අනුභව කළා. මුළු වේලාවෙම මගේ අධ්‍යාපන කටයුතු ගැනත්, මගේ පෞද්ගලික ජීවිතය ගැනත් ඇසූ ඇය කිසි විටෙකත් ඇගේ පෞද්ගලික විස්තර කතා නොකිරීමට වගබලා ගත්තා. පෙරදී මූණට දොර වසා පරුෂ ලෙස කතා කළ ගැහැණියද කියා මගේ සිත විශ්වාස නොකරන මට්ටමටම ඇය ප්‍රියමනාප වුණා.
ඉක්බිතිව මා නිවසට ගියේ නැවත දිනෙක ඇය හමුවෙන අභිප්‍රායෙන් .කාලය ගලා ගෙන ගියේ ඇදහිය නොහැකි වේගයෙන්. විශ්ව විද්‍යාලයේ පර්යේෂණ නිබන්ධනය නිසාත්, මුදල් සෙවීමේ තරඟයත් හේතුවෙනුත් මා හට මාස කීපයක් නගරයෙන් ඈත් ව යන්න සිදු වුණා. ලීනාගේ නිවසට නැවත යාමට හැකි වූයේ තුන් මසකට පසුයි .
මාර්තා සිහිවී මා ලීනා වද බලෙන්ම රැගෙන එදිනම ඇගේ නිවසට ගියත් නිවසේ මනුස්ස ප්‍රාණියෙකුගේ ලකුණක් වත් තිබුණේ නෑ . ලීනා කඳුලු පිරි දෙනෙතින් මා දිහා බලාගෙන හිටියා.
මාර්තා නැති වෙලා මාස දෙකක්…
මගේ මුවින් පාලනය කර ගත නොහැකි වූ ඉකිබිඳුවක් එළියට පැන්නේ කිසිත් සිතා ගත නොහැකිවයි .
” ඔයාට ලියුමක් ආවා…” ලීනා මගේ හිස අතගා ලිපිය මා අතට දී ඉවතට ගියා.
ආදරණීය දියණිය,
ගෙවුණු විසි වසරටම නත්තල දැණුනු එකම දිනය වෙනුවෙන්….මම ඉපදුණේ අනාතයෙක් විදියට. ඔයා වගේම. හැබැයි මට මේ ලෝකෙ තිබ්බ ලස්සනම පවුල හිමි වුණා. මම ඉස්සර ගුරුවරියක්. උතුරන්න ආදරේ දීපු සැමියෙකුයි, ජීවිතේ ජීවත් කරවපු ඔයා වගේ ලස්සන දුවලා දෙන්නෙකුයි ලබන්න මම වාසනාවන්ත වුණා. ඒත් ඔවුන් හැමෝම රිය අනතුරකින් මිය ගියා. හරියටම නත්තල් දවසෙ…දෙසැම්බර් 25. මගේ ජීවිතේ කඩා වැටෙන්න වෙන දෙයක් තියේවිද. අනාතයෙක් සදාකාලික අනාතයෙක් වුණා. රිය අනතුරෙන් බරපතල තුවාල වෙලා මාස ගාණක් ඉස්පිරිතාලේ ඉදලා මම අඩිය තිබ්බෙ අපායකට . මනුස්සයෙක් දකින වාරයක් ගාණේ මැරී මැරී ඉපදුණා . මම මනුස්ස ආශ්රයෙන් ඈත් වුණා. ඒ නිසාම හැමෝම මාව අත ඇරියා. ඒත් අවුරුදු 20 කට පස්සෙ බලෙන්ම පුංචි දේව දූතියක් මාව බලන්න ආවා . මට දැණුනේ මගේ නැති වුණු දුවක් ආපහු ඉපදිලා මාව බලන්න ආවා කියලා. මේ ලියුම ලැබෙද්දි සමහර විට මම ජීවතුන් අතර ඉදීවී . සමහර විට නොඉදීවී. ආයෙත් පාරක් ඒ වැරදි ගෙදර ට පුලුවන් නම් ඇවිත් යන්න.
ආදරය සමඟින් මාර්තා