Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අම්මා මට බැන්නට මන් හොදයී….

අපේ අක්කට ඉන්නවනෙ සූටි බබෙක්. මන් තමා පුංචි. ළමයා බලාගන්න කියලා පොඩි එකාව තියලා අම්මා ගියා. පොඩි එකාට තියෙනවා අර වයින් කරාම ටකරං ටකරං ටකරං ටකරං කියලා කැරෙකෙන මෙව්වා එකක්. ඕක පස් පාරක් විතර වයින් කරලා තිබ්බම ටිකක් වෙලා කැරකෙනවා. පොඩි එකත් ඒක කැරකිලා නතර උනු ගමන් මූන ඇඹුල් කරගන්නවා. මේ වැඩේ හරියන්නෙ නැති හින්දා මන් එකපාර විසිපාරක් විතර කරකවලා කරකවලා කරකවලා වයින් කරා. වයින් කොරලා කොරලා තිස් එක්වෙනි පාරට කරකවනකොට වයින් කරන්න තිබ්බ චුටි කෑල්ල ගැලවිලා අතට ආවා. මේ ඔහොම උනු දෙවනිපාර. දෙපාරම කැඩුනෙ මගෙ අතින්. කෙල්ලට මාස දෙකයි.. මාස දෙකට වයින් කොරන එව්වා දෙකයි.

චික් දැන් කාලෙ තියෙන සෙල්ලම් බඩු.. සේරම බාල එව්වා. ජරා සෙල්ලම් බඩුවක් හින්දා මන් බොරුවට බැනුම් ඇහුවා. දුකටම පොඩ් එකාගෙ පැනඩෝල් සිරප් එකෙන් චුට්ටක් බිව්වා රස මතක් කරගන්න කියලා හිතලා. මේසේ උඩ සිරප් බොතලේ දිලිසි දිලිසි තියෙනකොට ආසාවක් ආවා. කරුමෙ දොරෙන් එකයි.. ඒකත් දැක්කා. කාමරේ දොර වහගන්න අමතක උනා. මට කෑ ගහනවා ඇහිලා ළමයත් අඩන්න ගත්තා.. දරුවා උනත් තේරුම් ගත්තා මගේ වැරැද්දක් නෑ කියලා. ඒකමයි හූ තියලා ඇඩුවේ.. ළමයගෙ උච්ච ස්වරෙ නවත්තන්න අපෙ අම්මා…

ආ… පුතා.. බයි බයියා…. කියලා පටන් ගත්තා. වරහන් ඇතුලෙ කියන්න ඕනා අපේ පොඩි එකා බයියෙක් නොවන වග.

ළමයා ඒකට නැල උනේ නැති හින්දා මන් ෆෝන් එක අරන් සද්දෙට පිට් බුල් ගෙ රැපක් දැම්මා.. කෙල්ල සැලෙන්ඩර් සද්දෙට.. ඒ උනාට අම්මා සැලැන්ඩර් උනේ නෑ.. එයාට ඒක අල්ලලා ගියෙ නෑ මන් හිතන්නේ…. ඊටපස්සෙ මන් දිහා රවාගෙනම කැත නැතුව ” පල එලියට ” කීවා. මගෙ හිත කෑලිවලට කැඩිලා ගියා.. කොටසක් පාපිස්සටත් වැටුනා. සකන්ඩ් වෙන්නෙ මොකටද මාත් ආවා. එයාලට එපා නම් මටත් මොකෝ!

දැන් මාව පැත්තකට දාලා එයාලා ඉන්නවා. හිතුනොත් රෙදිත් අරන් ලොරියක නැගලා යනවා කන්දකාඩු. ගියාම තේරෙයි මගෙ අගේ..

ඔහොම කියලා පැත්තකට වෙලා ඉන්න එකේ හෑන්ඩ් ෆ්‍රී එක කනෙ ගහගෙන හින්දි සින්දුවකට සමවැදිලා හිටියා. ඔය දෙක කනේ ගහා ගත්තම ඉතින් මන් තමයි ඩෑන්සින් ස්ටාර්… ඔතන භරත කතක් කටකලි බැලේ ලටින් සේරම මටම ආවේනික ස්වරූපෙකින් මන් රගදක්වනවා. ඉතින් ඔහොම දුක තුනීවෙලා සමතලා වෙලා යන්න කියලා… මාත් බිම පෙරලිලා හින්දිය නිලිය වගේ… කකුලක් දික්කරාන බෙල්ල පොලවට නමාගෙන පැත්තට හැරිලා ඇස් කොනින් බලලා.. ආජා නචලේ නචලේ… දියා ජායතු නචලේ… කියලා ගස්සලා පද්දලා සාරාගිකව වැනිලා නැගිට්ටා.. ඇත්තටම මට නිකමට හිතුනා මගේ සරාගික වැනිල්ලට වඩා හොදට.. බීලා වැනෙන මහතුන් මාමා ලස්සනට වැනෙනවා කියලා… ඒ අස්සෙ මට කන්නාඩියෙන් පේනවා දිලිසි දිලිසි අම්මයි අක්කයි එහා ගෙදර නැන්දයි තුන්දෙනාම ජනේලෙන් එල්ලිලා මගෙ වන්මෑන් ෂෝ එක බලන්න ටිකට් අහිමි උනු ප්‍රේක්ෂකයො වගේ එල්ලිලා බලන් ඉන්නවා.. හම්මේ ඉතින් ලැජ්ජාව ජනේලෙන් එකයි.. නටපු එකනම් ඕන මගුලක් කියමුකො මගෙ අසහාය රංගනය බලු කරපු එකට නම් මට මාර වේදනයි…

ඕකෙන් පස්සෙ එලියට යන්නත් බැරි එකෙ දැන් ඉතින් කාමරේට වැදිලා ගේ ගෙම්බි වගෙ.. මට කතාවක් ලියන්න හිතුනා. අද කියන්නෙ මට උනු සුලු මිස්ටේක්  ගැන.

ඉතින් සහෝදරවරුනි වැරදීම දේව ගතියක් සමාව දීම මනුස්ස ගතියක් කියනවනෙ.. ඒ හින්දා මට උනේම වැරදීම් තමයි.

මගෙ “””අමුතු සෙල්ලම””” කතාවෙ කිවනෙ මාව මිස් කෙනෙක්ගෙ ගෙදර නැවත්තලා හිටියා.. එහෙ නැන්දෙකුයි මාමෙකුයි හිටියා කියලා.. මේකත් ඒ කාලෙ කතාවක්.. ඒ පවුලෙ උදවිය හැම අවුරුද්දෙම අනුරාධපුරේ රුවන්වැලිසෑයෙ ලොකු පූජාවක් කරා. ඕකට ඉතින් අපි කලින් දවසෙ ඉදන් ගිහින් අර නවතින තැන් තියෙන්නේ.. ආන් ඒකක නැවතිලා උයාගෙන කාලා බීලා පහුවදාට පිංකමට යනවා. ඔය නැවතුන තැන අපි විතරක් නෙමෙයි තවත් නඩයක් දෙකක් නැවතිලා හිටියා..

ඉතින් ඔන්න දැන් එදා ගමනට අපේ යාලුවන්ගෙ කොටසයි හිටියේ.. මාත් එක්ක පහක් වගේ. දන්නවනෙ ඉතින් අනිත් හතරම කොල්ලො. අපි දැන් ඕකෙ තියනවා පින්තූර අබපු වෙනම තැනක්.. දඹදිව චාරිකාවක් ගියා වගේ.. කුසිනාරාවේ වැදපුදාගෙන බුද්දගයාව පහුකරලා බලාගන්න බැරි උනු ආලවකයවත් බලාගෙන… තවුතිසාවෙන් එලියට ආවා. තවුතිසාවට යන්න ඉන් එක ෆ්‍රී උනාට අවුට් එකට ඒ කාලෙ රුපියල් පහක් ගන්නවා. ඒත් කමක් නෑ යකෝ නමට හරි තවුතිසා ගියා කියන්නෙ සෙල්ලංද…

ඔහොම එලියට ඇවිල්ලා ඉතින් කොල්ලො ටික ගියා වොශ් දාන්න කියලා.. චැහ්… ඒ මොන කැත වැඩක්ද ඒ.. වොශ් දාන්න?? අපි ඔය අංශෙට වැඩියෙ නෑ… උබලා පලයල්ලා මන් යනවා කුස්සියට.. කියලා මන් ගියා කෑම අංසෙ වැඩ බලන්න.. දන්න අය දන්නවා ඇති සාරානන්ද පිරිනේ කුස්සිය.. ඒක නිකන් සාගරේ වගෙ…. මරියානා ආගාදෙට භුමිතෙල් දලා පොල්කටු පුච්චනවා වගෙ එහා මෙහා යන්න බෑ දුම.. වටපිට බැලුවා.. අම්මා පේන්න නෑ… ආයේ පාරක් මීදුම අතරින් වටපිට බැලුවා නැන්දත් නෑ… අම්මත් නැති නැන්දත් නැති ලොව මාමා හැර වෙන කිනම් සැපතක් ද කියලා මාමා බලනකොට.. ආන් බොලෙ මාමා ඉන්නවා.. සුදු සරමත් ඇදගෙන පස්ස දික් කරගෙන උයන මේසෙකට අත් දෙක තියාන… නැන්දා මොකො මාමා මොකො… ගෙදර මොකො පිට මොකෝ කියලා මන් ඉතින් මීදුම උතුරන සදපානෙ.. ජීවිත් හිස් වෙයි මැටි කලයෙ කියලා පැද්දි පැද්දි ගිහින්… මාමේ… කියලා දිලිසි දිලිසි තිබ්බ පස්සට ගැහුවා… මාමා දේවාරූඩයෙන් මූන බලා සාස්තර කියන්න වාගේ හැරුනා හැරිල්ලක් පින්වතුනි… සද හැංගුනා වලාකුලු අස්සේ.. මන් හැන්ගුනා දුම් අස්සෙ… සදදිය උතුරා දෝරෙ ගලානව දැන්.. ගිලිලා නාන්න මාමා හොයනවා හොයනවා මාමා නෑ… මගෙන් පස්සට පාරක් කාපු මාමා මහසෝනා ගහලා වගේ මන් දිහා බලාන ඉන්නවා.. කියන්න සතුටුයි සහෝදරවරුනි මන් දෑත බැදලා ගහලා තියෙන්නේ මාමගෙ පස්සට කියලා හිතුවට ඒ මාමගෙ පස්සත් නෙමෙයි…. පස්ස මාමාගෙත් නෙමෙයි.. මොකද එතන ඉදලා තියෙන්නේ අපෙ මාමා නෙමෙයි. එදා හිටපු වෙන නඩේක කට්ටියක් තමයි එවලෙ උය උයා ඉදලා තියෙන්නේ.. මන් මේ කොහෙදො ඉන්ම මාමෙක්ගෙ පස්සට තමා ගහලා තියෙන්නේ…

පස්සෙ ඉතින් මාත් ඒ මාමට..හී…. කියලා දත් සැට් එක පෙලට තියලා විරිත්තලා… තිබුනු ඉංග්‍රීසි දැනුම පාවිච්චි කරලා සොලි අන්කල් කියලා ආයෙත් මගෙ සුපුරුදු ලීලාවෙන් උඩ පැන පැන දුම් මැද්දෙන් අතුරුදහන් වෙන හර්න් දෙවගෙන වගේ එතනින් වාස්ප උනා..

තව දවසක් ඔන්න අපේ ගෙදර පිරිතක් කිවා.. ඉතින් හැමෝම එක හුස්මට වැඩ.. සාමාන්‍යයෙන් අපේ ගෙදර අය මට වැඩක් කියන්නෙ හරිම අඩුවෙන්… ඒත් එදා ඇවිල්ලා හිටියා අම්මලාගෙ ඉස්කෝලෙ මිස් කෙනෙක්. මිස් දැන් මිදුල අතුගාලා රොඩු ගොඩවල් ගහලා තියනවා අදින්න. මන් ඉතින් කැරකි කැරකි ඉන්න හැටි දැකපු මිස් ඇහුවා..
“””පුතෙ ඔයාට පුළුවන් ද මේ රොඩු ටික අදින්න “”” කියලා..
මාත් ඉතින් වැඩකුත් නැති එකේ හා මිස් කියලා..

හරිම හොද ළමයා වගේ රොඩු ටික ඇදලා මට ලේසි පැත්තකට තමා ගිහින් දැම්මෙ. මොකද මන් දැකලා තියනවා අම්මත් හදිස්සියට එතෙන්ට කොල රොඩු දානවා. අපේ වත්තෙ පැත්තකින් තියනවා තේක්ක ගස් පේලි ටිකක්.. ඕවගෙ තේක්ක කොල වැටිලා තියනවා යායක් වැහෙන්න. මාත් ඉතින් කොල ගොඩටම රොඩුත් දානවා කියලා හිතලා රොඩු ටික එකතු කරලා ගිහින් තේක්ක කොල ගොඩ උඩට දාලා ආවා. එනකොට අප්පච්චලාගෙ ඉස්කෝලෙනුත් සර් කෙනෙක් ඇවිත්.. ඉතින් අපේ පියාණෝ මේ මගේ කනිටු දියණියයි කියලා මාව අදුන්නලා දීලා.. මන් ගැන කෙටි වර්ණනාවක් දුන්නා. මාත් ඉතින් ගවුමේ කොන් දෙක අල්ලා දෙකට නැමිලා හිස නමලා ආචාර කරා. ඔලුව නමනකොට චුට්ටක් මොලේ හෙල්ලිලා.. මට කල්පනා උනා… මන් ගැන හොද කිව්ව එකෙ මන් ගෙදරට වැඩදායී දියණියක් වෙන්න ඕනා කියලා. ඉතින් ඔහොම හිතලා කුස්සියට ගිහිල්ලා ගිනිපෙට්ටියත් අරගෙන ගියා මන් රොඩු දාපු දිහාට. ඒ කාලෙ ඉතින් ගිනිකූරක් පත්තු කරනවා කියන්නේ ඔලිම්පික් පහන දල්වන්න චාන්ස් එකක් ලැබුනා වගේ මෙව්වා එකක් තමා තියෙන්නේ. මාත් ඉතින් ඇතීනා දෙවගෙන වගේ එක කූරක් දල්වා උතුරු දෙසටත්.. තව කූරක් දල්වා දකුනු දෙසටත්.. අනික් කූර දල්වා බටහිර දෙසටත් පත්තු කරලා..

උපාලි ඊලග නැවේ ගිහින් දම්මි නිදිද බලා වරෙම් කියලා තාලෙට කව් කිය කියා සතර දෙසම ගිනි තියලා ගින්දර මැද්දෙන් එන ශාරුකී වගේ ගැම්මෙන් ආවා…

ටිකක් දුර ඇවිදින් ඇවිත් නිකමට වගේ හැරිලා බැලුවේ පට පට ගාන සද්දෙට.. නිකමට බලපු පාර මොකද… ගිනිකෙලි සංදර්ශනේ දැක්කම ඒ රස්නෙට මගෙ කටේ කෙලත් හිදිලා.. බලාන ඉදලා හරියන්නෙත් නෑ… කර උනු තේක්ක කොල යායම එක දිගට පත්තු වෙනවා ලැව් ගින්න වගේ… තාමත් මන් ගින්න දිහා බලාගෙන හිටියට මොකද මේ වෙනකොට නිදාගෙන උන්නු දම්මිලා කමලලා සීතලා සේරම ඇහරලා දම්මිව ඇහරවන්න ආපු උපාලිලා ලැට් බාල්දි… කුනු බාල්දී.. හටිටි මුට්ටි.. උය උයා හිටපු වලං පිගන් බේසම් සේරම උස්සාගෙන එනවා ගින්න නිවන්න. පස්සෙ පිරිත් මන්ඩපෙ ගහන එක පැත්තකින් තියලා මල්වලට වතුර දානෙ බටෙත් අරන් සේරමලා එකතුවෙලා වතුර ගහලා ගහලා ගින්න නිව්වා..

ෆුහු!!!!……. අම්මෝ එදා…

ආයෙ තව දවසක්.. ඒකත් චූටි කාලේ..
පිටියි සීනියි කන්න කියලා හිතාගෙන ප්ලාස්ටික් පුටුවකුත් උස්සාගෙන ගිහින් පැන්ට්‍රි කබඩ් එකට පුටුවත් හේත්තු කරලා පුටුවට නැගලා කිරිපිටියි සීනි බෝතලෙයි ඇගට හේත්තු කරාන පරිස්සමට බැස්සා. පිටියි සීනියි කියන්නෙ රජ කෑමක් කියලා අටමෙ ඈයන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ. ඉතින් මන් පුටුවෙන් බැහලා සීනි බෝතලේ ඇරලා බලනකොට ඒකේ කූඹි විමානයයි.. දැන් ඉතින් කූඹි එක්ක සීනි කන්න බෑ නේ.. මගේ කුඩා මොලේට පත්තු උනා දවසක් අපේ අප්පච්චි කූඹ් එනවා කියලා මැලතියන් දැම්මා බිත්තිය අයිනෙට.. මාත් ඉතින් කම්පනා කරලා කරලා මැලතියන් එකත් හොයාගෙන ඇවිත් කූඹි එලවන්න කියලා මැලතියන් ටිකක් සීනී බෝතලේට දාලා කලවම් කරලා තිබ්බා.. එවලෙ කන්න බැරි හින්දා බෝතලෙ වහලා මේසයක් උඩින් තියලා මාත් ගියා. හවස තේ හදන්න අම්මා සීනි බෝතලෙ හොයනකොට කබඩ් එකේ තිබ්බ සීනී බෝතලේ මේසෙ උඩින් හම්බෙනකොට කවදත් වගේ අම්මට මතක් වෙලා තියෙන්නේ මංතුමී තමයි. කොහොමහරි සීනි බෝතලේ අරිනකොට ආව මැලතියන් ගද නිසාම එදා ගෙදර මනුස්සයො බේරුනා.

ඒත් ඇත්තටම කියන්න ඕන දෙයක් තමා පොඩි ළමයි ඉන්න ගෙදරක මොනා උනත් හොද පරිස්සමට කල්පනාවෙන් ඉන්න ඕනා. විසේසෙන්ම අපි වගේ එවුන් ටික වෙලාවක් සයිලන්ට් එකෙ ඉන්නවා නම් මොකාක් හරි බයානක දෙයක් වෙන්න ඉඩ තියනවා කියලා හිතන්න ඕනා.

තව වැරදීම් ගොඩාරියක් තිබුනත් මේ වෙලාවෙ අපේ අම්මගෙ මහා බලගතු සරස්වති පූජා තැටිය ප්ලෙ වෙනගමන් තියෙන්නේ. තව සුලු මොහොතකින් මගේ උත්තුංග දේහ දාරී ෆෝන් රාජයා ලිපේ ඔබනවා කියලා මරණ තර්ජන එන නිසා අදට මෙතනින් සමාප්තයි! මතු සම්බන්දයි!

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!